දේශමාන්‍ය එම්. ඒ. බාකීර් මාකාර්

 ඡායාරූපය:

දේශමාන්‍ය එම්. ඒ. බාකීර් මාකාර්

තුන් කල් දුටු දේශපාලනඥයා

එතුමා ධනය, බලය කිසිදු අවස්ථාවක ආභරණයක් කර නොගත්තේය. ඔහු හැමවිටම අනුගමනය කළේ මැදුම් පිළිවෙතයි. අනුගමනය කළ නම්‍යශීලී සුහදශීලී ප්‍රතිපත්ති රාමුව කිසි දිනක අමතක කර ක්‍රියා නොකළ මෙතුමා ආදර්ශවත් දේශපාලනඥයකු ලෙස අදත් ජනතාව අතර අමරණීය වී ඇත.

පනස් වසරක් තිස්සේ එතුමා කළ සේවය බේරුවලට පමණක් නොව කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට කිසි දිනක අමතක නොවනු ඇත. එතුමා අන් කවරකු නොව අභාවප්‍රාප්ත දේශමාන්‍ය එම්.ඒ. බාකීර් මාකාර් හිටපු කථානායකතුමාය.

එතුමා නියෝජනය කළ බේරුවල කොට්ඨාසය යනු විවිධ ආගමික මෙන්ම විවිධ වාර්ගික ජනතාවක් සිටින ප්‍රදේශයකි. එතුමා ජනතාවට සිය මෙහෙය ඉටු කළේ අති දක්ෂ දුම්රිය රියැදුරකු දුම්රිය මනාව හසුරවමින් නිවැරදිව ගමනාන්තයට ගෙන යන පරිද්දෙනි. කිසිදු අවස්ථාවක ඔහුගේ වගකීම් පැහැර නොහැර නිවැරදි ශිල්පීය ක්‍රම අනුගමනය කිරීම එම සාර්ථකත්වයට හේතුව ලෙස සඳහන් කළ හැකිය. එතුමා ගමන්ගත් මඟෙහි අනතුරුදා‍ෙ ස්ථානද බොහෝ විය. දුරදීම එම ස්ථාන හඳුනා ගැනීමට අති දක්ෂ දෙනෙතක් හා තීක්ෂණ බුද්ධියක් එතුමන් සතුව පැවතිණි. පනස් වසරක් ජනතා සේවය අඛණ්ඩව ජනහිත පිණිස යෙදවීමට සමත් වූයේ එබැවිනි. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික හා හින්දු යන විවිධ ආගමික ජන සමූහයකින් යුතුවූ තම ප්‍රදේශයේ සහජීවනයට මුල්තැන දීම එතුමාගේ එකම පරමාදර්ශය විය.

එතුමා ධනය, බලය මමත්වයට වඩා විශ්වාසය තබා ක්‍රියා කළේ සුහදත්වය, සහෝදරත්වය හා සහජීවන පැවැත්ම පදනම් කරගෙන බව අප කවුරුත් අත්දැකීමෙන් දන්නා කරුණකි.

බේරුවල මැතිවරණ කොට්ඨාසයේ පිහිටි ප්‍රධාන පූජනීය ස්ථානයවන ඓතිහාසික කන්දේ විහාරස්ථානය හා එතුමා ගෙන ගිය සබඳතාව කිසි දිනක අමතක කළ නොහැකිය. විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ පොතුවිල සරණතිස්ස, හීනටියන්ගල ජිනාරාම, බටුවන්හේනේ බුද්ධරක්ඛිත යන අප නාහිමිපාණන් වහන්සේලා සමඟ ඉතා සුහද සබඳතාවක් පවත්වමින් අවවාද අනුශාසනා හැමවිටම ලබාගත් අතරම ඒවා නිසි පරිදි අනුගමනය කළ බව අප කවුරුත් දන්නා කරුණකි. මෙම විහාරස්ථානයේ අභිවෘද්ධියට දිය හැකි උපරිම සහයෝගය ලබා දුන් මෙතුමා සිය දේශපාලන හෝ ඒ හා බැඳුණු කිසිදු වැඩපිළිවෙළකට විහාරස්ථානය ආධාරකයක් කර නොගැනීමට වග බලාගත්හ.

අප විහාරස්ථානය අනුගමනය කරනු ලබන මැදුම් පිළිවෙත හොඳින් තේරුම්ගෙන එලෙස තම ප්‍රතිපත්ති සකසා ගැනීමම එතුමාගේ ශ්‍රේෂ්ඨ ජීවන මඟට දිය හැකි හොඳම නිදසුනකි.

