රාජ්‍ය පාලනයේ විප්ලවීය වෙනසක් කරනවා

 ඡායාරූපය:

රාජ්‍ය පාලනයේ විප්ලවීය වෙනසක් කරනවා

සජිත් ප්‍රේමදාස

තිරසර සංවර්ධනය මත පදනම් වූ ආර්ථිකයක්, දියුණු මානව ප්‍රාග්ධනය සහිත සමාජයක් යන සංකල්ප මේ මහපොළොවේ ක්‍රියාත්මක කිරීමට අන් කවරදාටත් වැඩිය මෙරට තුළ සිටින්නා වූ උගත් බුද්ධිමත් වෘත්තියවේදීන්ගේ සහාය රාජ්‍ය පාලනයට ඇතුළත් කරන්නට තමා අපේක්ෂා කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ ආර්ථික කේන්ද්‍රස්ථාන කළමනාකරණය කිරීම සඳහා දේශපාලන පත්වීම් වෙනුවට වෘත්තිමය හැකියාවක් සහිත විශේෂඥවරුන් එම ආයතනවල කළමනාකරණයට පත් කිරීමට කටයුතු කරන බව එතුමා වැඩිදුරටත් පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ ඊයේ (09) Mega Mind විද්වත් හමුව වෝටර්ස් එඩ්ජ් හෝටල් පරිශ්‍රයේදී පැවති අතර එය අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,

“අද දින අපි අලුත් විදිහට හිතලා අලුත් දැක්මක් තුළින් රාජ්‍ය පාලනය විප්ලවීය පරිවර්තනාත්මක වෙනසකට ලක් කරලා නව තාක්ෂණය උපයෝගී කරගනිමින් නව ක්‍රමවේද සහ උපාංග මුල් කරගෙන පරිණත, කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් සහ අපේ රටට වැඩි අගයක් එක් කරන පාලන ක්‍රමවේදයක මූලාරම්භය ලෙස අද දවස හැඳින්විය හැකියි.

“අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ඉතිහාසය තුළ විවිධාකාර සුබවාදී ජයග්‍රහණ රැසක් අත්පත් අරගෙන තියෙනවා. ඉහළ සාරක්ෂරතාව, අඩු මාතෘ හා ළදරු මරණ අනුපාතිකය අපි ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ. ඒත් අපි ප්‍රශ්න කරන්න ඕනේ අපි ඉහළ සාක්ෂරතාවක් තියෙන රටක් වුණත් උසස් අධ්‍යාපනයක් තියෙන මානව සම්පත් අපි උපරිම ප්‍රයෝජනයට භාවිතා කරලා තියෙනවාද නැද්ද කියන කාරණාව. හෘද සාක්ෂියට එකඟව හිතලා බැලුවොත් ඒ අපි කර්තව්‍යය ඉටු කරන්නට අපොහොසත් වෙලා තියෙනවා. එකතැන පල් වෙන ස්වභාවයක තියෙන අපේ රටේ ආර්ථිකය විශේෂඥවරුන්ගේ, වෘත්තිය නිපුණත්වයක් තියෙන දක්ෂයන්ගේ රටක් ලෙස සංවර්ධන පිමි රැසක් ඉදිරියට පනින්නට හැකියාව තියෙනවා.

“මේ සැබෑ වෙනස ඇති කිරීම අපි පදනම් කරගන්නේ සංකල්ප දෙකක් කේන්ද්‍ර කරගෙන. තිරසර සංවර්ධනය මත පදනම් වූ ආර්ථිකයක්, දියුණු මානව ප්‍රාග්ධනය සහිත සමාජයක් කියන්නේ මේ සංකල්ප. මේ වැඩපිළිවෙළ මහපොළොවේ ක්‍රියාත්මක කිරීමට අන් කවරදාටත් වැඩිය මෙරට තුළ සිටින්නා වූ උගත්, බුද්ධිමත් වෘත්තීයවේදීන්ගේ සහාය රාජ්‍ය පාලනයට ඇතුළත් කරන්නට අපි අපේක්ෂා කරනවා. නවෝත්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම උදෙසා කළ යුතු ආයෝජනය, ආර්ථිකය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ආයෝජනය වගේම ඉතිහාසයේ අන් කවරදාටත් වැඩිය වැඩි මුදලක් ආයෝජනය කරලා ඒ ආයෝජනය තුළින් නව තාක්ෂණය කේන්ද්‍ර කරගත් ආර්ථික රටාවක් නිර්මාණය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

“විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය යන විෂයන් අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ අනිවාර්ය කොටස් ලෙස මා අවබෝධ කරගෙන තියෙනවා. එම විෂයන්වලට වැඩි බරක් ලබාදීලා එම විෂයන් සඳහා නිපුණතාවන් තියෙන ගුරුවරුන් පුහුණු කරලා අධ්‍යාපනය නවීකරණය කරන ව්‍යාපෘතිය හරහා වැඩිදියුණු කරලා එම යටිතල ආයෝජනය තුළින් අනාගත ලෝකය ජයග්‍රහණය කළ හැකි ඉහළම මානව ප්‍රාග්ධනයක් අපේ රට තුළ නිර්මාණය කරන්න අපි කැප වෙනවා.

“අපේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථාන වන දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, ප්‍රධාන රාජ්‍ය බැංකු පද්ධතිය, සුරාබදු දෙපාර්තුමේන්තුව, දුම්රිය දෙපාර්තුමේන්තුව ප්‍රමුඛ ප්‍රවාහන පද්ධතිය, රේගුව, විදුලිබල මණ්ඩලය, වරාය වැනි ප්‍රධාන ආර්ථික කේන්ද්‍රයන් කළමනාකරණය කිරීම සඳහා, ඒවාට නායකත්වය ලබාදීම සඳහා දේශපාලන පත්වීම් වෙනුවට වෘත්තියමය හැකියාවක් තියෙන විශේෂඥවරුන් එම ආයතනවල කළමනාකරණයට පත් කරන්නට අපි විවෘතවම කැප වෙනවා.

“එදිනෙදා ජනතාවට සංවේදී වන ගැටලු වගේම කෙටි කාලීන, මධ්‍යකාලීන, දීර්ඝ කාලීන සැලසුම් නිර්මාණය කිරීමේදී නවීන තාක්ෂණය සහ වෘත්තිය නිපුණත්වය හරහා කඩිනම් විසඳුම් ලබාදීමේ නව ක්‍රමවේදයක් ජනාධිපතිවරයා ලෙස මා පත් වුවහොත් ක්‍රියාත්මක කිරීම මාගේ එකම සිහිනයයි. වර්තමානයේ සුපුරුදු ක්‍රියාව වී ඇත්තේ අගනුවරට බැහැරව සිටින්නාවූ රාජ්‍ය නිලධාරීන් ඉවක් බවක් නොමැතිව අගනුවරට කැඳවලා පැරණි ගතානුගතික ක්‍රමවේද හරහා සමාලෝචන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරලා යල් පැනගිය ක්‍රමවේදවලට වහල් වුණු යුගයක අපි ජීවත්වෙන එක. ඒ යල්පැනගිය යුගයට නැවතීම තියලා තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Artificial Intelligence Management DashBoard පද්ධතියක් ජනාධිපති ලේකම් කාර්යාලය තුළ ස්ථාපනය කරලා නවීන තාක්ෂණය උපයෝගී කරගෙන නව අදහස් තුළින් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රමවේදයන් නිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එම සංකල්පයන් මහපොළොවේ ක්‍රියාත්මක කිරීම ආදිය මධ්‍යම අධීක්ෂණයක් හරහා තාක්ෂණික වැඩසටහන් තුළින් රාජ්‍ය පාලනයට නව අර්ථයක් එක් කරන්නට කටයුතු අපි කරනවා.” යන්නයි.

 

[නිර්මාණී බණ්ඩාරනායක]

මාතෘකා