පොහොට්ටුව z-ස්කෝර් අවුලකට යද්දී ශ්‍රී ලනිපයේ කොටසක් සජිත්ට

 ඡායාරූපය:

පොහොට්ටුව z-ස්කෝර් අවුලකට යද්දී ශ්‍රී ලනිපයේ කොටසක් සජිත්ට

පසුගිය සතිය මුලදීම සජිත් ප්‍රේමදාස සිය මැතිවරණ ව්‍යාපාරයේ කිසිවෙක් අපේක්ෂා නොකළ පිම්මක් පැන්නේය.

ඒ මෙරට තියා ලෝකයේ කිසිම ජනාධිපති අපේක්ෂකයකු කතා නොකළ මාතෘකාවක් කරළියට ගෙන එමිනි. ඒ කතාව කාන්තා සනීපාරක්ෂාව හා බැඳී තිබිණි.

ඔහු කියා සිටියේ කාන්තාවන්ගේ සනීපාරක්ෂාව උදෙසා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට තමන් කටයුතු කරන බවයි.

මේ ප්‍රකාශය විරුද්ධවාදීන්ට නියම ගොදුරක් විය. සමාජ ජාල බොහොමයක ඔහුට අපහාස උපහාස එල්ල විය. ‘පෑඩ් මෑන්‘ යැයි ඔහුට නමක්ද පටබැඳ තිබිණි. එය මේ සතිය වන විට තවත් තීව්‍ර විය.

ගොදුර බූමරංගයක් වූ හැටි

‘‘අපේ හාමුදුරුවනේ.. මගෙ යාළුවෙක් කිව්වා මේ හාදයා මේ පෑඩ් කතාවක් කියද්දි මහත්තයා නෝනගෙ මූණ බලාගත්ත කියලා... ළමයි එක්ක එකට ඉඳගෙන අහන්න පුළුවන් කතාද මේ යකා මේ ප්‍රසිද්ධ වේදිකාවල කියන්නෙ...?”

මේ නිර්භීත කතාවට පොහොට්ටුව ඔච්චම් කළේ එසේය.

එහෙත් ගතවූයේ හෝරාවකි; දෙකකි. කෙළවරක් නැති තරම් ප්‍රශංසා ඔහුට ගලා එන්නට විය. කාන්තාවකගේ ජීවිතයේ සංවේදීම කාරණයක් නිර්භීතව කතා කිරීම කාගේත් පැසසුමට හේතු විය. ඔහුගේ කතාවෙන් රට පුරා කාන්තාවෝ විශාල පිරිසක් සිය ප්‍රසාදය ඔහුට ලබා දුන්හ.

පෑඩ් මෑන්ගේ සුබපැතුම්

සිවිල් ක්‍රියාකාරීන්, තරුණ තරුණියන් පමණක් නොව ලෝකප්‍රකට ‘පෑඩ් මෑන්’ වන ඉන්දීය ජාතික අරුණාචලම් මුරුගනාදම් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසව අගය කර තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ,

''ලොව පුරා සිටින නායකයන් කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාවේ වැදගත්කම මනාව වටහාගෙන තිබීම හොඳ වෙනසක්. මෙවැනි නායකයන් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ වෙනුවෙන් වූ විවිධ මුල පිරීම් නිවේදනය කරනවා.

“මෑතකදී ලංකාවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඔසප් සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමේ වැදගත්කම ගැන හඬ අවදි කළේය. ඔහු එරට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා වේ. තමන්ව ‘පෑඩ් මෑන්’ ලෙස හැඳින්වීම ගැන ඔහු සතුටු වන අතර කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවකි.

මේ ජාතික නායකයන් ඔසප් සනීපාරක්ෂාව ගැන හඬ අවදි කරන නියෝජිතයන් වීමට කාලයයි. දැන් බංග්ලාදේශය තුළද සරණාගත කාන්තාවන් හා ගැහැනු දැරිවියන් උදෙසා ඔසප් සමයේ සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීමට පෙළඹී තිබේ.” යනුවෙනි.

ජනපති නිහඬයි

තමන් නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීම සඳහා ඉදිරිපත් වුවත් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සමුළුවක් පවත්වමින් සජිත්ට සහාය ලබාදීමට ඉදිරිපත් වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවමත් සිටින්නේ නිහඬ ස්ථාවරයකය. දේශපාලන කටයුතුවලින් බැහැරව සිටියත් ජනාධිපතිවරයා පසුගිය සතියේදී කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී විය.

