ගුටිකෙළි මැද පාර්ලිමේන්තුව වැඩ අල්ලයි

 ඡායාරූපය:

ගුටිකෙළි මැද පාර්ලිමේන්තුව වැඩ අල්ලයි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ විවාදය ගුටිබැට හුවමාරුවකින් නිමාවට පත් වනු ඊයේ (10) දක්නට ලැබිණි.  


අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ස්ථාවර නියෝග 14 වැනි වගන්තිය ප්‍රකාරව කතානායක කරු ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම විශේෂ සභාවාරය පැවැත්වීය.  


අගමැතිවරයා සිය විශේෂ ප්‍රකාශය ආරම්භ කරත්ම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරෝධය පළ කරමින් සිය අසුන්වලින් නැඟිට පෝස්ටර් ප්‍රදර්ශනය කරන්නට වූහ.  


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය අතරතුර ඒකාබද්ධයේ මන්ත්‍රීවරු සිය විරෝධතා ප්‍රකාශ ඇතුළත් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් වික්‍රමසිංහ මහතාගේ කතාවට බාධා කරමින් උස් හඬින් කෑ ගසා සභාගැබ මධ්‍යයට පිවිසියහ.  


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි, උදය ගම්මන්පිල මහත්වරු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සෙංකෝලය දෙසට පියමං කළහ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සෙංකෝලය ආරක්ෂා කිරීමේ පියවරක් යැයි හඟවමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ගමනට හරස් වූහ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි, එස්.එම්. මරික්කාර් මහත්වරු ඉදිරියෙන් සිටියහ. හෙක්ටර් අප්පුහාමි, මුජිබර් රහුමාන් මන්ත්‍රීවරුද ඒ අතර වූහ. මේ අතර සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා හා මරික්කාර් මන්ත්‍රීවරයා අතර පෝස්ටර් උදුරා ගැනීමේ පොර බැදීමක් දක්නට ලැබිණි. ඊට මැදිහත් වූ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට, මරික්කාර් මන්ත්‍රීවරයා යම් තල්ලු කිරීමක් කළේය. ඉන් කුපිත වූ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාගේ අතක් මරික්කාර් මන්ත්‍රීවරයා දෙසට එසැවිණි. පහර තදින් වැදුණු බව දක්නට වූයේ මරික්කාර් මන්ත්‍රීවරයාගේ හැසිරීමෙනි. මරික්කාර් මන්ත්‍රීවරයා ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට පහරදීමට උත්සාහ කළත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඔහුව පසෙකට ඇදගෙන ගියෝය. නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා ගැටුමට මැදි වන මන්ත්‍රීවරුන් ඉන් වැළැක්වීය. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා එක් පෝස්ටරයක් උදුරාගෙන ගුළි කර දැම්මේය.  


ඒකාබද්ධයේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා ගුළි කර දැමූ පෝස්ටරයක් විශේෂ ප්‍රකාශය කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙසට එල්ල කරන්නට සැරසෙත්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එය වැළැක්වූහ. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඊට සෘජුව මැදිහත් වීමෙන් ඉන්දික මන්ත්‍රීවරයා සමඟ තර්ජනාත්මකව බහින් බස් වනු දක්නට ලැබිණි. ඒකාබද්ධයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක අසුනට විරෝධය පළ කරමින් උස් හඬින් තම ප්‍රකාශ නිකුත් කළේය.  


වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා හා සහකාර වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහත්වරු සෙංකෝලය ආරක්ෂා කළහ. ඒකාබද්ධයේ ප්‍රසන්න රණවීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා ඇතුළු කිහිපදෙනකු අතර තල්ලු කර ගැනීම්, බහින් බස් වීම් ඇති විය. ඇතැමෙකු වාදයට ගිය අතර තවකෙකු ගෝරියකට අත වනනු දක්නට ලැබිණි. ගැටුම වළක්වන්නට උත්සාහ දැරූ මන්ත්‍රීවරු ද ඒ අතර වුහ.  


මේ සියලු හැලහැප්පීම් මධ්‍යයේ අගමැතිවරයා සිය කතාව කරගෙන ගියේය.  


