අපි මහා නිධානයක් උඩ හූල්ලමින් ඉන්නවා

 ඡායාරූපය:

අපි මහා නිධානයක් උඩ හූල්ලමින් ඉන්නවා

හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන සමන්ත විද්‍යාරත්න මහතා පසුගිය කාලයේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූවෙකි. ‘උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ’ ප්‍රබල ක්‍රියාධරයෙකි. සමන්ත විද්‍යාරත්න මහතා සමඟ 'රැස' සිදුකළ සංවාදයකි මේ.

මොකද්ද මේ රිදීමාලියද්දේ ආරම්භ කරලා තියෙන පරිගණක පාසල?

නේත්‍රා පරිගණක පාසලේ වැඩකටයුතු හොඳින් කරගෙන යනවා; ඉතා වටිනා පාඨමාලාවක් නොමිලේ උගන්වනවා. සම්පූර්ණයෙන්ම ජවිපෙ මන්ත්‍රී වැටුප් අරමුදලින් තමයි පාසල පවත්වාගෙන යන්නේ. දැනට සිසුන් තුන්සීයකට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් තමයි සේවා සපයන්නේ. මෙහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂවරයා වන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජයන්ත පස්දුන්කෝරලේ මහත්තයා. මේ වැඩසටහන යටතේ අපි පහුගිය කාලයේ ගෝර්කි පුස්තකාලය ආරම්භ කළා.

මේ දවස්වල ජනතා ප්‍රශ්න වැඩිය ඇහෙන්නේ නෑ වගේ?

අපේ පළාතේ ගත්තත් රටම ගත්තත් ජනතාව වෙනදාට වැඩිය පීඩාවකට පත් වෙලා ඉන්නේ. නමුත් දැන් රටේ ජනතාවගේ ප්‍රශ්නවලට වඩා විශාල වෙලා තියෙන්නේ පාලකයන්ගේ ප්‍රශ්න සහ දේශපාලන බලවතුන්ගේ ප්‍රශ්නනේ.

දැන් කරළියේ තියෙන ප්‍රශ්නය වෙන්නේ ජනාධිපතිවරණයනේ. ගොවියාගේ ප්‍රශ්න දැන් කතා කරන්නේ නෑ. මාධ්‍යයෙන් රටේ ප්‍රශ්නය ජනාධිපතිවරණය කියලා ඉහළින් ප්‍රචාරය කරනකොට රටේ ජනතාවත් පැතිවලට බෙදිලා, තමන්ගේ ප්‍රශ්න පැත්තක තියලා තමන් කැමති ජනාධිපති අපේක්ෂකයන්ගේ නම් කරේ තියාගෙන යනවා.

ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ කියලද ඔබ කියන්නේ?

ආර්ථිකයේ, අධ්‍යාපනයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, ගොවියන්ගේ වගේම මාධ්‍යටත් ප්‍රශ්න තියෙනවා නම් ජාතිවාදය, ආගම්වාදය උත්සන්න වෙලා නම් පරිසරයත් වැනසෙනවා නම් තව මොන ප්‍රශ්නවලින්ද ශ්‍රී ලංකාවට අඩුවක් නැත්තේ. මේ ප්‍රශ්න හදාගත්තේ ජනතාවගේ සුරතින්මයි. වෙන කවුරුත් විසින් ජනතාව ඒ වළට ඇදලා දාලා නෙවෙයි. මහජනතාවම තමයි වසර හැත්තෑ එකක් මාරුවෙන් මාරුවට තමන්ගේම වළ ලොකු කර ගනිමින් ඉන්නේ. දැන් ගැඹුරු වළක් නිර්මාණය වෙලා. මෙවර ඡන්දය කියන්නේ මේ වළ ලොකු කර ගන්නවාද පොඩි කර ගන්නවාද කියන ප්‍රශ්නයට උත්තර දීමයි. ප්‍රශ්නයක් නැති තැනක් හොයලා දෙන්න කියලා මම ඔබගෙන් ඉල්ලනවා.

ජාතික ජන බලවේගයත් ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිරිස ඉදිරිපත් කරලා තියෙන්නේ ජවිපෙ නායකයා. ජාතික ජන බලවේගයේ අපේක්ෂකත්වය ජනතාවට බරක් වෙලා නැද්ද?

