සංහිඳියාව හා සංවර්ධනය තහවුරු කරමින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කළ යුතුයි

 ඡායාරූපය:

සංහිඳියාව හා සංවර්ධනය තහවුරු කරමින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කළ යුතුයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

සංහිඳියාව හා සංවර්ධනය තහවුරු කර ගනිමින් අනාගතයේදී දේශපාලන විසඳුමක් ලබා දී ශ්‍රී ලාංකිකයන් හැටියට ශක්තිමත්ව අනාගතයට මුහුණ දී සංවර්ධිත රටක් බවට මේ රට පත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (08) යාපනය, කොටුවේ පැවැති 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ප්‍රදර්ශනය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

"යාපනය 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ප්‍රදර්ශනය ආරම්භ කරන අවස්ථාවේ සංකේතාත්මකව ණය ප්‍රදානය කිරීමට අවස්ථාව ලැබුණා. මෙම වැඩසටහන යටතේ මේ පිරිස ඇතුළු 53,000කට අධික පිරිසකට රුපියල් මිලියන 90,000ක විශාල මුදලක් ණය වශයෙන් මේ වන විට ලබා දී තිබෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත් මුදල් අමාත්‍යාංශයත් ගෙන තිබෙන මෙම වැඩපිළිවෙළ මෙරට ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන තිබෙන ඉතාමත් වැදගත් පියවරක් වශයෙන් සඳහන් කළ යුතුයි.

"වෙළෙඳ ආර්ථිකය සාර්ථක වීමට නම් ව්‍යවසායකයන් ශක්තිමත් විය යුතුයි. එසේ නොවුණහොත් වෙළෙඳ ආර්ථිකය අසාර්ථක වන බව සඳහන් කරන්න කැමතියි. යුද්ධය අවසන් වීමෙන් පසුව රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා අප පියවර රැසක් ගෙන තිබෙනවා. ඒ පියවර අතරින් රටේ ජනතාව අතර ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඉහත සඳහන් කළ පරිදි විශාල මුදල් ප්‍රමාණයක් ආර්ථිකයට එක් වීමේ ප්‍රතිඵල වශයෙන් පසුගිය වසර දෙකක කාලය තුළ ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් අලුතින් බිහි වී ශක්තිමත් වී තිබෙන බව සඳහන් කළ යුතුයි. මේ තුළින් ව්‍යාපාර වැඩි දියුණු කර ගනිමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා. මුදල් අමාත්‍යවරයාගේ හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ කැපවීම තුළින් මෙවැනි ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකි වූ බව සඳහන් කරන්න කැමතියි. ඒ කැපවීම වෙනුවෙන් මගේ ස්තූතිය ඔබ සියලු දෙනාටම පළ කරනවා.

"අපේ ඉතිහාසය හා උරුමය ව්‍යවසායකත්වය බවත් අතීතයේ රජරට රාජධානිය වෙළෙඳාමෙන් දියුණුවට පත් වූ බවටත් වන මතක් කිරීම මෙම 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' ප්‍රදර්ශනය තුළින් ඉස්මතු කර තිබෙනවා. ඒ මතක් කර දී තිබෙන උරුමය අපි ඉදිරියට ගෙන යා යුතුයි. අතීතයේ මෙරට ප්‍රධානම වරායන් ත්‍රිත්වය වූ ත්‍රිකුණාමලය, මාන්තයි හා දඹකොළ පටුන යාපනය අර්ධද්වීපය සමීපයේ පිහිටියා. වන්නියේ මෙම ප්‍රදේශයේ කැලෑවල අලිමංකඩවලින් ගමන් ගන්නා අලින් ඇතුන් යාපනයේ සිට අතීතයේ අපි අපනයනය කළා. මුතු ව්‍යාපාරය හා දුම්කොළ වගා කර අපනයනය කිරීම එදා සිදු වුණා. ඒ වගේම දක්ෂ ව්‍යාපාරිකයන් දකුණට පැමිණ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළා.

"1983 වර්ෂයේ යුද්ධයෙන් පසුව ලක්ෂ 6 - 7ක් පමණ යාපනයේ ජනතාව රටින් පිටවීම නිසා මුදල් රටින් ඉවතට ගොස් රටේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණා. ඒ නිසාම 2015 වසරෙන් පසුව යාපනයට සංවර්ධන වැඩසටහන් ගෙන ඒමේදී මෙම ප්‍රදේශයේම කොන්ත්‍රාත්කරුවන්ට එම ඉදිකිරීම් ලබා දී එම මුදලුත් යාපනයෙන් ඉවතට නොයන පරිදි වැඩ කටයුතු සකස් කළා. ඒ නිසා 'ගම්පෙරළිය', 'රන්මාවත්' හා 'ළඟම පාසල හොඳම පාසල' වැනි ව්‍යාපෘතිවල ඉදිකිරීමේ කටයුතු යාපනයේ ව්‍යාපාරිකයන්ට හිමි වුණා. වෙළෙඳාම දියුණු කිරීම, වරායන් සංවර්ධනය කිරීම, ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළු විශාල දියුණුවක් යාපනය තුළත් ඉන් පිටතත් ඇති කර තිබෙනවා.

