මෙවර ජනපතිවරණයේදී ඔබේ තීරණය කුමක් විය යුතුද?

 ඡායාරූපය:

මෙවර ජනපතිවරණයේදී ඔබේ තීරණය කුමක් විය යුතුද?

දිලිනි විතානලාගේ

හිටපු කථිකාචාරිණි, කොළඹ විශ්වවිද්‍යාලය

ජනාධිපතිවරණයේ ජාතික වැදගත්කම

එලඹෙන නොවැම්බර් 16 වන දින සියලුම ශ්‍රී ලාංකිකයන්ට අතිශය වැදගත් වන දිනයකි. ස්වකීය ජනාධිපතිවරයා ප්‍රජාතාන්ත්‍රිකව තෝරාගැනීමේ අවස්ථාව එදිනට සියලු ශ්‍රී ලාංකික ඡන්ද දායකයන්ට හිමිවේ. මෙවර ජනාධිපතිවරණය වෙන කවරදාටත් වඩා තීරණාත්මක ස්වරූපයක් ගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජාතික ආරක්‍ෂාවේ පැවැත්ම පිළිබඳ කතිකාවත යළිත් ඉස්මතු වීමත් සමඟය. විශේෂයෙන්ම අප්‍රේල් 21 වැනි දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව සමඟම ජාතික ආරක්‍ෂාව ශක්තිමත් කිරීමේ අභියෝගයක්, පුළුල් මානව සුරක්‍ෂිතතාවක අවශ්‍යතාවක් මෙවර ජනාධිපතිවරණය තුළ ආමන්ත්‍රණයට ලක්විය යුතු ප්‍රධානතම කරුණු දෙකක් බවට පත්වී ඇත.

ශක්තිමත් ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්තියක්

රටක ජාතික ආරක්‍ෂාව යනු පුළුල් සන්දර්භයක් තුළ නිර්වචනයට ලක්විය යුතු කාරණයකි. ජාත්‍යන්තර සබඳතා විෂය ධාරාවට අනුව ජාතික ආරක්‍ෂාව හුදෙක් පටු මිලිටරි ආරක්‍ෂාවට පමණක් සීමා නොවිය යුත්තකි. මෙම කාරණය මනාව අවබෝධ කරගත් ජනාධිපති ධුර අපේක්‍ෂකයකු ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කළ හැකිය. ඔහුගේ දැක්මට අනුව ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්තිය තුළ මිලිටරි ආරක්‍ෂාවට ඉහළ ප්‍රමුඛස්ථානයක් හිමිවන අතර මානව ආරක්‍ෂක ප්‍රධාන සංරචකයන් වන ආර්ථික, සමාජීය, දේශපාලනික, පාරිසරික වැනි පැතකඩයන්ද ඔහුගේ අවධානයට යොමු වී ඇත. සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන මිලිටරි ආරක්‍ෂක ප්‍රතිපත්තිය තුළ බුද්ධි අංශය ශක්තිමත් කිරීම, ත්‍රිවිධ හමුදාව සවිබල ගැන්වීම, අභ්‍යන්තර හා බාහිර ආරක්‍ෂක විධිවිධාන තරකිරීම සහ ජාතික දේශ සීමා, මුහුදු සීමා සුරක්‍ෂිත කිරීමේ ශක්තිමත් වැඩපිළිවෙළක් අන්තර්ගතය. එලෙසම මෙම ආරක්‍ෂාව සඳහා වන පුළුල් ප්‍රවේශය රටේ ස්වාධිපත්‍යය, ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩත්වය සුරක්‍ෂිත කරන අතරම, අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය වැනි ජාතික ව්‍යසනයන් නැවත ඇති නොවීමට දායක වනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස

රටක උන්නතිය සඳහා එම රටේ ජාතික ආරක්‍ෂාව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය කොතෙක් දුරට සුරක්‍ෂිතද යන්න අතිශය වැදගත් වේ. 2015 වර්ෂයෙන් පසුව

