අපි ජනපති සටනට එන්නේ ඇත්ත ප්‍රශ්න කරළිගත කිරීමටයි

 ඡායාරූපය:

අපි ජනපති සටනට එන්නේ ඇත්ත ප්‍රශ්න කරළිගත කිරීමටයි

දුමින්ද නාගමුව

ප්‍රචාරක ලේකම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පත් කොට තිබේ. 2015 ජනාධිපතිවරණයේදීද ඔහු එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරග වැදිණි. මේ. දුමින්ද නාගමුව මහතා සමඟ රැස කළ සංවාදයකි.

 පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ ඇයි?

නිදහස ලැබීමෙන් පසු අවුරුදු හැත්තෑ එකක කාලයේ මේ රටේ දේශපාලනය දිහා බලනකොට රටේ ධීවර, ගොවි ආදී වශයෙන් වැඩ කරන ජනතාවගේත් ශිෂ්‍යයන් ආදී කොට සාමාන්‍ය ජනතාවගේත් ප්‍රශ්නවලට විසඳුමක් ලැබිලා නෑ කියලා පැහැදිලියි. ඒ වගේම ඡන්දවලින් කෙරුණේත් ඒ ප්‍රශ්නවලට සීනි බෝල උත්තර ලැබීමයි. දේශපාලනඥයන් විසින් තමන්ගේ ප්‍රශ්න විසඳගන්න ඒ ප්‍රශ්න පාවිච්චි කර ගැනීම පමණයි සිදු වුණේ. ඔවුන් සමස්ත ප්‍රශ්න යටපත් කරලා ඒ සියල්ල ප්‍රශ්න දෙකකට තුනකට සීමා කරන එක කරන්නේ. උදාහරණයක් විදිහට 2015 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ විශාල ඉල්ලීමක් තිබුණා. ඒ ඉල්ලීම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන ස්ථාවරයට ගෙන ආවා. අන්තිමට විධායක ජනාධිපති ධුරය අහෝසි වුණෙත් නෑ. දැන් ඒ ගැන කතා කරන්න කවුරුවකුත් නෑ. ඒ නිසා අපි හිතනවා ජනාධිපතිවරණ වේදිකාව ඇතුළේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ඉදිරියට ගෙන එන්න ඕනෑ කියලා. ඒකට හේතුව දේශපාලන තලයේදී හැම වෙලාවේම ඒ ප්‍රශ්න මොනවද කියලා තීරණය කරන්නේ මාධ්‍ය හා බලවතුන් විසිනුයි.

උදාහරණයකට මෙවර මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වයෙන් සිංහල ජනතාව කේන්ද්‍ර කරගෙන සමාජ ගත කරන්නේ මුස්ලිම් ජනතාව රට අල්ලයි වගේ අදහසක්. ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයේ අඩියේම තියෙන්නේ ඒ කතාව. ඒත් උඩින් කියන්නේ විනයගරුක රටක් ඇති කරන්න ඕනෑ කියන එකයි. ආණ්ඩුව පැත්තෙන් සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් දෙනවා වෙනුවට ඡන්දය ඉලක්ක කර ගනිමින් ළමයින්ට කිරි වීදුරුවක් දෙනවා වගේ උත්තර තමයි කියන්නේ.

ඉතින් රටේ ඇත්ත ප්‍රශ්න වේදිකාවට ගෙන එන්න අවශ්‍යයි. ඒ ප්‍රශ්නවලට මුල් වූ හේතු සම්බන්ධයෙන් සමහරුන්ට තියෙන්නේ බොහොම පටු විග්‍රහයක්. බුද්ධිමතුන් පාර්ලිමේන්තු නොගිය එක හේතුවක් විදිහට සමහරුන් එය අර්ථ දක්වනවා. සමහරුන් කීවේ පහුගිය කාලයේ වංචා දූෂණ ඇති වුණා, ඒක තමයි මේ ප්‍රශ්නවලට හේතුව කියලා. සමහරුන් කියනවා සුපිරි නායකයෙක් ආවොත් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. මේ රට සිංගප්පූරුවක් කළාම මේ ප්‍රශ්නය විසඳෙනවා කියලා. අප මැතිවරණය එන්නේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න ඔවුන්ට සිහිපත් කිරීමට හා ඒ ඇත්ත දේශපාලන වේදිකාවට අරගෙන ඒමටයි.

 ඔබ මෙහිදී සඳහන් කළ ප්‍රශ්නවලට හේතුව කුමක් කියලද ඔබ හිතන්නේ?

