ජනාධිපතිවරණ ඉතිහාසය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනමතයේ හැසිරීම

 ඡායාරූපය:

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනමතයේ හැසිරීම

 

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපත සිදු වුණු ගම්පහ දිස්ත්‍රික්කය අතීතයේ සිටම පැවැති මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවක් බවට පත් වුණා. එම නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමෙන් ජනාධිපතිවරයකු තේරී පත් වුණු සෑම අවස්ථාවකදීම ජයග්‍රාහී අපේක්ෂකයාට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි වුණා.

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වන ආසන "1959 වෝල්ටර් තල්ගොඩපිටිය" කොමිසමේ සීමා නිර්ණයෙන් පසුව ගම්පහ දිස්ත්‍රික්කය ආසන 12කට බෙදුණා. ඉන් අනතුරුව 1976 වසරේදී නොයෙල් තිත්තවැල්ල කොමිසම ඉදිරිපත් කළ සීමා නිර්ණයෙන් පසුව එකතු වුණු ආසනයත් සමඟින් ගම්පහ දිස්ත්‍රික්කයට ආසන 13ක් අයත් වුණා.

1) වත්තල 2) මීගමුව 3) කටාන 4) දිවුලපිටිය

5) මීරිගම 6) මිනුවන්ගොඩ 7) අත්තනගල්ල 8) ගම්පහ

9) ජා-ඇල 10) මහර 11) දොම්පේ 12) බියගම

13) කැලණිය

වත්තල ආසනය

1959 වසරේදී වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම විසින් සිදු කරන ලද සීමා නිර්ණයන්ට අනුව ජා-ඇල ආසනයෙන් කොටසක් වෙන් වී වත්තල ආසනය නිර්මාණය වුණා. සාම්ප්‍රදායික වශයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වන මෙම ආසනය ඔවුන් 1982, 1988, 2005 සහ 2015 ජනාධිපතිවරණවලදී ජයග්‍රහණය කළා. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයට විශේෂ උරුමයක් තිබුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග කළ 1994 සහ 1999 ජනාධිපතිවරණවලදී වත්තල ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට හැකි වුණා. එසේම යුද ජයග්‍රහණයෙන් පසුව පැවැති 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂටද වත්තල ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලැබුණා.

මීගමුව ආසනය

1931 වසරේ සිටම පවතින මීගමුව ආසනය දිස්ත්‍රික්කයේ ඇති ආසන අතුරින් එක්සත් ජාතික පක්ෂයට වඩාත්ම වාසිදායක ආසනයයි. මෙම ආසනය 1994 සහ 1999 වසරවල පැවැත්වුණු ජනාධිපතිවරණවලදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජයග්‍රහණය කළත් ඉතිරි ජනාධිපතිවරණ 5දී ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලයි.

කටාන ආසනය

1959 දී මීගමුව ආසනයෙන් කොටසක් වෙන් වී කටාන ආසනය නිර්මාණය වුණා. 1988 - 2010 කාල සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලෙන් ජනාධිපතිවරු තේරී පත් වන විට එම පාර්ශ්වය ජයග්‍රහණය කළ කටාන ඉතිරි අවස්ථාවලදී ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලයි. එලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කළ අවස්ථාවල ඔවුන්ගේ පාර්ශ්වයේ ජනාධිපතිවරු පත්වීමෙන් පැහැදිලි වන්නේ සෑම විටම ජන රැල්ල හමන දිසාව අනුව කටාන ආසනයේ ප්‍රතිඵලය තීරණය වී ඇති බවයි.

දිවුලපිටිය ආසනය

1931දී පැවැති පැරණි මිනුවන්ගොඩ ආසනයෙන් කොටසක් 1947දී ගම්පහ ආසනයට අයත් වන විට මීරිගම නමින් අලුත් ආසනයක් නිර්මාණය වුණා. නැවතත් 1959දී මිනුවන්ගොඩ ආසනය යළි ඇති වන විට දිවුලපිටිය නමින් නව ආසනයක් නිර්මාණය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වන දිවුලපිටිය ආසනය ඔවුන්ට අහිමි වී ඇත්තේ 1982 ජනාධිපතිවරණයේදී පමණයි.

