2015දී පලවා හැරි කණ්ඩායමක් යළි බලයට නොගෙනා යුතුයි

 ඡායාරූපය:

2015දී පලවා හැරි කණ්ඩායමක් යළි බලයට නොගෙනා යුතුයි

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

2015දී පලවා හැරි කණ්ඩායමක් යළි බලයට නොගෙනා යුතු බවත් සිය පාලනයක් තුළ දුප්පත්කම සහතික ලෙසම රටෙන් තුරන් කරන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (04) ගාල්ලේ පැවැති ජන රැලියට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

"2015 බලයට ආපු මේ පාලකයෝ තරුණ තරුණියන්ට රැකියා දස ලක්ෂයක් දෙනවා කිව්වා. අම්මලා තාත්තලා බලාපොරොත්තු වුණා රැකියාවක් නැති තම දුවට පුතාට රැකියාවක් ලැබෙයි කියලා. කඩාවැටිච්ච ආර්ථිකය ගොඩනඟනවා කිව්වා. සාක්කු පිරෙන ආර්ථිකයක් හදනවා කිව්වා. වංචාව, නාස්තිය නතර කරලා ඒවා කරපු අයට දඬුවම් දීලා වංචාකරපු දේපළ පවරා ගන්නවා කිව්වා. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශාල පොරොන්දු ප්‍රමාණයක් දුන්නා. රටේ ජනතාව එතෙක් තිබුණු පාලනය බිඳවට්ටලා අර අපේක්ෂාවන් වෙනුවෙන් නව පාලනයක් ගොඩනැඟුවා. මේ පාලනයට දැන් අවුරුදු 5යි. මේ රනිල් - මෛත්‍රී පාලනය අද අපට පෙන්නුම් කර තිබෙන්නේ කුමක්ද?

"2015දී පැවසූ කිසිවක් ඉටුකර නැහැ. මේ ආණ්ඩුව මේ ඡන්දයේදී පරාජය කළ යුතුයි. ඒ ගැන දෙගිඩියාවක් නැහැ. නමුත් අපි හමුවේ තිබෙන අභියෝගය තමයි පරාජය කරලා ගේන්නේ කාවද කියන එක. 2015දී ලක්ෂ 62ක ජනතාවක් පරාජය කළේ කවුද? රාජපක්ෂ පවුල් පාලනය. රටේ ප්‍රධාන ආයතන හැම එකක්ම පවුල අතේ තියාගෙන සිටියදීම තමයි ඒ ආණ්ඩුව ජනතාව පලවා හැරියේ. පවුලක් විසින් රටක් ගිලගෙන තිබුණ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි ප්‍රහාරයක් එල්ල වෙමින් තිබුණා. වංචාව, දූෂණය, නාස්තිය කෙළ පැමිණිලා තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර ජාතික සමඟිය හදනවා වෙනුවට ජාතිවාදය තම දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රධාන කොටසක් කරගෙන තිබුණා. ඒ නිසා තමයි ඒ විනාශකාරී පාලනය ජනතාව බිඳවැට්ටුවේ. එනිසා 2015 පලවා හැරි කණ්ඩායමත් යළි බලයට නොගෙනා යුතුයි. නොවැම්බර් 16 ඔබට ලැබිලා තිබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. මෙතෙක් රට පාලනය කළ කඳවුරු දෙකම පරාජය කර නව කඳවුරකට රටේ බලය බාර දෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.

