ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි

 ඡායාරූපය:

ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන ව්‍යාපාරයයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මෙරට භූමි භාගයෙන් සියයට 40ක පමණ ප්‍රමාණයක ව්‍යාප්තව ඇති මහවැලි සංවර්ධන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක දැවැන්තම සංවර්ධන ව්‍යාපාරය බවත් ඒ වෙනුවෙන් සුවිශේෂ වැඩ කොටසක් ඉටු කරමින් මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් යුතුකම් රැසක් ඉටු කිරීමට තමාට හැකියාව ලැබුණු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (08) පැවති 31 වැනි මහවැලි ක්‍රීඩා උලෙළේ සමාප්ති උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

"අද පොළොන්නරුව, අනුරාධපුර වගේම දිස්ත්‍රික්ක ගණනාවක් ගත්තොත් විශාල ජල හිඟයක් තිබෙනවා. ඒ ජල හිඟය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබෙන සියලු වැව්වල අද තිබෙන්නේ මොරගහකන්ද ජලාශයේ ජලයයි. අනුරාධපුරයට යවන ජලය නාවුලෙන් යවන්නේ. ඒ ප්‍රදේශයට ගිහිල්ලා කලා වැවට යන ජලය වගේම මොරගහකන්දෙන් පොළොන්නරු දිස්ත්‍රික්යට ලැබුණු වතුර අද පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල කියන ජලාශවලට එනවා. ඒ නිසා මේ කන්නය තුළ අපට ජල හිඟයක් ඇති වුණේ නැහැ. නමුත් අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තොත් විශාල වශයෙන් ජල හිඟයක් තිබෙනවා. ඒ වගේම ලංකාවේ තවත් ප්‍රදේශවල ජල හිඟය ඉතාමත්ම තදින්ම තිබෙනවා. අපි මොරගහකන්ද, කළු ගඟ ජලාශ ව්‍යාපෘතියට විශේෂයෙන්ම සම්බන්ධව වැඩ කටයුතු කිරීමේදී බිසෝපුර කොට්ටාසයේ වැඩ ආරම්භ කළේ 2016 අවුරුද්දේ. ඒ ආරම්භ කරපු වැඩපිළිවෙළ, සංවර්ධන වැඩවල විශාල ප්‍රගතියක් තිබෙනවා. අපි මේ බිසෝපුර කොට්ඨාසයට විතරක් මැදිරිගිරිය ප්‍රදේශයේ ජනතාව නියෝජනය වන මේ සංවර්ධන ව්‍යාපෘතියට රුපියල් මිලියන් 6,000ක් වෙන්කර තිබෙනවා. ඒ මුදලින් බිසෝපුරට මේ වන විට අපි රුපියල් කෝටි 435කට වැඩි මුදලක් වැය කරල තිබෙනවා. ඒ කෝටි 435ට වඩා වැඩි මුදලින් තමයි මම ඔය කියපු පාරවල් හැදුණේ, ගොඩනැඟිලි හැදුණේ, විශාල වශයෙන් සංවර්ධන කටයුතු රාශියක් ඇති වුණේ.

"එදා මෙදා කාලය තුළ මැදිරිගිරිය ගෙන ගිය පුළුල් සංවර්ධන කාර්යයන් සමඟ මම 2007 මෙම ප්‍රදේශයේ මහවැලි කලාපයක් කිරීමත් බිසෝපුර නව ජනපද ව්‍යාපාර ආරම්භ කිරීමත් තුළ 56 බණ්ඩාරනායක මැතිතුමාගේ යුගයෙන් පසුව මැදිරිගිරිය සංවර්ධනයේ නව ප්‍රබෝධයක් ඇති වුණා. මේ බිසෝපුර ව්‍යාපෘතියේ කටයුතු අවසන් වන විට පවුල් 1,500කට විතර තමයි ඉඩම් තිබෙන්නේ. නමුත් ඉදිරි පියවරට යන විට මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් වන විට පවුල් දොළොස්දාහක් පදිංචි කිරීමට නියමිතයි. මේක යෝධ සංවර්ධන ව්‍යාපෘතියක්.

