අපරාධ නඩු තියෙන කෙනෙක් ජනාධිපතිකමට නෙවෙයි රජයේ රැකියාවකටවත් සුදුසු නැහැ

 ඡායාරූපය:

අපරාධ නඩු තියෙන කෙනෙක් ජනාධිපතිකමට නෙවෙයි රජයේ රැකියාවකටවත් සුදුසු නැහැ

රාවය පුවත්පතේ ආරම්භක කර්තෘ,

පුනරුදය ව්‍යාපාරයේ නිර්මාතෘ - වික්ටර් අයිවන්

ජනාධිපතිවරණයක් ආසන්නයේ තිබියදී මෙරට ජනමාධ්‍ය හැසිරෙන ආකාරය ගැන ඔබ තෘප්තිමත්ද?

කොහෙත්ම නැහැ, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය තමන් කළ යුතු කාර්ය නෙමෙයි මේ මොහොතේ කරමින් ඉන්නේ. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කොහොමත් විධිමත්ව සමාජ වගකීමෙන් ක්‍රියා කළේ නැහැ. වගකීමක් තිබුණෙත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ විධිමත් බලවේගයක් ලෙස ආණ්ඩුක්‍රමයේ වැදගත් පංගුකාරයෙක් ලෙස ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විධිමත්ව ක්‍රියා කළා කියලා මම දකින්නේ නැහැ. දශක ගණනාවකට පෙර මෙරට ජනමාධ්‍ය මීට වඩා ගාම්භීර වෙන්න පුළුවන්, ජනතාවගේ ප්‍රශ්න කථා කරන්නත් ඇති. දැනට වඩා රළු නොවුණට ජනමාධ්‍ය කොහොමත් විධිමත්ව ක්‍රියා කරලා නැහැ.

දේශපාලන අනාවැකි කීම දැන් අවුල් සහගතයි නේද?

ඔව්, ඒක හරි. ශ්‍රී ලංකාවේ දැන් කියන්නේ අනාවැකි නෙමෙයි. කැමති දේ. අනිත් එක පක්ෂ ගැන වුණත් බොහෝ දෙනකුට හරි වැටහීමක් නැහැ. ඒකට හේතුව ශ්‍රී ලංකාවේ බොහොමයක් දේශපාලන පක්ෂවලත් විනිවිදභාවයක් නැහැ. ඒ පක්ෂ දුවන්නේ කළු සල්ලිවලින්. සාමාජික මුදලින් නෙමෙයි.

මැතිවරණ කොමිසමටත් බලයක් නැහැ පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන හොයන්න. ඉන්දියාවේ මැතිවරණ කොමිසමට පුළුවන් විගණනය කරන්න පක්ෂවලට සල්ලි එන්නේ කොහෙන්ද කියලා හොයලා බලන්න.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල තියෙනවා ඡන්දය සල්ලිවලට ගන්න බැරි විදිහේ නීති රීති දාලා; විශේෂයෙන්ම මූල්‍ය නීති. ඉන්දියාවේ සමාගමකට දෙන්න පුළුවන් දේශපාලන පක්ෂයකට උපරිම මුදල රු. 25,000යි. ඒකත් මූල්‍ය වාර්තාවල ලියැවෙන්න ඕන. ලංකාවේ එහෙම නැහැ. ජනාධිපතිවරණයට රුපියල් බිලියන 5ක් වැය කරනවා. මම හිතන්නේ අපේක්ෂකයන් බිලියන 10ක් පමණ වැය කරනවා. ලංකාවේ මැතිවරණ කියන්නේ විශාල ව්‍යාපාරයක්. ජයටම කරන ලාභ ලබන ව්‍යාපාරයක්. වෙනත් රටවල හැම තැනම බෝඩ් ගහන්න දෙන්නේ නැහැ. ලංකාවේ බෝඩ් ගහගෙන මැතිවරණ කරන්නේ.

ඇයි ලංකාවේ එහෙම වුණේ?

