අපි පොහොට්ටුවට බාල්දු වෙන්න ඕන නැහැ

 ඡායාරූපය:

අපි පොහොට්ටුවට බාල්දු වෙන්න ඕන නැහැ

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

කුමාර වෙල්ගම කියන්නේ පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යේෂ්ඨතම මන්ත්‍රීවරයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක්. මෑත කාලයේදී වැඩි වශයෙන් කථා බහට ලක්වුණු දේශපාලන චරිතයකි. විශේෂයෙන්ම 2015 මහින්ද රාජපක්ෂ රජය බිඳ වැටීමෙන් පසුව ශ්‍රීලනිපය ගැන වැඩියෙන්ම කථා කළ මන්ත්‍රීවරයාය. ඕනෑම නායකයෙක් පිළිබඳව තමන්ගේ විවේචනය නොබියව ප්‍රකාශ කරන මන්ත්‍රීවරයෙක් ලෙසද වෙල්ගම මහතා ප්‍රසිද්ධියක් උසුලයි. එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන අපේක්ෂකයන් නම් කිරීමත් සමගම නැවත වරක් පක්ෂ සහ පක්ෂ ජ්‍ය්ෂ්ඨයන් ගැන කථා බහ ආරම්භ විය. එහිදී ශ්‍රීලනිප ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි දිගින් දිගටම ප්‍රකාශ කළ ප්‍රධානම ශ්‍රීලනිප මන්ත්‍රීවරයා වෙල්ගම මහතාය. මේ ‘රැස‘ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සමග වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වූ සුහද සංවාදයකි.

 ඔබ ගිය පාසල?

මම ගියේ අගමැතිවරු හතර දෙනෙක් බිහි කළ පාසලකට. ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ මම නිවැරදි නම් ඩබ්ලිව්. දහනායක යන අගමැතිවරුන් බිහි කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට.

 පවුලේ දේශපාලන පසුබිම?

මගේ පවුලේ උදවියට දේශපාලන පසුබිමක් නැහැ. මගේ මහප්පා බණ්ඩාරනායක මහත්තයාගේ යුගයේ, දයා ටී. පැස්කුවෙල් මහතාගේ කාලයේ ශ්‍රීලනිපයෙන් මතුගම සුළු නගර සභාවේ උප සභාපතිවරයා වෙලා හිටියා. මගේ පියා රටේ නම් දැරූ ව්‍යාපාරිකයෙක්. ප්‍රවාහන ව්‍යාපාරයේ නම් දැරූ කෙනෙක්. 'එස්.ඒ. වෙල්ගම සහ පුත්‍රයෝ' ව්‍යාපාරය මගේ පියා ආරම්භ කළේ. ඒ ව්‍යාපාරය ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉහළින්ම හිටියා. මගේ මව මතුගම ආසනයේ සේරුවිල ගම්මානයේ හිඳැල්ලආරච්චි කෙනෙක්.

 ඔබගේ සහෝදර සහෝදරියන් හොඳ තැන්වල ඉන්නවා. ඒ කවුරුත් දේශපාලනයට සම්බන්ධ නොවුණේ ඇයි?