"ණය බර වැඩිවෙලා, විරැකියාව වැඩිවෙලා, ඔබේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව හොඳටම අඩුවෙලා. අද හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා. මේ අනතුරෙන් අපේ රට මුදා ගනිමු. අපිට දේශපාලනයෙන් වැඩක් නැහැ කියල සමහරුන්ට හිතිලා තිබෙනවා. ඒක ඒතරම්ම අප්‍රසන්න වෙලා. අපේ රට මෙතරම් විනාශයකට ඇදගෙන ගියේ කිනම් දේශපාලනයෙන්ද? ඒ වැරදි දේශපාලනයෙන්. අපි ඔබට ආරාධනා කරන්නේ ඒ වැරදි දේශපාලනයෙන් අයින්වෙලා නිවැරදි දේශපාලනය තෝරා ගන්න කියලා. මේ අර්බුදයට උත්තරය තියෙන්නේත් දේශපාලනයෙන්ම තමයි. අපට අවශ්‍ය වී තිබෙන්නේ මොන වගේ දේශපාලනයක්ද? මොන වගේ පාලනයක්ද? ඔබ පාරම්පරිකව නිල් හෝ කොළ ලෙස බෙදීගෙන ඉඳීමෙන් කිසිදු ඵලක් නැහැ. දැන් ඔබ වෙනස් වෙන්න පටන් ගන්න. ඔබ වෙනස් වුණොත් මේ රට වෙනස් කරන්න පුළුවන්. ජනතාව මේ ගාල්ල දිස්ත්‍රිකයෙන් වජිර අබේවර්ධනව පාර්ලිමේන්තුවට යැව්වේ හොරු අල්ලලා දඬුවම් දෙන්න කියලා. හැබැයි ඒ අය කළේ මොකක්ද? හොරු හොරා කාපු ජනතා දේපළ ඔවුන් අතර බෙදා ගත්තා. රනිල් මේ ළඟදී කාර් එකක් ගෙනාවා. ඒක මර්සිඩීස් සමාගම නිපදවන බෙන්ස් වර්ගයේ ඉහළම වටිනාකමක් ඇති කාර් එකක්. ඊට වඩා මිල අධික කාර් එකක් ඒ සමාගම හදන්නේ නැහැ. ඒ වගේම අපේ රටේ ජනාධිපතිවරයාටත් විපක්ෂ නායකයාටත් ගෙනාවා එවැනිම මිල අධික කාර් එකක්. එහෙම බරක් දරන්න පුළුවන්ද මේ රටට. එහෙම දරන්න ඕනද? නැහැ. ජනතාව තෙරපි තෙරපි බස්වල යනවා ටාටා බස් එකේ. ඒක ලොරි චැසියට බස් බොඩිය ගහපු බස් එකක්. ජනතාව ඒවායේ යනකොට පාලකයෝ බෙන්ස් සමාගම හදන මිල අධිකම කාර් එක ගේනවා. ඔබලා මේක අනුමත කරනවාද? පාලකයන්ට මේවා කරන්න අයිතියක් තිබෙනවාද? මේ නාස්තිය නතර කරන්න ඕන නැද්ද? මා ඇමතිකම අරන් මාස හතකදී ඇමතිවරයාගේ වැය ශීර්ෂයට වෙන් කළ මුදල ඉතුරු කරලා ඒකෙන් දොර දෙකේ බස් දෙකක් අරගෙන සේවකයන්ට වැඩට යන්න-එන්න ලබා දුන්නා. අදත් ඒ බස් දෙක සේවකයන් ප්‍රවාහනය කරනවා.

"දරුවන්ට කිරි වීදුරුවක් දීලා, ගැබිනි මවුවරුන්ට පෝෂණ මල්ලක් දීලා දුප්පත්කම තුරන් කරන්න බැහැ. මෙතෙක් පාලකයෝ කළේ ජනතාවගේ දුප්පත්භාවය විකුණන් කන එක. අපි කරන්නේ ජනතාව දුප්පත්භාවයෙන් මුදවා ගන්න එකයි. අපි ඒ සඳහා සැලසුම් හදා තිබෙනවා. මම පුංචි කාලේ දැකලා තිබෙනවා අපේ අම්ම තාත්තා ගොවිතැන් කරලා අපිට වේලක් කන්න දෙන්න පොරබදපු විදිහ. අපිට අභ්‍යාස පොතක් අරන් දෙන්න පොරබදපු විදිහ. පොල් අතු වහලෙට ටකරන් ටිකක් ගන්න විඳපු වේදනාව. මගේ පංතියේ හිටපු සමහර යාළුවන්ට දුප්පත්කම නිසා ඉගෙනගන්න බැරි වුණා. පාසල් දිවිය අතරමඟදී නතර වුණා. සමහර යාළුවෝ දුප්පත්කමෙන් බේබදුකමට වැටුණා. ඔවුන් බීලා බීලම මැරිලා ගියා. අපි මේවා දැකලා තිබෙනවා. දුප්පත්භාවයේ ප්‍රතිවිපාක අපි අත්විඳලා තිබෙනවා. ඒ නිසා දුප්පත්කම පැෂන් එකක් කරගත්තු මිනිස්සු නොවෙයි අපි. සමහරු ලෝකයේ තිබෙන මිල අධිකම වාහනය පාවිච්චි කරලා ගෙවිච්ච සෙරෙප්පු දෙකක් දානවා. මේවා තමයි දුප්පත්භාවය විකුණන් කන පැෂන්.

"ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය සහ ණය බර අද උග්‍ර වෙලා. අපි මේකෙන් ජනතාව ගලවා ගන්න ඕනෑ. ඔවුන් යැපෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කරන්න ඕනෑ. 1994 සමෘද්ධිය ගත්තු අය අවුරුදු 25ක් ගිහිල්ලත් අදත් ගන්නවා. කරන්න ඕන මොකක්ද? ඔවුන්ව ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න ඕනෑ. අවුරුදු 5න් 5ට සමාලෝචනය කරලා බලන්න ඕනෑ. ඒ සමඟ ඔවුන්ගේ යැපුම් මාර්ගද සංවර්ධනය කර ශක්තිමත් කරන්න ඕනෑ. අපි සැලසුම් හදා තියෙන්නේ අන්න එහෙම ගැමි ජනතාව දුප්පත්කමින් ගලවා ගැනීමේ දියුණු සැලැස්මක් අපි ළඟ තිබෙනවා. හමදාමත් සොච්චම් සමෘද්ධි මුදලකට යටවී අපේ රටේ ජනතාව සදාකාලික දුක්ඛිතභාවයේම සිටිය යුතුද? මේ පාලකයන්ගේ ප්‍රාර්ථනය නම් ඒක තමයි. එතකොට තමයි මොනව හරි සොච්චමක් දීල ජනතාව හැමදාම රවටන්න ඔවුන්ට පුළුවන් වෙන්නේ. අපේ පාලනයක් තුළ දුප්පත්කම සහතික ලෙසම රටෙන් තුරන් කරනවා. අපේ රට ගොඩනඟන්න අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය ආදී ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව දී පරිවර්තනීය වෙනසක් කරන්න ඕනැ. අද එක් පවුලක් විසින් මේ ක්ෂේත්‍ර සඳහා තමන්ට ලැබෙන මුදලින් විශාල පංගුවක් වෙන් කරනවා. අපේ පාලනයක් යටතේ අධ්‍යාපනය, සෞඛ්‍ය ක්ෂේත්‍රවලට තමන්ගේ ආදායමෙන් පංගුවක් ජනතාව වෙන් කරන එක නවතා දමනවා. රජය ලබා දෙන ප්‍රධානතම සේවාවන් බවට අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය යන සේවා අපි පත්කරනවා.

"අපේ රටේ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු දෙනාට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළකින්, සමාජය බලා ගැනීමේ වැඩපිළිවෙළකින් සමාජ ආවරණය සලසනවා. සියලු පුරවැසියන්ට සමාන පිළිගැනීමක් සහිත සමාජයක් අප නිර්මාණය කරනවා. ඔබ ගමන් කළ යුතු සැබෑ මාවත දැන් අපි ඔබට විවෘත කර තිබෙනවා. අපි ඔබට ආරාධනා කරන්නේ ඔබ මෙතෙක් ගමන් කරමින් සිටි විනාශකාරී මාවතෙන් දැන්වත් ඉවත් වෙන්න කියලා. ඒ මාවත ඔබේ දරුවන්ට ද අත්කර දෙන්නේ විනාශයක්ම පමණි. ඔබේ දරුවාගේ අනාගතයට සුභදායී වන නිවැරදි තීන්දුව ගැනීමට නොවැම්බර් 16 වැනිදා නිර්භයව පෙරට එන්න කියල අපි ඔබට ආරාධනා කරනවා. අපි මේවා කියනකොට සමහරු කියනව ඔයගොල්ලො කියන කථාව නම් ඇත්ත තමයි. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ගෝඨා එනවනේ කියලා. මේ රාජපක්ෂල 2015දී පරාජය කළානේ. ඇයි? නැවත පරාජය කරන්න කියල අපෙන් ඉල්ලන්නේ. පරාජය කළ රාජපක්ෂලා කහ දියරෙන් නාවල පිරිසුදු කොට යළි බලය ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේ කවුද? රනිල්, මෛත්‍රී, සාගල, සජිත් තමයි ඒ තත්ත්වය හදල දුන්නේ. පරාජය කළ රාජපක්ෂලා භෞතීස්ම කර පෙරමුණේ රාළල බවට පත් කළේ ඔය සජිත්ලම තමයි. ඒ නිසා මේ දෙගොල්ලොම එකට තබා පරාජය කළ යුතුයි. එසේ කිරීමට නම් මාලිමාව ලකුණ ඉදිරියේ කතිරය ගසා නොවැම්බර් 16 වැනිදාට ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරවිය යුතුයි."

News Order: 
6
මාතෘකා