පවුල් හාරපන්සීයක් ධනවත් වෙන ආර්ථිකයක් මේ රටේ තියෙන්නේ. ඒ අයට තමයි ධනය එකතු වෙන්නේ. නීතිය නැවෙන්නේ. සමාජයේ එක තීරුවකට මුළු මහත් සමාජයේ ධනය, නීතිය ආදී සියල්ලම ලැබෙනවා. රටේ ජනතාවගෙන් සාතිශය බහුතරයකට ඒ පහසුකම් සියල්ල අහිමි කරලා තියෙනවා. අපි හිතන්නේ මෙතන තමයි ප්‍රශ්නය තියෙන්නේ කියලා.

 ඒ ප්‍රශ්නයට ඔබ දෙන උත්තරය කුමද්ද?

උත්තරය තමන්ට නොලැබෙන පංගුව ලැබෙන ආර්ථිකයක් හැදීමයි. ගොවි ජනතාවට, කම්කරුවන්ට තමුන්ගේ පංගුව ලැබෙන ආර්ථීකයක් හැදීමයි. ඒ ආර්ථිකය කියන්නේ සමාජවාදී ආර්ථිකයයි. ඉතින් සමාජවාදී ආර්ථිකය තමයි මේ ප්‍රශ්නවලට විසඳුම. ධනවාදී සහ සමාජවාදී කඳවුර අතර ඉර අඳින්න අපට අවශ්‍යයි. ඒ සඳහා අපි මැතිවරණය යොදා ගන්නවා.

 මැතිවරණයට එනවා කියන්නේ දිගුකාලීන දේශපාලන වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළ පෙරටුගාමී සමාජවාදී පක්ෂය දියත් කළා කියලා ඔබ හිතනවාද?

පහුගිය අවුරුදු පහක් තුළ අපි ඒ සඳහා විශාල මැදිහත්වීමක් කරලා තියෙනවා. ඒක ප්‍රමාණවත්ද නැද්ද කියලා විවාදයක් තියෙනවා. පාරිසරික ප්‍රශ්න සම්බන්ධයෙන් අපි ජනතාව සමඟ හිටියා. 2017 අප්‍රේල් මීතොටමුල්ලේ කුණුකන්ද නාය යන්න කලින් ඒ ප්‍රශ්නය විසඳගැනීමට, කටුපොල් වගාව වැළැක්වීමට අපි විශාල අරගල කළා. ඉඩම් අහිමි ගොවි ජනතාවට ඉඩම් ලබා ගැනීමේ සටන ජයගත්තා. වතුකරයේ ජනතාවගේ දෛනික වැටුප රුපියල් දාහක් කිරීමේ ඉල්ලීම වෙනුවෙන් අපි විශාල මැදිහත් වීමක් කළා. මේ වන විට ගුරු සේවයේ පවතින වැටුප් අරගලයට අප මැදිහත් වෙලා ඉන්නේ. දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් අපි පසුගිය කාලයේ විශාල මැදිහත්වීමක් කළා. අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව විශාල හඬක් නැඟුවා. මේ, සමාජයේ තියෙන ඇත්ත ප්‍රශ්න. නමුත් ඒ ප්‍රශ්න සඳහා සමාජයේ තිබෙන අවධානය ඉතාම අඩුයි. සමාජය එක්ක ඓන්ද්‍රීයව බද්ධ වුණු ව්‍යාපාරයක් හැටියට මැතිවරණයේදීත් අපට කතා කරන්න ප්‍රශ්න තියෙනවා. හඬක් නැති මිනිස්සුන්ගේ හඬ වේදිකාවට ගෙන එන එක තමයි අපේ ප්‍රධාන දේශපාලන අපේක්ෂාව.

 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ස්වාධීන වන බවට තීරණයක් අරන්. මොකද ඔබගේ පක්ෂය සමඟ ඔවුන් විරසක වෙලාද?

අපට අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණයට අපි මුල සිට විරුද්ධයි. ඒ ප්‍රතිපත්තිය මත සිටයි ශිෂ්‍ය ව්‍යාපාරයට මැදිහත් වෙන්නේ. ශිෂ්‍ය ව්‍යාපාරය ස්වාධීනත්වය සහිත ව්‍යාපාරයක්. එය පක්ෂයක ශාඛාවක් නෙවෙයි. ශිෂ්‍ය ව්‍යාපාරය එක්ක විවිධ මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. ප්‍රතිවිරෝධතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න දේශපාලන පක්ෂවල පවා තියෙනවා. දේශපාලනය ගැන දන්න අය ඒ වගේ ගැටුම් ගැන දන්නවා. දේශපාලන සංවිධානයක් කියන්නේ ගඩොල් ගොඩක් වගේ නෙවෙයි, මිනිසුන්ගෙන් සැදුම්ලත් එකක්. ඒ නිසා මිනිසුන්ගේ මත වෙනස් වෙන්න පුළුවන්. ගැටුම් ඇති වෙන්න පුළුවන්.

