එක වගේ කතා දෙකක්

 ඡායාරූපය:

එක වගේ කතා දෙකක්

අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි ඇංගෝලාව කලකට පෙර රමණීය රටකි. ඒ රට බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබන්නේ වාමාංශික රාජ්‍යයක් ලෙසිනි. ඒ රටේ තිස් වසරක සිවිල් යුද්ධයක් තිබුණි. ඔය අතර දොස් සැන්තෝස් ඒ රටේ බලය ලබා ගනී. මේ වෙලාවේ ඇංගෝලාවට චීනය අත පොවන්නේ වමට බර ගතිය වාසියට ගනිමින්ය.

"ඔබතුමාව අවුරුදු 50 ට පරද්දන්න බැරි වෙන්න අපි උදවු කරන්නම්." කියා චීනය සැන්තෝස් හමුවෙන්න ආවේ ඔය අතරය. යුද්දෙත් දිනා රටේ මහා කීර්තියක් අත්කර ගෙන සිටි සැන්තෝස් ‘රජෙක්' වගේ සිටියේය. ඔහු හිතුවේ රටම ඔහුට ලියා දී ඇතිවා කියාය. එහෙත් තිස් වසරක යුද්ධය නිසා ආර්ථිකය තිබුණේ බිංදුවේය. ඇංගෝලා - චීන සාකච්ඡා ඇරඹිණ.

"අපි හයිවේ හදන්නයි වරාය දෙකක් හදන්නයි ණය දෙන්නම්."

චීනය කීවේය.

"අපිට ගෙවන්න බෑ."

සැන්තෝස් උත්තර දුන්නේය.

"අපි සහන ක්‍රමයක් හදන්නම්. එක්සිම් බැංකුව ණය දෙන්න ලෑස්තියි."

සැන්තෝස් කතාවට අහු වුණේය.

"අපිට උදවු කරන්න."

සැන්තෝස් කීවේය.

එහි ප්‍රතිඵලයක් ලෙස චීනය ඇංගෝලාව පාපන්දුවක් බවට පත් කර ගත්තේය.

අධිවේගී මාර්ග ඔවුන්ගේ පළමු යෝජනාවය. සැන්තෝස් එක පයින් කැමතිය. වරාය දෙකක් මැඩගස්කරය අද්දර ඉදි විය.

චීනයෙන් සමහර ආයෝජන ඇන්ගෝලාවට එන්නේම එරට හා චීනයේ ආර්ථිකය හසුරුවන නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි. ඒකක 750කින් සමන්විත ඇන්ගෝලාවේ 'එපාට්මන්ට්' සංකීර්ණය එවන් දැවැන්ත චීන ආයෝජනයකි. රඟහලවල්, ක්‍රීඩා සංකීර්ණ, මහාමාර්ග රට පුරා ඉදි විය. අවට රටවල් විස්මයෙන් මේ ‘අප්‍රිකානු ආශ්චර්ය' දෙස බැලීය. සැන්තෝස් දැන් මහා වීරයෙකි. යුද්ධයෙන් රට බේරා ගත් වීරයා ආර්ථිකයෙන් රට ගොඩදානවා කියා මිනිස්සු බලා සිටියහ.

අවසානයේ සිදු වූයේ කුමක්ද? චීනය ණය වාරික ඉල්ලාගෙන එන්න පටන් ගත්තේය. නිවාස සංකීර්ණයේ අලෙවි නොවූ ඉතිරි සියල්ල ඇතුළුව ණය වාරිකය පොලිය සමඟ චීනයට ගෙවීමේ කොන්දේසිය චීනය ඉදිරිපත් කළේය. වරාය දෙකටද රඟහල්වලටද ක්‍රීඩා සංකීර්ණවලටද කොන්දේසිය එය විය.

