ශිෂ්ටසම්පන්න, යුක්තිගරුක මාතෘභූමියක් නිර්මාණය කරනවා

 ඡායාරූපය:

ශිෂ්ටසම්පන්න, යුක්තිගරුක මාතෘභූමියක් නිර්මාණය කරනවා

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

ශක්තිමත් ආර්ථිකයක් සහ ශීඝ්‍රගාමී සංවර්ධනයක් ක්‍රියාත්මක වන ජවසම්පන්න රාජ්‍ය පාලනයක් තුළින් රටේ සියලු දෙනා සවිමත් කරන යුගයක් බිහිකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (05) හඟුරන්කෙත පැවති ජන හමුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

16 වැනිදා ජනාධිපති විදිහට පත්වෙනකොට හඟුරන්කෙත පුරවරය අපි සුරපුරයක් බවට පත්කරනවා. අපි එතැනින් නතරවෙන්නේ නැහැ. මම පළමුවෙන්ම මේ ප්‍රදේශයේ තිබෙන ප්‍රශ්න කිහිපයක් පිළිබඳව කතා කරන්න කැමතියි. මේ ප්‍රදේශයේ විශාල වශයෙන් එළවළු කේන්ද්‍ර කරගත් ගොවිතැන කෙරෙනවා. ගොවිතැන ගැන කතාකරන කොට අපි ගොවියා කේන්ද්‍ර කරගෙන දැවැන්ත ගොවි සංග්‍රාමයක්, දැවැන්ත ආහාර නිෂ්පාදන ක්‍රියාදාමයක් ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනවා. මින් ඉදිරියට රටේ ආහාර අවශ්‍යතාව සපුරාලීම සඳහා පිටරටවල ගොවීන්ගේ නිෂ්පාදන ගේන්න අවශ්‍ය නැහැ. අපේම රටේ ගොවීන් සම්බන්ධ කරගෙන අපේ රටේ අවශ්‍යතාව පමණක් නෙවෙයි එළවළු, පලතුරු, භවබෝග අපනයනය කරන වැඩසටහනකුත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම ඉතිහාසයේ ප්‍රථම වතාවට වී ගොවිතැන, එළවළු හා පලතුරු වගාව, ගොඩ බෝග වගාව, හේන් ගොවිතැන, තේ, පොල්, රබර්, සුළු අපනයන බෝග යන සෑම ගොවි නිෂ්පාදනයකටම අපේ ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබාදෙනවා. විශේෂයෙන්ම ගොවිතැන ගැන කතා කරන කොට මේ ප්‍රදේශයේ පසු අස්වනු සුරක්ෂිතභාවය තහවුරු කරන්නට අපි ශීතාගාර පහසුකම් සහිත සංකීර්ණයක් හඟුරන්කෙතට ලබාදෙන්නට සැලසුම් කර තිබෙනවා. ඔබ සියලු දෙනාම දන්නවා එකපාරටම නිෂ්පාදනය තොග පිටින්ම වෙළෙඳපොළට එනකොට ගොවියාට නිශ්චිත මිලක් ලැබෙන්නේ නැහැ. කාලයක් ගබඩා කරලා සුරක්ෂිතව, සැපයුම අඩු වූ වෙලාවට ඒ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරනකොට ගොවි පරපුරට හොඳ මිලක් ලබාගන්න පුළුවන්. ඒ සඳහා ශීතාගාර පහසුකම් හඟුරන්කෙතට ලබාදීලා මේ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ නිෂ්පාදන සුරක්ෂා කරන්නට අපි මෙම වැඩසටහන දියත් කරන බව සතුටින් ප්‍රකාශ කරනවා.

