අපේකම, සංස්කෘතිය සභ්‍යත්වය රැකගෙන මාතෘභූමිය සංවර්ධනයට මම සූදානම්

 ඡායාරූපය:

අපේකම, සංස්කෘතිය සභ්‍යත්වය රැකගෙන මාතෘභූමිය සංවර්ධනයට මම සූදානම්

අපේකම, සංස්කෘතිය සභ්‍යත්වය රැකගෙන රටක් ලෙස තේජවන්තව කේසර ලීලාවෙන් මාතෘභූමිය සංවර්ධනය කිරීමට ඇපකැප වීමට තමා සූදානම් බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය හා වාරියපොළදී 16 වැනිදා හා 15 වැනිදා පැවැති ජනහමුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

"පොදු ජනතාවගේ මුහුණු දිහා බැලුවහම මට ලොකු විශ්වාසයක් තියෙනවා, ඓතිහාසික ජයග්‍රහණයක් රණසිංහ ප්‍රේමදාසගේ පුතාට ලබා දෙනවා කියලා. වාරියපොළ කියන්නේ ඓතිහාසික පුරවරයක්. මෙහි ජීවත්වන ජනතාව ශක්තිමත් කරන්න මම කටයුතු කරනවා. ඓතිහාසික සංවර්ධන යුගයක් වාරියපොළට ඇති කරනවා. ජාති, ආගම්, කුල මල බේදයෙන් තොරව සමස්ත රටවැසියාගේ අනාගත වගකීම සජිත් ප්‍රේමදාස බාර ගන්නවා. කුරුණෑගලත් පුත්තලමත් කේන්ද්‍ර කරගෙන මුළු වයඹ පළාතටම සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ අලුත් සංවර්ධන සැලැස්ම තුළ කුරුණෑගල පුත්තලම් දිස්ත්‍රික්ක දෙකේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ඒකකයකට පවරනවා.

"එහිදී පුත්තලම දිස්ත්‍රික්කයේත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් වෙන වෙනම කාර්යාල ස්ථාපිත කර දිනපතාම වයඹ පළාතේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කරමින් ජනතාවගේ කනට ඇසෙන පපුවට දැනෙන, ඇස් දෙකට පෙනෙන සංවර්ධනය මේ ප්‍රේමදාස පුතා ක්‍රියාත්මක කරනවා. වාරියපොළ බල ප්‍රදේශයේ වැව් අමුණු රාශියක් තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් නොව, වයඹ පළාතේම වැව් අමුණු රැසක් තිබෙනවා. අපි ගෙවල් හදන්නට, ගම්මාන හදන්නට, උදා ගම්මාන වැඩසටහන දියත් කළා සේ මුළු රටේම ‘වැව් උදාව’ වැඩසටහන ක්‍රියාත්මක කරලා මේ සත් කෝරළය බත් කෝරළයක් බවට පත් කරනවා. කර්මාන්තකරුවන්ට තිබෙන ගැටලු රාශියක් මම හඳුනාගෙන තිබෙනවා. රටේ සමස්ත ජනතාවගෙන් මා වෙත කෙරෙන ලොකු ඉල්ලීමක් තිබෙනවා. ජනතාවගේ දුක, කඳුළ, වේදනාව දන්න පුද්ගලයකු ලෙස ජනාධිපති ලෙස පත්වූ වහාම අපි කාබන් බද්ද ඉවත් කරනවා. පරිසරය ආරක්ෂා කළ යුතු බව මා පිළිගන්නවා. මමත් පරිසරයට ආදරය කරන පරිසර හිතකාමී පුද්ගලයෙක්. නමුත් ජනතාවගේ කර මත බදු බර වැඩි ‍වෙලා. පොදු ජනතාවට උහුලන්න අමාරුයි. පොදු ජනතාවට හුස්ම ගන්න අමාරුයි. පොදු ජනතාව පීඩනයට පත් වෙලා සාමාන්‍ය ජනතාව අසහනයට පත් වෙලා. පොදු ජනතාවට ජීවත් වෙන්න තිබෙන ඔක්සිජන් අවසන් වුණොත් ජනතාව මරණයට පත් වෙනවා. ජනතාව මරණයට පත් වෙනවාට මා කැමති නැහැ. බදු පනවන්න ඕනේ ජනතාවට ගැටලුවක් නොවන ආකාරයටයි. මා ජනාධිපති වූ පසු පීඩාවට පත්ව තිබෙන මේ මහා බදු බරින් ජනතාව නිදහස් කරන්න කටයුතු කරනවා.

