රටින් පිට සිටින වෘත්තීයවේදින් නැවත ගෙන්වීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි

 ඡායාරූපය:

රටින් පිට සිටින වෘත්තීයවේදින් නැවත ගෙන්වීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

උගතුන් රට හැර යෑම වළක්වා ගැනීමට සහ රටින් බැහැරව සිටින වෘත්තීයවේදින් නැවත රටට ගෙන්වා ගැනීමට සැලසුම්සහගත වැඩපිළිවෙළක් අවශ්‍ය බවජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (17) වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවැති ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සමාරම්භක උත්සවය අමතමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මේ මූලස්ථානය මට හොඳට හුරු පුරුදු තැනක්. මම 89 ඉඳලා 94 වෙනකල් විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් විදියට ඉඳලා මගේ දේශපාලන ජීවිතයේ පළමු වරට අමාත්‍යාංශයක වැඩ කටයුතු කරන්න මට ලැබුණේ 94 වසරේ මේ වාරිමාර්ග සහ මහවැලි අමාත්‍යාංශයේයි. පොළොන්නරුව වගේ ප්‍රදේශයක සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යක් කළ ඉංජිනේරුවරුන් ඇසුරු කරන්නට මට කුඩා කාලයේ සිටම අවස්ථාව ලැබුණා. පරාක්‍රම සමුද්‍රය, ගලා යන මහ ඇළවල්, අමුණු මහ ගොඩනැඟිලි ඉදි කළ ඉංජිනේරුවරු ඇසුරු කරන්න පාසල් ශිෂ්‍යයකුගේ කාලේ ඉඳලම මට අවස්ථාව ලැබුණා. ඉංජිනේරුවරුන්ගේ ඇසුර, දක්ෂතාව, හැකියාව, නිර්මාණශීලීභාවය, පරිණතභාවය සහ බහුශ්‍රැතභාවය දැකපු කෙනෙක් මම.

“අපේ රටේ ප්‍රධාන වශයෙන්ම භෞතික සම්පත් සංවර්ධනය කර රටක් වශයෙන් ඉදිරියට යන්නට ගෙවී ගිය දශක ගණනාවක් තුළ ඉංජිනේරුවරුන් ලෙස අද සිටින අයත් එදා සිටි අයත් ඉටු කර ඇත්තේ විශිෂ්ට සේවාවක්. ලෝකයේ මානවයාගේ දියුණුව, විවිධ ක්ෂේත්‍ර හරහා ගලා යන විට ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ විහි දී යන විවිධ අංශ, විවිධ විෂය, විවිධ කාර්යන් පිළිබඳ මට වඩා පුළුල් අවබෝධයක් සහ දැනුමක් ඔබට තිබෙනවා. දේශපාලනඥයාට මඟ පෙන්වීම ප්‍රධාන වශයෙන්ම කරන්නේ විද්වතුන්. රටේ සංවර්ධනය සඳහා පෙන්වන ගමන් මාර්ගය සඳහා ප්‍රමුඛ කාර්ය හා වගකීම ගන්නේ ඉංජිනේරුවරයා. මම හිතන්නේ මට වඩා ඔබ ලංකාවේ වාරි මාර්ග ක්ෂේත්‍රය පිළිබඳ දන්නවා. පරාක්‍රම සමුද්‍රය වැව් තුනකින් සමන්විතයි. තෝපා වැව, එරඹදු වැව, දුඹුටුළු වැව. මේ වැව් තුන එක් කළ විට සෑ දී තිබෙන මහා පරාක්‍රම සමුද්‍රයේ ප්‍රතිනිර්මාණ කටයුතු කඩිනමින් කරමින් සිටින අතරතුර මෝසම් වැසි එන්න ඔන්න මෙන්න කියලා තිබෙන වේලාවක ඉංජිනේරුවරයාගේ බිරිඳගෙන් විදුලි පුවතක් ලැබුණා, කොළඹ සිටින දරුවාට හොඳටම අසනීපයි වහාම එන්න කියලා. ස්මයිල් ඉංජිනේරුවරයා තමාගේ කාර්ය මණ්ඩලයට කිව්වා හෙට අනිද්දා වහින්න එනවා මම ගියොත් මේ වැඩේ නවතින්න පුළුවන් ඒ නිසා වැස්ස එන්න කලින් මේ බැමි ටික බැඳලා ඉවරයක් කර ගන්න ඕනෑ කියලා. ඔහු දරුවා බලන්න කොළඹට ආවේ නෑ. සතියකට පසු විදුලි පුවතක් එනවා ස්මයිල් ඉංජිනේරුවරයාට දරුවා මියගියා කියලා. ඒ අවස්ථාවේ තමයි ස්මයිල් ඉංජිනේරුවරයා දරුවා බලන්න ආවේ. තමාගේ දේශය, තමාගේ ජනතාව, තමාගේ රටේ සංවර්ධනය සඳහා තිබුණු පුළුල් කැපකිරීම් ඒ චරිතවලින් පෙන්නුම් කළා.

