ජනාධිපතිවරණය: සිදු වූයේ කුමක්ද?

 ඡායාරූපය:

ජනාධිපතිවරණය: සිදු වූයේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ හත්වන ජනාධිපතිවරයා පත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණය අවසන්ව ඇත. නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිය නිලයේ වැඩ භාරගෙනද අවසන්ය. එවැනි තත්වයක් යටතේ යළි ජනාධිපතිවරණයේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් කතා කිරීම කළ යුතු දෙයක්ද යන්න කිසිවෙකුට පැනයක් නැඟෙනු ඇත. එහෙත් අනාගතයක් ගොඩ නැඟීමෙහිලා අතීතයේ භාවිතාවන්හි ගුණාගුණ නිශ්චය කර ගැනීම යළි ගොඩනැඟෙන පුද්ගලයෙකුට හෝ සමාජයකට අත්‍යාවශ්‍ය කරුණකි.

මැතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රධාන පාර්ශ්වයන් තුනක් ජන සමාජයේ ජනතාවගේ කැමැත්ත උරගා බැලීමේ නියමු කාර්යයෙහි නියැලුණේය. එකිනෙකා පරයා එකිනෙකා මත වූ අරමුණු පරමාර්ථයන් මෙන්ම අභාලාෂයන්ද ජනතාව හමුවේ තැබීය. මෙහි ආණ්ඩු බලය අත්පත් කරගත් පිරිස වන එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය කැඳවීමේ සිටම අනේකවිධ ගැටුම් නිර්මාණය කර ගනිමින් අපේක්ෂකයෙකු තෝරා ගැනීමේ අභ්‍යන්තරික සටනක නියැලුණේය. එය ජනතාව මත කුතුහලයක්ද එසේම සැකයක් මෙන්ම කලකිරීමක්ද ඇති කිරීමට සමත් විය.

සාමර්ථයකු තෝරාගැනීමට කල් ගත් එජාපය හා එහි අසමර්ථයන්

කෙසේ නමුත් අවසන් මොහොතේ පක්ෂයෙන් එළියේ කල්ලි ගැසූ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට නම් කිරීමත් සමග එජාපයේ පිබිදීමක් දැකිය හැකි වුවත් එම පිබිදීම එතෙක් කල්ලි කණ්ඩායම්වලට නතුව පැවැති එජාපයේ පිරිස් වෙත ඇති කරනු ලැබූවේ විවිධාකාරයේ මතවාදයන්ය. මංගල සමරවීර කල් තියාම එතෙක් රනිල් පාර්ශ්වයේ කුලුපගම මිතුරාව විට එතැනින් විතැන්ව එතෙක් තමන්ගේ අනෙකාවන් වූ සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට ගෙන එන බවට තමාට අයත් මාධ්‍ය උපයෝගී කොටගෙන සමාජය හමුවේ තැබූවේ, නායකත්වයට එරෙහිව පත්තු කරනු ලබන වෙඩි මුරයක්ද සමගය. කෙසේ නමුත් මාසයක් හෝ දෙකක් යන තුරු අදාළ අපේක්ෂකත්වය සඳහා සජිත් ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කිසිදු සැලසුමක නොසිටියේය. ඒ වෙනුවට ඔහුගේ පාර්ශ්වයේ පිරිස් විසින් කථානායක කරු ජයසූරියද, චම්පික රණවකද, සරත් ෆෝන්සේකාද නැතිනම් රාජිත සේනාරත්නද නම් කරමින් නොයෙක් තැන්හි අදහස් දක්වමින් සිටියේය. අවසානයේ මංගල සමරවීර තමාට අගමැති සිහිනයක්ද සමගින් සජිත් පණ පොවා කරළියේ ඉදිරියට දැක්කීම සිදුකිරීම හා අනෙක් චරිත ජනාධිපතිධුරය සඳහා වන උපයෝගීතාවයේ පිබිදීමක් නොවුණු තැන රනිල් වික්‍රමසිංහ විසින් අපේක්ෂකත්වයට සජිත් ප්‍රේමදාස නම් කරනු ලැබීය.