"ගෙවන්න ආදායමක් නෑ. සේරම පාඩුයි. රටේ අයට මන්දපෝෂණය" සැන්තෝස් එහෙම කියද්දී "කමක් නෑ අපි ණය සහන දෙන්නම්." කියා චීනය කීය. හැබැයි ඊටද කොන්දේසියක් දැම්මේය.

"අපිට ණය සහනෙට ලුවන්ඩා අග නගරෙන් අක්කර දාහක් ඕන."

සැන්තෝස්ට කරන්නට දෙයක් නැත. ඊට එකඟ විය. දෙවැනි වාරිකය ඉල්ලද්දීත් ගෙවන්න බෑ කී විට තවත් අක්කර දහසකට ණය සහන ලැබිණ. ඒ අතර තවත් කොන්දේසිය. "එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඔබ චීනය පැත්ත ගත යුතුයි."

මෙහෙම ක්‍රමානුකූලව චීනය මුළු ඇංගෝලාවම සියතට ගත්තේය. අදත් ඇංගෝලාව චීනයේ ණයකාරයෙකි. අක්කර දහස් ගණනක් තමන්ගේ රටට අහිමි වූ චීන යටත්වැසි රටකි.

"එතකොට සැන්තෝස් මහත්තයා?"

කෙනෙක් එහෙම ඇසුවොත් කියන්න තියෙන්නේ මේකය.

"සැන්තෝස් මහත්තයා බිලියනපතියෙකි."

"බලාගෙන ගියාම මෙහෙත් වෙලා තියෙන්නේ ඒකමනේ.."

කාට හරි එහෙම හිතෙන්නේ නැත්නම් ඔහු සිහි මූර්ඡා වූ අයෙකි.

ඇන්ගෝලාවට තිබ්බ අත චීනය ලංකාවට ඊට වඩා පහසුවෙන් තිබ්බේය. එකම මහාද්වීපයේ සේද මාවතේ යාළුවන් වීම ඊට තවත් උපකාරයක් විය.

මෙහේ තිබ්බ තිස් වසරක යුද්ධය හමාර කළ නායකයා 'ජාතියේ අප්පච්චි' බවටත් 'මහ රජාණන්' බවටත් පත් විය.

චීනය ලංකාව දෙසට යොමු විය. අප්‍රිකානු වර්ගයේ ආශ්චර්ය ආසියාවේ මවන්නට චීනය සූදානම් විය. ඇන්ගෝලාවට කී සිංදුවම ලංකාවටත් කීවේය. "ඕනෑ තරම් ණය දෙන්න ලෑස්තියි." කියාගෙන ඔවුහු වැඩේ පටන් ගත්හ. රටම ආශ්චර්යයෙන් ගිනිකන වැටෙන්නට විය. ඇන්ගෝලාවේ වගේම ඉදිකිරීම් සිදු විය.

ටික දිනකින් ණය වාරික ඉල්ලාගෙන චීනය ආවේය.

සැන්තෝස් කී දේම මෙහේ පාලකයන් කීවේය.

ණය සහන හිමි විය. ශ්‍රැන්ගිලා හෝටලයට ගෝල්ෆේස් අසල ඉඩම හිමි විය.

චීන ආයෝජන හරහා සිදු වූ දෑ සුන්දර නැත.

2005 සිට 2013 දක්වා කාලය තුළ රාජ්‍ය නායකයා සහ ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් මහින්ද රාජපක්ෂ බලයේ සිටි කාලය තුළ හත් වතාවක් චීන සංචාරයේ යෙදුණි.

බටහිරෙන් ආ පීඩන වෙනුවට චීනය හාහූවක් නැතිව ණය දෙන එකෙන් රාජපක්ෂ ආණ්ඩුව ගිනිකන වැටුණි.