අපිට ඕන තරම් මැතිවරණ තිබුණට දියුණු දේශපාලන සංස්කෘතියක් තිබුණේ නැහැ. යන්තමින් හරි එහෙම එකක් තිබුණ නම් ඒක 70 දශකයේදී නැතිවෙලා ගියා. ඊට පස්සේ දිගටම අපේ දේශපාලන සංස්කෘතිය ජරාජීර්ණ වුණා. බලන්න අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු පමණක් නෙවෙයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පවා තම දේශපාලන හයියෙන් පිටස්තරයන්ගෙන් මොනතරම් දේවල් ලබා ගන්නවාද? ඒ ගැන කවුද මොනවත් අහන්නේ. කාටවත් ඒ ගැන වැඩක් නැහැ.

එංගලන්තයේ මන්ත්‍රී කෙනෙක් පිටස්තරයෙක් සමග රෑ කෑමකට ගියත් ඒක සටහන් කරන්න ඕන. කා එක්කද ගියේ, මොකටද ගියේ, කෑමවල බිල කීයද? වැනි ඒ හමුවීමට අදාළ හැම දෙයක්ම ඒ සටහනේ අන්තර්ගත විය යුතුයි. ඒ වගේම ඒ රටවල මන්ත්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාර කරන්න බැහැ. ඒක විශාල වරදක්. අපෙත් එහෙමයි. ඒත් ඒ වරද සිද්ධවෙනවා. ඒ ගැන හැමදෙනාම දන්නවා. නමුත් කවුරුත් ඒක වෙනස් කරන්නේ නැහැ. අපේ කවුරුත් ඒක වෙනස් කරන්න ඕන දෙයක් ලෙස දකින්නෙත් නැහැ.

ඔබ ඒ ගැන යෝජනාවක් කළා නේද?

ඔව්, මුලින්ම අපි කළා මන්ත්‍රීවරුන්ට ‘රජය සමග අපට ව්‍යාපාර නැහැ, පවුලේ කිසිවෙකුට හෝ රජය සමග එවැනි ව්‍යාපාර නැහැ‘ කියලා දිවුරුම් ප්‍රකාශයක් දෙන්න කියන යෝජනාව. ඒක කළේ අපි පිහිටුවගෙන තියෙන ‘පුනරුද ව්‍යාපාරය‘ විසින් මැතිවරණ කොමසාරිස් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි. අපි කියපු කරුණු ගැන අධ්‍යයනය කරල කියන්නම් කියල කොමිසමේ සභාපතිතුමා කිව්වා. පසුව ඒක අධ්‍යයනය කරල තමයි නැවතත් මේ නීතිය බලගන්වලා තියෙන්නේ. ඒක කරන ක්‍රමය තමයි දිවුරුම් ප්‍රකාශය. ඒක කරන්න දැනට වෙන ක්‍රමයක් නැහැ. ඇත්තටම මේක 1970ට කලින් ක්‍රියාත්මක වුණා. පසුව තමයි නැති වුණේ. ඒ නැති වුණා කියලා කවුරුත් පැමිණිලි කළෙත් නැහැ. කලබල වුණෙත් නැහැ. එහෙම නීතියක් ඕනේ කියල ඉල්ලුවෙත් නැහැ.

අපේ රටේ දේශපාලන පරිකල්පනය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙණුනත් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී නැහැ නේද?

පක්ෂ විකිණෙනවා සල්ලිවලට. ඇත්තටම පක්ෂ ගොඩක් ලියාපදිංචි කරලා තියෙන්නේ ඒකට. නැත්නම් මොකටද මේ රටට මෙච්චර පක්ෂ. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී නම් එතරම් පක්ෂ සංඛ්‍යාවකින් අපේ රටට මොනතරම් දේවල් කරන්න පුළුවන්ද? නමුත් වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ පක්ෂවලින් මොනවද කරන්නේ. මොනවද ඒ පක්ෂවල ප්‍රතිපත්ති. ජනතාව ඒව දන්නවාද? නැහැ.

