ලක්ෂපාන සුන්දරත්වය දකින්න ඇයි මෙතරම් හිරිහැර

 ඡායාරූපය:

ලක්ෂපාන සුන්දරත්වය දකින්න ඇයි මෙතරම් හිරිහැර

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොත්තැල්ලෙන ගම්මානය ආසන්නයෙන් ගලා බසිනා මස්කෙළි ඔය විශාල ගල් පර්වතයක් පහළට ගලා හැලීම හේතුවෙන් නිර්මාණය වී තිබේ. සුන්දර ලක්ෂපාන දියඇල්ල කඳු පද්ධතියකින් සමන්විත රමණීය පරිසරයක පිහිටි ඉතාම චමත්කාරජනක ස්වාභාවික සම්පතකි. ගිනිගතහේන -හැටන් ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගමන් කරන විට හමුවන දියගල මංසන්ධියෙන් හැරී නෝර්ටන් බ්‍රිජ්-මස්කෙළිය මාර්ගයේ කිරිවන්එළියට නුදුරුව තෙබර්ටන්හතරේ කණුව) මංසන්ධියෙන් හැරී හඟරාපිටිය මාර්ගයේ කොත්තැල්ලෙන අම්බලම අසළ සිට කඳු බෑවුමක් පහළට ඉදිකර තිබෙන කොන්ක්‍රීට් පඩි මාර්ගයේ පහළට ගමන් කළ විට ලක්ෂපාන දිය ඇල්ල එහි පාමුල සිට දැක ගත හැකිවේ. එසේම අවිස්සාවේල්ල - හැටන් ප්‍රධාන මාර්ගයේ කළුගල මංසන්ධියෙන් හැරී පොල්පිටිය - හතරේකණුව මාර්ගයෙන් ගොස් කොත්තැල්ලෙන අසළින්ද දිය ඇල්ල පාමුලට ළඟාවිය හැකිය. මීටර් 126ක පමණ උසින් යුක්ත චමත්කාරජනක ලක්ෂපාන දිය ඇල්ල ශ්‍රී ලංකාවේ අට වැනි උසම දිය ඇල්ල වන අතර මට්ටමෙන් 625 වැනි ස්ථානය හිමිව ඇත.

හතරේ කණුව -පොල්පිටිය මාර්ගයේ කොත්තැල්ලෙන අම්බලම අසළ සිට එම දිය ඇල්ල පාමුල දක්වා කඳු බෑවුමක් පහළට අත් වැටක් සහිත කොන්ක්‍රීට් පඩි සහිත මාර්ගයක් ඉදිකර තිබෙන අතර මෙයට වසර ගණනාවකට පෙර සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව අඹගමුව ප්‍රාදේශීය සභාව මගින් ඉදිකරන ලද එම මාර්ගය සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන දෙකක් පමණ වේ. එහෙත් එම මාර්ගයේ එම දියඇල්ල පාමුලට ආසන්න ප්‍රවේශ මාර්ග කොටසක් ඉදිකර නොතිබීම හේතුවෙන් එය නැරඹීමට එන පාසල් සිසුන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට ලිස්සන ගල් උඩින් ගමන් කිරීමට සිදුව ඇත්තේ අනතුරුදායක අයුරිනි. එම නිසා එම මාර්ගයේ ඉතිරි කොටස ඉදිකළ යුතුව තිබේ.

දිනපතා මෙම දිය ඇලි කොමලිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම නිසා ඉමහත් අපහසුතාවලට මුහුණ පෑමට සිදුව ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොත්තැල්ලෙන ග්‍රාම නිලධාරි එච්.ජී.එච්.එස්. ඥාණපාල මහතා,