2013 ජුනි අගදී මහින්ද චීන සංචාරයක යෙදුණේ අප්‍රකටවය. සංචාරය ගැන නිල නිවේදන නැත. නමුත් සංචාරය අවසන්ව පැමිණීමෙන් පසු, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක (රුපියල් බිලියන 278) ණයක් ගැන සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය මඟින් කෙටි නිවේදනයක් නිකුත් කරනු ලැබීය. "චීනය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා වර්ධනය කරන ක්ෂේත්‍ර ගණනාවක් ගැනත් රටවල් දෙක අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ නව යුගයක පදනම් ගැනත්" එහිදී සාකච්ඡා කෙරුණු බව තවදුරටත් කියැවුණි.

චීනයෙන් ලබා ගන්නා ණය මුදල්වලින් වැඩි කොටසක් ආපසු යන්නේ චීනයට වන අතර ව්‍යාපෘති බාර වන්නේ චීන සමාගම්වලටය. කම්කරුවන්ද චීන ජාතිකයන්ය. 2009 සිට 2013 දක්වා කාලය තුළ රුපියල් බිලියන 391.7ක විශාල මුදලක් ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් ශ්‍රී ලංකාව වැය කොට ඇතත් එම මුදල් වෙන් කෙරුණේ ව්‍යාපෘති පහක් වෙනුවෙනි.

මේ ව්‍යාපෘතිවලට ණය සැපයුවේ එක්සිම් බැංකුවයි. එම ණයවලින් බොහොමයක් (20 අවුරුදු) දීර්ඝකාලීන ඒවාය. පොලිය සියයට 3 සිට 6 දක්වා විය. කෙටිකාලීන ණය සඳහා පොලිය සියයට 2ක් විය.

2007 සිට 2011 දක්වා කාලය තුළ චීනයෙන් ලංකාවට ලැබුණු මුළු ආර්ථික දායකත්වය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.13කි. එයින් බිලියන 2.1ක්ම පොලී ණය වෙයි. ආධාර දීමනා ලෙස ලැබෙන්නේ මිලියන 24ක් පමණකි.

මහින්ද රාජපක්ෂ යුගයේ බෙහෙවින්ම කතාබහට ලක් වූ හම්බන්තොට වරාය ගොඩනැඟීම ‘චයිනා හාර්බර් ඉන්ජිනියරින් සමාගමේ’ ව්‍යාපෘතියක් විය. පෝර්ට් සිටි ව්‍යාපෘතිය පැවරුණේද එම සමාගමටමය. නොරොච්චෝලේ විදුලි බලාගාරය ගොඩනැඟීම බාර දුන්නේ ‘චයිනා මැෂිනරි ඉන්ජිනියරින් කෝපරේෂන්’ සමාගමටය. කොළඹ - ගාල්ල අධිවේගී මාර්ගය ‘චයිනා හාර්බර් ඉන්ජිනියරින්’ සමාගමට බාර විය.

මේ වන විට චීනයට ශ්‍රී ලංකා භූමියෙන් විශාල ප්‍රමාණයක් අයිතිව ඇත. ඇමෙරිකා‍ව, ඉන්දියාව හා ජපානය චීනයේ සේද මාවතට එළිපිටම විරුද්ධ විය.

ඇන්ගෝලාවේ ආදර්ශය ලංකාවට උරුම වූයේ එසේය.

පහුගිය දිනවල සමහරු උද්දාමයෙන් සිටියේ 'නෙළුම් කුලුන' ගැනය. ආශ්චර්යයේ නව නිපැයුම ලෙස සමහරු එය හැඳින්වූහ. හැබැයි එය විවෘත කරමින් හතර වටේ මල්වෙඩිවලින් ගිනිකන වැටී සිටින මොහොතේ ජනාධිපතිවරයා 'තිත්ත ඇත්ත' රටට කීවේය. නෙළුම් කුලුනට මුවා වී සිදු වී තිබෙන මහා පරිමාණ මගඩියක් ලෝකයා දැන ගත්තේය. ගිවිසුම අත්සන් කළේ 2012දීය. ගිවිසුම්ගත චීන ආයතනයක් ආගිය අතක් නැත. චීනෙත් නැති ආයතනයකට රජය බිලියන දෙකක් ගෙවා ඇති බවත් බිලියන 12කට ණය වාරිකය වසරකට කෝටි 240ක් ගෙවා ඇති බවත් හෙළි විය. එවැනි වාරික තව වසර 10ක් ගෙවන්න තිබෙන අතර වැඩ අවසන් කරන්න තවත් කෝටි 300ක් වියදම් වෙයි.