කවුද හොරා.... රනිල් හොරා කියන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. “නීතිය සැමට සාධාරණ නම් බැඳුම්කර හොරු ඇයි නිදැල්ලේ” යන පෝස්ටර් එකින් එක හැකිළී ගියේය. අගමැතිවරයාගේ කතාව අවසන් වන්නට ඔන්න මෙන්න විය. මම දෙයක් කියන්නම්. ඕගොල්ලෝ එය උස් හඬින් කියන්න, ආණ්ඩු පක්ෂයෙන් කීය. රනිල් වික්‍රමසිංහ මහතා “කවුද හොරා” කියත්ම අන් සියල්ලෝම ‘මහින්ද හොරා’ යැයි උස් හඬින් කීහ. විශේෂ ප්‍රකාශය පෙරවරු 11.15ට අවසන් විය.  


ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව අගමැතිවරයාගේ කතාව ඉදිරියේදි දියාරු වී යද්දී ලැජ්ජයි, ලැජ්ජයි, කතානායකතුමා ලැජ්ජයි කී ඒකාබද්ධය සභාව කල් තබා සෙංකෝලය ඉවත් කළ පසුව හූ හඬ දෙන්නට විය.  


කතානායකවරයා පාර්ලිමේන්තුව ලබන 23 වැනිදාට කල් තබා නැඟිට ගියේය. මන්ත්‍රීවරුන් කවුරු කවුරුත් සිනා හඬින් ඈත් මෑත් වෙන්නට සැරසෙද්දී මරික්කාර් මන්ත්‍රීවරයා විපක්ෂය දෙසින් වේගයෙන් පැමිණ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාගේ කණ දෙසට පහර එල්ල කළේ, නැඟිට සිටි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු අසුනේ හිඳ ගැනෙන්නට සලස්වමිනි. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයද සිය කෝපය ප්‍රදර්ශනය කළේ පාර්ලිමේන්තු මේසයක් මත වූ කිලෝවක් පමණ බර ඇතැයි සිතෙන පොතකින් දමා ගසමින්ය.  


මේ සිද්ධීන් දුටු ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සභා ගැබ මැද සිට කුරුමානම් අල්ලමින් දිවවිත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ කණට ගැසුවේය. එපමණක් නොව කිසිවක් නොකළ අයකු ලෙස දිව යනුද දක්නට ලැබිණි. තරුණ මන්ත්‍රීවරුන්ගේ ගුටිබැට හුවමාරුව බලා සිටීමට නොහැකිව ඒ මැදට පැමිණි රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය ගැටුමට මැදි වුවාය. රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ගුටිබැට හුවමාරු කර ගන්නා මන්ත්‍රීවරුන්ගෙන් වැසී ගියේය. එය දුටු තුසිතා විජේමාන්න මන්ත්‍රීවරිය සිය සගයා සොයනු දක්නට ලැබිණි. මන්ත්‍රීවරියන් දෙදෙනා මැදි කර ගත් ගුටිබැට හුවමාරුව දිග් ගැස්සිණි. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ බෙල්ලේ එල්ලී සිටියේය. කවුරුත් උත්සාහ ගත්තේ ප්‍රසන්ගේ බෙල්ල බේරා ගැනීමටය. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා, රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා එක් පසෙකට ඇද්දේය. මන්ත්‍රීවරයාගේ කමිසය ඉරී ගියේද, බොත්තම් ගැලවී ගියේද යන්න නිශ්චය කර ගැනීමට නොහැකි වන පරිදි එය විවෘතව තිබිණි. 

 
මේ සියල්ල සාවධානයෙන් බලා සිටි රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා සිය ජංගම දුරකථනයෙන් එය රූපගත කරනු දක්නට ලැබිණි. සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා සිය දකුණු කම්මුලට ප්ලාස්ටර් දමා සිටියේය. පාර්ලිමේන්තු සේවකයෙක් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ තැළීම්වලට ප්‍රතිකාර කිරීමට අයිස් කැට සොය දිව්වේය. විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තු වෛද්‍යවරයා හමුවට ගිය බවට ආරංචි විය.  


මෙම කලබැගෑනියෙන් විනාඩි 45 කට පමණ පසුව යළි පාර්ලිමේන්තුව රැස් විය. අගමැතිවරයා උදෑසන කළ කතාව යළි කිරීමට පක්ෂ නායක අනුමැතිය ලබා ගැනිණි. එහෙත් එම පක්ෂ නායක රැස්වීමට ඒකාබද්ධය හා ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වී නොසිටි බැවින් එම මන්ත්‍රීවරු සභා ගැබෙන් නැඟිට ගියහ.  

[ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර සහ සන්ධ්‍යා කරුණාරත්න]  

 

මාතෘකා