විද්‍යාත්මක ක්‍රමයට පරිසරය සුරකින්න අපි සූදානම්

 ඡායාරූපය:

විද්‍යාත්මක ක්‍රමයට පරිසරය සුරකින්න අපි සූදානම්

ජනාධිපති අපේක්ෂක

අනුර කුමාර දිසානායක

ජාතික ජනබලවේගය මඟින් ක්‍ෂේත්‍රයේ විද්වතුන් මැදිහත් කරගෙන පරිසරය සුරකින විද්‍යාත්මක ප්‍රතිපත්තියක් සකසා තිබෙන බවත් එය ජනතාව අතට පත් කරන බවත් ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

උඩවලව කොට්ටවත්ත විලේජ්හිදී ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදක්වන අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

“අපේ රටේ ක්‍ෂේත්‍රවලින් දිනපතා ව්‍යසනයන් සිදුවන ක්‍ෂේත්‍රය තමයි පරිසර ක්‍ෂේත්‍රය. ඒත් වැඩි අවධානයට ලක් නොවුණු ක්‍ෂේත්‍රයත් ඒකයි. හොඳ සූර්යාලෝකය තිබෙන රටක් අපිට තිබෙනවා. රට මැද මධ්‍ය කඳුකරයෙන් රූරා ගලන ගංගා 103ක්, ඒවාගේම අනු ගංගා 94කින් සමන්විත රටක් අපට තිබෙනවා. දිය ඇළි, පොකුණු, විල්, වැව්වලින් සමන්විත රටක් මේක.

“අපි පොඩි කාලෙ මේක සුන්දර දිවයිනක් කියා ඉගෙන ගත්තා. ඒත් අපි අපේ ජීවිත කාලය තුළදීම දකිනවා විශාල ලෙස ස්වාභාවික විපත් සිදු වෙනව. අපේ ජීවිත කාලය තුළ අපේ කුඩා කල ඉගෙන ගත් දේට පටහැනි දේ අත්විඳිමින් ඉන්නවා. අවුරුදු 71ක් ගිය තැන මේ පාලකයන් අපට ඉතිරි කර තියෙන්නෙ විශාල වශයෙන් පරිසරය විනාශ කරපු රටක්.

“විශාල ජල ප්‍රශ්නයකට අපේ රට මුහුණ දීලා තියෙනවා. 2014දී වකුගඩු රෝගයෙන් මිනිස්සු 2,147ක් මියගියා. 2015දී 1,901ක් මියගිහින් තිබෙනවා. 2016දී එම ප්‍රමාණය 1,788ක්. වකුගඩු රෝගය නිසා මේ වසර 3දී පමණක් 5,836 දෙනෙක් මියගොස් තිබෙනවා. අද අනුරාධපුරයට ගිහින් බැලුවොත් වැඩිපුරම තියෙන්නෙ වතුර කඩ. ගෙවල් ගානෙ ඇවිල්ලා ලීටර් 5ක් රුපියල් 40 ගාණෙ වතුර විකුණනවා. පැත්තකින් කුණු කඳු කඩා වැටිල මිනිස්සු මැරෙනවා. ලෝකයේම තිබෙන සායනික අපද්‍රව්‍ය ගෙනල්ල රට තුළ ගොඩගහන රාජ්‍යක් බවට අපේ රට පත් කරලා. අක්‍රමවත් සංවර්ධනය හේතුකොටගෙන මීගමු කළපු මුහුදු තීරය විශාල ඛාදනයකට ලක් වෙලා. මාස 34ක් වැනි කාලයක් තුළ අලි ඇතුන් 340ක් ඝාතනය වෙලා තියෙනවා. අද කැලෑවල ඉන්න අලි පැහැරගෙන යනවා. අලි පිළිබඳ වාර්තා තබන අලි පොත අතුරුදන් වෙලා. ජාතික වන උද්‍යාන ගණනාවක් විනාශ කරමින් යනවා. ඒ නිසා ජල පෝෂක කලාපයන් විශාල අනතුරකට ලක් වෙලා. සති 2ක් වහිනකොට ගංවතුර ගලනවා. මාසයක් පායනකොට නියඟය එන රටක් බවට මේ රට පත් කරලා. යුද්ධයෙන් ඇතිවූ විනාශයට වඩා විනාශයක් අද පරිසර විනාශය නිසා ඇති වෙලා තියෙනවා. ඕනෑම පාලනයක අත්හැරිය නොහැකි වගකීමක් තමයි පරිසර පද්ධතිය යළි වතාවත් කිරීම. ඒ සඳහා සැලසුම්සහගත පියවර ගැනීම.

“අපේ රටේ ජනයාට රටේ දූ දරුවන්ට පිරිසුදු රටක්, පිරිසුදු වෙරළ තීරයක්, පිරිසුදු ආහාර වේලක් ලබා දීම පාලකයන්ගේ අත්හළ නොහැකි වගකීමක්.

“පරිසරය රැකීමට නම් පළමුව සැලසුම් සහගත භූමි පරිහරණ සැලැස්මක් අපට අවශ්‍යයි. අද ඒක තියෙන්නේ පොතේ විතරයි. ඒ වගේම පරිසරය රැකීමේ නීති පද්ධතියක් ඊළඟට අපට අවශ්‍යයි. ජාතික ජනබලවේගයේ අපි ක්‍ෂේත්‍රයේ විද්වතුන් මැදිහත් කරගෙන පරිසරය සුරකින විද්‍යාත්මක ප්‍රතිපත්තියක් හදා තියෙනවා. එය අද ඔබ අතට පත් කරනවා.”

News Order: 
6
මාතෘකා

ජනප්‍රිය ලිපි