මීරිගම ආසනය

1947දී පැරණි මිනුවන්ගොඩ ආසනයෙන් කොටසක් වෙන් වී මීරිගම ආසනය නිර්මාණය විය. එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළ ඩී.ඇස්. සේනානායක නියෝජනය කළ මීරිගම, ඔහුගේ අභාවයෙන් පසුව අලුතින් බිහි වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසිදායක ආසනයක් වුණා. ඒ අනුව 1988 - 2015 කාල සමය තුළ පැවැති සෑම ජනාධිපතිවරණයකදීම මිරීගම ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ අපේක්ෂකයායි.

මිනුවන්ගොඩ ආසනය

1931 වසරේ සිට පැවැති මිනුවන්ගොඩ ආසනය 1947දී නැති වී ගියා. නමුත් 1959දී සිදුකළ සීමා නිර්ණයට පසුව මිනුවන්ගොඩ ආසනය යළි නිර්මාණය වුණත් එය පැරණි ආසනය තරම් විශාල ආසනයක් වුණේ නැහැ. අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලේ බලකොටුවක් වුණු මිනුවන්ගොඩ ආසනය, 1988 - 2015 කාල සමය තුළ පැවැති සෑම ජනාධිපතිවරණයකදීම ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලයි.

අත්තනගල්ල ආසනය

1947දී වේයන්ගොඩ ආසනයෙන් වැඩි කොටසක් කැඩී නිර්මාණය වුණු අත්තනගල්ල ආසනය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපත සිදුවුණු ස්ථානයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම බලකොටුවක් වන අත්තනගල්ල මේ දක්වා පැවැති සෑම ජනාධිපතිවරණයකදීම ජයග්‍රහණය කළේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලයි.

ගම්පහ ආසනය

1931 වසරේ සිටම පැවැති ගම්පහ ආසනය අත්තනගල්ල මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට ඉතාමත් වාසිදායක ආසනයක්. එම නිසාම 1982 වසරේ සිට පැවැති සෑම ජනාධිපතිවරණයකදීම ගම්පහ ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලයි.

ජා-ඇල ආසනය

1947දී ගම්පහ ආසනයෙන් කොටසක් කැඩී ජා-ඇල ආසනය නිර්මාණය වුණා. කටාන ආසනය මෙන්ම ජා-ඇල ආසනයත් ජනරැල්ල හමන දිසාවේ ජයග්‍රාහකයා තීරණය වන ආසනයක්. ඒ අනුව මේ දක්වා පැවැති සෑම ජනාධිපතිවරණයකදීම ජයග්‍රාහී අපේක්ෂකයාගේ පාර්ශ්වය මෙම ආසනය ජයග්‍රහණය කර තිබුණා.

මහර ආසනය

1959දී කැලණිය ආසනයෙන් කොටසක් වෙන් වී මහර ආසනය නිර්මාණය වුණා. අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වාසිදායක වුණු මහර ආසනය, 1982දී ජේ.ආර්. ජයවර්ධන පවා ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 273කින්. ඉන්පසුව පැවැති සෑම ජනාධිපතිවරණයකදීම මෙම ආසනය ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දුන් අපේක්ෂකයායි.

දොම්පෙ ආසනය

1959දී අත්තනගල්ල ආසනයෙන් කොටසක් කැඩී දොම්පේ ආසනය නිර්මාණය වුණා. ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇති ආසනවලින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩාත්ම වාසිදායක ආසන තුනෙන් 1ක් වන දොම්පේ, සෑම ජනාධිපතිවරණයකදීම ජයග්‍රහණය කළේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ පිලයි.

බියගම ආසනය

1976දී දොම්පේ ආසනයෙන් කොටසක් වෙන් වී බියගම ආසනය නිර්මාණය වුණා. වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සිය දේශපාලන දිවිය ආරම්භ කළෙත් බියගම ආසනයෙන්. 1982 සහ 1988 ජනාධිපතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කළ බියගම ආසනය ඉන්පසුව පැවැති ජනාධිපතිවරණ 5දීම ජයග්‍රහණය කළේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලයි.

කැලණිය ආසනය

1931 වසරේ සිටම මෙම ආසනය පැවතුණා. කටාන සහ ජා-ඇල මෙන්ම කැලණිය ආසනයත් ජනරැල්ල හමන දිසාව ජයග්‍රාහකයා තීරණය වන ආසනයක්. ඒ අනුව මේ දක්වා පැවැති සෑම ජනාධිපතිවරණයකදීම ජයග්‍රාහී අපේක්ෂකයාගේ පාර්ශ්වය මෙම ආසනය ජයග්‍රහණය කර තිබුණා.