"අද ජනාධිපතිවරණ පොරපිටියේ ප්‍රධාන වශයෙන් අපේක්ෂකවරු දෙපළක් ඉන්නවා. දැන් එක්කෙනෙක් වෙළෙඳ දැන්වීම් දාගෙන යනවා, එයා හයියයි ශක්තියයි කියලා පෙන්නන්න. වෙළෙඳ දැන්වීම්වලින් හයියවත් ශක්තියවත් පෙන්නන්න බැහැ. හයිය ප්‍රායෝගිකව පෙන්නන්න ඕනේ. ඊයේ දවසේ අපි දැක්කා ඔය හයිය තියෙනවා කියන පුද්ගලයා මාධ්‍ය ඉදිරියේ දනගහපු හැටි. ඔහු මාධ්‍ය ඉදිරියේ කඩා වැටුණා. මම මාධ්‍ය සාකච්ඡාවලට ගියාම ඕනෑ තරම් ප්‍රශ්න අහන්න අවස්ථාව ලබා දෙනවා. ප්‍රශ්න අහලා ඉවර වුණාට පස්සේ තමයි මම නැඟිටලා යන්නේ. මාධ්‍යවේදීන්ට ඇති තරම් ප්‍රශ්න අහන්න මම ඉඩ දෙනවා. නමුත් ඔය ශක්තිවන්තයි තේජවන්තයි කියන පුද්ගලයා මාධ්‍යවේදීන් අහන ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැහැ. මාධ්‍යවේදීන් ප්‍රශ්න අහනකොට එක පාරක් අයියා දිහා බලනවා අනෙක් පාර මල්ලි දිහා බලනවා. ඔහුගේ පිටිපස්සෙන් හිටියා හැමදාම ඉන්න අලි බබා සහ හොරු හතළිහ. මාධ්‍යවේදීන් ප්‍රශ්න ජනාධිපති අපේක්ෂකයාගෙන් අහනකොට ජනාධිපති අපේක්ෂකයා අසරණ වෙලා අහනවා, ඇයි මගෙන්ම මේවා අහන්නේ, තව අහන්න කට්ටිය නැද්ද කියලා. ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි කෙනකුට පුළුවන්ද රටේ ජනාධිපති වෙන්න?

"හැබැයි ඊයේ දවසේ සත්‍යය ජයග්‍රහණය කළා. ඊයේ දවසේ ඇත්ත එළියට ආවා. මගේ පියාණන් හැමදාම කිව්වේ සත්‍ය ජයග්‍රහණය කරනවා කියලායි. මගේ පියාණන් අවසන් කතාවේ කිව්වා කවදා හරි සත්‍ය දිනනවා කියලා. 2009 මැයි 18 වැනිදා ප්‍රභාකරන් කියන නීච ත්‍රස්තවාදියාගේ මරණයත් සමඟ වසර 10කුත් මාස කිහිපයකට පසුව සත්‍ය හෙළිවුණා. මොකක්ද සත්‍ය? අවුරුදු 10කට වැඩි කාලයක් අපියි යුද්දේ දින්නේ කියලා පම්පෝරි ගහපු ඇත්තෝ දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ ක‍ළා මමවත් නොවෙයි අයියාවත් නොවෙයි යුද්දේ දිනුවේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියලා. මමත් ඉදිරියේදී පවත්වනවා මාධ්‍ය සාකච්ඡාවක්. මම කියනවා මගේ ප්‍රතිවාදියාට මම කරන මාධ්‍ය සාකච්ඡාව හොඳින් බලා ඉඳලා හොඳ පාඩමක් ඉගෙන ගන්න කියලා. මගේ මාධ්‍ය සාකච්ඡාව මම පවත්වන්නේ තනිවමයි. මට කවුරුත් කිහිලිකරු ලෙස අවශ්‍ය නැහැ. මගේ මාධ්‍ය සාකච්ඡාවට යන්න මට කාගෙවත් හැරමිටි අවශ්‍ය නැහැ. මට හොඳ කශේරුකාවක් පිට කොන්දක් තිබෙන නිසා මම මාධ්‍ය හමුවට යන්නේ තනිවමයි.

