ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ සියල්ල දියුණු කරනවා

 ඡායාරූපය:

ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ සියල්ල දියුණු කරනවා

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් තමන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඒ තුළින් 70%ක් වන මෙරට ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීමට අවධානය යොමු කරන බවත් ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් තම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ වැඩි ඉඩක් ලබාදී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හලාවත නගරයේදී පැවැති ජනහමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

"අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ ඉටුකළ හැකි ප්‍රායෝගික පොරොන්දු. මගේ ධුර කාලය ඇතුළතදී ඒ සියලුම පොරොන්දු ඉටුකරන බවට මම පොරොන්දු වෙනවා. ජනතාව මගෙන් ඉල්ලන්නේ සුරක්ෂිත රටක්. ඒ ඉල්ලීම ඉටු කරන බවට මම ඔබට පොරොන්දු වෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අප එදා යුද්ධයෙන් මේ රට බේරා ගත්තා. ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් මමත් එයට සම්බන්ධ වුණා. හමුදාමය ක්‍රියාවකින් යුද්ධය නතර කරන්න බැරි බව මට එදා විදේශීය උපදේශකයෝ කිව්වා. නමුත් යුද්ධය අවසන් කළ හැකි බවට අපට විශ්වාසයක් තිබුණා. ඒ නිසා හමුදාමය ක්‍රියාවලියකින් අවුරුදු දෙක හමාරක් තුළ යුද්ධය අවසන් කළා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපට අවබෝධයක් තිබුණා. ඒ නිසා යුද්ධයෙන් පසුවත් අප ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කළා. හමුදාව, පොලිසිය හා බුද්ධි අංශ එකතු කරලා ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කළා. ඒ නිසා අපගේ කාලයේදී මේ රටට ත්‍රස්තවාදී හෝ අන්තවාදීන්ගෙන් තර්ජනයක් එල්ල වුණේ නැහැ. ත්‍රස්ත මර්දන කොට්ඨාසය, අපරාධ විමර්ශන කොට්ඨාසය පාවිච්චි කරලා ත්‍රස්තවාදීන් ගැන විස්තර හෙව්වා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.

"මේ රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාව අත්අඩංගුවට ගන්න සූදානම් වුණා. විජේදාස රාජපක්‍ෂ මහතා ඒකට විරුද්ධ වුණා. ත්‍රස්තවාදය අවසන් කරපු මනුස්සයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නේ කොහොමද?

මේ රජය රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කරන්න ඔවුන්ට ඉඩක් දුන්නේ නැහැ. අපි ත්‍රස්තවාදී ක්‍රියා ගැන හොයන්න වෙනම ඒකකයක් හදලා තිබුණා. වෙනම නිලධාරීන් පුහුණු කරලා තිබුණා. අද ඒවා කෝ? බුද්ධි නිලධාරීන් පිටරට යැව්වා. කිසිම අවබෝධයකින් තොරව කටයුතු කළ නිසා මහා විනාශයක් ඇති වුණා.

"ත්‍රස්තවාදය අවසන් කළ අපිට පමණයි ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළ හැක්කේ. රණවිරුවන් ගැන විශ්වාසයක් නැහැ. විදේශීය අවශ්‍යතාවන් මත කටයුතු කරන රජයට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. අපගේ රජයක් යටතේ නැවත මේ රටේ අන්තවාදී හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ තියන්නේ නැහැ.

"අපි යුද්ධය අවසන් කර රට සංවර්ධනය කළා. රටට ආයෝජන ගෙනාවේ මේ අපියි. ඒ ව්‍යාපෘති සමඟ සම්බන්ධ වීමට දේශීය ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලැබුණා. ඒ හරහා සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් බිහිවුණා. නමුත් මෙම රජය යටතේ ඒ ව්‍යාපෘති නතර වුණා. ඒ නිසා ලක්ෂ හතරකට පමණ රැකියා අවස්ථා නැති වුණා.

"අපගේ රජය ධීවර කර්මාන්තය හා කෘෂිකර්මාන්තය වෙනුවෙන් සුවිශේෂී අවධානයක් යොමු කරනවා. මේ රටේ සියයට 33ක් ජීවත්වන්නේ කෘෂිකර්මාන්තයෙන් හා ධීවර කර්මාන්තයෙන්. රට වටේටම මුහුද තිබුණත් අපි තවමත් මාළු පිටරටින් ගේනවා. ධීවරයන්ට වැඩියෙන්ම සහන සැලසුවේ මහින්ද රාජපක්ෂ රජයයි. ධීවරයාගේ ආරක්‍ෂාව වෙනුවෙන් අප මුහුදු ආරක්ෂක ඒකකයක් හැදුවා. ඒ හැදුවේ ධීවරයන්ට ආරක්ෂාවට මෙන්ම විදේශීය ධීවර බෝට්ටු මෙරට මුහුදට ඇතුළුවීම වළක්වන්නයි.

"එමෙන්ම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් අප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. සියයට 70ක් වන මෙරට ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීමට අප අවධානය යොමු කරනවා. ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ වැඩි ඉඩක් ලබා දී තිබෙනවා. ජීවන වියදම වැඩි නිසා දුප්පත් අයට සහන ලබා දීමට පැකේජයක් ලබා දෙනවා. නුදුරේදීම අප එම පැකේජය ඉදිරිපත් කරනවා. අධික බදු බර නිසා ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නවා. අපගේ රජය වැට් බද්ද 8% දක්වා අඩු කරනවා. විදුලිය හා ජලය සම්බන්ධයෙන් සහන මිලක් ඇති කළ යුතුයි. සරල බදු ක්‍රමයක් හඳුන්වා දීම හේතුවෙන් නිපැයුම් හා ආයෝජන වැඩි කිරීමටත් ඉතිරි කිරීම් වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ගෙවිය හැකි තරමේ බදු ක්‍රමයක් තිබෙන විට හැමදෙනාම බදු ගෙවනවා."

News Order: 
5
මාතෘකා