ගුරුවෘත්තිය කියන්නේ තමන් ගැන නොසිතා අනෙකා වෙනුවෙන් කැපවෙන සේවයක්

 ඡායාරූපය:

ගුරුවෘත්තිය කියන්නේ තමන් ගැන නොසිතා අනෙකා වෙනුවෙන් කැපවෙන සේවයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

තමා කුඩා අවධියේ ගුරු මෑණිවරුන් සහ ගුරුපියවරුන් රජරට ප්‍රදේශයෙහි බොහෝ කටුක ජීවිත ගතකරමින් දරුවන්ට ශිල්ප ශාස්ත්‍ර ලබාදීම වෙනුවෙන් මහඟු සේවයක් කළ බව පැවසූ ජනාධිපතිවරයා වර්තමානයේ ජීවත්වන මිනිසුන්ගේ ආධ්‍යාත්මය පිරිහීම හේතුවෙන් තමන් ගැන පමණක් හිතන පිරිසක් බවට මිනිසුන් පත් වී ඇති බව පැවසීය. ගුරු සේවය යනු සෑම විටම තමා ගැන නොසිතා අනෙකා වෙනුවෙන් කැපවෙන සේවයක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කැකිරාව මධ්‍ය විද්‍යාලයේදී පසුගියදා (09) පැවති උතුරු මැද පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

"මම විශ්වාස කරනවා දරුවන්ට දැනුම දී දැනුමෙන් දරුවන් සන්නද්ධ කිරීම ඔබගේ වගකීමක් කියලා. සරත් ඒකනායක ආණ්ඩුකාරවරයා කිව්වා මගේ මව ගුරුවරියක් කියලා. මගේ මව ගුරුවරියක් පමණක් නෙවෙයි මගේ මුළු ගෙදරම තක්සලාවක්. ඒ කාලේ කැලෑවෙන් වටවෙච්ච අපේ ගමේ පාසලට ගුරුමෑණිවරුන් සහ පියවරුන් ආවේ ඈත ප්‍රදේශවල ඉඳලා. පොළොන්නරුවේ කවුරුවත් හිටියේ නැහැ. අනුරාධපුරයෙන් කවුරුත් ආවේ නැහැ. අපි පුංචි කාලේ ගුරු සේවයට ගුරුවරුන් අනුරාධපුරයෙන් හා පොළොන්නරුවෙන් බිහිවෙලා තිබුණේ ඉතාම සුළු පිරිසක්. ගුරුවරු සියයට පහක් දහයක් පමණයි එහෙම හිටියේ. ගොඩක් ගුරුවරු ගාල්ල, මාතර, රත්නපුර, කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල අය. අවම වශයෙන් මාතලේ, කුරුණෑගල හා නුවරවත් ගුරුවරු හිටියේ නැහැ. අපි පාසල් යන කාලේ රජරටට ආපු ගුරුවරුන්ගෙන් සියයට අනූවක් බස්නාහිර, සබරගමුව, දකුණ යන ඈත පළාත්වලින් ආපු ගුරුවරු. නමුත් මෙහෙට ඇවිත් ලස්සනට දරුවන්ට ඉගැන්නුවා. හරියට නවාතැන් ගන්න තැනක් නැහැ. මගේ මව ගුරුවරියක් නිසා මගේ ගමේ පාසලට ආපු ගුරුවරු සියලු දෙනාම නවාතැන් ගත්තේ අපේ ගෙදර. ඒ කාලේ ගුරු නිවාස නෑ. යන්තම් පුංචි ඇඳක් තියාගෙන මුල්ලකට වෙලා නිදා ගන්න පුළුවන් පහසුකමක් හොයාගන්න එකත් ඉතාම අමාරුයි.