“මෑත භාගය ගත් විට ඔබ මෙහි දී සඳහන් කළ විමලසුරේන්ද්‍ර වැනි වියතුන් ජලාශයන් බිහි කළා වගේම මේ රටේ සියලු ක්ෂේත්‍රවල ඉංජිනේරු වෘත්තිකයන් විදිහට දක්වා ඇති ඉමහත් කැප කිරීම් අද අපි නෙළා ගන්නවා. මොරගහකන්ද ජලාශයේ වැඩ අවසන් කරලා විවෘත කරන්න සතියකට දෙකකට කලින් අපේ අනුර දිසානායක මහත්මයා ඇතුළු හිතවතුන් මොරගහකන්දට දාන්න නමක් කතා කළා. ළඟ හිටපු සමහර අය කිව්වේ මෛත්‍රී ජලාශය කියලා දාමුයි කියලා. මම කිව්වා ජලාශයට දාන නම විවෘත කරන උත්සවයේ දී මම කියන්නම් කියලා. ඒ වෙලාවේත් මගේ හිතේ තිබුණා ආචාර්ය කුලසිංහ මහතාගේ නම. නවසිය අනූ ගණන්වල මුල මම වාරි මාර්ග අමාත්‍යාංශය බාර ගත්ත කාලයේ දී ආචාර්ය කුලසිංහයන් හග්ගල මහා කැලෑවේ එතුමාගේ කාර්ය මණ්ඩලය සමඟ ගල්, කඳු අස්සේ රිංගලා, සිතියම් අරගෙන ගිහින් පෙරළලා මෙතන තමයි වේල්ල, මෙතැනින් තමයි ඇළවල් යන්නේ කියල මට අවස්ථා කිහිපයකදීම පෙන්නුවා. ඒ නිසා තමයි මොරගහකන්ද ජලාශය ආචාර්ය කුලසිංහ ජලාශය කියලා නම් කළේ.

“ගිය අවුරුද්දේ පරාක්‍රම සමුද්‍රයේ ගිනිපෙට්ටි පාලම හදිසියේ පිපුරුවා. ගිනි පෙට්ටි පාලම, පාලම් තාක්ෂණයේ ලංකාවේ එකම නිර්මාණය. ලංකාවේ වෙන ඒ වාගේ නිර්මාණයක් නෑ. යටින් යන ඔයත් ඊට උඩින් යන ඇළත් ඇළට උඩින් යන පාරත් ඔක්කොම එකට තියෙන්නේ. තිහේ දශකයේ අවසාන භාගයේ තමයි ඒකේ වැඩ අවසන් කරලා තිබෙන්නේ. පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ දහස් ගණනාවක් වූ ගොවි ජනතාවට දහස් ගාණකට බඩගින්නේ ඉන්න සිද්ද වෙනවා ඒ කැඩිච්ච වේලාවේ තව පැය ගාණක් ප්‍රමාද වුණා නම්.

“ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව පිහිටුවන්න හැකි වීම පිළිබඳ මම සතුටු වෙනවා වගේම ඉංජිනේරු සභාවටත් මෙහි සාමාජිකත්වය ගත්ත විද්වතුන්ටත් ඔබ සියලු දෙනාටත් මම සුබ පතනවා ඉංජිනේරු සභාව පිහිටුවීමේ අරමුණු සියලු ආකාරයෙන් සාර්ථක වේවා කියා. අද මේ කරන කාර්ය හා වටිනාකම අසීමිතයි. ඔබේ දැනුම බුද්ධිය සමඟ අපේ රට සංවර්ධනයේ ඉලක්ක කරා ගෙන යෑමට පැවරෙනවා. උගතුන් රටින් පිටවීම පිළිබඳ සියලු දෙනා කතා කරනවා. එහෙම වෙන්න හේතුවත් ඔබ දන්නවා. ඒ ගැන ප්‍රශ්න තියෙනවා. මා සෞඛ්‍ය ඇමැති කාලේ ඉන්දියාවේ සෞඛ්‍ය ඇමැතිවරයා සමඟ සෞඛ්‍ය ප්‍රශ්න ගැන, වැඩ වර්ජන ගැන කතා කර තිබෙනවා. ඉන්දියාවේ තත්ත්වය අපට වඩා සංකීර්ණයි. නමුත් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා ඉන්දියාවට අවශ්‍ය ඉංජිනේරුවරුන් ප්‍රමාණය ලක්ෂයක් නම් එක් ලක්ෂ දහදාහක් ඉන්නවා නම් වැඩි දහදාහට ඒ රටෙන් පිටරටකට යන්න වීසා දෙනවා. හැබැයි ලක්ෂයෙන් පහළට එන්න දෙන්නේ නැහැ. වෛද්‍යවරුත් එහෙමයි.

“බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒක සඳහන් වෙලා තියෙනවා. අපේ රටේ එහෙම එකක් නැහැ. අපි නිදහස දීලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා තියෙනවා. ඒක නිසා සම්පූර්ණයෙන්ම දොරවල් ඇරලා තියෙනවා ඕනෑ කෙනකුට රටෙන් යන්න පුළුවන් කියලා. ඒ දීලා තිබෙන නිදහස ඇත්තටම වැරදි විදියට පාවිච්චි කරනවා. චම්පික රණවක ඇමැතිතුමා කිව්වා රටේ ඉන්න ඉංජිනේරු පිරිස සහ රට හැර ගැය පිරිස කොපමණද කියලා. අපේ සෞඛ්‍ය සේවය ගත් විට අද රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ගේ විශාල අඩුවක් තියෙනවා. හෙද සේවයේ විශාල අඩුවක් තියෙනවා. වාර්ෂිකව වෛද්‍ය විද්‍යාලයෙන් පිට කරන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවත් පිටරට යන සංඛ්‍යාවත් විශ්‍රාම යන සංඛ්‍යාවත් ගත් විට කොහෙත්ම රටේ අවශ්‍යතාවය සපිරෙන්නේ නැහැ. මට වඩා ඔබ දන්නවා ඉංජිනේරුවරුන්ට තියෙන ප්‍රශ්න වැටුප්, දීමනා, පහසුකම් පිළිබඳ ප්‍රශ්න. ඒ නිසා තමයි බොහෝ අය රට දාලා යන්නේ. එසේ වුවත් රට ගැන හිතලා මේ රටේ සේවය කරන අයට රජය සහ ජනතාව වෙනුවෙන් මා විශේෂ ගෞරවයක් සහ ස්තුතියක් පිරිනමනවා. වැඩි සැප, වැඩි පහසුකම්, වැඩි වරප්‍රසාද පිළිබඳ නොහිතා මගේ රට, මගේ ජනතාව ගැන හිතලා කටයුතු කරන නිසා අපේ ගෞරවය සහ ආදරය ඔවුන් වෙත හිමි වෙනවා.

“නමුත් අපි හිතන්නට ඕනෑ පිටරට යන පිරිස වළක්වා ගන්නේ කොහොමද කියලා. ගිහිල්ලා ඉන්න පිරිසෙන් යම් පිරිසක් හෝ ගෙන්වා ගන්නේ කොහොමද කියලත් කල්පනා කරන්න ඕනෑ. ඒ සඳහා අපි සැලසුම් කළ යුතු වෙනවා. ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ තිබෙන යුතුකම, අරමුණු හා පරමාර්ථවල දී ඒ ගැන හිතලා ඔබ රජයට යම් යම් යෝජනා දේවි කියලා මම හිතනවා. ගිය සතියේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ආවා මම හිතන්නේ මහවැලි ඉංජිනේරුවරුන් ගැන. මහවැලි ඉංජිනේරුවරුන්ගේ වැටුප අනෙකුත් සියලු ඉංජිනේරුවරුන්ගේ වැටුපට වඩා අඩුයි කියලා සඳහන් කරමින්. ඒකෙන් අදහස් කළේ අනෙකුත් අයට වැඩියි කියලා නෙවෙයි. මේවා අපි හෙමින් විසඳා ගන්න ඕනෑ. මේවා අද ඊයේ නෙවෙයි දීර්ඝ කාලයක් තුළ ඇති වූ ප්‍රශ්නවල ප්‍රතිඵල. නමුත් සිදු වන වැරදි දිගටම සිදු වීමට ඉඩ නො දී අපි ඒ අඩුපාඩු නිවැරදි කර ගන්නට ඕනෑ. විශේෂයෙන් විද්වතුන්ගේ සේවය රටට වැඩිපුර ලබා ගැනීම සඳහා.”