අපරාධ චෝදනා මෙන්ම දූෂණ චෝදනා තියෙන අයත් මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් වෙලා ඉන්නවා ඔබ තවම ඒ ගැන කිසිදෙයක් කිව්වේ නැහැ නේද?

මම කථා කරල තියෙනවා. ඊට වඩා ලියල තියෙනවා. අභිචෝදනා තියෙන කිසිකෙනෙකුට තරග කරන්න නොදිය යුතුයි කියලා. මම මේ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ගැනම නෙමෙයි. කාට වුණත් එහෙම චෝදනා තියෙනවා නම් තරග කරන්න නොදිය යුතුයි. අභිචෝදනා තියෙනවා කියන්නේ අපරාධ නඩු තියෙනවා කියන එකටයි. එහෙම කෙනෙකුට රජයේ රැකියාවක්වත් දෙන්නේ නැහැ. නිලධාරියකුට එහෙම චෝදනාවක් ආවොත් වැඩ තහනම් කරනවා. නමුත් අපේ දේශපාලනයේ එහෙම නැහැ. අපේ ව්‍යවස්ථාව සකස්කරද්දි ඒක හිතලා නැහැ. මේ පූර්වාදර්ශය අනාගතයට බලපාවි. අපේ දේශපාලන සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රවාදී නැහැ.

අපරාධ චෝදනා තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරුන් වගේම පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයනුත් තවමත් ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්නවා නේද?

අපේ ආණ්ඩුක්‍රමයේ පදනම වෙලා තිබුණෙ මන්ත්‍රීකම අහිමි කර නොගෙන පක්ෂ මාරු කරන්න නොහැකි වීම. මොකද මන්ත්‍රීවරු එන්නේ පක්ෂ ප්‍රතිපත්ති පිළිගෙන නිසා. නමුත් චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ කාලයේ අධිකරණය අවනත කරගෙන පක්ෂ මාරුකරන මන්ත්‍රීන්ගේ මන්ත්‍රී ධුරය අහිමි නොකර තමන්ගේ පැත්තට ගත්තා. ඒක පක්ෂ ව්‍යවස්ථාවන්ටත් පටහැනියි. නමුත් පසුව හෝ අධිකරණයවත් ඒ වැරැද්ද නිවැරදි කළේ නැහැ.

ඒක නිසා දැන් වෙලා තියෙන්නේ කෝටි ගණන්වලට මන්ත්‍රීවරු විකිණෙන එක. අධිකරණය මෙයට මැදිහත්වෙලා නිවැරදි කළ යුතුයි. ඉන්දියාවේදී නම් එහෙම කරනවා. මේ දේ අමාරු දෙයක් නෙමෙයි. අවශ්‍ය වෙන්නේ ඒක කරන්න කැපවීම සහ ධෛර්යය පමණයි.

අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනතාවට යහපත් ව්‍යවස්ථා වෙනස්කම් කරන්න එක් වෙනවද? නැත්නම් ජනතා විරෝධී ව්‍යවස්ථාවලටද එක් වෙන්නේ?

ඒක මම පොඩි උදාහරණයකින් කියවන්නම්. ඉන්දිරා ගාන්ධි අගමැතිවරියගේ කාලේ ඉන්දීය ලෝක් සභාවට (පාර්ලිමේන්තුවට) හදිසි නීතිය සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාව 42 වැනි සංශෝධනය කියලා. ඒකට බොහෝ පක්ෂ වගේම බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. ලෝක් සභාවේ විතරක් නෙවෙයි ඉන් පිටත්. පක්ෂ විපක්ෂ භේදයක් නැතිව මන්ත්‍රීවරුන්ට තේරුණා රටේ ජනතාව මේ සංශෝධනයට විරුද්ධයි කියලා. අවසානයේ ඒ ව්‍යවස්ථා සංශෝධනය නිසාම ඉන්දිරා රජය බිඳ වැටුණා. ඊට පසුව බලයට පැමිණි ජනතා පක්ෂ රජය 43 වැනි සංශෝධනය ගෙනල්ලා. ඉන්දිරා අගමැතිනිය 42 වැනි සංශෝධනයෙන් කළ වැරැද්ද ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විකෘතිය නිවැරදි කළා. ජනතා පක්ෂය ගෙනාව 43 වැනි සංශෝධනයට ලෝක් සභාවේදී ඉන්දිරා කොංග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරුත් ඡන්ය දුන්නා. අපේ එහෙම කරනවාද? නැහැනේ.