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කිසියම් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇතිබව පිළිගත හැකිය. කථාකිරීමේ නිදහස, ජනමාධ්‍ය නිදහස මෙන්ම, තොරතුරු දැනගැනීමේ අයිතිය, අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම තුළින් මෙය මනාව පැහැදිලි වේ. කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්කම සහ වටිනාකම පිළිබඳ අවබෝධ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ගිලිහිණු විටය. විශේෂයෙන්ම 2015න් පසුව අපට දක්නට ලැබුණේ විරුද්ධ දේශපාලන මත දරන පුද්ගලයන් මර්දනය වෙනුවට ඔවුන්ට විවේචනයට සහ සංවාදයට ඉඩ ප්‍රස්ථා විවර වීමය. එපමණක් නොව සියලු මාධ්‍යවේදීන්ට ස්වකීය මතය බියෙන් සැකයෙන් තොරව ප්‍රකාශ කිරීමේ පරිසරයක් ද අද රට තුළ නිර්මාණය වී ඇති බවය. මාධ්‍යවේදීන් බියගැන්වීම, බලපෑම් කිරීම, ඔවුන් දේශපාලන අතකොලු බවට පත්කිරීම අද සිදුවන්නේ නැත. රාජ්‍ය මාධ්‍ය වුවද කිසියම් ආචාර ධර්ම පද්ධතියකට යටත්ව කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පරිණත තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් තුළ හිමිකරගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, නිදහස යළි ප්‍රශ්නාර්ථයකට ලක්කරනවාද යන්න මෙවර ජනාධිපතිවරණයේදී සිතා බැලිය යුතු කාරණයකි.

ආගමික සහජීවනය සහ ජාතික සමගිය

රාජ්‍යයේ ඒකීයත්වය සහ භෞමික අඛණ්ඩත්වය ඒකීය රටක් තුළ සුරක්‍ෂිත කිරීම, ව්‍යවස්ථානුකූලව බුදුසසුනට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් අනෙකුත් ආගම් අතර සහජීවනය ඇතිකිරීම, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති අතර ප්‍රමුඛ වන්නකි. එලෙසම සියලුම ආකාරයේ ආගමික අන්තවාදය මුලිනුපුටා, රට තුළ ආගමික සහයෝගීතාවක් ඇතිකිරීමට ඔහු අපේක්‍ෂා කරයි. විශේෂයෙන්ම අප්‍රේල් 21 ප්‍රහාරයට හේතු සාධක වූ මූලධර්මවාදීන්ගේ ක්‍රියාකාරීත්වය සහ අන්තවාදී ආගමික මතයන් පාලනය කරමින්, මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගයෙන් ආගම පදනම්ව සිදුවන ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම සමස්ත

ශ්‍රී ලාංකික ජනතාව ඔහුගෙන් අපේක්‍ෂා කරයි.

ජනතාවාදී නායකත්වයක්

සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දශක තුනකට ආසන්න කාලයක් තුළ ඔහු ලැබූ දේශපාලන අත්දැකීම් පන්නරය සහ හැකියාවන් පදනම් කරගනිමිනි. ඔහු ස්වකීය දේශපාලන ගමන්මඟ ආරම්භ කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ දුෂ්කරතාවලින් පීඩිත ජනතාව නියෝජනය කිරීමටය. තම පියාගේ මැද කොළඹ ආසනය වෙනුවට ඔහු දකුණේ දුෂ්කර ප්‍රදේශයක් තෝරාගත්තේ මේ නිසාය. කොළඹ නාගරික පසුබිමක හැදී වැඩී, විදේශ අධ්‍යාපනයක් ලත් අයකු ලෙස ඔහුගේ මෙම කැපවීම, දායකත්වය සහ ජනතා සේවය සුවිශේෂී සහ ප්‍රශංසනීයයි. ඔහුගේ දේශපාලන ඉතිහාසය පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස යනු ඔහුට ලබාදුන් වගකීම්, කාර්යභාරයන් සාර්ථක ලෙස නිමකළ ජනතා නියෝජිතයකු බවයි. බිම් මට්ටමේ ජනතාව නඟාසිටුවීම සඳහා ඔහුගේ පියාණන් වන දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන් සහ ආදර්ශයෙන් සුවිශාල සංවර්ධන කාර්යභාරයක් ඔහු ඉටු කර ඇත. දුප්පත්කම පිටුදැකීම, නිවාස සංවර්ධනය, බුද්ධ ශාසනය නඟාසිටුවීම, තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් ජන සුවය, ගම් උදාව, සසුනට අරුණ සහ තරුණ සවිය වැනි සාර්ථක සහ කාර්යක්‍ෂම ව්‍යාපෘති රැසක් ඔහු දැනටමත් දියත්කර ඇත.