"අපේ ප්‍රතිවාදීන් පෙන්වන්න හදනවා එයාලා ළඟ තමයි සින්නක්කර ඔප්පුවෙන් ලියාගත් දේශප්‍රේමීත්වය තියෙන්නේ කියලා. හැබැයි මේ දේශප්‍රේමියාගේ මුළු සර්වාංගයම ඊයේ හෙළිවුණා. විදේශ මාධ්‍යවේදිනියක් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. මේ දේශප්‍රේමියා මුළු හමුදාවම බිලි දුන්නා. මුළු හමුදාවම එතැනදී පාවා දුන්නා. මාධ්‍යවේදීන් අහනවා යුද සමයේ සිදු වුණු යුද ක්‍රියාදාමය ගැන. එතැනදි අපේ ප්‍රතිවාදියා බය වෙලා නිවටයෙක් වුණා. එයා බය වෙලා කිව්වා මම නොවෙයි හමුදාපති තමයි යුද්ධය කළේ කියලා. මමවත් මගේ අයියාවත් මුකුත් කළේ නැහැ කියලා ඔහු කිව්වා. මේක කොයිතරම් නිවට බියගුළු ක්‍රියාවක්ද? මේ රට දැය වෙනුවෙන් දිවි පරදුවට තබා ඇස් ඉස් මස් ලේ දන් දුන්න මේ රණවිරුවන්ව අපි පාවලා දෙන්නේ නැහැ. මේ රණවිරුවන්ව අපි විදුලි පුටුවට යවන්නේ නැහැ. ජාත්‍යන්තරයට අවශ්‍ය නම් මේ සජිත් ප්‍රේමදාස එතැනට යන්න ලැහැස්තියි. වගකිම බාර ගන්න බය වෙලා. ඒක නායකත්වයක ලක්ෂණ නොවෙයි. මේ රටට අවශ්‍ය යකඩ නායකත්වයක්. අයෝමය නායකත්වයක්. ඒ යකඩ නායකත්වය, ඒ අයෝමය නායකත්වය සජිත් ප්‍රේමදාස දෙන්න ලැහැස්තියි. ධාරානිපාත වර්ෂාව මැද්දේ මේ රැඳී සිටින්නේ රට රැක්ක රට ආරක්ෂා කළ මුතුන් මිත්තන්ගෙන් පැවත එන පිරිසක්. ඒ පිරිස කිසි දවසක රට පාවා දෙන්නේ නැහැ. විදේශ නියෝජිත කණ්ඩායමක් පසුගිය දවසක මගෙන් ඇහුවා අපේ රටේ ඉදිරි ගමන කොහොමද ගෙනයන්නේ කියලා. මම පිළිතුරු දුන්නේ අපේකම ගමේකම සංස්කෘතිය සභ්‍යත්වය රැකගෙන රටක් ලෙස තේජවන්තව කේසර ලීලාවෙන් අපේ මාතෘභුමිය සංවර්ධනය කරන්න ඇප කැප වෙන්න ලැහැස්තියි කියලායි. ජනතාව ලබා දෙන දැවැන්ත ශක්තිය තුළින් රටේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබා දෙනකොට නව අදහස් තුළින්, නව නිර්මාණ තුළින් නවෝත්පාදනය තුළින් ඩිජිටල් තාක්ෂණය තුළින් තරුණ පරපුරට ශක්තිය දීලා නව පරපුර ඉදිරියට අරගෙන නව මුහුණවරකින් නව කණ්ඩායමක් හරහා පොදු ජනතාවට සෞභග්‍ය උදා කරනවා."

News Order: 
2
මාතෘකා