අපි ජාතිවාදී බලවේග එක්ක නෑ

 ඡායාරූපය:

අපි ජාතිවාදී බලවේග එක්ක නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදී බලවේග සමඟ කටයුතු නොකළ; හැමදාම සග, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේග එකතු කරගත් මැදමාවතේ ගමන් කරන පක්ෂයක් බව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (09) ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බවයි.

“පක්ෂ බලවේග විශාල ප්‍රමාණයක් පොදු ජන පෙරමුණ වටා එක්රොක් වී තියෙනවා. ඒ සමඟම දැවැන්ත බලවේග සමඟ ඉදිරි කටයුතු ගෙන යෑමට හැකියාව ලැබිලා තියෙනවා. ජාතික ව්‍යාපාරයත් සමඟම වමේ ප්‍රගතිශීලී, අධිරාජ්‍ය විරෝධී බලවේග යන සියල්ලම අපි වටා එකතු වී ඉන්නවා. රටට ආදරය කරන, රටේ අනාගතය ගොඩනඟන, රටේ ජාතික සම්පත් විකුණන්න අවශ්‍ය නැහැ. ඒ නිසා සියලු බලවේගත් එක්ක තමයි අපි මේ ශක්තිය එකට එකතු කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාවවත් පාවා දෙන්න සූදානම් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වමේ ප්‍රගතිශීලී අධිරාජ්‍ය විරෝධී බලවේගත් සමඟ එකට එකතු වී එක මාර්ගයක ගමන් කරනවා. ඒ ගමනේදී ඒ ක්ෂේත්‍රයේ ඉන්න අපේක්ෂකයා විදියට අපි දකින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි.

“ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට සම්පූර්ණ සහයෝගය හා ශක්තිය ලබාදෙනවා. අපේ පක්ෂයේ අනන්‍යතාව වගේම ගෞරවය ආරක්ෂා කර ගනිමින් අපි අපේ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනියනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාව දිනවීම සඳහා අපි වැඩපිළිවෙළක් ගම මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් රට පුරා අපි අපේ ක්‍රියාධරයන් දැනුවත් කරමින් ඉස්සරහට යනවා. හැම ආසනයකම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පක්ෂවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතුව මැතිවරණ කමිටුවක් අපි ස්ථාපිත කරනවා. ඊළඟට දිස්ත්‍රික්ක වශයෙන් පොදු ජන පෙරමුණට අදාළ සියලුදෙනාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට එකතු වෙලා දිස්ත්‍රික් කමිටුවක් තුළින් වැඩකටයුතු කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැතිවරණ ව්‍යාපාරයක් ග්‍රාමීය මට්ටමෙන් ඉඳලා ක්‍රියාත්මක කරගෙන යනවා. මේ දෙකම එක විට ක්‍රියාත්මක වෙනවා.

“ඒ වගේම අපි අපේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ආරක්ෂා කර ගත යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, සංවිධායකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනවා ආරක්ෂා කර ගත යුතුයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපවුණු කිසියම් කෙනකුට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒ සඳහා තමයි අවබෝධතා ගිවිසුම්වලට එළැඹුණේ. අද දිනයේදී සියලුම සංවිධායකවරු රැස් කරලා ඔවුන්ට කරුණු පැහැදිලි කරලා පොදු ජන පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සම්මේලනය කැඳවලා තියෙන දිනයේම ගොඨාභය රාජපක්ෂ මහතා සමඟ ඇති කරගන්න යන ගිවිසුම අත්සන් කරනවා. සන්ධාන ව්‍යවස්ථාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ එකඟතාවකට අද ඇවිල්ලා තියෙන්නේ.”

සටහන [තියේෂා ද සිල්වා] ඡායාරූප [ගයාන් පුෂ්පික]

මාතෘකා