ඔහුගේ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය මේ අතරින් සුවිශේෂී වන්නේ එය හුදෙක්ම දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපෘතියක් නොවන අතරම ජනතාව තුළ යැපුම්කාරී මානසික තත්ත්වයක් (Dependency Syndrome) ඇති නොකරන්නක් වීම නිසාය. මෙම සංවර්ධන ව්‍යාපෘතිය තුළින් අඩු ආදායම්ලාභී පවුල් ඒකකයන්ගේ ආර්ථික සහ සමාජීය වශයෙන් සවිබල ගැන්වීමක් සිදුවේ. එපමණක් නොව, මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීමට රාජ්‍ය අනුග්‍රහයට අමතරව සම්පත්ලාභියාගේ ශ්‍රම සහ මූල්‍ය දායකත්වයක් අවශ්‍ය වේ. එබැවින් මෙම ව්‍යාපෘතිය හුදෙක්

යැපෙන්නන් පිරිසක් නිර්මාණය කරනවා වෙනුවට ස්වයං විශ්වාසය, ස්වයං නැඟීසිටීම, පෙරදැඩි කරගත් ජනතාවක් මෙන්ම ශක්තිමත් පවුල් සංස්ථාවක් නිර්මාණය කිරීමට දායක වී ඇත.

ශ්‍රී ලංකාව ප්‍රමුඛ වූ විදේශ ප්‍රතිපත්තියක්

සජිත් ප්‍රේමදාස මහතාගේ විදේශ ප්‍රතිපත්තිය තුළ විදේශීය බලවතුන්ට අනිසි ලෙස ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ නැත. ‘ශ්‍රී ලංකාව ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්තියක් (Sri Lanka First Froeign Policy) ක්‍රියාත්මක කිරීම ඔහුගේ විදේශ ප්‍රතිපත්තියේ හරය වේ. ඒ තුළින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම රටේ උන්නතියට, අභිවෘද්ධියට යොදාගැනීම මෙම විදේශ ප්‍රතිපත්තියේ මූලික පරමාර්ථය වේ. විදේශ රාජ්‍යයන් සමඟ ගිවිසුම්, සම්මුතීන්, එකඟතාවලට එලඹීමේදී කිසිඳු ආකාරයකින් රාජ්‍ය ස්වාධිපත්‍යයට, ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවට අනිසි බලපෑමක් හෝ හානියක් මේ තුළින් සිදුනොවනු ඇත.

ඔබේ තීරණය

වර්තමානයේ ජනාධිපතිවරයා සහ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වෙනස් පක්‍ෂ දෙකක් නියෝජනය කිරීම හරහා විවිධ දේශපාලන මත ගැටුම්, තීරණ ගැනීමේ දුර්වලතා සහ ඇතැම් රාජ්‍ය කටයුතුවල මන්දගාමී ස්වරූපයක් යම් දුරකට විද්‍යා මාන විය. මෙවන් සන්දර්භයක් තුළ මෙවර ජනාධිපතිවරණයේ ඔබ ගන්නා තීරණය අතිශය තීරණාත්මක වේ. එබැවින් රට තව දිශාවකට යොමු කිරීමට සජිත් ප්‍රේමදාස වැනි නව, තරුණ නායකත්වයක් රටට ප්‍රබල අවශ්‍යතාවකි. ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන, පවුල් කේන්ද්‍රීය බල දේශපාලනයෙන් තොර සංවර්ධනයේ අවස්ථා සැමට උදාවෙන, ස්වාධිපත්‍යය සහ ඒකීයත්වය සුරැකෙන, ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීමට කැපවෙන, තරුණ නායකත්වයකට ඔබගේ තීරණය ලබාදීම මෙවර ජනාධිපතිවරණයේ ජාතික අවශ්‍යතාවකි.

 

News Order: 
-1
මාතෘකා

ජනප්‍රිය ලිපි