1988 රත්නපුර 2019 ඇල්පිටිය

 ඡායාරූපය:

1988 රත්නපුර 2019 ඇල්පිටිය

'ඇල්පිටිය දිනලා පෙන්නන්න'

පොහොට්ටුව එජාපයට අභියෝග කරයි. ආණ්ඩුව 'හ්ම්' නැත. මීට කලින් රට පුරා තිබූ පුංචි ඡන්දය අත උඩින් දිනපු පොහොට්ටුව මේ කරන අභියෝගය පුදුමෙකට හේතුවක් නොවේ. හැබැයි ඉතිහාසය දන්නවානම් පොහොට්ටුව එහෙම අභියෝගයක් කරන්නේ නැත.

ඔය විදිහට නොවුණත් ඔයිට තරමක් කිට්ටු දේවල් රැසක් ඉතිහාසයේ සිදුවෙලා තිබේ.

කදිම උදාහරණය 'රත්නපුරෙන්'ගත හැකිය.

1988 කියන්නේ ලංකාවේ දේශපාලනය අන්ධකාර වූ සමයකි. උතුර දකුණ දෙකම ගිනි අරගෙන තිබිණි. 1987 එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි අතර ඇති වූ ඉන්දු-ලංකා ගිවිසුම මුළු රටම ව්‍යාකූල කර තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ දකුණ ගිනියම් කොට තිබිණි.

තිලීපන් නමැති තරුණයා 1987 සැප්තැම්බර් 15 වැනිදා යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

උපවාසය නැවැත්වීමට නම් වහාම ඉන්දු ලංකා ගිවිසුම හකුළා ගත යුතු බව ඔහු රජයට බල කළේය. එහෙත් ආණ්ඩුව එහෙම නොකළේය.

1987 සැප්තැම්බර් 20 වැනිදා තිලීපන් අවසාන වතාවට ජාතිය අමතා කතා කළේය.

“සහෝදරවරුනි, තවත් ටික දිනකින් මා මියෙනු ඇත. එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්තිකාමීන්ගේ උපත මාගේ මරණය සමඟම සිදුවනු ඇත….”

1987 සැප්තැම්බර් 26 වැනිදා පුරා දින 12ක් ආහාර සහ ජලය නොමැතිව සිටීම හේතුවෙන් තිලීපන් සදහටම නෙත් පියාගත්තේය. එල්.ටී.ටී.ඊ.ය සන්නද්ධ අරගලය තීව්‍ර කළේ ඊට පස්සේය.

1988 පෙබරවාරි 03 පළාත් සභා සංස්‌ථාපනය කරන ආණ්ඩුව කොටස් 4 ට මැතිවරණය තිබ්බේය. උතුරු මැද, ඌව, සබරගමුව සහ වයඹ පළාත් සභා ඡන්ද 1988 අප්‍රේල් 28ද මධ්‍යම සහ බස්‌නාහිර පළාත් සභා ඡන්ද ජුනි 02ද දකුණු පළාතේ ඡන්දය ජුනි 09ද නැඟෙනහිර පළාතේ ඡන්දය නොවැම්බර් 19ද පැවැත්විණි. ඡන්ද දිනයන්හි ජවිපෙ ඇඳිරිනීතිය පනවා රට පුරා ප්‍රචණ්‌ඩත්වය වැපිරීය. පළාත් සභා අපේක්‌ෂකයන් සහ ඡන්ද දායකයන් කිහිප දෙනකුද ඝාතනය විය. ඡන්දය වැටීමේ අනුපාතය සියයට 49.7ක් වූ අතර හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එම අනුපාතය සියයට 7.97ක්‌ විය. මාතර එය සියයට 20කි.