අපේ ව්‍යවස්ථාවත් එක්ක මේ ජනාධිපතිවරණය දිහා බලන්නේ කොහොමද?

ඇත්තටම අපිට හරි හමන් ව්‍යවස්ථාවක් නැහැ. කැඩිලා බිඳිලා ප්ලාස්ටර් දාපු ව්‍යවස්ථාවක් තියෙන්නේ. මෙවර ජනාධිපතිවරයා පත් වූ දිනයේ සිට සකල විධ බලතල තියෙන්නේ අගමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවට. නමුත් ඒ බලයක් නැති ජනාධිපති මුළු රටෙන්ම තෝරන්න රජය බිලියන 5ක් වියදම් කරන්න යනවා.

මේකෙන් වෙන්න පුළුවන් විපතක් තියෙනවා. මෙච්චර වියදම් කරල අරගත්ත බලය පාවිච්චි කරන්න ඕන කියලා ඒ පත්වෙන ජනාධිපති හිතන්න පුළුවන්. එහෙම හිතලා ආයතන කිහිපයක් තමන්ගේ ළඟට ගත්තොත් ඒකාධිපතියෙක් බිහි වෙන්න පුළුවන්. මේ ජනාධිපතිවරණයෙන් පසුව මුදල් බලය මෙන්ම රාජ්‍ය කටයුතු අධීක්ෂණය සඳහා බලය තියෙන්නෙත් පාර්ලිමේන්තුවට. නමුත් ඒක වෙන්නේ නැහැ.

ඔබ කියන්නේ ඒක කරන්න අවශ්‍ය දැනුම නැහැ කියලද?

ඔව්. හොඳම උදාහරණය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය. ඇත්තටම ඔවුන්ට දැනුම නැහැ. 19 වැනි සංශෝධනයෙන් වුණේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ධුර සංඛ්‍යාව දෙගුණ වුණ එකයි. ඒ ගැන කල්පනා නොකරයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. අපේ පාර්ලිමේන්තුව තියෙන්නේ නීති සම්පාදන විෂය අතින් දුර්වල තත්ත්වයක. නීතිපති දෙපාර්තමේන්තුවත් එහෙමයි. ලංකාව නීති සම්පාදනයෙන් බංකොලොත්. මේ තත්ත්වය නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ දුර හිතන ව්‍යවස්ථාදායක සභාවකට

දැන් රට තියෙන්නේ කොයි තත්ත්වයකද?

අපේ රට බංකොලාත් වෙන්න යන රටක්. දැන් බලන්න මන්ත්‍රීවරු වුණ ගමන් බාර් ලයිසන් ගන්නවා, රජයේ ඉඩම් අල්ලගෙන විකුණනවා. ගල් වැලි පර්මිට් ගන්නවා, කැළෑ කපනවා. වෙන රටවල මන්ත්‍රීවරු මෙහෙම කරනවාද? ඇමති කාර්ය මණ්ඩලය කියලා සිය ගාණක පිරිසක් විශේෂයෙන්ම පවුලේ උදවිය නඩත්තු කරනවා. ශ්‍රී ලංකාවේ රජය කියන එක කුණු වෙලා, දූෂිතයි.