හිටපු කථානායක බාකීර් මාකාර් මැතිතුමා සිංහල ජනතාව අතර හොඳ සිංහල දේශපාලනඥයෙකි. ඉස්ලාම් ජාතීන් අතර ආදර්ශවත් ඉස්ලාම් භක්තිකයෙකි. කතෝලික ජනතාව අතර හොඳ කතෝලික බැතිමතෙකි. හින්දු භක්තිකයන් අතර හොඳ හින්දු භක්තිකයෙකි. එතුමා ගැන අපට හඳුන්වා දිය හැකි හොඳම අර්ථකථනය එයයි. මෙය එතුමාගේ පරමාදර්ශී දිවි පෙවෙතේ කැඩපතයි. තුන්කල් බලා ක්‍රියාකිරීමට සුවිශේෂ වූ හැකියාවක් එතුමා තුළ පැවතිණි. අතීතයෙන් තොරතුරු රැස්කර වර්තමානයට උචිත ලෙස සකසා අනාගතයට අවශ්‍ය පරිදි සිය ප්‍රතිපත්ති ක්‍රියාදාමයන් හා ව්‍යාපෘති සැකසීමටත් ක්‍රියාවට නැංවීමටද හේ සමත් විය.

එතුමා තමාගෙන් පසු අනාගතය සැකසුවේ දුරදක්නා දක්ෂ දේශපාලනඥයකු බව රටටම කියා පෑමෙනි. සිය දූ දරුවන් ද ඉදිරි සහජීවන සමාජයකට අවශ්‍ය පරිදි පෙළ ගැස්වීමට අමතක කළේ නැත. එයට හොඳම සාධකය සිය දෙටු පුත් ඉම්තියාස් බාකීර් මාකාර් මහතාය. ඔහුගෙන් බේරුවල පමණක් නොව සමස්ථ ජන සමාජයට සිදුවන අපරිමිත මෙහෙවර ඉතා ප්‍රශංසනීයයි. කැලණි සරසවියේ අප සමඟ සිටි සහෘදයෙක් ලෙස එතුමාගෙන් දිස්වූයේ සිය පියාගේ ආදර්ශවත් දිවිපෙවතයි. ඔහු සරසවිය තුළ කැපී පෙනුනේ හෙළ බොදු සිසුවකු ලෙසය. එදත් අදත් හෙටත් එම ලක්ෂණය එතුමා තුළින් අපි දකිමු.

අප විහාරස්ථානයේ සංවර්ධනයට පිය පුතු දෙපළ ලබා දුන් පිටිවහල සදාකල් පවතිනු ඇත. විහාරස්ථානයට පිවිසෙන වාහල්කඩ මෙන්ම කුමාරි ඇතින්නද ඒ දායාදයන් අතර මුල් තැනක් ගනී.

හිටපු කථානායක අභාවප්‍රාප්ත එම්.ඒ. බාකීර් මාකාර් මැතිතුමාගේ පරමාදර්ශී දිවි පෙවෙත ධම්ම පදයේ මෙම ගාථාව තුළින් මනාව පිළිබිඹු වනු පෙනේ.

“න අන්තහේතු - න පරස්ස හේතු

න පුත්තම්විජේන - න ධනං න රට්ඨං

න ඉච්ඡෙය්‍ය අධම්මේන - සමිද්ධි මත්තනෝ

න සීලවා පඤ්ඤවා - ධම්මිකෝ සියා’’

“යම් කිසිවෙක් තමා නිසා හෝ අනුන් නිසා හෝ අධර්මයක් අයුක්තියක් නොකරයි ද? නොනිසි අයුරින් පුතකු හෝ ධනයක් හෝ රටක් හෝ කැමති නොවෙයි ද? තමාගේ දියුණුවත් අධර්මයෙන් බලාපොරොත්තු නොවෙයි ද? ඔහු සිල්වතෙක් ද? නැණවතෙක් ද? ධාර්මිකයෙක් ද වන්නේය’’.

මෙම ධම්ම පද ගාථාවෙන් කියවෙන උතුම් ලක්ෂණ වලින් හෙබි හිටපු කථානායක අභාවප්‍රාප්ත එම්.ඒ. බාකීර් මාකාර් මැතිතුමාගේ නාමය සදා ජනතාව අතර පවතිනුයේ වර්තමාන දේශපාලනඥයන්ටද ආදර්ශයක් වෙමිනි.

පුජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමි

අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරාධිපති සහ

බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක,

කීර්ති ශ්‍රී වාගීශ්වර, ගෞරව ශාස්ත්‍රවේදී,

මාතෘකා