නම් කිරීමෙන් අනතුරුව එතෙක් සජිත් විසින් තමාට මුල් කාලයේ සිට පාර්ශ්වීය ලෙස උදව් කළ පිරිස් වෙත ළංවීම කරනවා වෙනුවට ඔවුන් ඈත් කරමින් රනිල් වික්‍රමසිංහ විසින් ගොඩ නැගූ න්‍යාය පත්‍රයකට විටෙක ගමන් කරමින් හෝ තමා විසින් සකසා ගත් සැලසුමකට නතු වෙමින් ගමනක් ගියේය. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සියලු පිරිස් සජිත් දිනවිය යුතු බවට වන ජනතා කැමැත්ත අභ්‍යන්තරික අනේක විධ ගැටුම් පරයා ඉදිරියට පැමිණීම හේතුවෙන් එකී ජනතා කැමැත්තට අනුව විවිධ වූ රංගනයක නිරත පිරිස් නිරායාසයෙන් එක් තැනකට නතුවීම සිදු විය. සිදු වූයේ විවිධ තැන්හි විවිධ ලෙස ප්‍රචාරක ආකෘතින් හා ඒකමිතියකට නොපැමිණ එහෙත් ඒකමිතියක පිහිටා ජයග්‍රහණය සඳහා උපක්‍රම තේරීමය.

අවසාන තුරුම්පුව පැවැතියේ උතුරේ ජන පදනම තමන් වෙත නතු කර ගැනීමේ අභිලාෂයයි. එය අවසන් තප්පරේදී දෙමළ සන්ධානය සමග එක්ව ගොඩ නැඟූ බැඳීමක් හේතුවෙන් සන්ධානගතව උතුරද දිනාගැනීමට ඔහු සමත්විය.. කෙසේ නමුත් මේ සියලු කාර්යයන් නායකත්ව තලයේ විවිධ නිරූපණයන් හා සමගාමී වූ අතර මහජනතාව සමීපයෙහි එය නිරූපණය වූයේ එක්සත් ජාතික පක්ෂයේ පහළ සාමාජිකත්වය විවිධ තැන්හි එකතුව විශාල පිරිසක් රැලි මගින් නිරූපණය වීමෙනි. මේ නිසාම සජිත් ප්‍රේමදාසයන් ඒ වන විට කථිකත්වයෙහි අමුතු ස්වරූපයක් ආරූඪ කරගත් අතර ප්‍රචාරක ආකෘති පවා මෙතෙක් තමා වටා හෝ එක්සත් ජාතික පක්ෂය වටා පැවැති අනුග්‍රාහකයන්ගෙන් තොරව ඉන්දියාවට පවරනු ලැබීය. එය මහා රජවරුන් වැනි ධනවතුන්ගේ අනුග්‍රහයෙන් සිදුවූ බවටද කතාන්දරයක් නිර්මාණය විය.