අපටත් දාන පන්දු නිදැල්ලේ යවන්න බෑ. විකට් කඩාගෙන යන්න වෙනවා. ඒ නිසා එන පන්දුවලට පහර දෙන්නත් ඕන. ජනාධිපතිවරණයට අපිත් මූණදෙන්න ඕන. නමුත් ඇත්තටම හැබෑ ප්‍රශ්න අමතක කරලා තියෙනවා කියලයි මම කිව්වේ.

ජනතාවගේ ප්‍රශ්න යට කරන්න වෙන ප්‍රශ්නයක් ගේනවානම් අපි මහන්සි ගන්නවා ඒ පන්දුවට හොඳට පහර දෙන්න. අපි හයේ හතරේ ලකුණු රැස් කරලා ජනතාවට වාසිවෙන විදිහට මේ ප්‍රශ්නය කළමනාකරණය කරන්න උත්සාහ ගන්නවා.

ප්‍රධාන යැයි කියාගන්න ප්‍රශ්න අභ්‍යන්තර කුළල් කා ගැනීම් එක්ක බල අරගලයක යෙදෙනවා. ඒ අතරේ ජාතික ජන බලවේගය මෙවර ඉතිහාසයේ පළමුවැනි වතාවට වාමාංශික, ප්‍රගතිශීලී, උගත්, බුද්ධිමත් සියලු දෙනා එකතු කරගෙන සංවිධාන විසි අටකින් සැදුම්ලත් ජාතික ජන බලවේගය අපේක්ෂකයෙක් නම් කළා. හැමදාමත් වෙන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක කරන එක. ජනතාගේ ප්‍රශ්න විසඳෙන පැත්තකට මේ දේශපාලන ගමන හරවන්නයි අපේ උත්සාහය වෙන්නේ.

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය හානිකරයි කියලා සටන් කරපු ඔබ මේ දිනවල ඒ ගැන කතා කරන්නේ නැත්තේ ඇයි?

උමාඔය ප්‍රශ්නය විසඳිලත් නෑ. ඒ ප්‍රශ්නයත් දවසෙන් දවස වර්ධනය වෙනවා. ජනතාව අපහසුතාවට පත් වෙලා. ජනතාවට වගාකරන්න වතුර නෑ. වගා බිම් පුරන් වෙලා. බොන්න වතුර නැති මිනිස්සු තාමත් ඉන්නවා. ගෙවල් තාමත් පුපුරනවා. පුපුරපු ගෙවල්වලට තවම වන්දි ලැබිලත් නෑ. සම්පූර්ණ හානියට පත් වූ නිවැසියන් අතරින් තවම නිවසක් තියා ගෙයක් හදාගන්න ඉඩම් කෑල්ලක්වත් නොලැබුණු මිනිසුන් ඉන්නවා. තවම ප්‍රශ්නය තියෙනවා.

ඒත් ඔබ නිහඬයි?

ප්‍රශ්නය විසඳීම සඳහා කළ සටන්වල යම් අඩුවක් පාඩුවක් තියෙනවා. ප්‍රශ්නය ආවේ යූඑන්පීකාරයාටවත් ශ්‍රීලංකාකාරයාටවත් ජේවීපීකාරයටත් වෙන් වෙන්ව යන විදිහට නෙවෙයි. ජනතාව එකා වගේ ප්‍රශ්නය වෙනුවෙන් කතා කළා; දේශපාලන පැති බෙදෙන්නේ නැතුව. මුලදී කියපු ජාතියේ ප්‍රශ්නය යට කරන පළාත් පාලන මැතිවරණයක් ආවා. අන්න ඒ වෙලාවේ අපි ජනතාවට කිව්වා අපේ දේශපාලනය පැත්තකින් තියලා මේ ප්‍රශ්නය විසඳා ගැනීම මුල්කරගෙන හැමෝම සමඟි වෙමු; එකතු වෙමු කියලා. දේශපාලනය පැත්තකින් තියලා අපි ඔක්කොම සමගි වෙලා පක්ෂවලට වෙන් වෙලා ඡන්දය ඉල්ලන්නේ නැතුව උමාඔය සංවිධානය විදිහට ඡන්දය ඉල්ලලා, පරිසර සංවිධානයක් පළමුවැනි වතාවට බලය ගැනීමෙන් ලෝකයට ආදර්ශයක් දෙමු කියලා අපි එදා කිව්වේ. යූඑන්පී ශ්‍රීලංකා ජේවීපී විදියට වෙනම සටන් කරපු නායකයන් වෙනම ස්වාධීන සංවිධානයකින් තරගයට පෙනී සිටියා. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් විදිහට මුළු ලංකාවෙන්ම සටන් කරනකොට බණ්ඩාරවෙළට පමණක් පක්ෂය ලෙස තරග නොකරන්න අපේ පක්ෂය එකඟ වුණා. ඒ කැප කිරීම ජවි‍ෙප කළා. අනිත් පක්ෂවල නායකයන්ටත් අපි කිව්වා ජනතාවගේ ප්‍රශ්නයක් විසඳගන්න අපට ඉඩ දෙන්න කියලා.