"'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැනි ණය ලබා දෙන වැඩසටහන් නිසා නව ව්‍යවසායකයන් බිහි වී අලුතින් රැකියා අවස්ථා ඇති වුණා. මෙම දියුණුව ඉදිරියට ගෙන යෑමට අප පියවර ගත යුතුයි. පලාලි ගුවන්තොටුපොළ පළමුවෙන් ඉන්දියානු ගුවන් ගමන් සඳහාත් පසුව කලාපීය ගුවන් ගමන් සඳහාත් විවෘත කිරීම තුළින් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කර ප්‍රදේශයේ ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමට අප පියවර ගන්නවා. සංචාරකයන් පැමිණීමත් සමඟ 'හෝම්ස්ටේ' ඇති කිරීමට අවශ්‍ය පුහුණුව සංචාරක මණ්ඩලය හරහා ලබා දීමටත් 'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන මඟින් අවශ්‍ය ණය මුදල් ලබා දීමටත් අපි කටයුතු කරනවා. මෙතෙක් නොතිබුණු සංවර්ධනයක් යාපනය තුළ ඇති කිරීමට අපට හැකි වුණා.

"මෙම තත්ත්වය ඉදිරියට ගෙන යෑම සඳහා සංහිඳියාව ශක්තිමත් කිරීමටත් තහවුරු කිරීමටත් අප සමත් වී තිබෙනවා. බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි නිදහස් පරිසරයක් අද ඇති කර තිබෙනවා. ඒ වගේම රටේ සියලු දෙනාටම එක සමානව සැලකීමට අපි කටයුතු කර තිබෙනවා. රටේ සෑම ජාතියකටම, ආගමකටම හා භාෂාවකටම සම තැන ලබා දී එම තත්ත්වය දියුණු කර රටේ සංහිඳියාව ඇති කර තිබෙනවා. සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවට තම සංස්කෘතිය පිළිබඳව ආඩම්බර විය හැකි පරිදි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් යන හැඟීම ඇති කර තිබෙනවා. අපි සියලු දෙනාම යළිත් යුද්ධයක් ඇති නොවන ආකාරයට ක්‍රියා කළ යුතුයි. යුද්ධය හේතුවෙන් ජීවිත ලක්ෂයක් පමණ රටට අහිමි වුණා. ඒ වගේම ආර්ථික වශයෙන් විශාල හානියක් සිදු වුණා. අපට යළිත් යුද්ධයක් අවශ්‍ය නැහැ. සංහිඳියාව තිබෙන තැන සංහිඳියාව ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම පාස්කු ඉරිදා වැනි ප්‍රහාර එල්ල වන ත්‍රස්තවාදය තියෙන ස්ථානවල ත්‍රස්තවාදය නැති කර දැමීමට ශක්තිමත්ව ක්‍රියා කළ යුතුයි.

"මේ වෙනුවෙන් 2015 වසරේ සිට මෙම ආණ්ඩුව පියවර ගණනාවක් ගෙන තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය බහුතරය අපට නොමැති වීම නිසා නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට නොහැකි වුණා. නව ව්‍යවස්ථාව තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා බලය බෙදා හැරීම යන වැදගත් කරුණු දෙක අන්තර්ගත වෙනවා. උතුරේ ජනතාවට රටේ සංවර්ධනයට සහභාගී වීමට හා තමන්ගේ එදිනෙදා පාලනය සඳහා පළාත් සභා වෙත පැවරෙන බලතල තවත් වැඩි කිරීමට අපි සාකච්ඡා කර තිබෙනවා. නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවස්ථාව නොලැබුණත් බලය බෙදා හැරීම පිළිබඳව අපේ එකඟත්වය ඇති වී තිබෙන බව සඳහන් කරන්න කැමතියි. ව්‍යවස්ථාදායක මණ්ඩලය කැඳවා සාකච්ඡා කර එම වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය වශයෙන් මෙම එකඟත්වය පිළිගැනීමට අපි තීරණය කළා. සභාපතිවරයා වශයෙන් මම සියලු දෙනාම එකඟ කරගෙන මෙම වාර්තාව ඉදිරිපත් කළ බව සඳහන් කරන්න කැමතියි.

"එම යෝජනා ක්‍රියාත්මක කිරීමට අපේ පක්ෂය ඇතුළුව තවත් පක්ෂ කිහිපයක් කැප වී සිටිනවා. මීළඟ පාර්ලිමේන්තුවේ එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වරම ඔබෙන් ඉල්ලා සිටිනවා. එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව අපට ලැබේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. එම දේශපාලන විසඳුම ලබා දී මීටත් වඩා එක්සත්ව ඉදිරියට යෑමට හැකියාව ලැබෙන බවට විශ්වාසයක් මා තුළ තිබෙනවා. අපි ඇති කර තිබෙන සංහිඳියාව හා සංවර්ධනය තහවුරු කර ගනිමින් අනාගතයේදී දේශපාලන විසඳුමක් ලබා දී ශ්‍රී ලාංකිකයන් හැටියට ශක්තිමත්ව අනාගතයට මුහුණ දී සංවර්ධිත රටක් බවට මේ රට පත් කරමු."