ලංකාවේ පළමු ජනාධිපතිවරණය

 ඡායාරූපය:

ලංකාවේ පළමු ජනාධිපතිවරණය

හෙක්ටර්ගෙ ඡන්දෙත් හොරෙන් දාපු ජේ.ආර්, හෙක්ටර්, විජේවීර මුහුණට මුහුණ හමුවුණු මැතිනිගේ ප්‍රජා අයිතිය නැතිව තියපු ලංකාවේ පළමු ජනාධිපතිවරණය

විධායක ජනාධිපති ධුරයක්” යන්න 1982ට පෙර ලංකාවාසීන්ට අලුත් මාතෘකාවක් විය. මේ අලුත් මාතෘකාව ගැන කතාබහ ප්‍රථමයෙන්ම ඇසෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමයක් ඇතුළත් කිරීමත් සමඟය. මේ අතර 1978දී කිසිදු මැතිවරණයක් නොපවත්වා ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා පත් විය. ඒ, එවකට එජාප නායකයා වූ ඔහු 1977 වසරේදී කේවල ඡන්ද කොට්ඨාස පදනම් කර ගනිමින් පැවැති මැතිවරණයෙන් ඡන්ද කොට්ඨාස 168ක් අතුරින් 140ක් ජය ලබා 50.91ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමේ බලය උපයෝගී කරගෙනය. ඒ අනුව 1978 පෙබරවාරි 04 වැනිදා සිට ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා නම් විය. ඒ එතැන් පටන් වසර 6ක් රට පාලනය කරන ජනාධිපතිවරයා වශයෙන්ය.

මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරයි

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පක්ෂ නායකයා රටේ නායකයා වූ මේ සමය ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නම් එතරම් සුබවාදී කාල වකවානුවක් වූයේ නැත. ඒ, මේ කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර තිබීම නිසාය. ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් නොනැවතී එසමයේ මැතිනියව පාර්ලිමේන්තුවෙන්ද පිටමං කර තිබිණ. මේ නිසාම පක්ෂය දැඩි අර්බුදයකට මුහුණ දී සිටියේය. මක්නිසාදයත් ප්‍රජා අයිතියවත් හිමි නොවන අයකු මූලිකත්වයේ තබාගෙන ගන්නා තීරණ හා තීන්දු නීතිමය වශයෙන් බලාත්මක නොවන බවට එම පක්ෂ අභ්‍යන්තරයෙන්ම විවිධ විරෝධතා එල්ල වීම නිසාය. මේ විරෝධතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව දෙකට බෙදිණ. එහිදී මැතිනියට විරුද්ධ පිලේ සිටි අනුර බණ්ඩාරනායක, මෛත්‍රීපාල සේනානායක ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් 13 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්නට ශ්‍රිලනිප නායිකාව වූ මැතිනිය පියවර ගත්තාය. එහිදී පක්ෂයේ නියම අයිතිකරු තෝරා බේරා ගන්නට අධිකරණයේ සහාය පැතීමටද යොමු විය. එහිදී සිදුවුණේ පක්ෂ මූලස්ථානය සීල් තබා ආරක්ෂක අංශ බාරයට ගැනීමය. කෙසේ වෙතත් නීතිමය කටයුතු අවසන් වී 1982 සැප්තැම්බර් 09 වැනිදා ‘අත’ ලකුණින් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිමි කණ්ඩායම මැතිනියගේ කණ්ඩායම බවට තීරණය විය.

ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණයට ජේ. ආර්. සැරසෙයි

ජේ.ආර්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයක සිටින මෙම සමය ජනාධිපතිවරණයකට යෑමට සුදුසුම කාලය බව තීරණය කළේය. එය තමාගේ වාසියට හේතුවනු ඇති බවටද ඔහු විශ්වාස කළේය. කෙසේ වෙතත් තමන්ගේ පළමු විධායක ජනාධිපති ධුර කාලය අවසන් වීමට ඒ වන විට ඔහුට තවත් අවුරුදු 2ක කාලයක්ද ඉතිරිව තිබිණ. කෙසේ වෙතත් ඒ දෑ අවුරුද්ද අමතක කොට ශ්‍රී ලංකාවේ පළමු ඓතිහාසික ජනාධිපතිවරණය පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමසාරිස්වරයාට දැන්වීමට ඔහු පියවර ගත්තේය. ඔහුගේ දැනුම් දීම මැතිවරණ කොමසාරිස්වරයා පිළිගැනීමත් සමඟ 1982 සැප්තැම්බර් 17 වැනිදා ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවන දිනය ලෙසින් ප්‍රකාශයට පත් විය.