 ජනාධිපතිවරණයකට යෑමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සංවිධානාත්මක ශක්තියක් තියෙනවා කියලා හිතෙනවාද?

ඔව්. අපි රට පුරා වැඩ කරන දේශපාලන පක්ෂයක්. ඒ සංවිධාන ශක්තිය අපට තියෙනවා. පහුගිය මහ මැතිවරණයේත් දේශපාලන පක්ෂ හතරයි මුළු රටෙන්ම ඡන්ද ඉල්ලුවේ. අපි එහිත් හිටියා.

 ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන අපේක්ෂකයන් පෙනී සිටින්න පටන් අරන්. තරගයක් පේන්න තියෙනවා. තරගයේදී පෙරටුගාමී පක්ෂයට ඉඩක් ලැබෙයි කියලා හිතනවාද?

ප්‍රශ්නය විය යුත්තේ අපට ඡන්ද ලැබෙනවාද නැද්ද කියන එකට වඩා මේ ප්‍රධාන දේශපාලන දහරාවේ දේශපාලන පක්ෂ දෙක සහ ඒවාට සහයෝගය දක්වන අනෙකුත් පක්ෂ මේ රටට කරලා තියෙන වෙනස මොකක්ද? නැත්නම් වෙනසක් කළ යුතුද? යන්න විමසීමයි. අවශ්‍ය නම් ඒ විකල්ප දේශපාලන වැඩපිළිවෙළ, ඒ කියන්නේ සමාජවාදී වැඩපිළිවෙළ තියෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට. ඒ පක්ෂයට එකතු වීමයි කළ යුත්තේ.

එක හීනෙන් මේ ඔක්කොම හැබෑ වෙන්නේ නෑ. දිගකාලීන ඉලක්කයක් තියාගෙන අපි මේ සඳහා මැදිහත් වෙන්නේ. අපි තවම වපුරනවා. අපට කලබලයක් නෑ දිනන්න. ඒකට අවශ්‍ය ඉවසීම තියෙනවා. කවුරු පත් කරගත්තත් හෙට මහපාරේ අරගලය කරන්න වෙන්නේ අපි වගේ කණ්ඩායමකටයි. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ ඒ අරගලය ශක්තිමත් කරන්න කියලා.

 ජාතික ජන බලවේගය සමඟ එක් වෙන්න බැරි හේතුව මොකක්ද?

මොකක්ද ඔවුන්ගේ ප්‍රතිපත්තිය? පෞද්ගලික විශ්වවිද්‍යාලත්, රාජ්‍ය විශ්වවිද්‍යාලත් දෙකම එකවර කළමනාකරණය කරන්නේ කොහොමද? මේක මිථ්‍යාවක්. තේ කඩයක් තියෙන කෙනා කැමති නෑනේ ඒ කඩේ ළඟින් තව අලුතින් තේ කඩයක් දානවාට. බිස්නස් එක දෙකට බෙදෙනවාට කැමති නෑනේ. රජයේ රෝහල්වලට ජනතාව යද්දි පෞද්ගලික රෝහල්වලට පාරිභෝගිකයන් යන එක බාධාවක්. පාරිභෝගිකයන් පෞද්ගලික රෝහල් කරා අද්දවා ගැනීමට නම් රජයේ රෝහල් වට්ටන්න වෙනවා. රජයේ රෝහල් වට්ටන එකයි ඔසවා තබන එකයි දෙකම එක ව්‍යාපෘතියක් වෙලා මෙතනදී. මේක ප්‍රායෝගික නෑ. මේ දෙකම එකට පවතිනවා කියල විශාල තර්කයක් මධ්‍යම පාන්තිකයන් අතර ඇති කරලා තියෙනවා. ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකක්ද? මේ රටට විශාල මැදිහත් වීමක් ඇවිත් තියෙනවා සෝෆා ගිවිසුම හරහා. ශ්‍රී ලංකාව ඇමෙරිකානු හා චීන මැදිහත්වීමට ගොදුරු වෙලා තියෙන්නේ. මේ ඡන්දයෙන් පස්සේ සෝෆා ගිවිසුම අත්සන් කරනවා කියලා ඇමෙරිකානු තානාපති කාර්යාලය කියනවා. මේ ගැන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය මොකද්ද? වරාය නගරය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය මොකද්ද? දැවෙන සමාජ ආර්ථික ප්‍රශ්න ගැන ප්‍රතිපත්තියත් ඔවුන් ප්‍රකාශ කරන්නේ නෑ. මේ රට සුඛිත මුඛිත කළ යුතුයි, මේ රට නඟාසිටුවිය යුතුයි, රටේ නිෂ්පාදනය වර්ධනය කළ යුතුයි වගේ කාටත් කියන්න පුළුවන් කතා ප්‍රතිපත්ති විදිහට කියනවා. ඔවුන්ට සමාජ ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්තියක් නෑ. සමාජවාදී වැඩපිළිවෙළක් නෑ. පුළුවන්නම් සමාජවාදී කියන වචනය පාවිච්චි කරන්න කියලා ඔවුන්ට කියනවා. ධනවාදය හෝ සමාජවාදය ඇර ඒ දෙක අතරමැදි මාවතක් නෑ. දැනට තියෙන දේශපාලන මතයම ඒ විදිහට පවත්වාගෙන යෑමටයි ඔවුන් උනන්දු වෙන්නේ. ඒ, ඒ තුළින් ඡන්ද ටිකක් ගන්න. ඒක විකල්පයකට බාධාවක්.