ජනපතිගේ අවසන් කැබිනට් රැස්වීම එන සතියේ

ජනාධිපතිවරයා මේ දිනවල සහභාගිවෙමින් සිටින්නේ තමන් ප්‍රධානත්වය දරන අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම් කිහිපයටය. ලබන සතියේදී ඔහු අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වීමට නියමිත අතර විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් නොපැවැත්වුණහොත් එය ජනාධිපතිවරයා සහභාගි වන අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම බවට පත්වෙයි.

මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා සහභාගි වූයේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ තීරණයක් ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය. කැබිනට් රැස්වීමට සහභාගි වීමට පෙර තමන් දැඩි ලෙස විවේචනයට ලක් කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. ඔවුන් ජනාධිපතිවරයා හමුවී ඉල්ලා සිටියේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන ලෙසය.

ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පැමිණියේ විමල් වීරවංශලා කළ ඉල්ලීමත් සමඟය.

"මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම දැන් අත්සන් කරන්න එපා. ඡන්දෙන් පස්සේ මේක අත්සන් කරන්න" ජනාධිපතිවරයා කීවේය.

"මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණාට පස්සේ තමයි මේක අත්සන් කරන්නෙ" ඇමතිවරු කිහිපදෙනෙක්ම කීවේ ඡන්දය අවසන් වන තෙක් ගිවිසුමට අත්සන් නොකිරීමේ එකඟතාව ඇතිවය.

රනිල් - සජිත් කතා

අගමැති හා සජිත් සෑම දිනකම හමුවීම් හෝ තාක්ෂණ විධික්‍රම හරහා සමීපව ඉදිරි සති 02ට අදාළ මැතිවරණ මෙහෙයුම අවබෝධයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමද සිදුවෙමින් පවතී. අගමැතිවරයා උ/නැඟෙනහිර රැස්වීම් මාලාවක් ඇමතීම ආරම්භ කළේ එකී පසුබිම මැදය. එම රැස්වීම් සඳහා රාජිත, රවි, බුද්ධික පතිරණ ඇතුළු ප්‍රබලයන් රැසක්ද එක් වූහ.

“ජාතික ගීය දෙමළෙන් කියනවාට ගෝඨාභය හා මහින්දලා විරුද්ධයි. එවැනි පසුබිමක ඔවුන් යටතේ සුළු ජාතීන්ට කිසිදා යුක්තිය ඉටුවෙන්නේ නැහැ. ඒත් අපි ඒකීය රටක් තුළ බලය බෙදනවා මෙන්ම සුළු ජාතීන්ට ගෞරවනීය ලෙස ජීවත් වීමට පරිසරය හදනවා. පසුගිය වසර 05දී සුළු ජාතීන් ඇතුළු රටේ සියලු දෙනාට නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ලබා දුන්නෙත් ඒ නිසයි” අගමැතිවරයා ප්‍රකාශ කරන විට දෙමළ හා මුස්ලිම් නායකයන් ඇතුළු එම ජනතාව දැඩි ප්‍රතිචාර දැක්වීය.

“අපි හා සජිත් අතර කිසිදු ගිවිසුමක් හෝ එකඟතාවක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස හා ගෞරවනීය ලෙස ජීවත් වීමේ පසුබිම තවදුරටත් ඉදිරියට ගෙන යෑමට සජිත් හා රනිල් අනාගත ආණ්ඩුවත් කරාවි කියන පසුබිම තුළයි අපේ සහාය ලබා දෙන්නේ.” දෙමළ සහ මුස්ලිම් නායකයන්ගේ මතය වූයේ එවැන්නකි.

ඒ අතර සජිත් ප්‍රේමදාස ඇමතීමට නියමිත ප්‍රධාන රැලි 160න් සියවැන්න පසුගියදා මහියංගණයේදී නිම කළේ දැවැන්ත ජන සහභාගීත්වයක් ඇතිවය.

