ශ්‍රීපාදයේ ප්ලාස්ටික් අස්වැන්න

 ඡායාරූපය:

ශ්‍රීපාදයේ ප්ලාස්ටික් අස්වැන්න

මසක් තුළ ප්ලාස්ටික් බෝතල් ලක්ෂයක් ශ්‍රීපාද රක්ෂිතයට

මෙවර සිරිපා වන්දනා වාරය ආරම්භ වී ගෙවුණු මාසයක කාලයේදී බැතුමතුන් රැගෙන විත් පරිසරයට බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් ලක්ෂයක පමණ සංඛ්‍යාවක් මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය උප කාර්යාලයේ නිලධාරීන් විසින් එකතු කර තිබේ.

සිරිපා වන්දනාවේ පැමිණෙන විට ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන නොඑන ලෙස දැනුම් දී තිබියදීත් බොහෝ දෙනෙකු එය නොකතා වතුර බෝතල් රැගෙන පැමිණ පරිසරයට බැහැර කරන බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය උප කාර්යයාලයේ ස්ථානාධිපති බී.ඩබ්ලිව්. හේමන්ත මහතා ප්‍රකාශ කළේය.

සිරිපා වන්දනාවේ පැමිණෙන පිරිස් පොලිතින් මලු රැගෙන ඒමෙන් වැළකී සිටීම නිසා යහපත් තත්ත්වයක් උදා වී ඇති බවත් ප්ලාස්ටික් ජල බෝතල් රැගෙන එන වැඩි දෙනකු ඒවා විධිමත් ලෙස කසළ බඳුන් වලට බැහැර කිරීමට පියවර ගෙන තිබෙන බවත් ඒ මහතා කීය.

මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගින් ශ්‍රීපාද වන්දනා සමයේදී එක්රැස් කරන ප්ලාස්ටික් ජල බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා පෞද්ගලික ආයතනයක් වෙත ලබා දෙන බවද හේමන්ත මහතා පැවසුවේය.

නල්ලතන්නිය නගරයයේ සහ ශ්‍රීපාද මාර්ගයේ පිරිසුදු පානීය ජල යෝජනා ක්‍රමයක් ස්ථාපිත කරන්නේ නම් ශ්‍රීපාද පුද බිමේ ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අවම කළ හැකි බවද හෙතෙම අවධාරණය කළේය.

ඡායා [අසේල කුරුළුවංශ]

News Order: 
3
මාතෘකා