කැබිනට් මණ්ඩලය විස්සට එකඟ නැහැ

 ඡායාරූපය:

කැබිනට් මණ්ඩලය විස්සට එකඟ නැහැ

- අගමැති

සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ යෝජනාවකට අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම පිළිබඳ කැබිනට් මණ්ඩලයේ තීරණය විමසූ අවස්ථාවේදී ඔවුන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ නොවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

එම විශේෂ ප්‍රකාශය මඟින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

“පසුගිය සතියේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් මා හමු වී අපේ ආණ්ඩුව කළ කටයුතු හා කිරීමට අතපසු වූ කටයුතු ගැන අදහස් දැක්වූවා. අපේ පක්‍ෂය 2014 වසරේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට යෝජනාවක් සම්මත කර ගත් බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් අප තවදුරටත් පෙනී සිටින බවත් ඒ අවස්ථාවේදී මම ඔවුන්ට දැන්වූවා. එවිට ඔවුන් ඉල්ලා සිටියේ 20 වැනි සංශෝධනය සඳහා සහාය දීමේ කැබිනට් තීරණයකට එළැඹෙන ලෙසයි. ඒ අනුව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම සඳහා සැකසූ කෙටුම්පතක් ඔවුන් 16 වැනිදා මට ලබා දුන්නා.

“අනෙකුත් දේශපාලන පක්‍ෂවල සහය ලැබීමෙන් තොරව 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි බව මම සිවිල් සංවිධාන නියෝජිතයන්ට පෙන්වා දුන්නා. ඒ නිසා අනෙකුත් දේශපාලන පක්‍ෂවල අදහස මා වෙත දැනුම් දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. 17 වැනිදා පාර්ලිමේන්තුවේදී සුමන්තිරන් මන්ත්‍රිතුමා මට පැවසුවේ විධායක ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ සාකච්ඡා පැවැත්වූ බවයි. ඒ වගේම ජනාධිපතිතුමාටත් 20 වැනි සංශෝධනය ගෙන ඒමට අවශ්‍ය බව තමාට දැනුම් දුන් බව මන්ත්‍රීතුමා වැඩිදුරටත් දැන්වුවා. එතැනදී මම සුමන්තිරන් මන්ත්‍රිතුමාට පෙන්වා දුන්නේ මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නම් පොදුජන පෙරමුණේ සහයෝගයද අවශ්‍ය බවයි.

සුමන්තිරන් මන්ත්‍රීතුමා මේ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ ප්‍රකාශය කිසිවෙකු ප්‍රතික්ෂේප කර නැහැ. 19 වැනිදා උදේ 8.16ට ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා 20 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් රැස්වීමක් කැඳවන්නද කියා. සිවිල් සමාජය මේ පිළිබඳ ඉල්ලීමක් කළ බව මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ස්ථාවරය සුමන්තිරන් මන්ත්‍රීතුමා මට දැනුම් දී තිබුණා. ඒ නිසා කැබිනට් මන්ඩලය කැඳවා සාකච්ඡා කිරීම සුදුසු බව මම ජනාධිපතිතුමාට කිව්වා. බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා ඒ රැස්වීම කැඳවීම පහසු බවත් මම පැවසුවා. එදින රවි කරුණානායක මහතා මට දුරකථන ඇමතුමක් දුන්නේ නැහැ. උදේ 9.00 පමණ වෙද්දී කැබිනට් ලේකම්වරයා මගේ ලේකම්වරයාට එදින සවස 3.00ට කැබිනට් රැස්වීම පැවැත්වෙන බව දන්වා තිබුණා.

ඉන් පසු මගේ ලේකම්වරයා සිවිල් සමාජය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා කැබිනට් ලේකම්වරයා වෙත යොමු කළා. සවස 2.00ට ඇමතිවරුන් කැඳවා මම මේ ගැන දැනුම් දුන්නා. ඒ සාකච්ඡාව ඉතා උණුසුම් වුණා. සියලු දෙනා විවෘතව අදහස් පළ කළා. එහිදී 20 වැනි සංශෝධනය සඳහා එකඟත්වයක් ලැබුණේ නෑ. මම කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපතිතුමාට ඇමතිවරුන් අතර එකඟත්වයක් නැති බව දැනුම් දුන්නා. රැස්වීම ආරම්භයේදී මම ජනාධිපතිතුමා ඉදිරිපිටදීම කැබිනට් ලේකම්වරයාට දැනුම් දුන්නේ, ඇමතිවරුන් අතර එකඟත්වයක් නැති නිසා කැබිනට් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පලක් නොවන බවයි. ඇමතිවරුන් දැක්වූ අදහස් මම ඒ රැස්වීමේදී සම්පිණ්ඩනය කළා. ඇමැතිවරු විවිධ අදහස් පළ කළා. අවසන් තීරණය ගැනීම එක් එක් පක්‍ෂවලට භාර කිරීම සුදුසු බව අප නිගමනය කළා. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ප්‍රකාශ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් එය සාකච්ඡා කළ යුත්තේ කැබිනට් මණ්ඩලය තුළදීයි. එසේ නොකිරීම කැබිනට් සම්ප්‍රදාය කඩකිරීමක්. ඒ නිසා මම මෙතැනදී පෙන්වාදෙන්නේ සිදු වුණු කරුණු පමණයි” යැයි අගමැතිවරයා සඳහන් කළේය.