“කාන්තාවන්ට සෞඛ්‍යාරක්ෂිත පෑඩ් දීම ගැන සමහරු අවඥාවෙන් බලනවා. කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව එහි මූලික අරමුණයි. ඉන්දියාවේ මෙම ජාතික කටයුත්ත සිදුකළ මිනිසා දැන් ඒ රටේ ජාතික වීරයෙක් ලෙස සම්මාන ලබනවා. ත්‍රීවීල් අයට ලක්ෂ 03ක ණයක් දෙනවා. වැඩිහිටි දීමනාව වැඩි කරනවා. නිවාස නැති සියලු දෙනාට අනිවාර්යයෙන්ම නිවාස ලබා දෙනවා. දූෂණය හා වංචාවට තිත තබනවාමයි. ත්‍රස්තවාදීන්ගේ පැත්තට මිසක් ඉස්සර වගේ ජනතාවගේ පැත්තට කිසි දවසක හමුදා හා පොලිසියේ තුවක්කු පත්තු වෙන්න මම ඉඩතියන්නේ නෑ. පෙර පාසලේ සිට සරසවි අධ්‍යාපනය දක්වා සිසු පරපුරේ අනාගතය බාර ගන්නවා.” සජිත් එවැනි කරුණු රැසක් එම රැලියේදී ප්‍රකාශ කළේ දැඩි ජනතා ප්‍රතිචාර මැදය.

අගමැති අධිවේගය විවෘත කරයි

බ්‍රහස්පතින්දා සජිත්ට මෙන්ම අගමැතිවරයාටද වැඩ අධික දිනයක් විය. මොරවක, ගල්කිස්ස හා බොරැල්ලේ රැලි 03ක් ඇමතීමට අමතරව අධිවේගයේ පිටත වටරවුම පාර කටුනායක අධිවේගය හා ඒකාබද්ධ කිරීමද එදින පස්වරුවේ අගමැති අතින් සිදු විය. මාතර සිට හම්බන්තොට හා මත්තල දක්වා අධිවේගයද එදින පෙරවරුවේ ජනතා අයිතියට පත්කෙරිණ. එකී උත්සව සඳහා යෑමට පෙර අරලියගහ මැදුරට පැමිණ සිටි මැතිඇමතිවරුන් සමඟද අගමැතිවරයා කතාබහ කළේය.

“මධ්‍යම අධිවේගයේ මීරිගම - කුරුණෑගල කොටසෙත් වැඩ ඉවරයි. මම ඇමති වෙලා හිටියා නම් මේ වෙනකොට ඒ කොටස විවෘත කරලා හුඟක් කල්.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.

“ඒ කොටසත් තව සති දෙක තුනකින් ජනතා අයිතියට පවරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය කියන්නේ.” අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි ඊට ප්‍රතිචාර දැකිවීය.

“2007දී පාර්ලිමේන්තුවටත් නොදන්වා කැබිනට් අනුමැතියත් නැතිව ලංකාව වෙනුවෙන් ගෝඨාභය හා එවකට ඇමෙරිකානු තානාපති බ්ලේක් කියන ඇමෙරිකන්කාරයෝ දෙන්නා ඇක්සා ගිවිසුම අත්සන් කළා. ඇමෙරිකන් හමුදාවට මේ රට තුළ ඕන ඕන විදියට හැසිරෙන්න ඒකෙන් පුළුවන්. ඒත් අපි විනිවිදව අත්සන් කරන්න යන මිලේනියම් කෝපරේට් ගිවිසුමට මේ ලෝකල් ඇමෙරිකන්කාරයෝ හා ඒ නඩය විරුද්ධ වීම පුදුමයි.” චමින්ද විජේසිරි කතාව වෙන අතකට හැරවීය.

“ඔය මිලේනියම් ඇමෙරිකන් ආධාරය රටවල් 43කට දීල තියෙනවා. ඒක ණයක් නෙවෙයි. ඩොලර් මිලියන 480ක එනම් රුපියල් කෝටි 9,000ක ආධාරයක් අපේ ප්‍රවාහන හා මාර්ග පද්ධතිය නවීකරණය කිරීම හා මේ රටේ ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය කිරීමටයි මේ මුදල් ලැබෙන්නේ. අපිට මේ සල්ලි එපා නම් ඇමෙරිකාව වෙන රටකට ඒ සල්ලි දීල දාවි. මහවැලියට මීට අවුරුදු 40කට කලින් ඩොලර් මිලියන 67ක් දුන්නට පස්සෙයි ඇමෙරිකාව ලංකාවට මෙවැනි ආධාරයක් කරන්නේ” චම්පික රණවක කීවේය.