කෙසේ නමුත් මේ සෑම රංගනාරූඪ වීමක්ම සමස්තය කියවා ගැනීමට සමත් නොවෙතැයි සිතුණු පිරිස් අවසන් තුරුම්පුද තම මුඛ්‍ය ප්‍රතිවාදියා වෙත එල්ල කිරීමට ආරම්භ විය. එනම් ව්‍යාජයන් මවා පෙන්වා ඒ මත ජනතා විශ්වාසය රැඳවීම සඳහා වන ප්‍රයත්නයන්ය. එහි කප්පිත්තන් ප්‍රමාණයන් එක්සත් ජාතික පක්ෂය මෙන්ම මංගල සමරවීර ළඟද සිටි අතර මෙය මඩ නිර්මාණාත්මක භාවිතාව ලෙස විරුද්ධ පාර්ශ්වයන් විසින් අර්ථ ගන්වන ලදී. කෙසේ නමුත් එවැනි තත්වයන් පවා නිසි කළමනාකරණයක් කර ගැනීමට අසමත් වූ බවට හොඳම සාක්ෂිය ඉදිරිපත් කරනු ලැබූවේ රාජිත සේනාරත්නය. ඔහු එතෙක් මැතිවරණයේ උච්චස්ථානයක නොපැවැති පැහැරගැනීම් හා මරා දැමීම් සම්බන්ධයෙන් වන ගෝඨාභය රාජපක්ෂට එරෙහි සමාජයේ පතුරුවා තිබූ මතය ඔප්පු කිරීම සඳහා නළුවන් දෙදෙනෙකු හා කිහිප දෙනෙකු මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමත් හේතුවෙනි.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයන් හමුවේ නිරුත්තරව එය බොරුවක්, සැලසුම් සහගත මඩක් බවට ඔප්පුවීමත් සමග මඩ ප්‍රචාරණ කලාවද බිඳ වැටිණි. එහෙත් උත්සාහයන් මංගල සමරවීර පාර්ශ්වයෙන් අත් නොහළ අතර ඔවුන් ගෝඨාභය රාජපක්ෂට එදිරිව ඇති ඇමරිකානු පුරවැසි භාවය සම්බන්ධ ලේඛනගතවීම ඉදිරියට ගෙන එමින් විවිධාකාරයේ මතවාදයන් ඒ ඔස්සේ ගොඩ නඟනු ලැබීය. මෙය ජනතාවට අදාළ නොවන තැනක් වන බවට මුලදී පෙනුණත් පසුව ක්‍රමයෙන් දිගින් දිගටම ඇමරිකානු පුරවැසියෙක් බවට වන අවලාදය නෛතික රාමුවක් දක්වා ඔසවා තැබීමට තරම් විය. මෙය ඔප්පු කිරීමට මංගල සමරවීර වේදිකාවන්හි තමාගේ දේශපාලන ජීවිතයේ සමුගැනීම පවා අභියෝගයට තබා ඔහු ඇමරිකානු පුරවැසියෙකු බවට වන මතවාදයන් ඡන්ද දායකයන් වෙත යැවීමට වෙර දරනු ලැබීය.

කෙසේ නමුත් අපේක්ෂකත්වය පසුව ලබාදීමත්, එතෙක් කිසිදු සැලසුමක නොසිටීමත්, හා ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ගෙන් දැඩි පීඩාවට පත්ව සිටි ජනතාව හමුවේ සියල්ල දූවිලි මෙන් ගසා ගෙන යද්දී දෙමළ සන්ධානයේ පිහිට පමණක් ඉතිරි වන තැනට පැමිණියේය. කෙසේ නමුත් පසුගිය 16 වැනි දින මධ්‍යම රාත්‍රිය පසු වන තෙක්ම හෝ හෝරා කීපයක් ඉක්මෙන තෙක්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවීයන් මෙන්ම නායක කාරකාදීන් පවා ආඩම්බර ලීලාවෙන් ජයග්‍රහණයේ සිහිනක කිමිදෙමින් සිටියේය. අවසානය වන විට සිදුව පැවැතියේ දකුණේ ඡන්ද පදනම ගිලිහී ගොස් උතුර හා නැඟෙනහිර ජාතිවාදී පදනමින් බෙදෙමින් මුළුමනින්ම සජිත් ප්‍රේමදාස දෙමළ සන්ධනයේ හා නැඟෙනහිර මුස්ලිම් නායකත්වයේ ඔඩොක්කුව වෙත ගමන් කිරීමත්ය. මේ සඳහා විවිධාකාර හේතු නිර්මාණය වූ අතර එය වසර 04ක් හෝ 05ක් පුරා ආණ්ඩුව විසින් ජනතාව හමුවේ තැබූ සහන හා ආර්ථිකමය ගැටලු මෙන්ම ජාතික ආරක්ෂාව හා හොරු ඇල්ලීමට පැමිණ ඊටත් වඩා හොරුන් බවට පත්වීම බලපෑවේය. අනෙත් අතට සිංහල බෞද්ධ යන පදනම සඟවා තැබීම වෙනුවට එය එළිපිටට ගෙන සංඝයා හමුවේ විවිධාකාර චෝදනාවන් එල්ල කිරීම විසින් ආගමික හා ජාතික පදනම් තකන්නන් වෙතින් පාක්ෂිකත්වය ගිලිහී යෑමට කටයුතු කරනු ලැබීය. මේ සියල්ල අවසානයේ අත් වූ ඉරණම වූයේ සජිත් ප්‍රේමදාස නමැති ජනාධිපති අපේක්ෂකයාගේ පරාජය තීරණය වීමය.