ආශ්චර්ය සුන්දර නැත.

රෝමයේ තුන්වැනි අධිරාජයාගේ නම ගයුස් ජුලියස් කසාර් ඔගස්ටස් ජර්මනීසියස්ය. මේ පාලකයා රෝම ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වූයේ ‘කලිගියුලා’ යන නමින්ය. කලිගියුලා කැමැති වූයේ 'මං පොර' න්‍යායෙන් වැඩ කරන්නටය. මුළු භාණ්ඩාගාරයම තිබ්බේ ඔහු යටතේය. කලිගියුලා වසරක් තුළ නාස්ති කළ මුදල රෝම සෙස්ටර්ටියුස් 2,700,000,000කි. එකී මුදල මුළු රෝමයේ ආදායමෙන් 50%කි.

ජීවත් වීමට තරම්වත් යමක් උපයා ගන්නට නොහැකි ජනතාවට බදු ගෙවා ගැනීමට නොහැකි වූ විට කුරිරු ලෙස ඝාතනය කර දැමිණ. රූමත් කාන්තාවන් සහ පිරිමින් හුවමාරු කර ගැනීමේ පදනම මත වංශවතුන්ට සූදු ක්‍රීඩා හඳුන්වා දුනි. ඉන් නොනැවතී දුගී ජනතාවගේ ඉඩම් තමන්ගේ ඥාතීන්ට පවරා දෙනු ලැබූ අතර වීර්යයෙන් නැඟිටින ව්‍යාපාරිකයෙක් වෙත්නම් ඔහුගේ ව්‍යාපාරය උපායශීලීව තමා වෙත හෝ තම හිතවතුන් වෙත පවරා ගැනීම සිදු කෙරිණි.

කලිගියුලාගේ කැමැත්ත සහ ඔහුට පහළ වූ අදහස රටේ නීතිය බවට පත් කෙරූ අතර අධිකරණය තමන්ගේ හිතු මනාපෙට පාලනයට ගත්තේය.

ඔහු රටේ ජනතාවට වඩා තමන්ගේ අශ්වයන්ට සැලකුවේය.

ජනතාවගෙන් අය කළ බදු මුදල්වලින් තම අශ්වයන්ට රන්, මිණි, මුතු, ඇත්දළ, ආභරණ පැලැඳවීය. රනින් නිම කළ ලාඩම් පැලැඳවිය. අශ්වයාගේ සම පැහැපත් කර ගන්නට ඌට ලබා දෙන ධාන්‍යවල රන් ආලේප කර ලබා දුන්නේය.

අවසානයේ ‘ඉන්සිටේටස්’ අශ්වයාට තානාපති ධුරයක් පවා පිරිනැමීය. එකී තනතුර එවකට රෝමයේ සෙනෙට් සභික තනතුරකට සමානය. රෝම ඉතිහාසයේ කළුපාට යුගය නිර්මාණය කළේ ඔහුය.

සමහරු හිතන්නේ අහස උස ගොඩනැඟිලි මත ආදර්ශය තිබෙනවා කියාය. හැබැයි සත්‍ය නම් ඒවාට යටින් මහා බියකරු කතා බොහෝ ඇති බවය.

"ඉඩ දෙන්න, ලස්සන ජීවිතයකට, ලස්සන නගරයකට ඉඩ දෙන්න." යැයි රුපියල් මිලියන ගණනින් දැන්වීම් පළ කරමින් නාගරික ජනයා බුරුතු පිටින් පන්නා දැමූ සමහරු දෙවැනි ඉනිම අරඹන්නට සිහින දකින්නේ ඔය අතරය.

මාතෘකා