ඔවුන්ගේ කුණු වීමට තියෙන හොඳම උදාහරණය තමයි ලංකාවේ ගම්මිරිස්වලට වුණුදේ. ලංකාව කියන්නේ ඉතිහාසයේ ඉඳලම හොඳම ගම්මිරිස් නිපදවපු රටක්. අපේ මන්ත්‍රීවරු කළේ

ප්‍රතිඅපනයන බලපත්‍ර අරගෙන පිටරටින් ලාබෙට බාල ගම්මිරිස් ගෙනල්ලා ලංකාවේ හොඳ ගම්මිරිස් එක්ක කලවම් කරලා ප්‍රති අපනයනය කළා. දැං ලංකාවේ ගම්මිරිස්වලට ඉල්ලුම අඩුයි. විමධ්‍යගත අරමුදල කියලා එකක් තියෙනවා. ඒ විමධ්‍යගත අරමුදලින් මොනවද කරන්නේ? ලෝකේ මොන රටේද විමධ්‍යගත අරමුදල් තියෙන්නේ?

මුලතිවු පන්සලේ ආදාහනය බලන්න. බොදු බල සේනාව එතැනට ගිහිල්ලා අධිකරණ නියෝගය එළිපිටම කඩනවා. ධම්මික පෙරේරා ප්‍රතිඅපනයන බලපත්‍ර යටතේ ලංකාවට ගේන්නේ කුණු. මොනවද මේ වෙන්නේ. රජයේ සියලුම ආයතන බිඳ වැටිලා. උසාවිවල තියෙන බඩු භාණ්ඩ අතුරුදන් වෙනවා. සමාජයත් බිඳ වැටිලා.

වසර 30ක යුද්ධයෙන් පසුව සමාජය ප්‍රතිසංස්කරණය කළේ නැහැ. ගංවතුරකින් පස්සේ ගෙයක් වුණත් හෝදනවා. අවුරුදු 30ක යුද්ධයෙන් ලංකාවේ කොහෙද ලේ හැලුණේ නැත්තේ. ඒක ගැන හිතලවත් සමාජ ප්‍රතිසංස්කරණයක් කළේ නැහැ.

මේ තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට මාධ්‍ය කළ යුත්තේ කුමක්ද?

ජනමාධ්‍ය ජනතාව දැනගත යුතු දේ වාර්තා කරන්නේ නැහැ. ගණිතය විෂය වැඩියෙන් අසමත්වන එක වළක්වා ගත්තේ ගණිතය සමත් වෙන්න තියෙන කඩඉම් ලකුණු මට්ටම අඩු කරලා කියලා මොන මාධ්‍යද වාර්තා කළේ? ඒක ජනතාව දැනගත යුතු නැද්ද?

ගුරුවරු උගන්වන්නේ පන්ති කාමරයට. නමුත් ජනමාධ්‍ය උගන්වන්නේ මුළු සමාජයටම. ජනමාධවලට දැනුම, විනය නැත්නම් ඒ රට ඉවරයි. අපිට වෙලා තියෙන්නේ ඒක. අපේ ජනමාධ්‍ය ආයතනවලට සහ ඒවායේ කටයුතු කරන බොහෝ දෙනෙකුට ජනමාධ්‍යකරණයේ යෙදෙන්න අවශ්‍ය කරන දැනුම සහ විනය දෙකම නැහැ. ඒ නිසා අපේ රටේ දේශපාලකයින් කරන වැරදිවලට වඩා බරපතළයි ජනමාධ්‍ය කරන වැරදි.

ජනමාධ්‍ය නිකං සෙල්ලම් කරනවා. වගකීමකින් තොරවමයි කටයුතු කරන්නේ. සමාජ වගකීම දන්නේ නැහැ. අපේ රටේ තියෙන සාමාන්‍ය සමාජයේ කැඩපතක්ම තමයි ජනමාධ්‍යයත්. නඩුකාරයාගේ ඉඳලා ග්‍රාම නිලධාරීන් දක්වා සියලුම නිලධාරීන් තමන්ගේ වගකීම දන්නේ නැහැ. ඔවුන් කටයුතු කරන්නේ වගකීමකින් තොරවයි. වගකීම ගැන දන්නේ නැහැ.