රටම අකර්මණ්‍ය වී තිබිණි. මිනිස්සුන්ට ආණ්ඩුව තිත්ත වී තිබිණි. කොටින්ම කීවොත් 'ජේ ආර් මරමු' කියා පෝස්ටර් පවා අලවන තැනට රට වැටී තිබිණි. ශ්‍රීලනිපයේ සිරිමාවෝ සිටියේ අත උඩින් දිනන මැතිවරණයක් බලාපොරොත්තුවෙන්ය. ජේ. ආර්. ජනපති සටනට එන බවට ඉඟි දෙන විට මැතිනිලා කල් ඇතිවම ජයපැන් සාද දැමූහ. එදා ජවිපේ හිටියේ ප්‍රචණ්ඩ ඉවුරේය. ජන බලය නැතත් එදා ප්‍රචණ්ඩ බලය ඔවුන්ට තිබිණි. අද පොහොට්ටුව ශක්තියක් පෙන්වන්නේ යම් සේද එදා ජවිපෙ ප්‍රචණ්ඩ ශක්තිය පෙන්වමින් සිටියේය. මිනිස්සු ඡන්දේ දෙන්න යන්න හිතුවේවත් නැත.

'මැතිනි ජේ.ආර්.ට දෙන්නේ දොඹෙන් යන්න. මෙදා තමයි අත රජ කරන්නේ'

ශ්‍රීලංකාකාරයෝ සියලු වාසි අරගෙන වහසි බස් දෙඩූහ.

පළාත් සභා වර්ජනය කොට ජනතා විරෝධයේ 'වාසි පැත්ත' අරගෙන සිටි ශ්‍රීලනිපය පරද්දන එක හීනයක් බව ආණ්ඩුවේම සමහරු කීහ. ඔය අතර ගාමිණී වරක් ජේ. ආර්. සමඟ ගොස් ප්‍රකට හිමිනමක් හමු විය.

'ඔබතුමා ආවොත් ජනාධිපතිවරණය පරදිනවා' උන්වහන්සේ කීය.

'මේ බලන්න ගාමිණී, හාමුදුරුවෝ කියන කතා. මීට අවුරුදු 4කට කලින් සීයට පනස් දෙක පන්නලා දිනපු මම අවුරුදු 4ට පස්සේ පරදිනවලු'

කියා ජේ.ආර්. ගාමිණීට කීය. ගාමිණී නිහඬව සිටියේය.

'රැල්ල කොහේටද?' කියා හොයන්න ජේ.ආර්.ට නියම අවස්ථාවක් උදා වුණේ ඔය අතරය.

ඒ රත්නපුර අතුරු මැතිවරණයයි. මැතිවරණය පැවැත්වූයේ 1988 ජූලි මස 14 වැනි දිනය. රටම බලාගෙන සිටියේ වෙන්නේ මොනවද කියලාය.

'මේක පැරදුණොත් රැල්ල හරවන එක සක්කරයටවත් කරන්න බෑ'

ඡන්දේ කට උඩ තියාගෙන ආණ්ඩුවේ ඇමතිවරු කීහ. ජනාධිපතිවරණය පේන මානෙක තියාගෙන මේ අතුරු මැතිවරණය පැරදුණොත් සියල්ල ඉවර බව ආණ්ඩුවම දැනගෙන සිටියේය. 88 නොවැම්බර් හෝ දෙසැම්බර් ජනාධිපතිවරණය එන බවට වන හාහූව හැමතැනම විය. එදා ශ්‍රීලනිපයට නැතිවෙන්න දෙයක් තිබ්බේ නැත. හැබැයි ආණ්ඩුවට රැකගන්න දේ තිබුණේය.

'අතුරු මැතිවරණය දිනන්නම ඕන'

ජේ.ආර්.ගේ අභියෝගය ඒකය. ඒ නිසාම ඔහු සියලු බලය අතුරු මැතිවරණයට යෙදුවේය.

පක්ෂ දෙකේම ප්‍රබලයෝ රත්නපුරයෙහි 'ලැගුම්ගෙන' මැතිවරණ සටනට එක් විය. අනුර බණ්ඩාරනායක පවා එහි නවාතැන්ගෙන සිටියේය. නන්ද එල්ලාවලලාත් පුංචිනිලමේලාත් දෙපාර්ශ්වයේ වූහ. ආණ්ඩුවේ නියෝගය 'දිනන' එකය. ජේ. ආර්. කෙලින්ම රත්නපුරට බැස්සේය. රත්නපුරය දිනවා පෙන්වන බවට ඔහු සහතික විය.