එදා ඩී. එස්. සේනානායක යුගයේ පොළොන්නරුව ගොවි ජනපද ව්‍යාපාර, මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය වගේම, අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රය වගේ ඊට සමානව වගේම අධි තාක්ෂණය සම්බන්ධ වුණු නව සංවර්ධනයක් මේ තුළින් සිද්ධ වෙනවා. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා මැදිරිගිරිය ප්‍රදේශය විදියට ගත්තම ඒ සිදු වන කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳව. වාරි මාර්ග ක්ෂේත්‍රයේ සංවර්ධනය වගේම, 'පිබිදෙමු පොළොන්නරුව' යටතේ කරන පුළුල් ජාතික සංවර්ධනයට අද මේ ක්‍රීඩාංගණයත් ඇතුළු වෙනවා. මැදිරිගිරිය වගේ සංවර්ධනයෙන් අඩු බොහෝ දුෂ්කර ජීවිත ගත කරන අඩු පහසුකම් තිබෙන ජනතාවක් සිටින ප්‍රදේශයක මේ පුළුල් සංවර්ධන කාර්ය තුළ විශාල ප්‍රතිඵලයක් අද වගේම ඉදිරියටත් අත්විඳින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. රටේ ආහාර නිෂ්පාදනය, වී නිෂ්පාදනය ප්‍රමුඛව ජාතික ආර්ථිකයට පුළුල් ශක්තියක් දෙන්න මේ ව්‍යාපෘතිය තුළ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා.

"ඒ නිසා මහවැලි ව්‍යාපාරය කරන කටයුතුවලදී නව සංවර්ධන යුගයක එක් අවස්ථාවක් විදියට අද හඳුන්වන්නට පුළුවන්. මහවැලි අධිකාරිය ආරම්භ කරලා අපේ රාජ්‍ය ඇමතිතුමා කිව්වා මහවැලි ව්‍යාපාරයට අවුරුදු 50යි කියලා මේ අවුරුද්දට. 1969 තමයි මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වුණේ. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ පළමු වැනි ඇමතිවරයා බිහිවුණේ පොළොන්නරුවෙන්. ඒ තමා සී.පී. සිල්වා ඇමතිතුමා. ආණ්ඩුවක් විදියට මහවැලි විෂය අමාත්‍යාංශයක් තුළට එක් කළේ ඩඩ්ලි සේනානායක මහත්මයාගේ ආණ්ඩුව. 1965 සී.පී. ද සිල්වා ඇමතිතුමා වාරි මාර්ග, විදුලි බල, ඉඩම් ඇමතිවරයා වශයෙන් සිටින කාලයේ එතුමාට මහවැලි විෂයත් බාර දීලා තිබුණා. ඉන්පසුව විශේෂයෙන්ම මහවැලියේ නවෝදයක් ඇති කරන්න අනුරාධපුරෙන් බිහි වුණු මෛත්‍රීපාල සේනානායක ඇමතිතුමා විශාල වැඩ කොටසක් කළා. පොල්ගොල්ලේ වේල්ලේ වැඩ අවසන් කළා. එයින් තමා අනුරාධපුරයට, පොළොන්නරුවට රජරටට 1976 ජනවාරි මාසේ 8 වැනිදා ජලය ලැබුණේ. ඒ වගේම ගාමිණී දිසානායක මැතිතුමා කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ මේ රටේ ආර්ථිකයේ වේගවත් පිම්මක් පැන්නා. එදා මෙදා කාලය තුළ මහවැලි විෂය බාරව සිටි ඇමතිවරුන්ගෙන් මේ වන විට වැඩිම කාලයක් කටයුතු කරලා තියෙන්නේ මමයි. මේ කාලය තුළ අවුරුදු 17කට වැඩි කාලයක් කඩින් කඩ මහවැලි ඇමතිවරයා විදියට ලංකාවේ අනෙක් මහවැලි කලාපවල සංවර්ධනය, ප්‍රතිසංවර්ධනය, නැවත පදිචි කිරීම්, පුනරුත්ථාපන කටයුතු විදේශ ආධාර අරගෙන විශාල වශයෙන් අපට කරන්න පුළුවන්කම ලැබුණා.

"අපි පහුගිය දිනවල අලුතින් පටන් ගත්ත මිනිපේ කලාපය දැන් අලුත් මහවැලි කලාපයක්. මිනිපේ කලාපය තුළ දැන් අලුතෙන් ඒ සංවර්ධන කටයුතු කෙරෙනවා. ඒ නිසා අපි රටේ ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් දෙන යෝධ බහුකාර්ය ව්‍යාපෘතිය විදියට අවුරුදු 50ක් මේ වසරට සම්පූර්ණ වන මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 31 වැනි මහවැලි ක්‍රීඩා උලෙළ ඉතාමත් වැදගත් අවස්ථාවක්. මේ දරුවෝ මහවැලි කලාපවල ජීවත්වන දරුවෝ. ඔබ ගොවි පවුල්වල රජයේ සේවකයන්ගේ, එහෙම නැත්නම් සුළු ව්‍යාපාර කරන අයගේ, ඒ විවධ ප්‍රදේශවල ඉන්න අපේ ආදරණීය ජනතාවගේ දරුවෝ. විශේෂයෙන්ම අද මහවැලි ක්‍රීඩා උලෙළට ලංකාවේ සතර දිග් භාගයෙන් පැමිණි ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, මහවැලි නිලධාරීන්ට ඒ සමඟ පැමිණි මවුපියන්ට මං විශේෂ ස්තූතියක් පිරිනමනවා.