අපේ සියලුම ජනමාධ්‍යවලට නියාමනයක් නැහැ නේද?

ඔව්, ඒක හරි. අනිත් පැත්තට ජනමාධ්‍යවලට විතරක් බැනල වැඩක් නැහැ. ජනමාධ්‍ය ගැනත් ඇහැ ගහගෙන ඉන්න තියෙන ස්වයං පාලන, ස්වයං නියාමන ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ක්‍රම සියලුම ජනමාධ්‍යවලට අදාළ නැහැ තමයි. නමුත් අදාළ වන මුද්‍රිත මාධ්‍යවලටවත් ඒ ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

ලංකාවේ පෞද්ගලික ජනමාධ්‍ය විශේෂයෙන්ම පුවත්පත් වැනි දේවල් බොහෝ විට ලාභ ලබන්නෙත් නැහැ නේද? කොහොමද මේවා පවතින්නේ?

ලංකාවේ ජනමාධ්‍ය හිමිකරුවන් වීමෙන් ඔවුන් කරන්නේ ලාභ ලබන එක නෙමෙයි. ඒක නෙමෙයි අරමුණ. ඔවුන්ගේ පළමු අරමුණ වෙන්නේ නායකයින්ට සමීප වෙන එක. නායකයාට සමීප වෙන එක තමයි ලාභය. නායකයා සතුටුකරලා විශාල වරප්‍රසාද ගන්න පුළුවන්. ඒ ලැබෙන වරප්‍රසාද පුවත්පත්වලින් ලබන්න බැහැ. ඒ වගේම ඒ ජනමාධ්‍ය ආයතන දිගටම පවත්වගෙනත් යනවා. එහෙම කරන්න පුළුවන් වෙන්නේ එහි හිමිකරුවන්ට තියෙන වෙනත් ව්‍යාරවලින් සල්ලි පොම්ප කරන නිසා. ඒ නිසා තමයි මාධ්‍යවලට සම්බන්ධ ප්‍රබල වෘතීය සමිති නැත්තේ.

අතීතයේ ඉඳලම ඒ තත්ත්වය තිබුණද?

අඩු වැඩි වශයෙන් කාලෙන් කාලෙට තිබුණා. නමුත් දැන් ඒ තත්ත්වය බහුලයි.

ඔබ නිතරම උදාහරණයට ගන්න ඉන්දීය ජනමාධ්‍ය ඒ තත්ත්වය නැත්තේ ඇයි?

ඒකට ප්‍රධානම හේතුව තමයි ඉන්දීය නිදහස් සටනට ප්‍රමුඛම වුණේ ජනමාධ්‍ය වීම. ඉන්දීය නිදහස් සටන ඉහළම තැනට ඔසවන්න පුළුවන් වුණේ ඒකයි. මුළු ඉන්දියාව පුරාම එකම පණිවිඩයක් ගෙනියන්න පුළුවන් වුණා. භාෂා ගණනාවක් කථා කළත් ඉන්දීය ජනමාධ්‍ය හරිම ප්‍රබල විධිහට ඒ කාර්ය කළා. ඉන්දීය නිදහස් සටනේ හිටපු නායකයෝ බොහොමයක් ජනමාධ්‍යවල හිටපු අය. නිදහස් සටනින් පස්සෙත් ඇතැම් නායකයින් ක්‍රියාකාරී දේශපාලනයට සහ රාජ්‍ය පාලනයට එන විට තවත් පිරිසක් නැවතත් ජනමාධ්‍යවලටම ගියා. තවමත් ඉන්දියාවේ ජනමාධ්‍ය ප්‍රබලයි. ඒවට ප්‍රමිතියක් තියෙනවා. ඉන්දියාවේ ජනමාධ්‍ය හරිම දියුණුයි.