සැලසුම් පොලා පැනීම හෙවත් ගෝඨාභය රාජපක්ෂ දිනවීම

2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වන්නේ තම පක්ෂයේම ලේකම්වරයා එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව ගොඩ නැඟූ රාජපක්ෂ විරෝධී කඳවුරක විශේෂ මෙහෙයවීමක් යටතේය. 30 වසරක් පැවැති යුද්ධයක් දැවැන්ත කැපකිරීමක් කොට අවසන්ව සාමය ගොඩනැඟීම සඳහා ගොඩ නැඟූ මාවත්හි ගමන් කරනා ගමන්ම ආණ්ඩුවේම මැති ඇමතිවරුන්ගේ කල් ක්‍රියාව හා 2015 වසර වන විට දැඩි පීඩනයක සිට බොහෝ ජනතාවක් විපක්ෂයේ මෙහෙය වීම අබියස සාධාරණීකරණය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරණය පරාජයට පත්විය. එයින් පසුබෑ රාජපක්ෂ ආණ්ඩුව සියලු දේ අත්හළ අතර පසුව මැදමුලන දක්වා පසුබැසීම සිදු වුවත් රාජපක්ෂ හිතවාදී මෙන්ම සාමය ගොඩ නැඟීම යන කරුණ දැඩිව ගත් පිරිස් ඔවුන් වටා ඒකරාශීවීමට පටන් ගත්තේය. එය දැඩි දේශප්‍රේමීත්වය නැමැති මාතෘකාවක් මත මතවාදීව වර්ධනය වූ අතර අනතුරුව විපක්ෂයක් ලෙස දැඩිව ජනතාව සමග පෙරමුණු බල ඇණියක්ව ගොඩනැඟුණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් රාජපක්ෂවරුන්ට වලංගු තැනක් නොවු‍ෙණන් බැසිල් රාජපක්ෂ මහතා යළිත් දිවයිනට පැමිණීමත් සමග ඔහුට ජනතාවගේ අපේක්ෂාවන් ගොඩ නැගීම උදෙසා වන වෙනම පක්ෂයක් පිහිටුවීම දක්වා එකී ජන බලවේග ඉල්ලීම මහත්විය. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති ධුරය සඳහා වන අවධානය යොමුකිරීම මූලිකව සිදුවූයේ වෙබ් අඩවියක් මගින් මෙහෙය වූ සාකච්ඡාවකදීය. එහිදී ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට තොරතුරු වාර්තා කළත් පසුකාලීනව මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා වන බලවේගයන් නඩත්තු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උනන්දු විය. සිවිල් සංවිධාන එකතුන් හා වියත් පිරිස් එක්ව නොයෙක් සංවිධාන ගොඩ නැඟුණු අතර ඒවා සක්‍රීයත්වයේ පවතිද්දී ඔහු පසුකාලීනව එළැඹෙන තම අරමුණු සම්බන්ධයෙන් අවදියෙන් සිටියේය.

අවසාන ඓක්‍යයේදී දකුණේ බහුතරයක් ජනතාව තම සිතැඟියාව මුදුන් පමුණුවා ගැනීම උදෙසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් කොට ගත්තේය. ඒ දහසක් බලාපොරොත්තු හා අවුරුදු 05ක් තුළ පැවැති පාලනයේ පීඩාව හෝ සංස්කෘතික හෝ ජාතික අභිලාෂයන් මත හෝ වූ යම් වරදකට ප්‍රතිචාරයක් ලෙසිනි. ජනතාවගේ තීන්දුන් වසර 05කට සීමා වනු ඇත. පාලන බලයේ ගුණාගුණ විනිශ්චය කොට පාලකයා පත් කරගැනීමට නැවතත් ජනතාව අතට වරප්‍රසාදය පැමි‍ණෙන විට විනිශ්චය වන්නේ පාලකයාගේ භුමිකාවය. එබැවින් නව ජනපතිට ඉතිහාසය විසින් පාඩම් උගත යුතුම වනු ඇත.