අලුයම වන විට ප්‍රතිඵල සූදානම් විය. නන්ද එල්ලාවල ඡන්ද 31,854ක් හා සුසන්ත පුංචිනිලමේ 27,069 ක්ද අනික් අපේක්ෂකයන් අටදෙනකු ඡන්ද 748ක්ද ලබා තිබිණි. වැඩි ඡන්ද තුන්දහස් ගාණකින් ශ්‍රීලනිපය දිනුවේය.

“සහෝදරවරුනි, අද දින අප පක්ෂය විශාල ජයග්‍රහණයක් ලැබුවා. මේ ජයග්‍රහණය නවතින්නේ ආණ්ඩුව ගෙදර යවලා ඒකේ පළමු මුර වෙඩිල්ල තමයි අද තිබ්බේ.”

අනුර බණ්ඩාරනායක ප්‍රීතියෙන් කීවේය.

'දැන් ඉතින් ආණ්ඩුව ගෙදර යවන එක ටොයිස් වැඩක්'

හැමෝම කීහ.

මැතිනි ඇතුළු ශ්‍රීලනිපය 'අතුරු මැතිවරණ ජයෙන් උදම් වෙද්දී ජේ.ආර්. අඩියක් පස්සට ගෙන පක්ෂය සහ ආණ්ඩුව ගැන හිතුවේය.

'අපි අලුත් වෙමු. ප්‍රේමදාස ඉස්සරහට ගමු'

රන්ජන් විජේරත්න එහෙම කීවේය. ඒ වෙනකොටත් අගමැති ප්‍රේමදාස තනතුර 'පියන්කමක්' බව කියමින් සිටි අතර ජනාධිපතිවරණයටද සීරුමාරුවට සූදානමින් සිටියේය. පුරවැසි පෙරමුණටද ඔහු පණක් දී තිබිණි. 88 නොවැම්බර් 10 ජනාධිපතිවරණය බවට ප්‍රකාශ විය.

ජේ. ආර්. එජාප සමුළුව කැඳවූවේය. දශක කිහිපයක් එජාපය රැකගත් මිනිසා, එජාප ඉතිහාසයේ බලගතුම ජයග්‍රහණය දිනා දුන් මිනිසා, එජාපය වැඩියෙන්ම ශක්තිමත් කළ මිනිසා, එජාපයට ඉතිහාසයේ ප්‍රථම වරට වෘත්තීය සමිතියක් හැදූ මිනිසා, රටට විවෘත ආර්ථිකය ගෙනා මිනිසා, රටම විප්ලවීය සංවර්ධන වැඩබිමක් කළ මිනිසා තීරණාත්මක සමුළුව කැඳෙවූවේය.

‘මම රජෙක්‌ නොවේ. මට රකින්න පෙළපතක්‌ නැහැ. මට මුදල් හම්බ කරන්න අවශ්‍ය නැහැ. මට බූදලයක්‌ නැහැ. මේ රටේ මගේ බූදලය තමයි ගොවි ජනතාව. වැව් හදලා, කුඹුරු ඉඩම් දීලා ඔවුන් සංවර්ධනය වී සිටින විට මේ රට ඉබේම සංවර්ධනය වෙනවා'

මහවැලි ව්‍යාපාරයේ මාදුරුඔය හදලා ඉවර වුණාට පසුව ජේ.ආර්. කීවේ එහෙමය. ඔහු සම්මේලනයේදී එජාප නායකයකු මෙතෙක් කළ සංවේදීම කතාව කළේය.

ඒ තමන්ගේ පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා සහ පක්ෂ නායකයා ජනතාවට හඳුන්වා දෙන්නටය. වේදිකාවේ ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වගේම තවත් විශේෂ අමුත්තෙක් සිටියේය. ඔහු රණසිංහ ප්‍රේමදාසය. දහස් ගණනක ජනතාව මැද ජේ. ආර්. අපූරු කතාවක් කළේය.

“මේ එක්සත් ජාතික පක්ෂය තමයි අවුරුදු ගණනාවක් රට පාලනය කළ පක්ෂය... රටට නිදහස ගෙනාව පක්ෂය... මහජන පක්ෂයක් හැටියට දුප්පත්ම මහජනයා වෙනුවෙන් අත දෙන රණසිංහ ප්‍රේමදාස මහත්මයාට අපි නායකත්වය පවරනවා; මහජනයාට හඳුන්වලා දෙනවා...මෙන්න තමුන්නාන්සේලාට මනුෂ්‍යයෙක්... එතුමා එන්නේ උන්නැහේගේ ප්‍රතිපත්ති උඩ, උන්නැහේගේ ක්‍රියාව උඩ... උන්නැහේගේ මහජනතාවට තියෙන ආදරය උඩ... ඒ මේ රට අවුරුදු ගණනාවක් පාලනය කරපු දේශපාලන පක්ෂයේ එකම නියෝජිතයා හැටියටයි.”