එක එක්කෙනා විවිධ පැතිවලට ගියා. මට සහෝදර සහෝදරියන් දහ දෙනෙක් ඉන්නවා. මම පවුලේ හය වැනියා. මගේ ලොකු අයියා ව්‍යාපාරිකයෙක්. අද ජීවතුන් අතර නැහැ. එයා විවාහ වුණේ නවලෝක සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ එච්.කේ. ධර්මදාස මහතාගේ දෙවැනි දුව සමඟ. දෙවැනි අයියා ජර්මන් භාෂාව පිළිබඳ හසල දැනුමක් තියෙන කෙනෙක්. එයා වැඩි කාලයක් ජීවත් වුණේ ජර්මනියේ. තුන්වැනි අයියා තමයි දිවයින, අයිලන්ඩ්, කැන්ඩොස් ව්‍යාපාර හිමි ආයතනයේ සභාපතිවරයා. එයා විවාහ කර ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ එක කුස උපන් මල්ලිගේ දුවව. මගේ මල්ලි නලින් වෙල්ගම. දැන් තියෙන අයිඩියල් මෝටර්ස් කියන විශාල ආයතනයේ සභාපති. මගේ අක්කා විවාහ වුණේ ලංකාවේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වුණු එච්.එච්. ආර්. සමරසිංහ දොස්තර මහත්තයාව. දෙවැනි අක්කත් වෛද්‍යවරයකු හා විවාහ වුණා. එයා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. මගේ නංගි විවාහ කර ගත්තේ හිටපු කථානායකවරයෙක් වුණු ආර්.එස්. පැල්පොල මහත්තයාගේ පුතාව. එයා වරලත් ගණකාධිකාරීවරයෙක්. දෙවැනි නංගි කසාද බැන්දේ වාසුදේව නානායක්කාර මහත්තයාගේ බාප්පගේ පුතාව. එයා ඉංජිනේරුවෙක්. එයාගේ තමයි එන්.ඊ.එම්. කියන ආයතනය. මගේ බාල නංගි නීතිඥවරියක් එයා විවාහ වුණේ ඒ කාලේ ලංකාවේ තිබුණු සුප්‍රසිද් අයිස්ක්‍රීම් ව්‍යාපාරයක් වන ‘ඇලරික්ස් අයිස්ක්‍රීම්' සමාගමේ හිමිකාර මහත්තයාගේ පුතා සමඟ.

 පාසල් අධ්‍යාපනයෙන් පසුව?

මම සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ වැවිලි ක්ෂේත්‍රයට යොමු වුණා වැවිලිකරුවකු ලෙස. මුලින්ම සෙන්ට් ජෝර්ජ් ගෘෘප් වතුයායේ වතු සුපිරින්ටෙන්ඩන්ට් කෙනෙක් ලෙස වැඩ ඉගෙන ගත්තා.

 දේශපාලනයට පැමිණියේ?

වැවිලි අංශයේ ව්‍යාපාර කරන අතර තමයි දේශපාලනයට ආවේ. ඒ වයස අවුරුදු 28දී. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් තමයි පක්ෂ සාමාජිකත්වය ගත්තේ. 1989 වසරේ මැතිවරණයට තමයි මම මුලින්ම තරග කළේ.

 ඒ භීෂණ කාලේ කොහොමද මැතිවරණයකට මුහුණ දුන්නේ?

ඒ හැම එකකින්ම දෙයක් ඉගෙන ගත්තා. ඒකෙන් පස්සේ තමයි ශ්‍රීලනිපය ඉදිරියට ආවෙත්.

 ඔබත් එක්ක පැමිණි සමකාලීනයෝ කළුතර දිස්ත්‍රික්කයේ තවමත් ඉන්නවාද?

ඒ අවස්ථාවේ තරග කළ අයගෙන් ඉතුරු වෙලා ඉන්නේ මම විතරයි. ඒ කවුරුවත් අද ජීවතුන් අතර නැහැ. මාත් එක්කම 89දී ෆවුසි මහත්තයා කළුතරින් තරග කළා. පස්සේ එයා කොළඹට ආවා. එතුමා ජීවතුන් අතර ඉන්නවා. කළුතර අයගෙන් ජීවතුන් අතර ඉන්නේ මම විතරයි. දැනට මම අවුරුදු 38ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක්. කළුතර දිස්ත්‍රික් නායකයා. 1994 සිට අවුරුදු 25ක් එක දිගටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා.

 කළුතරින් ඔබ ගරු කරන දේශපාලන චරිත කවුද?

මම ගරු කරන දේශපාලනඥයො දැන් නැහැ. මම දැකපු දේශපාලනඥයෝ තමයි අනිල් මුණසිංහ, දයා ටී. පැස්කුවෙල්, චම්ලි ගුණවර්ධන, මංගල මුණසිංහ සහ කොල්වින් ආර්. ද සිල්වා වගේ අය. ඒගොල්ලෝ ජාතික හැඟීමකින් දේශපාලනය කළේ. ඒ වගේම ඔවුන් දූෂණයෙන් තොරයි. දැන් ඒක හාත්පසින්ම වෙනස් රට ගැන බලන්නේ නැහැ. මම දැකලා නැහැ දැන් රට ගැන හිතන එක්කෙනෙක්වත්. පක්ෂය ගැන හිතන්නෙත් නැහැ. තමන් ගැන විතරමයි හිතෙන්නේ.