“එහෙම ගුරු සේවයට ආව සමහර අය මේ ප්‍රදේශයේම විවාහ වුණා. සමහරු මේ ප්‍රදේශයේ ස්ථිරවම පදිංචි වුණා. අද අනුරාධපුරෙන් පොළොන්නරුවට පත්වීමක් දුන්නොත් යන්නේ නෑ; පළාත් සභා වටලනවා. අනුරාධපුර නගරයෙන් කැබැතිගොල්ලෑවට දුන්නොත් අධ්‍යාපන කාර්යාලය වට කරනවා. අපිට ගෙදර ඉඳලා යන්න ඕනේ කියනවා. පොළොන්නරු නගරයේ පදිංචි කෙනකුට පත්වීමක් දුන්නොත් දිඹුලාගලට, වැලිකන්දට, අරලගන්විලට යන්නේ නෑ. ඒ විදියට මනස හැදුවේ කවුද? ඇයි එහෙම වුණේ?

“කුඩා කාලයේ අපට උගන්වපු ගුරු මෑණිවරු, පියවරු හැතැප්ම 100ක් 150ක් තමන්ගේ බිරිඳ, දරුවෝ සහ මවුපියෝ දාලා ඇවිල්ලා අවුරුදු ගාණක් ඉගැන්නුවා; සේවය කළා. නමුත් දියුණු වෙන්න දියුණු වෙන්න මිනිස්සුන්ගේ අධ්‍යාත්මය පහළට ගියා. ඒ ආධ්‍යාත්මය පහළට යනකොට තමන් ගැන විතරක් හිතන්න පටන් ගත්තා. තමන් ගැන පමණක් සිතීම තුළ අනුන් ගැන සිතීම නොසලකා හැරියා. නමුත් ගුරු සේවය සෑමවිටම ඔබ ගැන නොසිතන අනුන් ගැන සිතන සේවයක්. දරුවන්ට දැනුම දෙනවා කියන එක මහා පින්වන්ත සේවයක්. ඒ නිසා මා විශ්වාස කරනවා අද දවස ඔබට වඩාත් වාසනාවන්ත ජීවිතයක මූලික අඩිතාලමක් කියලා.

“ඔබේ විශ්වවිද්‍යාල ජීවිතය එක් පැත්තකින් ඔබට සුන්දරයි වගේම බොහෝ කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්නට ඇති. විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ පහුගිය අවුරුදු කිහිපයක් තුළ රස්සාවක් ගන්න, පෙළපාළි යන්න, පිකටින් කරන්න, උද්ඝෝෂණ කරන්න, උපවාස කරන්න, මැති ඇමතිවරු මුණගැහෙන්න කොතෙකුත් කාලය ඔබ විසින් වෙන් කරන්න ඇද්ද? නමුත් ඔබ අද සිට පටන් ගත්තේ පිබිදුණු ජීවිතයක්. අහිංසක දරුවන්ගේ අනාගතය තිබෙන්නේ ඔබ අතේ. ඔවුන්ට හොඳට ආදරය කරන්න. ඔබේ පාසල් ජීවිතයේදීත් ඔබට විවිධ අත්දැකීම් ඇති. සමහර විට පන්තිභාර ගුරුතුමා පන්තියේ සමහර දරුවන්ට ආදරේ කළා, කොටසක් නොසලකා හැරියා. සමහර දරුවෝ ළඟට අරන් හිනා වෙලා කතා කළා, සමහර අයගේ මුහුණ දිහාවත් බැලුවේ නෑ. අපි පාසල් යන කාලයේ ගුරුවරු අපිට කොච්චර වේවැලෙන් ගහලා තියෙනවද? මම පාසල් තුනක ඉගෙන ගත්තා. ගමේ පාසල, ඊට පස්සේ නගරයේ තෝපාවැව මහා විද්‍යාලය, ඊට පස්සේ රාජකීය මධ්‍ය මහා විද්‍යාලය. ඔය පාසැල් තුනේදීම මම හොඳට ගුටි කාලා තියෙනවා.