“මිලේනියම් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබුණා විතරයි. මේක පාර්ලිමේන්තුවට දාලා, සම්මත කරලා සියලුදෙනාගේ අදහස් මත අවශ්‍ය සංශෝධනත් කරල දෙරට එකඟ වුණොත් විතරයි අත්සන් කරන්න වෙන්නේ. ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තුව රැස් වෙන්නෙත් නෑ. ඒ නිසා පොහොට්ටුවේ අයයි හාමුදුරුවොයි දඟලන්නෙ ඇයි. පටු දේශපාලනයයි එතැන ඇත්තෙ.” අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කළේය.

“මිලේනියම් එකට විරුද්ධව උපවාස කරපු හාමුදුරුවෝ ගිවිසුමේ ඇති දේවල් තියා ගිවිසුමේ නමවත් හරියට දන්නේ නෑ. ඉතා කනගාටුදායකයි. දේශපාලන පෙළඹීමක් මතයි බොහෝ දෙනෙක් හැසිරෙන්නේ.” චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.

“ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹ දක්වා කොරිඩෝ එකක් හදනවාය, ඉඩම් අක්කර ලක්ෂ 12ක් ඒකට අයිති වෙනවාය, ඒවා ඇමෙරිකාවටය කියල වීරවංශ විකාර වගයක් කියල තිබුණා. වීරවංශ වගේම මේ ගිවිසුම ගැන මෙලෝ දෙයක් දන්නේ නැති ටියුෂන්කාරයෙක් කියල තිබුණා ඇමෙරිකානු ඩ්‍රයිවින් ලයිසන් එකෙන් ඔය කොරිඩෝවේ වාහන පදින්නත් පුළුවන් කියල. ඒ වගේම ඇමෙරිකානු හමුදාවටත් ඕන දෙයක් කරන්න පුළුවන් කියල. තමන්ගේ නොදැනුවත්කම පෙන්නුවට කමක් නෑ. රෙදිත් ගලවගෙන එහෙම කළාම මිනිස්සු හිනා වෙන්නේ ඒ අයටමයි. මේ විකාර කතා ඒ ඒ අයගේ හිත්වල ඇතිවෙච්ච විකෘති මනෝභාවයන් කියල මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති විජේවර්ධන මහතා රටට නිවැරදිව කිව්වා.” මහාචාර්ය ආශු මාරසිංහ කළ විග්‍රහය අගමැති ඇතුළු කාගේත් ප්‍රශංසාවට ලක් විය.

ටියුෂන් ගුරුවරයා ගැන රන්ජන් කී කතාව

“ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ Z -ස්කෝර් එක අවලංගු කරල පාසල් මටිටමින් විශ්ව විද්‍යාලවලට ගන්නවාලු. ඔය Z ක්‍රමය විද්වතුන් වසර ගණනාවක් අධ්‍යයනය කරල සිසුන් කාටත් සාධාරණව හදපු එකක්. මුදල් හිඟ හා අඩු පහසුකම් ඇති ගමේ දරුවටයි මේකෙන් වැඩි ආරක්ෂාව සැලසුනේ. ඒත් Z ක්‍රමය නැති කරලා පාසල් මට්ටමින් සරසවිවලට ගන්නකොට නගරයේ පාසල් දරුවන්ට වැඩි වාසි ලැබෙනවා. ගමේ දරුවාගේ අධ්‍යාපනය වළ දාන්නයි මේ හදන්නේ.” අකිල විරාජ් කාරියවසම් කීවේය.

“අධ්‍යාපන විද්‍යා පීඨත් ගොඨාභය අහෝසි කරනවාලු. අගමැතිතුමා මේවා ආරම්භ කරපු නිසා පළිගන්න මේවා කරවන්න හදනවාද දන්නේ නෑ. වසරකට ගමේ පාසල්වලට ගුරුවරු 40,000ක් ලබා දෙන්නේ මේ විද්‍යා පීඨයි. ගමේ දරුවන්ටමයි මේ ගහන්න හදන්නේ.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි

“ඒ මදිවට අධ්‍යාපනයේ සියලු අංශ ඒකාබද්ධ කරනවා කියලත් ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. අධ්‍යාපනයත් කොම්පැනි සිස්ටම් එකට කරන්න ගියොත් දරුවන්ට බුදු සරණයි. ජර්මනියේ හිට්ලර් අධ්‍යාපනයට කරල තියෙන්නෙත් මෙන්න මේ වගේ වැඩයි. උගත් පරපුරක් නැති ව්‍යාකූල රටක් නිර්මාණය කළාම රට පාලනය කරන්න ලේසියි. රටේ වාසනාවට එයා දිනන්නේ නැති නිසා අවුලක් නෑ.” මහාචාර්ය ආශු මාරසිංහ කීවේ සිනා මැදය.