 වැඩ කරන්න පහසු වුණේ කුමන නායකයා යටතේද?

සිරිමා බණ්ඩාරනායක කාලේ මම මන්ත්‍රීවරයෙක්. චන්ද්‍රිකා මැතිනියගේ කාලේ ලොකු කරදරයක් තිබුණේ නැහැ වැඩ කරන්න. ඊළඟට මම මහින්ද රාපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ කැබිනට් ඇමතිවරයෙක්. ඒ කාලේ පවුල් බලය කියන එක වැඩිපුර තිබුණා. හැම ඇමති කෙනෙක්ගෙම වැඩවලට ඇඟිලි ගැහුවා. ඒ නිසා තමයි 2015දී ඇමතිවරු හුඟක් යටින් මඟ හැරියේ. මොකද රාජපක්ෂ මහත්තයාගේ පවුලේ උදවිය, සහෝදරයෝ, දරුවෝ එයාලා හැම දේටම අත දැම්මා. ඒ නිසා උඩින් හොඳ හිත පෙන්නුවට ඇමතිවරුන් බොහෝ දෙනෙක් 2015දී යටින් විරුද්ධව වැඩ කළා.

 දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය?

ශක්තිමත් පක්ෂයක්. 2015න් පස්සේ තමයි වෙනස් වුණේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පක්ෂයේ මහ ලේකම් වෙලා හිටියා. පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා තිබුණා. ඊට පස්සේ තමයි පක්ෂය කඩා වැටීම ආරම්භ වුණේ. මොකද එතුමා ගිහිල්ලා නැවතත් පක්ෂ සභාපති ලෙස ආවහම දෙදරීමක් ඇති වුණා. අපිට ඇමති ධුර ගන්න කියල මධ්‍යම කාරක සභාවෙදි එතුමා යෝජනා කරනකොට මම විරුද්ධ වුණා. මම තමයි ඉස්සෙල්ලම එළියට බැස්සේ හවුල් ආණ්ඩුවලට විරුද්ධයි කියලා. වෙන කවුරුත් එළියට බැස්සේ නැහැ. ගොඩක් දෙනෙක් ඇමතිකම් ගත්තා. ඒ දින සීය ආණ්ඩුවෙදීයි. මම එළියට බැස්ස එක මහින්ද මහත්තයාට ශක්තියක් වුණා. මහින්ද මහත්තයා මාව බදාගෙන කිව්වා ‘‘මට දැන් එක ශ්‍රී ලංකාකාරයෙක් හරි ඉන්නවා" කියලා. ඉස්සෙල්ම නිර්මාණය වුණේ පොහොට්ටුව නෙමෙයි. ‘ඒකාබද්ධ විපක්ෂය' අපි ඔක්කොම එකතු වෙලා ඒකාබද්ධ විපක්ෂයක් හැදුවා.

ඊට පස්සේ විමල්, ගම්මන්පිල, දිනේෂ් සහ වාසු එකතු වෙලා නුගේගොඩ රැස්වීම පැවැත්වුවහම ජනාධිපතිතුමා කිව්වා ඒ රැස්වීමට ගියොත් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනවා කියලා. මන්ත්‍රීවරු යන්න බය වුණා. මමයි ටී. බී. ඒකනායකයි විතරයි ගියේ. ඊට පස්සේ තමයි මන්ත්‍රීවරු බය නොවී ඒකාබද්ධ විපක්ෂයට ආවේ. ඒක තමයි පස්සේ පොහොට්ටුව වුණේ. හැබැයි මම ඒකේ නැහැ.

 පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් ශ්‍රීලනිපයට මොකක් වෙයිද?