 ඔබ පාර්ශ්වය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මොනවාද?

ගොඩක් අය කියනවා ලංකාවට ප්‍රතිපත්තියක් නෑ කියනවා. ඒක වැරදියි. සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී වශයෙන් ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළව ප්‍රතිපත්ති තියෙනවා. නමුත් ඒක එළියට දාන්නේ නෑ. ලංකාවේ බැංකු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති වන්නේ බැංකු පෞද්ගලීකරණය කිරීම. අධ්‍යාපනය සම්බන්ධව මූල්‍ය අරමුදල දිගින් දිගටම කියන්නේ පෞද්ගලීකරණය කරන්න කියලා. මේවා එළිවට දාන්නේ නෑ.

අපේ ප්‍රතිපත්තියයි ඔබ අහන්නේ. ඒක සමාජවාදී ප්‍රතිපත්තියයි. ආර්ථික සමානාත්මතාව අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදීන් හැම සමානාත්මතාවක් ගැනම කතා කරනවා. නමුත් ඔවුන්ට ආර්ථික සමානාත්මතාව ගැන අමතක වෙලා. මේ ඔක්කොම අසමානාත්මතාවන් නැති කරන්න බැරි, ආර්ථික සමානාත්මතාව නැති කරන්න බැරි නිසයි. තේරෙන භාෂාවෙන් කියනවා නම් අපි කියන්නේ අපේ ශ්‍රමයට හරියන අපේ පංගුව දෙන්න කියලයි.

තනි පුද්ගලයකු බලයට පත් වුණාම ඒ පුද්ගලයාට රට පාලනය කිරීම පහසුයි කියල මිනිස්සු හිතන්නේ. නමුත් ඒ ගමන්ම මරණාධාර සමිතියේ පාලනය සඳහා නිලධාරී මණ්ඩලයක් පත් කරන්න ඕනෑ කියලා ඔවුන් කියන්නේ. එක් පුද්ගලයකුට ඔයා සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ධුර ගන්න කියලා කියන්නේ නෑ. රාජ්‍ය පාලනයේදී ජනතාව කොතරම් මතවාදීව හසුරුවනවාද කියනවා නම් රාජ්‍ය පාලනය සඳහා තනි පුද්ගලයකු අවශ්‍යයි, ඔහුට සියල්ලම තනිව වෙනස් කරන්න පුළුවන් කියල අපි හිතනවා.

නිකම්ම නිකම් ජනතාවට කිසි දෙයක් කරන්න බෑ. ඒත් සංවිධානය වුණු ජනතාවට බොහෝ දේ කරන්න පුළුවන්. ඒ නිසා සංවිධානය වුණු ජනතාවක් බිහි කරන එක තමයි අපේ පළවෙනි කාර්යය. මිනිසා හා පරිසරය අතර සතුරු ප්‍රතිවිරෝධයක් නැති සංවර්ධනයක් යි. ඇත්ත ප්‍රශ්නයට එරෙහිව කරන අරගලය තමයි මේ දේශපාලන අරගලය. ඒක දිගුකාලීනයි. හැබැයි අපි විද්‍යාත්මක අදහසක් එක්ක තමයි වැඩේට ඇවිත් තියෙන්නේ.

 සමාජවාදයට ඉඩක් ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද?

දැන් ලෝක රටාව වෙනස්. අනූව වෙද්දි සමාජවාදය බිඳ වැටුණා. ඒත් 2008 වසරේ ලෝක ආර්ථික අර්බුදයෙන් පස්සේ නැවත වමට ඉඩක් ලැබුණා.

සංවාදය [රසිකා හේමමාලි]

මාතෘකා