“පොහොට්ටු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ළඟදී සජින් වාස් හා දරු දෙන්නව මරන බවට මහින්ද කිව්වා කියල තර්ජනය කරලා. ඒ මදිවට පාර පොඩ්ඩක් හරස් වුණා කියලා අර මෝඩ ටියුෂන්කාරයටත් වඩා එහා ගිහින් එස්.බී. දිසානායක ඇතුළු කණ්ඩායම තරුණයන් දෙන්නකුට වෙඩි තියලා. බලය නැතුව මෙහෙම නම් මෙයාලට බලය ගියොත් කොහොම වේවිද? හිට්ලර්ලා පොල්පොට්ලා ඉඩිඅමීන්ලා පරාද කරන්න පොහොට්ටු නායකයෝ සමත් වේවි. ඔවුන්ට බලය නොදීම තමන්ගේ හා රටේ ආරක්ෂාවට අත්‍යවශ්‍යයි කියන එක රටේ ජනතාව තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි.” රන්ජන් රාමනායක කී දේ සියලුදෙනා අනුමත කළහ.

ගෝඨා ගම්පහ

ගෝඨාභය පසුගිය සතියේ සෙනසුරාදා සිටියේ ගම්පහය. ගෝඨාභයගේ ජය තහවුරු කරන ජනරැලි පහක් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, ගණේමුල්ල, කිරිඳිවැල, බියගම සහ වත්තල ආසනවල සංවිධාන කරනු ලැබ තිබුණේ ප්‍රසන්න රණතුංග විසිනි. අත්තනගල්ල කවදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවකි. නිදහස් පක්ෂය ගෝඨාභයට සහාය දීමට එකතුව සිටියත් චන්ද්‍රිකා සිටින්නේ ගෝඨාභයට විරුද්ධ මතයකය.

කිරිඳිවැල ජන හමුව පැවැත්වුණේ අධික වර්ෂාව මධ්‍යයේය. රැස්වීම ආරම්භ කර සුළු මොහොතක් ගත වන විට වර්ෂාව කඩාහැලුණි.

“ප්‍රසන්න හිටියේ නැත්නම් අද බියගමට එන්න වෙන්නේ නැහැ.” ගෝඨාභය බියගම ජනහමුවෙන් පසුව ප්‍රසන්නට කීවේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනහමු මාලාව සඳහා මහින්දද සහභාගී වීමට නියමිතව තිබුණත් එදින උදෑසන ඇඹිලිපිටියේ සිටි මහින්දට අයහපත් කාලගුණය හේතුවෙන් ගම්පහ එන්නට ලැබුණේ නැත. අයහපත් කාලගුණය හේතුවෙන් නියමුවන් හෙලිකොප්ටරය ඉහළ එසවීමට අකමැති වීම නිසා මහින්ද ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ගත්තේය.

“ප්‍රසන්න මම ලොකු ගැටලුවකට මුහුණ පාලා ඉන්නේ. කාලගුණය අයහපත් නිසා පයිලට්ලා එන්න බැහැ කියනවා.” මහින්ද පැවසීය.

“ඒකට කමක් නැහැ සර්, මේ වෙලාවේ උඩින් යන එක අනතුරුදායකයි තමයි” ප්‍රසන්න කීවේය.

“ඒකනේ ප්‍රසන්න, මම මේ ලැහැස්ති වුණේ වාහනෙන්වත් එන්න” මහින්ද පැවසීය.

“සර් නැති එක අපට ලොකු පාඩුවක් තමයි. ඒත් මේ වෙලාවේ අවදානමක් ගන්න ඕනේ නැහැ. වැස්සත් එක්ක පාරවලුත් ෂුවර් නැති නිසා සර් හදිසියේ එන්න දඟලන්න ඕනේ නැහැ. කොහොමටත් ඇඹිලිපිටියේ ඉඳලා දැන් ගම්පහට එන්න වෙලාව මදි. අපි මේ ටික කරගන්නම්. සර් ප්‍රවේසමට ගෙදර යන්න.” ප්‍රසන්න ඉල්ලා සිටියේය.