ශ්‍රීලනිපය අපේක්ෂක අර්බුදයක

බලාපොරොත්තු නොවූ අවස්ථාවක ප්‍රකාශයට පත් කෙරුණු ජනාධිපතිවරණයක් හේතුවෙන් වඩාත් කලබලයට පත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මැතිනියට ප්‍රජා අයිතිය නොමැත. ඒ නිසා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාවක්ද නැත. නියෝජ්‍ය නායක ටී.බී. ඉලංගරත්න මහතා වමට බර අයෙකි. ඔය අතරේ මේ අර්බුදයට විසඳුමක් දීමට චන්ද්‍රිකා බණ්ඩාරනායකත් විජය කුමාරතුංගත් ඉදිරිපත් වූහ. ඔවුන්ගේ යෝජනාව වූයේ හෙක්ටර් කොබ්බෑකඩුවට අපේක්ෂකත්වය දිය යුතුය කියාය. ඒ අනුව අර්බුදයට විසඳුම හිමි විය. ජේ.ආර්. ජයවර්ධන සමඟ ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.

විශේෂතා රැසක් එක්ක ආ අපේක්ෂකයෝ

1982 පැවැති ලංකාවේ පළමු ජනාධිපතිවරණය වූ මෙම ජනාධිපතිවරණයේ විශේෂත්වය වූයේ ප්‍රධාන පක්ෂ දෙකෙන් හෙක්ටර් සහ ජේ.ආර්. ඉදිරිපත් වෙද්දී 71දී තහනමට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව හිමි වීමයි. එමෙන්ම වමේ බලයක් ගොඩනැඟීමට සූදානමින් සිටි ලංකා සමසමාජ පක්ෂයේ නායක කොල්වින් ආර් ද සිල්වාද ජනාදිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් විය. ඔහුගේ ඉදිරිපත් වීම වළකාලන්නට හෙක්ටර් කොබ්බෑකඩුව කොතෙක් උත්සාහ දැරුවද එය ව්‍යර්ථ විය. මීට අමතරව සුළු ජාතීන්ගේ නියෝජිතයකු වූ කුමාර් පොන්නම්බලම්, නව ලංකා සමසමාජ පක්ෂයෙන් වාසුදේව නානායක්කාරත් පළමු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූහ. මේ අතර තවත් සුවිෂේශී දෙයක් සිදුවිය. ඒ, 71දී සමඟි පෙරමුණු ආණ්ඩුවෙන් තහනමට ලක්ව යළි 82දී කරළියට ආ ජවිපෙ නායකයාත් ජනාධිපතිවරණයකට මුහුණ නොදීම පළමු ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධනත් පක්ෂ නායකත්වයට ප්‍රජා අයිතිය අහිමි වීම නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට අවස්ථාව ලැබුණු හෙක්ටර් කොබ්බෑකඩුවත් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මුහුණට මුහුණ හමු වීමයි. එහිදී ඔවුන් තිදෙනා කිසිදු බේදයකින් තොරව තරමක වේලාවක් යනතුරුම ඉතා සුහදශීලී කතාබහක යෙදී සිටියහ.

පළමු ජනාධිපතිවරණයට ආ අදටත් සිටින එකම කෙනා

එදා පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් අදටත් ජීවත්ව සිටින එකම අපේක්ෂකයා වන්නේ වාසුදේව නානායක්කාර පමණි. අනෙක් 5 දෙනාම ජීවන වේදිකාවෙන් බැසගොස් හමාරය. 1977 පැවැති මැතිවරණයෙන් ඇහැලියගොඩින් ස්වාධීනව තරග කොට පරාජයට පත්ව ගෙදර ගොස් සිටි වාසු කෙළින්ම ආවේ 82 ජනාධිපතිවරණයට තරග කිරීමටය. ඒ අපේක්ෂක ලැයිස්තුවේ 6 වැන්නා ලෙසින්ය. කෙසේ වෙතත් අද ඔහු කියන්නේ තමා 82 ඒ කළේ අනුවණ ක්‍රියාවක් බවයි.

“මම එදා කළේ මෝඩ වැඩක්. අපිට තිබුණේ සමසමාජ පක්ෂය එක්ක එකතු වෙලා ජේ.ආර්. පරද්දන බලවේගයක් වෙන්නයි”

යනුවෙන් මෑතකදී ඔහු මේ ගැන අදහස් දක්වමින් කියා තිබිණ.

නහය දිග ජේ.ආර්. එක්ක නහය දිග හෙක්ටර් ප්‍රධාන සටනේ

මෙම ජනාධිපතිවරණයේදී සිදුවූ යහපත් කාරණාවක් වන්නේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී හෙක්ටර් කොබ්බෑකඩුව වේදිකාවේ වැඩිය කතා නොකිරීමයි. එහෙත් ඔහු එක් රැස්වීමකදී කළ කතාවක් කාගේත් කතා බහට ලක් විය.