"ලක්ෂපාන දිය ඇල්ල නැරඹීමට පාසල් ළමුන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිස් පැමිණෙනවා. නමුත් ඔවුන් සඳහා පහසුකම් නෑ. අඩුම තරමින් දිය ඇල්ලට‍ යන මාර්ගය පෙන්නුම් කරන නාම පුවරු ක්‍රමවත් අයුරින් සකස් කර නෑ. මේ නිසා පළමු වතාවට දිය ඇල්ල නැරඹීමට එන ජනතාවට දිය ඇල්ල දක්වා මාර්ගය හඳුනා ගැනීම ගැටලුවක් වෙලා. ගිනිගත්හේන හා නෝර්ටන් බ්‍රිජ් හරහා එන ඇතැම් සංචාරකයන් නොර්ටන් බ්‍රිජ් - මස්කෙළිය මාර්ගයේ 'ඩබල් කටින්' හන්දියේ ඇති ලක්ෂපාන නාම පුවරුව නිසා දිය ඇල්ල නැරඹීමට ලක්ෂපානට ගමට යනවා. බොහෝ දෙනකු සිතන්නේ දිය ඇල්ලට ලක්ෂපාන යන නම ලැබී තිබෙන බැවින් ලක්ෂපාන ගම්මානයේ එම දිය ඇල්ල ඇති බවයි. එවැනි සංචාරකයන් ලක්ෂපාන ගොස් ආපසු එන්න වෙන්නේ බොහෝ වෙලාවක් රස්තියාදු වෙලා. දිය ඇල්ලට යන පාර හඳුනාගන්න පහසු වන ලෙස සංඥා පුවරු සවි කරන්න ඕනා. දැනට දියගල මංසන්ධිය ඇතුළු ස්ථාන කිහිපයක එවැනි පුවරු සවි කර තිබුණත් එය ප්‍රමාණවත් නෑ." කොළඹ -හැටන් ප්‍රධාන මාර්ගයෙන් ලක්ෂපාන දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට කළුගල මංසන්ධියෙන් හැරී පොල්පිටිය, හිටිගේගම, හඟරාපිටිය, ජම්බු තැන්න හා ගැඩුමවත්ත හරහා හතරේ කණුව මාර්ගයෙන් ගොස් කොත්තැල්ලෙන අම්බලම අසළින් බැස ලක්ෂපාන දිය ඇල්ල අසළට ගමන් කළ හැකි වන අතර එය කොළඹ දෙසින් පැමිණෙන එවැනි සංචාරකයන්ට කෙටි මාර්ගයකි. නමුත් එම මාර්ගය මුරුත්තැන්න අසළ සිට කොත්තැල්ලෙන ලක්ෂපාන දිය ඇල්ලට පිවිසෙන මංසන්ධිය දක්වා ඉතාම අබලන් තත්ත්වයක පැවතීම නිසා ගමන කෙටි වුණත් එහි ගමන් කිරීම අපහසු වී ඇත. මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එම මාර්ග කොටසද ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ නම් එම ගම්වාසීන්ට මෙන්ම ලක්ෂපාන දිය ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයන්ටද එමඟින් ගමන පහසු වේ. කොත්තැල්ලෙන අම්බලම අසළ සහ දියඇල්ල මංසන්ධිය අසළ රථ ගාලක් නොමැති නිසා එහි පැමිණෙන සංචාරකයන්ගේ රථ ගාල් කිරීමේ ගැටලුවක් මතුව තිබේ. එයද විසඳිය යුතු ගැටලුවකි.

ලක්ෂපාන දිය ඇල්ල පාමුල නැරඹුම් මැදිරියක් නොමැතිකම තවත් අඩුපාඩුවකි. එවැනි නැරඹුම් මැදිරියක් තිබෙන්නේ නම් එම දිය ඇල්ල පහසුවෙන් යුතුව නැරඹීමට එහි පැමිණෙන සංචාරකයන්ට හැකියාව ඇත. දිය ඇල්ල පාමුල වැසිකිළි පහසුකම් නොමැතිකම එහි පැමිණෙන සංචාරකයන් දැඩි අසීරුතාවකට පත්වෙන තවත් කරුණකි.

කොත්තැල්ලෙන ගම්මානයේ පදිංචි ජී. ඉන්ද්‍රාණී ගුණවර්ධන මහත්මිය මෙසේ කීවාය,

"ලක්ෂපාන දිය ඇල්ල නැරඹීම සඳහා පැමිණෙන සංචාරක පිරිස් අපේ වෙළෙඳ සල අසලින් හැරිලා තමයි එම දිය ඇල්ල පාමුලට පයින් යන්නේ. මෙම ස්ථානයේවත් දිය ඇල්ල දක්වා මාර්ගය දැක්වෙන පුවරුවක් නොමැති නිසා රථ වාහනවලින් මෙහි පැමිණෙන සංචාරකයන්ට ඇල්ලට යන මාර්ගය හඳුනා ගැනීම අපහසුයි. මේ ස්ථානයේ දිය ඇල්ලට පිවිසෙන මාර්ගය දැක්වෙන පුවරුවක් සවි කිරීම කරන්න ඕනෑ."

අඹගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කපිල නාකන්දල මහතා මෙසේ කීවේය,

"ලක්ෂපාන දිය ඇල්ල කියන්නේ අප ප්‍රදේශයේ තිබෙන ස්වභාවික පරිසරයකින් යුක්ත ඉතා චමත්කාර ජනක සංචාරක ස්ථානයක්. ඒ වගේම ස්වභාවික සම්පතක්. එය නැරඹීම සඳහා එන දෙස් විදෙස් සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුව තිබෙනවා."

අඹගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් කුමාරතුංග මහතා මෙසේ තම අදහස් දැක්වීය,

"දැනට ලක්ෂපාන දිය ඇල්ල නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සලසා සංචාරක ස්ථානයක් ලෙසින් එම ස්ථානය සංවර්ධනය කිරීමට පියවර ගත යුතුව තිබෙනවා."

ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති එල්.පී. ජයසංඛ පෙරේරා මහතා සඳහන් කළේ තම බල ප්‍රදේශයේ පිහිටි ස්වාභාවික සම්පතක් වන ලක්ෂපාන දිය ඇල්ල සංචාරක ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලැබී තිබෙන බැවින් එම දිය ඇල්ල සහිත ස්ථානයේ දැනට පවතින අඩුපාඩු සම්පුර්ණ කර එය දෙස් විදෙස් සංචාරකයන් සඳහා වඩාත් ආකර්ශණිය ස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කරන බවය.

ගිනිගත්හේන විශේෂ [ජී.ඒ. ගුණසේන]

මාතෘකා