රටේ උගතුන් වැඩි කිරීමෙන් ප්‍රශ්න ගොඩකට විසඳුම් ලැබෙනවා

 ඡායාරූපය:

රටේ උගතුන් වැඩි කිරීමෙන් ප්‍රශ්න ගොඩකට විසඳුම් ලැබෙනවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව වැය කළ බවත් රටේ සමාජ, ආර්ථික ගැටලු රැසකට විසඳුම් තිබෙන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී උගතුන් වැඩි වැඩියෙන් රට තුළ බිහි කිරීම මඟින් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (23) පොළොන්නරුව, කෝට්ටපිටිය හෑගල මහා විද්‍යාලයේ විද්‍යාගාරය සහ පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පැවරීම සහ පුස්තකාල පොත් ලබා දීමේ උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“මා ඉතාමත් සතුටු වෙනවා අද දවස පුරාම පාසල් කිහිපයකම විවෘත කිරීම්වලට එක් වෙලා මේ පාසල් බිමේදී ඔබ අමතන්නට ලැබීම පිළිබඳව. අපි උදේම ගියේ කහටගහපිටිය ප්‍රාථමික විද්‍යාලයට. ඊට පස්සේ අපි ගියා රදවිගෙඔය කනිෂ්ඨ විද්‍යාලයට. දැන් ඔබේ පාසලට. මෙතැනින් දැන් අපි යනවා නිකපිටිය කනිෂ්ඨ විද්‍යාලයට. සාමාන්‍යයෙන් මේ පාසල් ජනාධිපතිවරු පැමිණෙන පාසල් නෙවෙයි. මේ පාරෙන්වත් ජනාධිපතිලා යන්නේ නෑ මම ආවට. ජනාධිපතිලා යන්නේ රාජකීය, ආනන්ද, නාලන්ද, විශාඛා වගේ පාසල්වලට. නමුත් මම මේ පුංචි පාසල්වලටත් එන්නේ වැඩ නැතුව නෙමෙයි.

මම මේ ජනාධිපති ධුරයට පත් වෙලා පොළොන්නරු දිස්ත්‍රික්කයේ ආරම්භ කරපු ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන මඟින් කෙරෙන කටයුතුවලට විශේෂයෙන්ම ග්‍රාමීය, පිටිසර, ගම්බද, පාසල්වල සහ විවිධ අංශවල රෝහල්ද මාර්ගද සංවර්ධනය කිරීමට තෝරාගෙන තිබෙනවා. ඒ නිසා ඔබේ පාසල පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. නගරයේ තිබෙන සුපිරි පාසල්වලට බොහෝ අය උදවු කරනවා. නමුත් ගම්බද, පිටිසර, ඈත කෙළවරවල තිබෙන පාසල් වගේ ග්‍රාමීය රෝහල් ගැන හොයලා බලන්නේ නැහැ. දැන් අපි මෙතැනට එන්න කලින් ගිය රදවියඔය පාසලට අපි රුපියල් කෝටියක් විතර වැය කළා අලුත්වැඩියා කරන්න. ඊට කලින් ඒක අම්බලමක්, ගව ගාලක් වගේ තමයි තිබිලා තියෙන්නේ. නමුත් දරුවන්ට අධ්‍යාපනය දීම තමයි රටකට තිබෙන වැදගත්ම ආයෝජනය. දැන් මේ මවුපියෝ සෑම කෙනෙක්ම රටේ තිබෙන, පෞද්ගලික ජීවිතයේ තිබෙන, පවුල් ජීවිතවල තිබෙන, ගමේ තියෙන නොයකුත් ප්‍රශ්න සාකච්ඡා කරනවා, නොයකුත් ගැටලු ගැන කතා කරනවා, තමන්ට තියෙන ආර්ථික අමාරුකම් ගැන පසුතැවෙනවා. හැබැයි ඒ ප්‍රශ්නවලට විසඳුම තිබෙන්නේ දරුවන්ට දෙන අධ්‍යාපනයෙන්. උගතුන් රටේ වැඩ කිරීමෙන්. උගතුන් වැඩි කරන්න වැඩි කරන්න ඒ උගත්කමත් සමඟ ප්‍රශ්න විසඳීමේ හැකියාව රටටත් ලැබෙනවා, පෞද්ගලික ජීවිතවලටත් ලැබෙනවා. ඒ නිසා අධ්‍යාපනයට කරන වියදම කෙටි කාලීන නෙවෙයි දීර්ඝ කාලීන ආයෝජනයක්.

"පහුගිය අවුරුදු හතරකට වැඩි කාලයේ මම ජනාධිපති ධුරයට පත්වුණාට පස්සේ තමයි ලංකාවේ අධ්‍යාපනයට වැඩිම මුදලක් වැය කරලා තියෙන්නේ. මීට පෙර කිසිම ආණ්ඩුවක් වියදම් නොකරපු මුදලක් අපි අධ්‍යාපනයට වැය කරලා තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයටත් එහෙමයි. එතෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වාර්ෂිකව බිලියන 45ක් විතර තමයි වැය කරලා තිබුණේ. අපි ඒක බිලියන 60 දක්වා ඉහළ නැංවුවා. පහුගිය අවුරුදු හතරක කාලය තුළ විශ්ව විද්‍යාලවල අලුත් ගොඩනැඟිලි, නේවාසිකාගාර, පුස්තකාල හදන්න, විශ්වවිද්‍යාලවල බිලියන 85කට වැඩිය වියදම් කරලා තියෙනවා.