වමාංෂික අත්හදාබැලීම් හා ජනතා කැමැත්තේ ප්‍රායෝගිකත්වය

ජනතා විමුක්ති පෙරමුණ පුළුල් මහජන එකතුවක් උදෙසා වන කතා බහ මීට කාලයකට පෙර සිටම ක්‍රියාවට නැංවීම සඳහා උත්සුක වූ ව්‍යාපාරයකි. එක් පසෙකින් ධනේෂ්වරයට එදිරිව නැගඟන බලසම්පන්න වාමාංෂික හස්තයක් වීමටත් අනෙක් පසින් ජනතා බලය කිරා මැන බැලීමට හෝ ක්‍රමවිරෝධී භාවයන් උපයෝගි කොටගෙන ජයග්‍රහණයන් ලැබීම උදෙසා යන මූලික කරුණු පදනම් කොටගෙන ජනාධිපතිවරණ සටනට ඔවුන්ද එක් විය. වාමාංෂික එක්සත් භාවයක නොපිහිටීම හේතුවෙන් ධනේෂ්වරයට එක්ව පහර දීම වෙනුවට වෙන් වෙන් කල්ලි ගැසෙමින් මැතිවරණයට ඉදිරිපත් වීමට වම නමින් හැඳින්වූ තවත් පක්ෂ කිහිපයක්ද එක් විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්ද ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ලැබූවේ ජනතා විමුක්ති පෙරමුණ අත්හල සටන් පාඨයක් පෙරදැරි කරගෙනය. ඒ සමාජවාදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නාමකරණය කර ගනිමින් දුමින්ද නාගමුව මේ මැතිවරණයට ඉදිරිපත් කිරීම තුළිනි.

මහා වාමාෂික කඳවුර ලෙස හැඳින් වූ ජවිපෙ පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා වෙනුවට ජාතික ජන බලවේගය නමින් පුළුල් සංවිධානයක් ගොඩ නඟමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට කටයුතු කරනු ලැබූවේ, සිවිල් සමාජ ක්‍රියාකාරීන් බුද්ධිමතුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා කලාකරුවන් මෙන්ම තරුණ පිරිස්ද එක් කොට ගනිමිනි.

බොහෝ දෙනාගේ අපේක්ෂාව වූයේ ජවිපෙන් තොර අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට වුවත් ජවිපෙ නායක අනුර දිසානායක එහි අපේක්ෂකයා බවට පත්වන්නේ ගෝල්ෆේස් පිටියේ පැවැති මහා ජන සන්නිපාතයක් සහිතවය. එයින් උදම්ව නැඟුණු මැතිවරණ ව්‍යාපාරය ඔවුන්ගේ මතය ජනතාව භාරගත් බවට වන ජයග්‍රහණය සමග මැතිවරණ ව්‍යාපාරය දියත් කළ අතර රැලි, ජනහමු සඳහාද අති දැවැන්ත පිරිස් සහභාගී වීම හේතුවෙන් යම් බලයක් ගොඩ නැඟීමට හැකි බවට වන විශ්වාසයකින් ඔවුන් සටන ගෙන ගියේය.. එහෙත් රැලි සඳහා සහභාගී වන පිරිස් ආමන්ත්‍රණය කිරීම හෝ සමාජ මතය නිර්මාණය වී පවතින දේශපාලනික නැඹුරුව පිළිබද සමාජයේ මතය පසෙක තබා තම මතය ජනතාව මත හෙළීම සඳහා වන මැතිවරණ ව්‍යාපාරයේදී පෙර පැවැති මැතිවරණවලදී මෙන්ම ඔවුන්ට අත් වූ ඉරණම වූයේම ජවිපෙ විසින් සාමාන්‍යයෙන් ලබන ඡන්ද ප්‍රමාණයම ලබා ජනාධිපතිවරණයේ කොනකින් සිටීමටය. එහෙත් ප්‍රකාශනය හා ප්‍රචාරණය වඩ වඩා වැඩි නැඹුරුවක් සහිතව බලය අත්පත් කරගත්තා වැනි මානසික තෘප්තියක හැසිරීම හේතුවෙන් අත්පත් කොට ගත් පරාජය මතින් පාඩම් ඉගෙන ගැනීමට හෝ බලවේගය නැවත එම ස්ථාවරයේ තබාගැනීමටද නොහැකි වන ස්ථානයකට ඔවුන් ඇද වැටී අවසන්ය.

[තුසිත පතිරණ]

News Order: 
-2
මාතෘකා