“එහෙනම් ප්‍රසන්න ඔය වැඩ ටික කරගන්න. මම ඉතින් කොහොමත් 12 වැනිදා මිනුවන්ගොඩ එනවනේ…” කියමින් මහින්ද දුරකථනය විසන්ධි කළේය.

තිස්සට පාඨලීගෙන් කමිසයක්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට විරෝධය දක්වමින් උඩුදුම්බර කාශ්‍යප හිමියන් නිදහස් චතුරශ්‍රයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීම දේශපාලන ලෝකයේ ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් විය. අත්සන් කිරීමට අවසන් තීරණයක් ගෙන නොමැති ගිවිසුමට විරෝධය දක්වමින් මාරාන්තික උපවාසය ආරම්භ කර ටික වේලාවකින් මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු සමඟ කාර්යබහුලව සිටින සජිත් ප්‍රේමදාසට මේ ගැන ආරංචිය ලැබුණේය. ඔහු වහාම මේ ගැන සොයා බලමින් තිස්ස අත්තනායකට දුරකථන ඇමතුමක් දුන්නේය.

"මේ ගැන මගේ ස්ථාවරය හාමුදුරුවන්ට දැනුම් දෙන්න ඕන. ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ යොදන්න." සජිත් තිස්සට දැනුම් දුන්නේය.

මේ අතර සජිත් අගමැති රනිල් වික්‍රමසිංහටද දුරකථන ඇමතුමක් ගත්තේය. දුරකථනයේ එහා කෙළවරට සම්බන්ධ වූ රනිල්ගෙන් සජිත් ඉල්ලීමක් කළේය.

"මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මැතිවරණය අවසන් වනතුරු අත්සන් කරන්න එපා" සජිත් ඉල්ලීමක් කළේය. ඒ ඉල්ලීමට අගමැතිවරයාගෙන් ලැබුණේ සුබවාදී ප්‍රතිචාරයකි.

ඉන් පසුව සජිත් තමන්ගේ ස්ථාවරය ස්වාමීන්වහන්සේට දැනුම්දීම සදහා අවශ්‍ය පියවර ගත්තේය. තිස්ස, රවි ජයවර්ධන ඇතුළු පිරිසක් වෝක්ෂෝල් කාර්යාලයට පැමිණියේ මේ සඳහා වන ලිපිය සකස් කිරීමටය. ඒ වන විට තරමක් රෑ බෝවී තිබූ අතර රාත්‍රියේම ලිපිය සකස් කරගෙන තිස්ස පැමිණියේ විජේරාම මාවතේ පිහිටි පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගේ නිවසටය. ඒ වන විට අගමැතිවරයාගේ ස්ථාවරය දැක්වෙන ලිපියක් අගමැති ලේකම් සමන් ඒකනායක විසින් ස්වාමීන්වහන්සේ වෙත බාරදී තිබුණේය. තිස්ස මේ ලිපිය රැගෙන යාමට සූදානම් වුවත් ඔහු ඇඳ සිටියේ පාට කමිසයකි. ඔහු සුදු කමිසයක් සොයමින් සිටින විට ඔහුගේ පිහිටට පැමිණියේ පාඨලී චම්පික රණවකය.

"මගේ සුදු ෂර්ට් එකක් ඇඳගෙන යන්න" පාඨලී තිස්සට තමන්ගේ කමීසයක් දෙමින් කීවේය. පාඨලී දුන් කමිසයත් රැගත් තිස්ස හාමුදුරුවන්ට සජිත්ගේ ලිපිය බාරදුන්නේය.

පසුදින උදෑසන වෝක්ෂෝල් කාර්යාලයට එන විට තිස්සගේ මේසය මත ස්වාමීන්වහන්සේට සජිත් දුන් ලිපියේත් ගෝඨාභය රාජපක්ෂ දුන් ලිපියේත් පිටපතක් තිබිණි. අන්තර්ජාලයට නිකුත් කර තිබූ ලිපි දෙක මේසය මත තබා තිබුණේ වෝක්ෂෝල් කාර්යාලයේ අයෙකි.

"කෝ මේ ගෝඨාගේ ලියුමේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා ලියලා නෑනේ. ජාතියට හානි වෙන දේවල් කරන්නේ නෑ කියලා කිව්වට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගැන ලියලා නෑනේ" තිස්ස කීවේය.