"පොළොන්නරු දිස්ත්‍රික්කය වාගේම ඇළහැර ව්‍යාපාරයේ තිබෙන ප්‍රශ්න හොඳට හඳුනාගත් කෙනෙක් විදිහට 1989 පාර්ලිමේන්තුවට මම පළමුව ගියේ මේ ප්‍රදේශයේ ජනතාවගේ ඡන්දයෙන්. එදාමෙදා මේ දිස්ත්‍රික්කයේ තිබෙන මේ ප්‍රශ්න හොඳින් හඳුනාගත් කෙනෙක් විදිහට තමයි මම වැඩ කරපු අමාත්‍යාංශවලදීත් ජනාධිපති ධුරයට පත්වුණාට පස්සෙත් විවිධ සංවර්ධන ව්‍යපෘති මේ දිස්ත්‍රික්කයේ කළේ. බකමූණ, ඇළහැර, දියබෙදු මහා අත්තනකඩවල යන ප්‍රදේශය සංවර්ධනය සඳහා විශේෂයෙන් මහවැලි ඇමති විදිහට මම අවුරුදු 17ක් කඩින් කඩ වැඩ කරලා තියෙනවා. මේ දිස්ත්‍රික්කය වගේම රජරට, අනුරාධපුරය, නැඟෙනහිර, වයඹ ගොවීන්ගේ ප්‍රධාන ප්‍රශ්නය තමයි වගා ජල ප්‍රශ්නය සහ පානීය ජල ප්‍රශ්නය. මොරගහකන්ද, කළුගඟ ජලාශ‍වල වැඩ අවසන් කරලා. දැන් ඒ හරහා කැපෙන මහා ඇළවල් අළහැර ඉහළ මහා ඇළ, වයඹ මහා ඇළ, මිනිපේ මහා ඇළ, උතුරු මැද ඇළ ඒවත් එක්ක වැව් 300කට වැඩිය හැදෙනවා. ඒ වැව්වල වැඩ අවසන් වෙන්නේ තව අවුරුදු 5කින්. දැන් මහා ඇළවල්වල වැඩ වේගයෙන් කෙරීගෙන යනවා. ඒ ගොවි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කරන්න. ගොවීන් කියලා කියන්නේ සැප විඳින පිරිසක් නෙමෙයි. ගොවියා කියන්නේ සදාකාලික දුක්විඳින කෙනෙක්. ඒ නිසා ඒ දුක නිවන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න, දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් දෙන්න ඒ කරන කටයුතු වාගේම තවත් රෝහල් සංවර්ධනයන්, පන්සල් සංවර්ධනයද සිදු වෙනවා.

"අපි දැන් උදේ ගිය කහටගහපිටිය පන්සලෙත් අලුත් ධර්ම ශාලාවක් හදලා විවෘත කර තියෙනවා. අත්තනකඩවල රුපියල් කෝටි ගාණක අලුත් ගොඩනැඟිලි හදලා තියෙනවා. ඒ වාගේම මේ දිස්ත්‍රික්කයේ තිබෙන පන්සල්වලින් සියයට 90ක් දියුණු කරලා තියෙනවා. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට රුපියල් කෝටි 28ක් වියදම් කළා. ලංකාවේ කිසිම පිරිවෙනකට එහෙම වියදම් කරලා නෑ. ඉගෙන ගන්න ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට තට්ටු දෙකක ලස්සන ගොඩනැඟිල්ලක් ඉදිකර තිබෙනවා. මේ පුළුල් සංවර්ධනය පොළොන්නරු දිස්ත්‍රික්කයට වගේම රටටත් විශාල සංවර්ධනයක් ළඟා කර තිබෙනවා. අපගේ මූලික වගකීමක් තමයි දරුවෝ බලා ගන්න එක. දරුවන්ගේ අධ්‍යාපනය දෙනවා වාගේම මවුපියෝ දරුවෝ ගැන බලන්න ඕනේ. අපි ඒ අභියෝභ තේරුම් ගන්නට ඕනේ.

"ඒ නිසා අද ඔබේ පාසලට පැමිණ මේ උදවු උපකාර කරන්න ලැබීම ගැන සතුටු වෙනවා වාගේම පොළොන්නරු දිස්ත්‍රික්කයෙත් රට වෙනුවෙන් අපි මේ කරන සංවර්ධන කාර්යන් තවදුරටත් ඉදිරියටත් අපි කරගෙන යනවා පසුගිය අවුරුදු ගණනාවක් කළා වාගේම. විදුහල්පතිතුමා මට කිව්වා දරුවන්ට සංගීත භාණ්ඩ, ඇඳුම්වල ප්‍රශ්න වාගේ තව ප්‍රශ්න තිබෙන බව. දැන් මේ අවුරුද්ද අවසානයේ සල්ලි ඉවර වෙලා තියෙන්නේ, අලුතෙන් ලොකු වැඩ කරන්න බෑ. ඒ නිසා ඒ දරුවන්ගේ ඇඳුම් ගන්නයි සංගීත භාණ්ඩ සහ අනෙකුත් අවශ්‍ය දේවල් ගන්නයි මම ලබන සතියේ පාසලට රුපියල් ලක්ෂ 10ක් එවනවා. ඒකෙන් ඒ වැඩ ටික කර ගන්න. හත්තොටුව මන්ත්‍රීවරයාට මම කිව්වා උදේ ගිය කහටගස්පිටිය පාසලටත් මේ පාසලටත් රුපියල් ලක්ෂ 10 ගානේ එවනවා කියලා. අත්‍යවශ්‍ය මූලික වැඩ ටික කර ගන්න කියලා. ඔබ හැම හමුවීම ගැන ඉතාමත් සතුටු වෙනවා.”