රාජ්‍ය සේවය කියන්නේ ජනතා මෙහෙවරක්

 ඡායාරූපය:

රාජ්‍ය සේවය කියන්නේ ජනතා මෙහෙවරක්

මෙතෙක් ස්ථිර කර නොමැති රාජ්‍ය සේවයේ නියුතු සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් ඉතා ඉක්මනින් ස්ථිර කරන බව ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර මහතා පැවසීය.

දඹුල්ල ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේදී පෙරේදා(13) පැවති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය. එම අවස්ථාවේදී මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු නොමැති පුද්ගලයන් 59 දෙනකු සඳහා ඉඩම් ඔප්පු දීමනා බලපත්‍ර දීමනා ප්‍රදානය කිරීම සහ සංවර්ධන නිලධාරීන් 86 දෙනකු සදහා කාර්යාල ගමන් මලු ලබාදීමද සිදු කෙරිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජනක බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

“ඉතාම භාරදූර වගකීමක් තියෙන ඇමතිකමක් තමයි මට ලැබිලා තියෙන්නේ. මට හරියට කන්න වෙලාවකුත් නෑ නිදා ගන්න වෙලාවකුත් නෑ. ගොඩක් වෙලාවට ජනතාවට ආදරය කරන, කැපවූ පුද්ගලයෙක් හැටියට මට ඉතාම විශාල මෙහෙවරක් ඉටු කරන්න සිදුවී තිබෙනවා."

"මම රාජ්‍ය සේවය පිළිබඳව පුදුම හැඟීමක් තිබෙන කෙනෙක්. හිටපු පොලිස් නිලධාරියකු හැටියට මම දන්නවා රජයේ සේවකයන් විඳින දුක් කම්කටොලු. හැබැයි මම පොලිස් නිලධාරියකු විදිහට ඉන්න කොට මම කල්පනා කළේ හැම තිස්සෙම ජනතාව ගැනයි. මම ඕනම වයසක අම්මා කෙනෙක්ට අම්මා කියලා කතාකළා. වැඩිහිටිකමට හුඟක් ගරු කළා. රටේ ජනතාව අතරට ගිහිල්ලා මම හිටපු පළාත්වල ඡන්ද ඉල්ලගන්න පුළුවන් තත්ත්වයක් ගොඩනඟා ගත්තා. මම ඡන්දේ ඉල්ලන්න නෙමෙයි එහෙම කළේ. ඒක මගේ යුතුකම නිසා ජනතා මෙහෙවරක් හැටියට ඉටු කරන්නයි. රාජ්‍ය සේවය කියන්නේ දේව බැල්ම තියෙන රාජකාරියක්."

"ඇතැම් සංවර්ධන නිලධාරී සේවය ස්ථිර නැතිවයි වසර 5-6ක සිට රාජකාරි කරන්නේ. අපේ රජය යටතේ ඒ සියලු සංවර්ධන නිලධාරීන් අනිවාර්යයෙන්ම ස්ථිර කරලා දෙනවා. ඒ වගේම මේ ජනතාවට ඉඩම්වලට ඔප්පු දෙන්න මේ ඉඩමේ අයිතිය ලබා දෙන්න ලැබීමත් මගේ ජීවිතයේ ලැබුණු භාග්‍යයක් කියලා මම සලකනවා. මේ ජනතාව විඳින දුක ඇවිල්ලා කතා කරන කොට අහනකොට සමහර වෙලාවට බොහොම අමාරුවෙන් තමයි අපි කඳුළු හෙලන්නෙ නැතුව ඉන්නෙ"

"රාජ්‍ය සේවය ගැන කතාකරන කොට ඔබ දකින්න ඇති එක ග්‍රාම සේවා නිලධාරිනියක් අවුරුදු දහතුනක ගැහැනු දරුවකුට පයින් ගහනවා, බැට් එකෙන් ගහනවා, අතින් පයින් ගහනවා, බිම දාගෙන පාගනවා. මේක මිනිහෙක්ට බලාගෙන ඉන්න පුළුවන්ද? අම්මා කෙනෙක්ට බලාගෙන ඉන්න පුළුවන්ද? මම ඒක දැක්ක ගමන් එයාගේ වැඩ තහනම් කරන්න කිව්වා, පරීක්ෂණයක් කරන්න කිව්වා. මම එවෙලේම නිලධාරීන් ඇරලා නිකවැරටියට ඒ ගැන පරීක්ෂණයක් කරන්න කිව්වා. ඒ තරම් දුක්ඛදායකයි. ඒ වගේ දෙයක් අපේ පළාතේ, මේ රටේ ආයේ වෙන්න දෙන්න බැහැ.”

මාතෘකා

ජනප්‍රිය ලිපි