රාවය 1980 දශකයේ සිට ගමනක් පැමිණියා. මැතිවරණ, දේශපාලනය, අයිතිවාසිකම් වගේ කාරණා ගැන. දැන් ඒ කාර්ය සමාජ මාධ්‍යවලට විතැන් වෙලා නේද?

රාවයේ කාර්ය භාරය තවමත් තියෙනවා. අලුත් දෙයක් ලෙසට සමාජ මාධ්‍යත් ඇවිල්ල ඉන්නවා. ඒක හොඳ තත්ත්වයක්.

මේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පුරවැසියන්ගේ කාර්යභාරය කුමක් විය යුතුද?

මේ මැතිවරණයේදී අපි මූලිකවම මතු කළ යුත්තේ අපි කොහෙද ඉන්නේ? ඊළඟ දශකයේදී අපි කොහෙද යන්නේ? අපේ සමාජයේ ගැඹුරු වෙනසක් කරන්නේ කොහොමද? ජාතික සමගිය හදන්නේ කොහොමද? කියන සරලව මතු කරන්න පුළුවන් නමුත් සරල විසඳුම් නැති ප්‍රශ්න මතු කරන එකයි. ඒ ගැන සංවාද කරන එකයි. ඒවාට විසඳුම් සොයන්න පාලකයින්ට වගේම දේශපාලන පක්ෂවලට බලකරන එකයි.

එතකොට මාධ්‍යවල කාර්ය කුමක්ද?

වෙන කිසිදෙයක් නෙවෙයි. පුරවැසියන් නගන ප්‍රශ්න, ඇති කරන සංවාද තවදුරටත් ජනගතකරන එකයි. දිගින් දිගටම ඒ පිළිබඳව තම මාධ්‍යවලින් සංවාද කරන එක තමයි කළ යුත්තේ. ඒ වගේම මාධ්‍යවලින් තමයි දැනට සිදු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල සහ මැතිවරණ ක්‍රමයේ අවුල්සහගත බව ගැන කථා කරන්න ඕන. ජනතාව සහ ව්‍යවස්ථා සම්පාදකයන් අතර සංවාදයක් හදන්න ඕන ජනමාධ්‍යයි.

ඔබ කියන්නේ දැන් ඒක වෙන්නේ නැහැ කියලද?

දැන් වෙන්නේ විවිධ රියැලිටි ෂෝ පවත්වන එකයි. ඒ රියැලිටි ෂෝවලදි අහන්නෙත් මොකක් හරි ක්‍රිකට් ක්‍රීඩාංගණයක පළමු ශතකය ගැහුවේ කවුද? වගේ ප්‍රශ්න. එහෙම නැතුව ටිකක් හිතන්න වෙන දියුණු ප්‍රශ්න අහන්නේ නැහැ. ජනමාධ්‍ය ප්‍රමුඛත්වය දිය යුත්තේ දියුණු පුරවැසියකු බිහි කරන්නයි.

ඔබ පසුගිය දිනවල කියලා තිබුණා මෙවර ජනාධිපතිවරණයේදී වැඩි වාසි තියෙන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයාටයි කියලා. ඇයි එහෙම කිව්වේ?

මම එහෙම කිව්වේ සජිත්ට නිර්ධන පන්තියේ සහ පීඩිත පන්තියේ තියෙන ආකර්ෂණය සහ පිළිගැනීම නිසායි. විවිධ හේතු නිසා අගමැතිවරයා සහ කථානායකවරයා ඇතුළු වෙනත් එජාප අපේක්ෂකයෙක්ට වඩා නිර්ධන පන්තියේ සහ පීඩිත පන්තියේ ඒ ආකර්ෂණය සහ පිළිගැනීම තිබෙන්නේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට.

