ජනතා හිතවාදී අයවැයකට කොන්දේසි විරහිතව සහාය දෙනවා

 ඡායාරූපය:

ජනතා හිතවාදී අයවැයකට කොන්දේසි විරහිතව සහාය දෙනවා

රජය ජනාධිපතිවරණ සමයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට විපක්ෂය කොන්දේසි විරහිතව රජයට සහාය ලබාදෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ගයන්ත කරුණාතිලක මහතා ඒ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත් වීමෙන් පසුව පෙරේදා (13දා) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගෙන මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා මෙසේද පැවසීය.

“අපේ පක්ෂය ඉතාම වැදගත් පක්ෂයක්. මේ පක්ෂයේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඒ මහත්මා දේශපාලනය අනුව ඩී.එස්.සේනානායක මහතාගේ පටන් මේ දක්වා සියලු නායකයන් ආරක්ෂා කළ ඒ වටිනා පක්ෂය ඉදිරියටත් ඒ ආකාරයටම ගෙන යෑමටයි. "

"පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු ආකාරය පිළිබඳ විවිධ මත ප්‍රකාශ වෙනවා. විපක්ෂ නායකතුමාගේ කාර්යභාරය පිළිබඳව ඒ වගේම ජ්‍යෙෂ්ඨ නායකයන් කොයි විදිහටද මේකට සම්බන්ධ කර ගන්නේ කියලා. දක්ෂතා තියෙන නවක මන්ත්‍රීවරු ඔක්කොම එකතු කරගෙන ජයග්‍රහණය කරා යන්නයි අපි බලන්නේ. ඒ සම්බන්ධයෙන් වැදගත් සාකච්ඡාවක් පැය ගණනාවක් සිරිකොතදී පසුගියදා පැවැත්වූවා. මන්ත්‍රීවරුන් තිස් ගණනක් විවිධ අදහස් එහිදී දැක්වූවා. අවසානයේදී සියලු දෙනාගේ තීරණය වුණේ ඉතා ඉක්මනින් ආණ්ඩු බලය අරගෙන ජයග්‍රහණය කරා යන්න පුළුවන් ජනතා විශ්වාසය දිනාගත් පක්ෂයක් බවට පත් කරන විදිහ ගැනයි. ඒ සාකච්ඡාවේදී අවසන් තීරණයකට ආවා, ලබන බ්‍රහස්පතින්දාට නැවත මුණ ගැහිලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඔක්කොම සාකච්ඡා කරලා කාගෙත් අදහස්වලට සවන් දීලා වඩාත් ප්‍රජාතන්ත්‍රාවාදීව මේ පක්ෂය ගොඩනඟන්න පුළුවන් ශක්තිමත් කරන්න පුළුවන් පුද්ගලයන්ට වගකීම් පවරන්නත් වෙනස්කම් කරන්නත්. ඒ වගේම ජනතාවගේ සිතුම් පැතුම් ආදී සියල්ල පිළිබඳ අවධානය යොමු කර අවසන් තීරණයකට එළැඹෙන්න පුළුවන් කියන විශ්වාසය අපට ඇවිත් තියෙනවා."

"අපි එක්සත් ජාතික පක්ෂය හැටියට උත්සාහ කරන්නේ මේ පක්ෂය ආරක්ෂා කරගෙන පක්ෂය තවත් ශක්තිමත් කරගෙන අවශ්‍ය වෙනස්කම් සියල්ල සිදු කරලා ජනතාව ඉල්ලන දේ ලබා දීලා ජනතාවාදී පක්ෂයක් ලෙස මේ පක්ෂය නඟා සිටුවීමයි. නමුත් යම් යම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා තමන් බලාපොරොත්තු වන දේ ඉෂ්ට නොවුණොත් අපි මේ මේ විදිහට කටයුතු කරනවා කියලා."

"අපි වගකිව යුතු විපක්ෂයක් ලෙස සාම්ප්‍රදායික විපක්ෂයක ක්‍රියාකලාපයෙන් ඔබ්බට ගිහිල්ලා වර්තමාන විපක්ෂනායකතුමා පාර්ලිමේන්තුවේදී වැදගත් ප්‍රකාශයක් කළා ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයේදී. රජය ජනතාවට බොහොම සහන දෙන පොරොන්දු රාශියක් ලබා දුන්නා. ජනතාව ඡන්ද පොළට ගියේ විවිධ බලාපොරොත්තු හිතේ තියාගෙනයි. වතු කම්කරුවා ජනාධිපතිවරණයේදී ඡන්ද පොළට ගියේ රුපියල් 1000ක වැටුපක් ලැබීමේ බලාපොරොත්තුවෙන්. ඒ වතුකම්කරුවා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද පොළට යා යුත්තේ රුපියල් දාහ ලබන වතු කම්කරුවකු හැටියට කියලා අපි හිතනවා. මේ රජය ඒකට අවශ්‍ය සහාය දෙන්න අයවැයක් ගෙනාවොත් කොන්දේසි විරහිතව වගකිව යුතු විපක්ෂයක් හැටියට ඊට සහාය දෙන්න අපි සූදානම්”

මාතෘකා

ජනප්‍රිය ලිපි