ජනාධිපතිවරණවලදී ගම්පහ දිස්ත්‍රික්කයේ ඉරණම විසඳුණු අයුරු

1982 වසරේ සිට මේ දක්වා පැවැති ජනාධිපතිවරණ 7න් 5කදී ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලයි.

1982 ජනාධිපතිවරණය

මෙම ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජේ.ආර්. ජයවර්ධන තරග කරන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව තරග බිමට පිවිසුණා. එවර ජේ.ආර්. ජයවර්ධන අත්තනගල්ල, දොම්පෙ සහ ගම්පහ ආසන හැර අනෙකුත් ආසන ජයග්‍රහණය කළ නිසා ඔහුට පහසුවෙන්ම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට හැකි වුණා.

ජේ.ආර්. ජයවර්ධන - ඡන්ද 365,838 (52.50%)

හෙක්ටර් කොබ්බෑකඩුව - ඡන්ද 301,808 (43.31%)

1988 ජනාධිපතිවරණය

1988 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාවෝ බණ්ඩාරනායක ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රබල සටනක නිරත වුණා. එවර සිරිමාවෝ බණ්ඩාරනායක ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 7ක් ජයග්‍රහණය කරන විට රණසිංහ ප්‍රේමදාස ජයග්‍රහණය කළේ ආසන 6ක් පමණයි. එම නිසා දිස්ත්‍රික්කය ඡන්ද 5,461කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ සිරිමාවෝ බණ්ඩාරනායකයි.

සිරිමාවෝ බණ්ඩාරනායක- ඡන්ද 355,553 (48.83%)

රණසිංහ ප්‍රේමදාස- ඡන්ද 350,092 (48.08%)

1994 ජනාධිපතිවරණය

1994 ජනාධිපතිවරණය සඳහා පොදු ජන එක්සත් පෙරමුණෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරිපත් වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණේ ශ්‍රීමතී දිසානායකයි. එවර චන්ද්‍රිකා බණ්ඩාරනායක ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13ම පහසුවෙන් ජයග්‍රහණය කළා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 550,654 (64.70%)

ශ්‍රීමතී දිසානායක- ඡන්ද 288,608 (33.90%)

1999 ජනාධිපතිවරණය

1999 ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක තරග වදින විට, එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහයි. එවරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13ම ජයග්‍රහණය කළේ එතරම් අපහසුවකින් තොරවයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක- ඡන්ද 532,796 (56.68%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 353,969 (37.59%)

2005 ජනාධිපතිවරණය

2005 ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල) මහින්ද රාජපක්ෂ තරග වදින විට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණේ රනිල් වික්‍රමසිංහයි. එවර වත්තල සහ මීගමුව හැර අනෙකුත් සියලුම ආසන මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ නිසා දිස්ත්‍රික්කය පහසුවෙන්ම ජයග්‍රහණය කළේ ඔහුයි.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 596,698 (54.78%)

රනිල් වික්‍රමසිංහ- ඡන්ද 481,764 (44.23%)

2010 ජනාධිපතිවරණය

2010 ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් (එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල) තරග වැදුණේ සරත් ෆොන්සේකායි. එවරත් මීගමුව හැර අනෙකුත් සියලුම ආසන ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ, එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද ලක්ෂ 2.5කට වඩා ලබා ගනිමින්.

මහින්ද රාජපක්ෂ- ඡන්ද 718, 716 (61.66%)

සරත් ෆොන්සේකා- ඡන්ද 434, 506 (37.28%)

2015 ජනාධිපතිවරණය

2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ තරග වදින විට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වැදුණේ මෛත්‍රීපාල සිරිසේනයි. එහිදී මහින්ද රාජපක්ෂ ආසන 8ක් ජයග්‍රහණය කරන විට මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළේ ආසන 5ක් පමණයි. නමුත් මෛත්‍රීපාල සිරිසේන ආසන කිහිපයක් සැලකිය යුතු ඡන්ද පරතරයකින් ජයග්‍රහණය කර තිබුණු නිසා වැඩි ඡන්ද 4,660කින් එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළේ මෛත්‍රීපාල සිරිසේනයි.

මෛත්‍රීපාල සිරිසේන- ඡන්ද 669,007 (49.83%)

මහින්ද රාජපක්ෂ- ඡන්ද 664,347 (49.49%)

 

-ස්තුතිය - roar සිංහල සේවය

 

 

[නදුන් ලියනගෙදර]

මාතෘකා