නමුත් ප්‍රශ්නයට වඩා බලලෝභය බරපතලයිනේ. ඒ අය වෙනම තරග කළා පක්ෂ විදිහට. ජනතාවටත් තමන්ගේ ප්‍රශ්නය අමතක වුණා පක්ෂ දේශපාලනය හමුවේ. ළිං හිඳුණු, ගෙවල් පුපුරපු, කුඹුරු පුරන්වුණු පිරිසකගෙනුත් සැලකිය යුතු බහුතරයක් තම තමන්ගේ දේශපාලන කඳවුරුවල එක්කාසු වුණා. අපේ සටන අතහැරලා පක්ෂ තෝරාගත්තා. අන්න එතැන් සිට සටන් දුර්වල වුණා. නමුත් අපි බදුල්ල මහ අධිකරණයෙත් ශ්‍රේෂ්ඨාධිකරණයෙත් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරගන්න නඩු ගොනු කරලා තියෙන්නේ.

ඔබ කියන විදිහට දේශපාලන පක්ෂ ජනතාවගේ ප්‍රශ්න අමතක කරලා. නමුත් ජාතික ජන බලවේගය ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා?

ජාතික ජන බලවේගය කියන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරපු සංවිධාන රාශියක් එකතු කරගත් සංවිධානයක්. ජාතික ජන බලවේගය ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරනවා. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයනවා. ජනතාවගේ ප්‍රශ්නවලට හොඳම උත්තරය හොයන්න පුළුවන් වෙන්නේ බලය ලබා ගැනීමෙන්. බලය ලබා ගැනීමේ සටනකටත් මේ අතරේ අපි යොමුවෙලා. ඒ අතරේ බලයේ ඉන්න අයගෙන් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලබාගන්නත් සටනක නිරත වෙනවා. ගුරුවරු ගුරු සටන්බිම්වලට කැඳවනවා. ගොවියෝ ගොවි සටන් බිම්වලට කැඳවනවා. හැමදාම සටන් කර කර ඉඳලා විතරක් හරියන්නේ නෑ. ගොවියන්ට ගොවිතැන් කරන්න, ගුරුවරුන්ට උගන්වන්න, රාජ්‍ය සේවකයන්ට තමන්ගේ සේවයේ යෙදෙන්න වටපිටාව හදලා රට නිවැරදිව ගෙන යන්න නම් පාලන බලය ලබාගන්නත් ඕන. මේ වෙලාවේ අපට බලය නැති නිසා සටන් බිමේ සටන් කරන අතරේ බලය ලබා ගැනීමේ සටනත් එක විට දියත් කරලා තියෙන්නේ.

ජවිපෙත් මේ රටේ වෙනත් පක්ෂ වගේමයි. කිසි වෙනසක් නෑ; ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ කියලා අවලාද ඇහෙනවා?

විරුද්ධවාදීන් ඔවැනි දේ නොකීවොත්නේ පුදුමේ. නමුත් ඔවුන් පැහැදිලි කරන්න ඕන ඒ කියන කතා. අපි මොනවද පෞද්ගලිකව අත්පත් කරගෙන තියෙන්නේ කියලා ඔවුන් පැහැදිලි කරන්න ඕන.