ඔබ හිතන හැටියට මේ ජනාධිපතිවරණයේ ජයගැනීමේ වැඩි ඉඩක් තිබෙන අපේක්ෂකයා කවුද?

ඒක මම දැන්ම කියන්නේ නැහැ. මට ඒකෙන් තුට්ටුවකවත් වැඩකුත් නැහැ. නමුත් මම ඒක තව ඉදිරියේදී කියන්නම්.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට නිර්ධනීන් සහ පීඩිතයින් අතර පිළිගැනීම තිබුණ පමණින්ම දිනන්න පුළුවන්ද?

ඉන්දියාව කලින් හිටියේ රජකාලේ යුගයක. ගාන්ධි පවුලත් දේශපාලනයට ඇවිත් කළේ ඒ සංස්කෘතිය ඉදිරියට ගෙනියන එක. දශක පහකට විතර පසුව දැන් ඒ තත්ත්වය අවසන් වෙමින් තියෙනවා. එහෙම තිබුණු තත්ත්වය මෝදි වෙනස් කළා. ඒ මිනිස්සු හිතන්න ගත්තා විශේෂයෙන්ම පීඩිත අය හිතුවා මෝදි අපේ කෙනෙක් කියලා. ඔවුන්ට මෝදිගේ දර්ශනය, එයාගේ ආර්ථික ප්‍රතිපත්ති ඒ වගේ දේවල් වැඩක් නැහැ. ඒව තේරෙන්නෙත් නැහැ. එකම දේ ඒ අපේ කෙනෙක්. තමන්ගේ කෙනෙක් බලයට එන එක ඒ ජනතාවට ආස්වාදනීය කාරණයක්.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ගැනත් මිනිස්සු හිතන්නෙත් ඒකයි. ඒ හිතන එක ඇතුළේ ඔහුට ආකර්ශනයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ දී ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා පීඩිතයන්ට කරපු දේවල් තවමත් කවුරුවත් කරලා නැහැ. ජනසවිය, උදාගම් වගේම බැංකු ණය දුන්නා ජනසවි ලාභීන්ට, සමාජය යහපත් කරන්න නම් පහළම ජනතාවට විශාල සේවයක් කළ යුතුයි. ඒක ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා කළා. තවමත් පීඩිතයන් මතක් කරන්නේ ඔහුව.

එතකොට මේ ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂගේ කාර්ය කුමක්ද?

ඔහුගේ බලපෑම තමයි රේස් එකක් වගේ දුවන්න පුළුවන් තත්ත්වයට මේ ජනාධිපතිවරණය ගේන ඒක. මේ මැතිවරණය ප්‍රයෝජනයක් නැති එකක් වුණත් එයාලා ඒක ප්‍රයෝජනවත් එකක තත්ත්වයෙන්ම තරගයක් හදන්න යන්නේ.

වත්කම් බැරකම් නීතිය ගැන ජනමාධ්‍ය මොනවද කියන්නේ? ඒක ජනතා අවශ්‍යතාවක් කරන්නේ කොහොමද? ජනමාධ්‍ය එහෙම හිතනවද?

තොරතුරු පනත දෙවැනි වර ආවා. තොරතුරු පනත ඉතා වැදගත්. නමුත් ඒකෙන් වත්කම් බැරකම් දැනගන්න බැහැ. වත්කම් බැරකම් පනත තියෙනවා ඒකෙන් රිංගලා යන්න පුළුවන්. මම යෝජනා කළා දෙක එකතු කරලා එකක් හදන්න කියලා. අර හිල් වහලා වත්කම් බැරකම් නීතිය එකට ගමු කියලා. බොහෝ දේශපාලකයෝ කැමති පුස් නීතිවලට. මේ වගේ නීතිවලට කැමැති නැහැ. අවාසනාවකට ජනමාධ්‍යවලට මේ මාතෘකාව අදාළම නැහැ.

සාකච්ඡා කළේ [වසන්ත රනිල් කුමාර]

News Order: 
-1
මාතෘකා