"ඉතින් ඇමෙරිකානු පුරවැසියෙක්ට ඇමෙරිකාවේ ගිවිසුමක් පිළිගන්නේ නෑ කියලා කියන්න බෑනේ" ඒ කතාව අසාගෙන සිටි එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කීවේය.

සජිත් ගැන රනිල් උනන්දුවෙන්

තරුණ ලිබරල් වෘත්තීයවේදීන්ගේ සංගමයේ සමුළුව පසුගියදා පැවැත්වුණේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්ය. සජිත්ට මේ සඳහා සහභාගී වීමට නොහැකි නිසා ඔහු තිස්සව එයට සහභාගී කරවා තිබිණි.

"තිස්ස, කොහොමද ප්‍රචාරක වැඩ කටයුතු" අගමැතිවරයා දැඩි උනන්දුවකින් ඇසුවේය.

"හොඳට කෙරීගෙන යනවා. අපි හොඳ ප්‍රගතියක් අරගෙන තියෙනවා." තිස්ස කීවේය.

"මම යාපනයේ යනවා. ඒ වගේම උතුරු නැඟෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද ටිකට මම කතා කරනවා. ඒ ඡන්ද සියල්ලම අර‍ගන්න මම මැදිහත් වෙනවා. සජිත් දිනවන්න මට කරන්න පුළුවන් හැම දේම මම කරනවා." රනිල් කීවේය.

මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයට පසුගිය බදාදා සියලුම ආසන සංවිධායකවරු කැඳවීය. ඒ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමටය. අකිල විරාජ් කාරියවසම්, කබීර් හෂීම් හා තිස්ස අත්තනායක යන පක්ෂයේ මහ ලේකම්වරු තිදෙනෙක්ම සිරිකොතට එක්වී සිටියහ.

"අපේ අපේක්ෂකතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැම ගෙදරකටම යවන්න ඕන. මේ සති අන්තියේ දවස් ටික ප්‍රතිපත්ති ප්‍රකාශය සෑම ගෙදරකටම යවන වැඩේට යොදාගන්න" කබීර් කීවේය.

"අපේ ඡන්ද ව්‍යාපාරය දැන් ගෝඨාගේ ඡන්ද ව්‍යාපාරය පහු කරලා ඉදිරියට යමින් තිබෙනවා. මේක හොඳ තත්ත්වයක්" අකිල විරාජ් තමන්ට ලැබුණු තොරතුරු හෙළිදරව් කළේය.

එරාන්ගෙන් අනාවරණයක්ජනාධිපතිවරණයේ අවසන් සතිය තුළ කිසියම් ‌දේශපාලන කණ්ඩායමක් විසින් ‌බෝම්බ පිපිරුමක් සිදුකිරීමේ සැලසුමක් පිළිබද සැකයක් ඇති බව කියමින් අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ‌මැතිවරණ ‌කොමිසමටත්, ‌පොලිස්පතිවරයාටත් ලිපි ‌යොමු කර ඇත.

සිය ලිපිය මගින් වික්‍රමරත්න මහතා ‌පෙන්වා දී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා හරහා කිසිවකු විසින් එම ‌තොරතුර තමන්ට දැනුම් දී ඇති බවකි.

එම අනතුරු ඇගවීමේ පණිවුඩයද සිය ලිපියට ඇතුළත් කිරීමට වික්‍රමරත්න මහතා පියවර ‌ගෙන තිබේ.

කෙසේවෙතත් සිය ලිපිය මගින් ඒ මහතා කියා ඇත්තේ වහාම ‌මේ සම්බන්ධයෙන් ‌සොයා බලා ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නා ‌ලෙසය.

මංගලගෙන් අභියෝගයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මතහාගේ අමෙරිකානු පුරවැසිභාවය අ‍හෝසි කර ඇති බව ලබන සතියේ පැවැත්වෙන මැතිවරණයට පෙර රටට ඔප්පු කර පෙන්වන ලෙස මුදල් ඇමැති මංගල රාජපක්ෂ මහතාට අභියෝග කෙළේය. මුදල් ඇමැතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ අභියෝගය එල්ල කළේ මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.

ගෝඨාභය ඇමෙරිකානු පුරවැසියෙකු නොවේ නම්, එසේ නොවන බව රටවැසියන් හට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නිවේදනය කිරීම ඔහුගේ යුතුකම හා වගකීම වන බවයි.