දහස් ගාණක් කඳුළු පුරවාගෙන කන් බිහිරිකරවන අත්පොළසන් නාදයක් සහ උද්දාමයක් පළ කළහ.

එජාපය අවදි විය. ප්‍රබෝධයෙන් මුසපත් විය. ආණ්ඩුවේ පතාකයන් වූ ගාමිණී, ලලිත් දෙදෙනාම මැතිවරණ සටන කරට ගත්හ. ප්‍රේමදාස යකඩ කටින් මිනිස්සු නැති රැලි ඇමතූහ. ගෙවල්වල දොරවල් වසාගෙන ජනතාව ඒ කතා ඇසූහ. ඡන්දය දමන ප්‍රථම 12 දෙනා මරාදමන බවට ජවිපෙ නියෝග කළේය.

අන්තිමට ප්‍රේමදාස රටේ දෙවැනි විධායක ජනාධිපති ලෙස පත්විය.

ඇල්පිටිය මැතිවරණය දිනා එයින් ජනාධිපතිවරණය දිනන බවට පුරසාරම් දොඩන අයට කියන්නට තියෙන්නේ රත්නපුර අතුරු මැතිවරණය හිතේ තියාගන්න කියන එකය. ඒ වගේම හැමදේටම උදාහරණ ගන්නා ඉන්දියාවේ සිදුවීමකුත් මේ මෙහොතේ මතක් කළ යුතුය.

2019 මැතිවරණය ආසන්න වන විට මෝඩි ගැන තිබුණේ අමුතු චිත්‍රයකි. 2014 ජයගත් මෝඩි ක්ෂණිකව ජනප්‍රිය වූයේ නැත. ඔහු ගත් ජනප්‍රිය නොවන තීන්දු නිසා ඉන්දියානුවෝ බොහෝ ලෙස පීඩාවට පත්වූහ. වරක් ඔහු මුදල් නෝට්ටු තහනමක් ගෙන ආවේය. මුළු ඉන්දියානුවන්ම ඔහුට මවුපියන් සිහිකර බැන වැදුණු අතර 2015 පැවති බිහාර් ප්‍රාන්ත මැතිවරණයේදී මෝඩි පරාජය විය. ආසන 243කින් සමන්විත බිහාර් ප්‍රාන්ත සභාවේ බහුතර බලය දිනා ගැනීමට එහි විපක්ෂ සන්ධානය සමත් විය. ඔවුන් විසින් ආසන 157ක් ගනිද්දී මෝඩිගේ භාරතීය ජනතා පක්ෂය දිනාගත්තේ ආසන 77ක් පමණි.

ඒ විතරක් නොව 2015 පෙබරාවරි 7 දිල්ලි ප්‍රාන්ත මැතිවරණය පැවැත්විණි. අලුතින්ම කරළියට ආ ආමි ආද්මි පක්ෂය මහා විප්ලවයක් කළේය. ආසන 60න් 57කදීම පාලක භාරතීය ජනතා පක්ෂය පරාද වී ආම් ආද්මි පෙරමුණ ගත්තේය. හරියට එජාප, ශ්‍රීලනිප දෙකම වෙනුවට ආ 'පොහොට්ටුව' වගේමය. කවුරුත් කිව්වේ ඉන්දීය දේශපාලනයේ මේ විකල්ප දේශපාලන පක්ෂයක් දිහාවට ඇතිවුණු මේ හැරවුම නවත්වන්නට ආයෙත් නේරු ආවත් බැරි බවය. හැබැයි ගිය මැතිවරණයේදී මෝඩි වාර්තා තියා දිනුවේ පවුලේ පක්ෂය වූ කොංග්‍රසය හෝදා දමමිනි.

ඒ නිසා ඒතරම් උඩ පනින එක ඇඟට ගුණ නැත.