පළාත් පාලන මැතිවරණයේදී බොහෝම දුර්වල තත්ත්වයක තිබුණත් ලක්ෂ පහළොවක් ඡන්ද තිබුණා. ඒක අවතක්සේරු කරන්න බැහැ. ශ්‍රීලනිපය ගොඩගන්න පුළුවන් අපි එක ප්‍රතිපත්තියක ඉන්නවා නම්. අපි දැන් අනෙක් පක්ෂ දිහා බලන්න ඕනෑ නැහැ. අපේ පක්ෂය කොහොමද ඉදිරියට ගෙනියන්නේ මිනිස්සු එක්ක වැඩ කරන්නේ කොහොමද කියන එක විතරයි බලන්න ඕන.

 ජනාධිපතිවරයාත් ඉන්න ශ්‍රීලනිපය ඇයි පොහොට්ටුව පස්සෙ යන්නේ? කොන්දේසි නැතුවම දැන් ඒ අයගේ අපේක්ෂකයා නම් කරලත් ඉවරයි?

අපි පොහොට්ටුවට බාල්දු වෙන්න ඕන නැහැ. අපි බලන්න ඕන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය දිහායි. ජනාධිපතිවරණයට අපි ශ්‍රීලනිප අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අපිට අනිවාර්යයෙන්ම ආසන විස්සක් විතර ගන්න පුළුවන් ඉලක්කයකට හරියට ගියොත්. හැබැයි අපි පොහොට්ටුවට හේත්තු වුණොත් අපිට ඒක නැති වෙනවා. ඉන්න මිනිස්සුත් අපෙන් ඈත් වෙනවා. ශ්‍රීලනිපයට කවදාවත් නැඟිටින්න බැරි වෙන්නම වැටෙනවා. එජාපයට හේත්තු වෙන්න ගියත් ඒකම වෙනවා. අපේ අපේක්ෂකයා ඉදිරිපත් කළොත් අපේ අනන්‍යතාව තියාගෙන ඉදිරියට යන්න පුළුවන්. වත්මන් ජනාධිපතිවරයා සභාපති වුණු පක්ෂයට මීට වඩා ගැම්මක් එක්ක යන්න පුළුවන්.

 ජනාධිපතිවරණයක් ආවොත් කවුද ශ්‍රීලනිප අපේක්ෂකයා විය යුත්තේ?

ඒක ඉතිං ජනාධිපතිතුමා තමයි තීරණය කළ යුත්තේ

 ඊට සුදුසු පුද්ගලයෝ ඉන්නවද?

අපොයි ඉන්නවා.

 ශ්‍රීලනිපය වැනි ග්‍රාමීය, සාමාන්‍ය ජනතාවගේ පදනමක් ඇති පක්ෂයක් පවුල් පාලනයක්, මිලිටරි සහ ජාතිවාදී මුහුණුවරක් ඇති පොදුජන පෙරමුණට සහාය දක්වන්නේ කෙසේද යන්න බොහෝ දෙනා අහනවා?

ඒක තමයි මම කියන්නෙත්. මම පොහොට්ටුවට බැඳුනෙ නැහැ. අනිත් අය නම් ඔක්කොම වගේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා. සමහරු ගත්තේ නැහැ කියනවා. නමුත් අපි රූපවාහිනියෙන් දැක්කා පෝලිමේ ගිහිල්ලා මහින්ද මහත්තයාගේ අතින්ම සාමාජිකත්වය ගන්නවා. එදා අපි ඇමතිකම් දරන කාලේ නාමල් රාජක්ෂ විතරයි. දැන් ආර්යාවත් ඉන්නවා. දරුවො තුන්දෙනාම ඉන්නවා. චමල් මහත්තයත් ඉන්නවා. චමල් මහත්තයාගේ පුතා ඉන්නවා. බැසිල් මහත්තයා ඉන්නවා. ගෝඨාභය මහත්තයා ඉන්නවා. තවත් රාජපක්ෂලා ගොඩක් ඉන්නවා.