මේ ප්‍රදේශයේ අධ්‍යාපන ක්ෂේත්‍රය අපි ගොඩනඟන්නට ඕනේ. බරපතළ ගුරු හිඟයක් තියෙනවා. මේ ගුරු හිඟය වෙනුවෙන් අපි තිරසාර විසඳුම් ලබාදෙන්න සූදානම්. ඒවගේම මේ ප්‍රදේශයේ විශාල වතු ප්‍රජාවක් ජීවත් වෙනවා. වතු කම්කරු ප්‍රජාවට දිනපතා ලැබෙන්නේ රුපියල් හත්සීයක්, හත්සිය පනහක් වැනි සොච්චමක්. 16 වැනිදා පොදුජන යුගය නිර්මාණය වෙනකොට වතු ජ්‍රජාවගේ දෛනික ආදායම එක්දහස් පන්සීයක් දක්වා වර්ධනය කරන්නට අපි ඇපකැප වෙනවා. සතා සිව්පාවාගෙන් වගා හානි රැසක් සිදුවෙනවා. ඒවට පරිසර හිතකාමී විසඳුම් ලබාදෙන්නට අපි කටයුතු කරනවා. ඒවගේම හානියට ලක්වෙන වගාවන්වලට හොඳ තිරසර කෘෂි රක්ෂණ වැඩපිළිවෙළක් අපි ආරම්භ කරනවා. වගා හානි තුළින් විපතට පත්වෙන ගොවි පරපුරට අනිවාර්යෙන්ම හානියට වන්දියක් ලබාදෙන රක්ෂණ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. ජාතික වශයෙන් අපි දියත් කරන වැඩසටහන් කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න කැමතියි. සමෘද්ධි වැඩසටහන තවත් ශක්තිමත් කරමින් අපි ඉදිරියට ගෙනියනවා. වැඩියෙන් ප්‍රතිපාදන වෙන්කරලා සමෘද්ධිය ලබාදිය යුතු දුප්පත් ජනතාවට වඩාත් ශක්තිමත්ව සමෘද්ධිය ලබාදෙනවා. මේ රටේ දුප්පත්කම සදාකාලිකව අපිට තියාගන්න බැහැ. දුප්පත් ජනතාව එයින් මිදෙන්නට ඕනේ. දුප්පත්කමින් මිදීම සඳහා මම සමෘද්ධියට රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජන සවිය වැඩසටහනත් එකතු කරලා ඒ දෙකේ එකතුව හරහා දුප්පත් ජනතාව එක්තරා කාල සීමාවක් තුළ අනිවාර්යෙන්ම දුප්පත්කමින් ගොඩදමනවා.

පාසල් යන දරු පරපුරට නිල ඇඳුම හා දිවා ආහාරය ලබාදුන්නේ මගේ දයාබර පියාණන්. මගේ ප්‍රතිවාදියාගේ දේශපාලන කල්ලිය තමයි දූ දරුවන්ගේ දිවා ආහාරය සහමුලින්ම නතර කළේ. හතළිස් හතර ලක්ෂයක් අපේ රටේ පාසල් දූ දරුවන් ඉන්නවා. 16 වැනිදාට පොදුජන මිනිහගේ යුගය මේ රටේ උදාවෙන කොට හතළිස් හතර ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි, සපත්තු කුට්ටමයි, දිවා ආහාරයයි මේ වැඩසටහන් තුළින්ම අපේ රටේ සිසු දූ දරු පරපුර අපි සුරක්ෂා කරනවා. ඒවගේම යොවුන් පරපුර වෙනුවෙන් අපි දැවැන්ත වැඩසටහන් ගණනාවක් ආරම්භ කරනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක බැගින් නවීන පන්නයේ තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. ඒවගේම තොරතුරු තාක්ෂණ උද්‍යානයකුත් ආරම්භ කරනවා. තාක්ෂණ විද්‍යාලයේ මොනවද අපි උගන්වන්නේ? ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, නව තාක්ෂණය, ජෛව තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ප්‍රගුණ කිරීම ඒ තාක්ෂණ විද්‍යාලයෙන් ඩිජිටල් තාක්ෂණයෙන් සමත්වෙලා එළියට එන යෞවන යෞවනියන්ට අර තාක්ෂණ උද්‍යානයේ භූමියක් ලබාදෙනවා අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒ ආරම්භ කරන ව්‍යාපාරයට මූලික ප්‍රාග්ධනයත් රජයෙන්ම ලබාදෙනවා. අන්න එතකොට යොවුන් පරපුර බලාපොරොත්තු වෙන ඩිජිටල් විප්ලවය මහපොළොවේ ක්‍රියාත්මක වෙනවා. හඟුරන්කෙත පුරවරයේ යොවුන් පරපුර වෙත තාක්ෂණ විද්‍යාලයයි, තොරතුරු තාක්ෂණ උද්‍යානයයි නිර්මාණය කරලා ඩිජිටල් විප්ලවය දියත් කරනවා.

හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම අපි කර්මාන්ත පුරවරයක් ආරම්භ කරනවා. හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අලුතෙන්ම කර්මාන්ත පුරවරයක් ආරම්භ කරනවා. සමහරු අහයි ඕවා කරන්න පුළුවන් වැඩද කියලා. හැමෝටම මම පෙන්නන්න කැමතියි මගේ පියාණන් නිර්මාණය කරපු ඇඟළුම් කර්මාන්තශාලා. ඒවායේ විශාල ප්‍රමාණයක් රැකියා කරනවා. නමුත් මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි කර්මාන්ත පුරවරයක් කියන්නේ කර්මාන්තශාලා ගණනාවක්. ඒ නිසා පියා ගෙනගිය වැඩපිළිවෙළ තව අඩි ගණනාවක් ඉස්සරහට තියලා හඟුරන්කෙතට අංගසම්පූර්ණ කර්මාන්තශාලා ගණනාවකින් සමන්විත වූ කර්මාන්ත පුරවරයක්ම අපි ලබාදෙනවා. එතකොට එක පැත්තකින් තාක්ෂණ විද්‍යාලය, තවත් පැත්තකින් තාක්ෂණ උද්‍යානය, තවත් පැත්තකින් කර්මාන්ත පුරවරය. යොවුන් පරපුරට දැවැන්ත ශක්තියක් ලැබෙනවා. අපේ රටේ ලක්ෂ ගණනක් ත්‍රීරෝද රථ රියදුරන් ඉන්නවා. හැම ත්‍රීරෝද රථ රියදුරකුටම ඇපයක් රහිතව ලක්ෂ තුනක ණයක් ලබාදෙනවා. මං තීන්දු කර තිබෙනවා පොළියක් නැතිව ඒක ලබාදෙන්න. ත්‍රීරෝද රථ රියදුරාටත් තවත් අමතර ජීවිකාවක් කරගෙන යන්නට, පවුලේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීමටයි අපි ඒ වැඩපිළිවෙළ දියත් කරන්නේ.

මධ්‍යම පන්තිය වෙනුවෙන් අපි බදු සහන ලබාදීලා මධ්‍යම පන්තිය ශක්තිමත් කරන්න කටයුතු කරනවා. කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ගොඩනඟන්නට අපි කටයුතු කරනවා. අලුතින් ආරම්භ කරන කර්මාන්තවලට ණය සහන පහසුකම් ලබාදෙනවා. මේ රටේ වැඩිහිටි පරපුර අපි ආරක්ෂා කරනවා. වැඩිහිටියන්ට සැලකීම රටේ උතුම්ම ප්‍රතිපත්තියක් විය යුතුයි. දරු පරපුර වෙනුවෙන් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ආරම්භ කරලා මේ රටේ මන්දපෝෂණයෙන් පෙළෙන කුරුවීම, මිටි වීම, ක්ෂය වීම, අඩු උපත් බර, රක්ත හීනතාවය, ඒවගේම මන්දපෝෂණයෙන් පෙළෙන මවු පරපුර අපි රැකබලා ගන්නවා.