“මමත් ජේ.ආර්. වගේ තමයි. මටත් තියෙනවා දිග නහයක්. ඒ නිසා අපි දෙන්නගේ ලොකු වෙනසක් නෑ....”

හෙක්ටර්ගේ මේ කතාව ජේ.ආර්. ට නම් ඇල්ලුවේ නැත. ඔහු පෙරළා ඊට පිළිතුරු කතාවක් කරමින් මෙසේ කීවේය.

“කොබ්බෑකඩුව උන්නැහේ කියනවා එයාගෙ නහය මගේ නහය වගේ කියලා. උන්නැහේ කියන්නේ ඒ නිසා උන්නැහේට රට කොරන්න පුළුවන් කියලයි. මම කියනවා උන්නැහේට රට පාලනය කොරන්නේ නහයෙන් නෙවෙයි මොළෙන් කියලා. උන්නැහේට තියෙන්නේ මගේ වගේ නහයක් වුණාට මට නහය විතරක් නෙවෙයි රට පාලනය කොරන්න හොඳ මොළයකුත් තියෙනවා....”

හැබැයි ඊට හෙක්ටර්ගෙන් නම් ප්‍රති උත්තර ලැබුණේ නැත.

කොබ්බෑකඩුවගේ ඡන්දෙත් හොරෙන් දාලා

මේ අයුරින් වාද විවාද, සුහද සාකච්ඡා මැද ප්‍රචාරක කටයුතු සිදු කෙරුණු පළමු ජනාධිපතිවරණයේ ඡන්ද විමසන දිනය එළැඹිණ. ඒ චෙතිහාසික දිනය වූයේ 1982 ඔක්තෝබර් මස 20 වැනිදාය. එදින ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණය වූයේ 81.06%කි. සියලු අපේක්ෂකයන් මහත් උද්යෝගයෙන් ඡන්ද පොළවල් වෙත ගියේ සිය ඡන්දය තමාගේම නමට සලකුණු කර ගන්නටය. හැබැයි එදා හෙක්ටර්ට ඒ වරම ලැබුණේ නැත. ඔහු ඡන්ද පොළට යන විටත් ඔහුගේ ඡන්දය හොර රහසේම පාවිච්චි කර තිබිණ. ඒ අනුව ජනාධිපතිවරණයකදී ඡන්දය අහිමි අපේක්ෂකයා වශයෙන්ද ඔහු ඉතිහාසගත විය.

1982 වාර්තා වූ සමස්ත දිවයිනේ ඡන්ද ප්‍රතිඵලය

1. ජේ. ආර්. ජයවර්ධන (එක්සත් ජාතික පක්ෂය)

ඡන්ද - 34,50,811 (52.91%)

2. හෙක්ටර් කොබ්බෑකඩුව (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)

ඡන්ද- 25,48,438 (39.07%)

3. රෝහණ විජේවීර (ජනතා විමුක්ති පෙරමුණ)

ඡන්ද - 2,73,428 (4.19%)

4. කුමාර් පොන්නම්බලම් (සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය)

ඡන්ද - 1,73,934 (2.67%)

5. කොල්වින් ආර්. ද සිල්වා (ලංකා සමසමාජ පක්ෂය)

ඡන්ද - 58,531 (0.90%)

6. වාසුදේව නානායක්කාර (නව සමසමාජ පක්ෂය)

ඡන්ද - 17,005 (0.26%)

අපේක්ෂකයන් සිය වැඩිම ඡන්ද වාර්තා කළ දිස්ත්‍රික්ක

ජේ. ආර්. ජයවර්ධන - නුවරඑළිය - 1,09,017 (63.10%)

හෙක්ටර් කොබ්බෑකඩුව - රත්නපුර - 1,52,506 (44.13%)

රෝහණ විජේවීර - හම්බන්තොට - 28,835 (14.62%)

කුමාර් පොන්නම්බලම් - යාපනය - 87,263 (40.03%)

කොල්වින් ආර්. ද සිල්වා - කළුතර - 8,613 (2.04%)

වාසුදේව නානායක්කාර - රත්නපුර - 3,494 (1.01%)

කෙසේ වෙතත් අවසානයේ ජේ.ආර්. ගේ සැලසුම සාර්ථක විය. පැවැති පළමු ජනාධිපතිවරණයේ ජය සිය නමට ලියා ගන්නට ඔහු සමත් වෙද්දී දෙවැනි තැන හෙක්ටර් කොබ්බෑකඩුවත් තෙවැනි තැන රෝහණ විජේවීරත් හිමි කර ගත්හ.

[චාමිකා මුණසිංහ]

News Order: 
-2
මාතෘකා