මම මහින්ද රාජපක්ෂ මහත්තයාට ගිහිල්ලා කිව්වා ‘‘ඔයා පරාද වෙලා ඉන්න වෙලාවේ බය නැතුව ඉස්සරහට ආපු මිනිහෙක් මම. අපේක්ෂකත්වය දෙනවා නම් පවුලේ කෙනෙක්ට දෙන්න එපා. ජ්‍යේෂ්ඨත්වයට දෙන්න කියලා. ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යේෂ්ඨත්වය අනුව දෙන්න කියලා. එහෙම බැලුවොත් වාසුදේව, දිනේෂ් ඊට පස්සේ මම. මේ විදිහට ගියොත් ශ්‍රීලනිප පවුලේ පක්ෂයක් බවට පත්වෙයි. මේක ඔබතුමා එක්ක අපි ගොඩනඟපු පක්ෂයක්. මේ විදිහට කරන්න එපා." කියලා මම කිව්වා. නමුත් එතුමා කන් දුන්නේ නැහැ. මම නමින්ම කිව්වා ගෝඨාභයට නම් දෙන්නම එපා කියලා. එයා මිලිටරි පාලකයෙක්. එයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙලා හිටපු කාලේ සිද්ධ වුණු දේවල් අපි දන්නවා. ඒ කාලේ වුණු දේවල් මම පුන පුනා කියල තියෙනවා. ඒ නිසා ඒ වගේ කෙනෙක්ව දාන්න එපා කියලා කිව්වා.

 ඔබත් කැබිනට් ඇමතිවරයෙක් වුණු කලින් ආණ්ඩුවේම අයට ඔබ ඔය චෝදනා කරන්නේ?

හැම ආණ්ඩුවක්ම ආණ්ඩු බලය තියාගන්න මිනිස්සුන්ට ගැහුවා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. හැබැයි කලින් ආණ්ඩුව කාලේ ඒක ඕනෑවට වඩා සිද්ධ වුණා. අපි දැක්කා මාධ්‍ය කන්තෝරුවලට වුණ දේවල් මාධ්‍යවේදීන්ට වුණු දේවල්. මහජනතාවට වුණු දේවල්. ජාතික රූපවාහිනියට පවා වුණු දේවල් අපි දැක්කා. ඒ නිසා මම කිව්වා ඒ වගේ කෙනෙක්ට නම් දෙන්න එපාම කියලා.

 ශ්‍රීලනිපය සමඟ සිටි කුඩා පක්ෂ දැන් ඉන්නේ පොහොට්ටුව එක්ක. ඔබලාට තිනියම ගමනක් යන්න පුළුවන්ද? ජනාධිපතිතුමා එක්ක මේ ගැන කතා කළාද?

මම ජනාධිපතිතුමා හම්බවෙලා එක දෙයක් විතරක් කිව්වා. ඔබතුමා ගෝඨාභය මහත්තයාට එකතු වුණොත් මම නම් එන්නේ නැහැ කියලා. විකල්ප මාර්ගයක් මම හොයනවා කියලා. මම කලින් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වුණෙත් ඒකයි. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පොහොට්ටුව නෙමෙයි.

 ඔබ හුඟක් ප්‍රසිද්ධයි කටට එන දේ කියනවා කියලා. තරුණ කාලෙ ඉඳලම එහෙමද?

කටට එන දේ කියනවාට වඩා මම කෙළින් කතා කරනවා. ඉස්සරත් එහෙමයි. දේශපාලනයෙන් මුහුකුරා යනකොට දේශපාලන දැනුමත් වැඩි වුණා. මගේ ඇඟේ බය නැතිකම කොහොමත් තිබුණා. ඊට පස්සේ අර දැනුමත් එක්ක මොනම අවස්ථාවකවත් කෙළින් කතා කරන්න බය වුණේ නැහැ.

 ඔබගේ මේ කෙළින් වැඩ කිරීමට පක්ෂයෙන් පොඩි පොඩි සද්ද එනවා නේද? සුසිල් ප්‍රේම්ජයන්ත මන්ත්‍රීවරයා පවා කියා තිබුණා "දැන් තියෙන්නේ ලොරි යුගය නෙවෙයි. කන්ටේනර් යුගයක්" කියලා?