“ඒත් දැන් ඉන්න දරුවකුගේ කන මිරිකුවොත් ටොක්කක් ඇන්නොත් දරුවයි අම්මා තාත්තයි යන්නේ පොලිසියට. ඉතින් සමාජය පිරිහිලා කියනවා. ඒ පිරිහෙන කරුණු අතර එක් කාරණයක් තමයි මවුපියෝ දරුවන්ට අනවශ්‍ය විදිහට ආදරය කිරීම. දරුවෝ පාසලට යැවුවම ගුරුවරුන්ට අවශ්‍ය විදිහට දරුවෝ හදාගන්න ඉඩ දෙන්න ඕනේ. අධ්‍යාපන මනෝ විද්‍යාව අනුව දරුවන්ට බරපතල දඬුවම් දෙන එක වැරදි බව ඇත්ත.

“රජරට උතුරු මැද පළාතේ පත්වීම් දෙනවා කියන ආරංචිය ඔබට සතුට ගේනවා වගේම සුදුසුකම් තිබෙන විශාල පිරිසක් තමන්ට පත්වීම් නොලැබීම නිසා කනගාටුවට පත්වෙනවා. ගිය සුමානෙත් මං ඉන්න වෙලාවක පොළොන්නරුවට ඇවිත් මගේ ගෙදර වට කෙරුවා. මම කිව්වා ඔයාලගේ ප්‍රශ්න විසඳනවා කියලා.

“දැන් අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා මමත් ඇමතිවරයෙක්. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල දරුවන්ට මහපොළ ශිෂ්‍යත්වය ලැබුණම ඒ ඒ දිස්ත්‍රික්කවල දිසාපතිතුමන්ලා පුංචි උත්සවයක් තියෙනවා. දැන් අවුරුදු 20කට පෙර පොළොන්නරුවේ මහපොළ ලැබුණු දරුවන් ගෙනල්ලා ඔය වගේ උත්සවයක් තියලා ඇතුලත්මුදලි මැතිතුමා ආරම්භ කරපු මහපොළ ගැන දරුවන්ට කියලා දුන්නා. උත්සවයේ අවසානයේ දිසාපතිතුමන් කිවුවා දැන් අපි කැමතියි දරුවකුගේ අදහස් දැන ගන්න කියලා. ඒ නිසා කාටහරි ඇවිල්ලා කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. දිසාපතිතුමාගේ කතාව ඉවර කන්න කලින් එකපාරට ඉතා වේගයෙන් පුටුවෙන් නැගිට්ට තරුණ දරුවෙක් ඉදිරියට ඇවිත් මයික් එක අරගෙන, ‘ඇයි මේවා දෙන්න අපිව ගෙන්නුවේ? අපරාදේ. අතිනුත් පාඩු කරගෙන නිකන් අපිව මෙහාට ගෙන්නුවා. මේක තැපෑලේ එව්වා නම් ලැබෙනවනේ.’ කියලා ඔහු කිව්වා. ඒ නිසා ඔබත් හිතන්න පුළුවන් මේකට ජනාධිපති එන්න ඕනෙද? මැතිඇමතිවරු එන්න ඕනෙද කියලා. මේ පත්වීම තැපෑලේ එව්වා නම් ඉවරනේ කියලා ඔබත් හිතනවා ඇති.

“ගුරු වෘත්තියට පත්වීම් දෙන එක මහා මංගල්‍යයක් විදිහටයි අපි දකින්නේ. මම ජනාධිපති විදියට එන්නේ උගතුන් විදියට ඔබට ගරු කරන්න. ඔබ නිදහස් අධ්‍යපනය තුළ කොතෙක් දුක්ෂරතාවලට මුහුණ දෙන්න ඇතිද? අද ගුරු සේවයට එක්වෙමින් ඔබ ජීවිතය ජය ගන්න තවත් පියවරක් ඉස්සරහට තැබුවා. අපි සහ මැතිඇමතිවරු එන්නේ ඔබේ සේවය අගය කරන්න; ඔබේ උගත්කම අගය කරන්න; ඔබට දෙන පත්වීම අගය කරන්න. ඒ නිසා ඔබ සියලු දෙනාට සුබ පතනවා. ආණ්ඩුකාරතුමත් පළාත් සභාවේ සියලුම කාර්යය මණ්ඩලවලට අයත් නිලධාරීන්ට ගෞරවණීය ස්තුතිය පුද කරනවා."