16 වැනිදට නිර්මාණය වෙන්නේ හිතක් පපුවක් ඇති රාජ්‍ය පාලනයක්. රටේ ජනතාව දුක් විඳිනවා නම් රාජ්‍ය පාලකයාට ඒ දුක දැනෙන්න ඕනේ. ඒ දුක තේරිලා තමන්ගේ හදවත කම්පා වෙන්නට ඕනේ. ඒ වගේ සංවේදී ආණ්ඩුවක් අපි අනිවාර්යෙන්ම බිහි කරනවා. මේ පුරවරයේ ග්‍රාමසේවා වසම් 131ක් තිබෙනවා. ගම්මාන 350ක් තිබෙනවා. මේ හැම ගමකම ජාති, ආගම්, කුල මල, පන්ති, පක්ෂ භේදයෙන් තොරව ජනතාවගෙන් මම ඉල්ලුම් කරනවා මේ හැමදෙනාටම අවුරුදු 52ක් වයසැති අලුත් ජනාධිපතිවරයෙක් බිහිකරලා හොඳ ශක්තිමත් ආර්ථිකයක්, ශීඝ්‍රගාමී සංවර්ධනයක් ක්‍රියාත්මක වෙන, ජවසම්පන්න, කඩිසර රාජ්‍ය පාලනයක් තුළින් මේ රටේ සියලුම දෙනා ගොඩදමන යුගය සියලුදෙනාම එකට අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක කරමු කියලා.

මේ තමයි මම ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය. මෙහි අඩංගු වෙන්නේ මගේ සිතිවිලි. විසිපස් වසරක් පුංචි මනුස්සයා එක්ක ඉඳලා මම අවබෝධ කරගත්තා රටේ ජනතාවට ඉටුවිය යුතු සේවාව. වසර විසිපහක් පොඩි මිනිහා එක්ක හිටපු නිසා තමයි සමෘද්ධියයි, ජන සවියයි දෙකම දෙන්නේ. පොහොර ටික නොමිලේ දෙන්නේ. නිල ඇඳුම, දිවා ආහාරය, සපත්තු කූට්ටම දෙන්නේ. ඒ පොඩි මිනිහගේ දුක හඳුනන නිසයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය බොහොම සංක්ෂිප්තව ඉදිරියේදී සංවිධායකතුමා හරහා අපි ගමට එවනවා. හොඳට කියවලා බලන්න. එතන ඒකීය ශ්‍රී ලංකාව ආරක්ෂා වෙනවා. බුද්ධ ශාසනයට දෙන මුල් තැන ආරක්ෂා වෙනවා. ඒ වගේම අනෙකුත් ආගම් හා ජාතීන් ආරක්ෂා වෙනවා. ඒ එක්සත්භාවය තුළින් තමයි අපිට අපේ රටේ එකමුතු බව හා ස්වෛරීත්වය ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් මම අභියෝගයක් කළා මම මගේ ප්‍රතිවාදී අපේක්ෂකවරයාට මාත් එක්ක විවාදයකට එන්න කියලා. තවම ඒකට පිළිතුරු නැහැ. මම කියනවා එතුමට මට මුහුණදෙන්න බය නම් හිටපු ජනාධිපති අයියවත් අඬගහගෙන එන්න උදව්වට. ඒකත් මදි නම් මුළු පවුල් ගහම අරගෙන එන්න. කීයක් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රේමදාසගේ පුතා තනියම ඊට මුහුණදෙන්න ලෑස්තියි. ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට, නීතිය හා සාමය සවිමත් කරන්නට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා අපි පත් කරනවා. අපි ත්‍රස්තවාදය, කුඩු ජාවාරම, කප්පම් ක්‍රමය විනාශ කරනවා. අපි එතැනින් නතරවෙන්නේ නැහැ. මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරකරුවන් විනාශ කරනවා. ශිෂ්ටසම්පන්න, යුක්තිගරුක, මනුස්සකම රජයන මාතෘභූමියක් අපි අනිවාර්යෙන්ම නිර්මාණය කරනවා.

News Order: 
1
මාතෘකා