ජවිපෙට රටක් පාලනය කරන්න තරම් හැකියාවක් ඇති බවට ජනතාව විශ්වාස කරනවා කියලා ඔබ හිතනවාද?

අනිවාර්යයෙන්ම පුළුවන්. බැරිනම් බලය ඉල්ලන එකේ තේරුමකුත් නෑනේ. මේ රට ගොඩනඟන්න පුළුවන්. මේක පුංචි රටක්. කෝටි දෙකකට විතරක් නෙවෙයි කෝටි දහයකට වුණත් ජනතාවට කන්න අඳින්න දෙන්න රස්සා දෙන්න මේ පොළොව සමත්. පාලකයන් අසමත් වුණාම ඒ මුළු අසමත්භාවය මුළු රටටම උරුම වෙනවා. මහා නිධානයක් උඩ හූල්ල හූල්ල ඉන්න හිඟා කමින් සිටින ජනතාවක් සිටින රටක් බවට මේ රට පත්වෙලා තියෙන්නේ. නිධානය මේ මහපොළොවයි. වටකර තියෙන මුහුදයි. අහසින් වැටෙන වතුරයි. මේ ජනතාව නම් සම්පතයි. මේ සම්පත් හරියට ආයෝජනය කරගන්න ඕනෑ. ඩොලර්, පවුන්, යෙන් විතරක් නෙවෙයි ආයෝජනයම කියන්නේ. දුක්විඳින ජනතාවක් ඉන්න රටක් කළේ මේ රටේ පාලකයන්.

මේ රට ගොඩගන්න බැරිකමක් නෑ. නිවැරදිව රටක් කළමනාකරණය කරන්න පුළුවන්, සම්පත් කළමනාකරණය කරන්න පුළුවන්, කැපවෙන ඇපවෙන, වංචාවෙන් තොර පිරිසක් ජනබලවේගය වටා එකතු වෙලා තියෙනවා. ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා හැත්තෑ එක් වසරක් මේ රට ගොඩගන්න දුන්නේ වළේ දාන අයටයි. අවුරුදු පහක් දීලා බලන්නකෝ රට නිවැරදිව පාලනය කරනවාද නැද්ද කියලා. ඉතා කෙටි කලක් යනකොට රට නිවැරදි පීල්ලට ගෙන එනවා. දවසින් දවස රට දියුණු වෙන තත්ත්වයට ගෙන එනවා.

ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර මනුෂ්‍යත්වයෙන් පිරි රටක් බවට පත් කරන්න සාධාරණ යුක්තිය පිරි රටක් කරන්න අපි කටයුතු කරනවා. ඒකට අපි සූදානම්; සැලසුම් සූදානම්. දැන් ජනතාවත් ඒ සඳහා සූදානම් කරගෙන යන කාලෙකයි ඉන්නේ.

මෙතෙක් පැවති මැතිවරණ ප්‍රතිඵල දිහා බලනකොට ජවිපෙ පිළිගන්න ජනතාව සූදානම් නෑ කියලා තමයි පේන්න තියෙන්නේ?

ජනතාව පිළිගන්නවා. අප කියන දේ ජනතාව වෙත යන්න ප්‍රමාණවත් ඉඩක් මාධ්‍යයෙන් දෙනවානම් ජනතාව හරි තීරණය ගනිවී.

අපි මේ මහපොළොවේ අපේ මතයේ බීජ පැළ කරලා තියෙන්නේ. අස්වැන්නක් තියෙනවා. අනිත් පාර්ශ්වය තමන්ගේ අතු කපාගෙන බිම දමාගන්නා හැටි පේනවා.

ජනතාව බහුතරයක් ඉන්න තැන නිවැරදි නෑ. නමුත් ඔවුන් නිවැරදි තැනට ගෙන යෑම රටට ආදරේ කරන ඔබේත් මගේත් වගකීමක්.

අපි ජනතාවට ආරාධනා කරනවා. එන්න අලුත් ගමනක් යන්න කියලා.

සංවාදය [රසිකා හේමමාලි]

මාතෘකා