දුරකථන සංවාදවලින් පිළිබිඹු වන්නේ සදාචාරයේ පරිහානියයි

 ඡායාරූපය:

දුරකථන සංවාදවලින් පිළිබිඹු වන්නේ සදාචාරයේ පරිහානියයි

රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරීමේ සිදුවීම මෙන්ම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම තුළින්ද පිළිබිඹු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත් නවීන තාක්ෂණය විකෘති ලෙස යොදා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

නවීන තාක්ෂණය රටක සුභසිද්ධිය සඳහා ඉවහල් වන නමුත් තාක්ෂණයට වහල් වීම නිසා සමාජය විකෘති ස්වභාවයක් කරා ගමන් කිරීම වර්තමානයේදී දක්නට ඇති බවද කථානායකවරයා පැවසීය.

නුවරකලාවියේ ප්‍රධාන සංඝ නායක ධුරයට පත් පූජ්‍ය මිල්ලෑවේ සුමනතිස්ස හිමිපාණන් වහන්සේට අක්ථපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් පදවි ශ්‍රීපුර, අලිවංගුව බෝධිරුක්ඛාරාම රාජමහා විහාරස්ථානයේදී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් කථානායකවරයා ඒ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක කරු ජයසූරිය මහතා මෙසේද පැවසීය.

"ජංගම දුරකථනය මෙන්ම නූතන සන්නිවේදන මාධ්‍ය බොහොමයක් විසින් පවුල් සබඳතා, මවුපිය - දූදරු සබඳතා බිඳ දමා ඇති බවත් ජංගම දුරකථනය බිහිකළ රටවලට වඩා එම තාක්ෂණය ආනයනය කර භාවිතයට ගත් අප වැනි රටවල් ඒ තුළින් ආධ්‍යාත්මික පරිහානියක් කරා ගමන් කරමින් තිබෙනවා." "දුරකථන සංවාද ඇතුළු සමාජගත නොවිය යුතු පෞද්ගලික තොරතුරු රසමසවුළු සේ තලු මරමින් සමාජගත කළ හැකි නමුත් කලක් යන විට මෙම සිදුවීම් දෙස ආපසු හැරී බලන විට අප යුගයේ සිදු වූ සදාචාර පරිහානිය ගැන විශාල පසුතැවීමක් ඇතිවීම වැළැක්විය නොහැකියි. කෙසේ වෙතත් හෙළිදරව් වී ඇති නීති විරෝධී යමක් වේ නම් ඊට ‍එරෙහිව වහාම පියවර ගැනීමේ අවශ්‍යතාව බැහැර කළ නොහැකියි. "

News Order: 
1
මාතෘකා