ඒක බලයත් එක්ක වෙන දෙයක්නේ. ඒ අය මෛත්‍රීපාල මහත්තයා එක්ක ගිහිල්ලා ඇමතිකම් ගත්ත උදවියනේ. මම නම් එළිපිට කියලා නම්බුකාර විදියට දොට්ට බැස්සා. නමුත් ඒගොල්ලෝ ඇමතිකම් සහ බලය එක්ක හිටියා. ශ්‍රීලනිපය වැටෙයි කියල හිතලා පොහොට්ටුවට එකතු වුණා. ඒ ගියේම තැන ආරක්ෂා කරගෙන ඉදිරියේදී ඇමතිකම් සහ බලය ගන්න. මට එහෙම රුදාවක් නැහැ.

 චන්ද්‍රිකා යුගයෙන් පස්සේ රාජපක්ෂ යුගයේදී සුළු ජාතීන් ශ්‍රීලනිපයෙන් ඈත් වෙනවා. පක්ෂයට ජාතිවාදී මුහුණුවරක් එනවා. ඉදිරි මැතිවරණවලදී මේක කොහොම බලපායිද?

ඒක තමයි, ඒ අය එකතු කරන්න පුළුවන් කෙනෙක්ව දාන්න ඕන. නිසි පුද්ගලයෙක්ව පත් කරන්න ඕන. පක්ෂයේ සහ නායකයන්ගේ දේශපාලන පරිණතභාවය කියන්නේ ඒකට. ඒක අමාරු දෙයක් නෙමෙයි. මාධ්‍යවලට විතරක් කතා කරලා හරියන්නේ නැහැ.

 පසුගිය වසර අවසානයේ තිබුණු දින 52 රජය ගැන දැන් බලද්දි මොකද හිතෙන්නේ?

ජී.එල්. පීරිස් මහත්තයාගේ ගෙදරදිම මම මහින්ද මහත්තයාට කිව්වා. ඔය රජයට එක්වෙන්න එපා කියලා. ඔක්කොම ඉන්න තැන කිව්වේ. ගියොත් ඔයා අමාරුවේ වැටෙනවා. සිරිසේන මහත්තයා ඔයාව පල්ලෙහාට ඇදලා දානවා. ඔයාට බහුතරය නැහැ කියලා. 113 නැතුව බොරුවට පල් වෙන්න යන්න එපා කියලා. නමුත් ඔහු පිළිගත්තේ නැහැ. ‘‘අපි ජනතාවට පොරොන්දු වුණා තව පෝය කිහිපයකින් බලය ගන්නවා කියලා. ඒ නිසා බලය ලැබුණු වෙලාවේ ගන්න ඕන." කියලා එයා කිව්වා.

මම කිව්වා හා එහෙනම් යන්න. මම ඔබතුමාට බලය රැක ගන්න පාර්ලිමේන්තුව ඇතුළෙදි ඡන්දයත් දෙන්නම්, හැබැයි මම ඇමතිකම් ගන්නේ නැහැ කියලා. පස්සේ මම පාර්ලිමේන්තුව ඇතුළෙදිත් මේකම කිව්වා. අපිට බහුතරය නැහැ ඒ නිසා ආණ්ඩුව ගෙනියන්න බැහැ කියලා.

 මෙවර ජනාධිපතිවරණය ගැන මොකද කියන්නේ?

පක්ෂයකින් අයින් වෙලා හරි ස්වාධීන පුද්ගලයෙක් තරග කළොත් පක්ෂ දේශපාලනයෙන් තොරව, මම හිතනවා හොඳ ඡන්ද සංඛ්‍යාවක් ගන්න පුළුවන් කියලා. හැබැයි එයා මැතිවරණයෙන් පසුව කිසිම පක්ෂයකට යන්න බැහැ. එහෙම වුණොත් සිවිල් පුද්ගලයන් සහ සංවිධාන, සුළු පක්ෂ සහ විශේෂයෙන්ම මධ්‍යස්ථ මතධාරීන් එයා වටා එක් වෙයි. තරුණයන්ගේ ඡන්ද වුණත් ප්‍රධාන පක්ෂවලට වැටෙන්නේ නැහැ. ඒවත් එයාට ගන්න පුළුවන්.

 ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයට වැරදුණේ නැහැ කියලද හිතන්නේ?

එහෙම කියන්නේ නැහැ. නමුත් අතීතයේ ඉඳලම අපිට උතුරු නැඟෙනහිර යම් පදනමක් තිබුණා. අපි එහේ සංවර්ධන වැඩත් කළා. නමුත් ඔවුන් බලාපොරොත්තු වුණු දේවල් අපෙන් වුණේ නැහැ. අපේ ආණ්ඩු විතරක් නෙමෙයි, හැම ආණ්ඩුවක්ම ඒ අය එක්ක සාකච්ඡා කළා දෙන්නම් කියලා. නමුත් පොරොන්දු ඉටු නොකර රැවැට්ටුවා කියලයි ඔවුන් කියන්නේ. මොකද ඡන්දෙට කලින් ගිවිසුම් ගහනවා. ඡද්දෙන් පස්සේ ඒවා දුන්නේ නැහැ.

 ඒ පොරොන්දු ඉටු නොකරන්නේ සිංහල ඡන්ද අඩුවෙයි කියන බයටද?

සිංහල අයත් කියනවා සාමය ඕන කියලා. නමුත් හැම ආණ්ඩුවක්ම බලය ගන්නකල් පොරොන්දු දෙනවා සුළු ජාතීන්ට. ඊට පස්සේ සිංහල ඡන්ද ගන්න නැවත සුළු ජාතීන්ට බනිනවා. සිංහල මිනිස්සු තරහ වෙයි කියල අර පොරොන්දු ඉටු නොකර ඉන්නවා. ඒත් අපි හිතන්න ඕන අපි ශ්‍රී ලාංකිකයො කියලයි.

 ඇයි එහෙම වෙන්නේ?

දැන් පක්ෂ නායකත්වයන්ගේ සහ දේශපාලනයේ ඉන්න අය බහුතරයක් මමත් ඇතුළුව වයස 70, 75, 76 වගේ අය. 80 පැනපු අයත් ඉන්නවා. සමහරුන්ට උගත්කමත් නැහැ. දැන් ඇති. දැන් ඒ අය විශ්‍රාම ගිහිල්ලා තරුණ අයට අවස්ථාව දෙන්න ඕන. පාර්ලිමේන්තුවට යනන සුදුසුකමකුත් නැහැනේ. ඉස්කෝලෙ නොගිය එකෙකුට වුණත් පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. ජනතාවගේ කැමැත්ත තිබුණත් මේ වගේ අයට රටක් පාලනය කරන්න බැහැ. දියුණු රටවල වගේ අපි හොඳ උගත් තරුණ පිරිසක් හොයා ගන්න ඕන. මොකද දැන් ඉන්න තරුණ අය දූෂණයට එච්චර කැමති නැහැ. රජයේ සේව‍ෙයත් වයවෙුරුදු 60න් විශ්‍රාම යනවා. හැට පැන්නම නැවත යන්නේ ළමා වියට. ජීවිතේ ළමා අවධි දෙකක් තියෙනවා. එකක් සැබෑ ළමා විය. අනෙක වයසට යෑම නිසා එන ළමා විය.

දැන් හොඳම උදාහරණය තමයි අපේ හිටපු නායකයෝ ගත්ත තීන්දු ඔක්කොම වැරදියිනේ. මේ හැට පැන්න නායකයෝ ගත්ත ඔක්කොම තීන්දු වැරදියිනේ. පාලනය කරපු හැම පක්ෂයක්ම ගත්ත තීන්දු වැරදියි. හුඟක් අය හොඳ පෙනුමයි. හැබැයි එන්ජිම අවුල්. පිස්ටන් ගෙවිලා. බෙයාරින් දාන්න ඕන. ගජන් පින් ගහන්න ඕන. ඒක තේරුම් අරන් තරුණයන්ට රට බාර දීලා වයසක අය දැන් යන්න ඕන.

මාතෘකා