මේ පිළිබඳව ඕනෑකමක් දක්වන සියලු ජනතාව අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව නිවැරදි පිළිතුරක් ලබාදෙන ලෙස බලකර සිටිය යුතුයි.

මේ අවස්ථාවේ ශ්‍රී ලාංකිකයින්ට දැනගැනීමට අවශ්‍යම කරුණ වනුයේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ සෙවීම නොව ප්‍රධාන අපේක්ෂකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය අහෝසිකර ගත්තාද? යන්න දැන ගැනීම සහ දැනට අමෙරිකානු පුරවැසියන් වන ඔහුගේ බිරිඳ හා පුතා තවදුරටත් එම පුරවැසිභාවයේම රැඳෙනවාද යන්නයි.

අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම සඳහා අමෙරිකානු විදේශ ගමන් බලපත්‍රයක් හිමි අයෙකු එහි භාණ්ඩාගාරයෙන් ඩී.එස්.4079 (D.S.4079) විශේෂ සහතිකයක් ලබාගත යුතු වේ.

මේ වසර (2019) පළමු මාස 06 ඇතුළත පුද්ගලයින් 1090 ක් එවැනි සහතික ලබාගෙන ඇත. නමුත්! ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම අමෙරිකානු දිස්ත්‍රික් උසාවි 54න්ම (ඩී.එස්.4079) අනුමත කරගෙන නැත.

අතේ බලය අල්ලන තැත

රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධව නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අනාවරණය කළේය.

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොගෙන ජනාධිපති අපේක්ෂකත්වය පමණක් ලබාගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ වැරදීමකින් හෝ බලය ලැබුවහොත් ඔහුට නිදහස් පක්ෂයේ නායකත්වය ලබාදීමට සිදුවන බවයි.

රාජපක්ෂලා දෙන්නෙක් පක්ෂ දෙකක නායකත්වයට !

ඒ පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේනට පක්ෂ නායකත්වය සහ සභාපති ධූරය පිරිනැමීමට සිදුකළ අතුරු ව්‍යවස්ථාව අනුව බවත් මන්ත්‍රීවරයා පැහැදිළිකර සිටියේය. එහිදී නිර්පාක්ෂිකව මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකු ජනාධිපති ලෙස පක්ෂයට එක්වුවහොත් ඔහුට පක්ෂ නායකත්වය හිමිවන බවත් ඒ අනුව පක්ෂ දෙකක නායකත්වය රාජපක්ෂ පවුල සතුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියත ලෙසම බෝඩ් ලෑල්ලවත් ඉතිරි නොවන තැනට පත්වීම අනිවාර්යයක් බවය.

එසේම හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අද කැඳවූ සමුළුව පදනම් කරගෙන විනය පරීක්ෂණයක් පවත්වන බවට වර්තමාන නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මාධ්‍ය හමුවේ සිදුකල ප්‍රකාශයටද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රතිචාර දැක්වීය. එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ ඔය කියන කිසිම විනය පරීක්ෂණයකට බිය නොවන බවයි. පක්ෂය දෙකඩ කළ පාර්ශ්ව සමඟ එකතුව සන්ධාන හදන අයට පක්ෂය රැකගැනීමට ඉදිරිපත්ව සිටින නියම ශ්‍රී ලංකාකාරයන්ට විනය පරීක්ෂණ සිදුකළ නොහැකි බවත් ඔහු පැවසීය.

චන්ද්‍රකාට විනය පරීක්ෂණ තියන්න ආවොත් දයාසිරිව කනෙන් අල්ලලා එළියට දාන්නේ !

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම අපේක්ෂකයකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී නොමැති බැවින් ඕනෑම අයෙකුට ජන්දය ලබාදීමට හැකි බවත් නමුත් පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ හැර ඕනෑම අයෙකුට ජන්දය ලබාදෙන ලෙසත් මන්ත්‍රීවරයා පැවසු අතර අපේක්ෂිත ප්‍රතිඵලය ලැබුණහොත්, පක්ෂය ශක්තිමත් කරනවා පමණක් නොව, චන්ද්‍රිකාට විනය පරීක්ෂණ තියන්න බලා සිටින එහෙට මෙහෙට පැන පැමිණ සිටින මහ ලේකම් දයාසිරිගේ කනෙන් අල්ලා එළියට දමන බවත් පැවසීය.

News Order: 
-1
මාතෘකා