ජවසම්පන්න ශ්‍රම බලකායක් රටට අවශ්‍යයි

 ඡායාරූපය:

ජවසම්පන්න ශ්‍රම බලකායක් රටට අවශ්‍යයි

රට ගොඩනැඟීමට අවශ්‍ය රටට හිතකර ප්‍රගතිශීලී ප්‍රතිපත්ති සම්මත කරගනිමින් රට නිවැරදි මාවතට ගෙන යෑම ජනාධිපතිවරයාට තනිව කළ නොහැකි කාර්යයක් බව ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

පසුගිය රජයේ ජනාධිපතිවරයා ගනු ලැබූ තීන්දු තීරණ පාර්ලිමේන්තුව විසින් හරවා යැවූ බවත් ඒ නිසා දිනෙන් දින රට අගාධයට වැටුණු බවත් එම තත්ත්වය අවසන් කිරීමට නම් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් ගොඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට ලබාදිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

චන්දිම වීරක්කොඩි මහතා ඒ බව පැවසුවේ පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දුන් ජනතාවට ස්තූති කිරීම වෙනුවෙන් පසුගියදා(12) ගාල්ල හබරාදුවේ පැවති ජනහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

"හබරාදුව ප්‍රගතිශීලී ජනතාව ලෙස රටට ආදරේ කරන මිනිස්සු වශයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදුන්නා. දේශපාලන ඉතිහාසයේ පක්ෂයක් ලෙස එම ඉහළම ජයග්‍රහණය හබරාදුව ලැබුවේ පසුගිය ජනාධිපතිවරණයේදී බව අභිමානයෙන් යුතුව සිහිපත් කරනවා. ඒ වගේම පෞද්ගලික දේශපාලනය ඉවතලමින් පක්ෂ පාට භේදයකින් තොරව රට ජාතිය ආගම බේරාගැනීමට අතීත හෙළ දරුවන්ගේ සිට වර්තමානය දක්වා අසීමිතව කැපවීමක් කළ මහා සංඝරත්නයට නමස්කාරපූර්වක ස්තූතිය පුදකරනවා. මෙවර මැතිවරණයේදී විරුද්ධ පාක්ෂිකයන් පවා මේ වන විට වර්තමාන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය අගය කිරීම තුළ එතුමන් පත්කිරීමට දායක වූ අපට නිහතමානීව සතුටු විය හැකි තත්ත්වයක් උදාවී තිබෙනවා."

"අලුතින් හිතන ඉදිරි දැක්මක් සහිතව වැඩ කරමින් රටේ සංවර්ධනය, රටේ ආර්ථිකය ගොඩනඟමින් ජාතික විනිමය සංචිතය වර්ධනය කරන ජවසම්පන්න ශ්‍රම බලකායක අවශ්‍යතාවය වර්තමානයේ රට තුළ පවතිනවා. එම රික්තය පිරවිය හැක්කේ අධ්‍යාපනික නව්‍යකරණයක් මඟින් පමණයි. එම තත්ත්වය වර්තමාන ජනාධිපති, අගමැති සුසංයෝගයෙන් ක්‍රියාත්මක කරමින් පවතිනවා."

"පළමු වසරට ලක්ෂ 03ක සිසුන් ප්‍රමාණයක් පාසල්වලට ඇතුළත් වුවත් මෙතෙක් සරසවි වරම් ලැබුවේ 30,000ක පමණ කුඩා පිරිසක්. නමුත් ජනපති උපදෙස් මත මෙවර 40, 000ක ප්‍රමාණයක් දක්වා විශ්වවිද්‍යාල වරම් ලබාදීමට පියවර ගැනීම අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වී තියෙනවා."

"එසේම රටට අවශ්‍ය තාක්ෂණික අධ්‍යාපනයක්. හබරාදුව ආසනයේ 2005 වන විට එකදු තාක්ෂණික පාසලක්වත් තිබුණේ නැහැ. නමුත් වර්තමානය වන විට පාසල් 58ක් පවතින හබරාදුව ආසනයේ පාසල් 07ක් ද්විතීයික හා තාක්ෂණික පාසල් ලෙස ගොඩනැඟීමට හැකි වී තියෙනවා. ඒ හරහා හබරාදුව දරුවන්ට තමන්ගේ ප්‍රදේශයෙන්ම ඉන්ජිනේරු පීඨයට, වෛද්‍ය පීඨයට යන්නට හැකිවුණා. මම වෘත්තීය පුහුණු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලපරිච්ඡේදයේදී හබරාදුව ආසනයට තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ලබාගැනීමට හැකියාව ලැබුණා. ඒ සඳහා අක්කර 27ක භූමියක් රජයට පවරාගෙන යුරෝ මිලියන 40ක ආයෝජනයක් සහිතව එම තාක්ෂණික විශ්වවිද්‍යාලය ගොඩනඟන්න කටයුතු කරනු ලැබුවත් මම අමාත්‍ය තනතුරෙන් ඉවත්වීමත් සමඟ එම ව්‍යාපෘතිය පුත්තලමට රැගෙන යෑමට කටයුතු කර තිබෙනවා. නමුත් නැවත වර්තමාන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස නැවත හබරාදුවට එම දැවැන්ත ව්‍යාපෘතිය ලබාගැනීමට හැකිවුණා.

ලංකින්ද නානායක්කාර ඉමදුව සමූහ

මාතෘකා

ජනප්‍රිය ලිපි