අත පොහොට්ටුව එක් වෙද්දි චන්ද්‍රිකාගෙන් දැවැන්ත පෙරළියක්

 ඡායාරූපය:

අත පොහොට්ටුව එක් වෙද්දි චන්ද්‍රිකාගෙන් දැවැන්ත පෙරළියක්

ජපාන අධිරාජ්‍යයාගේ කිරුළු පැළඳවීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත ලංකාවට පැමිණියේ සතියකට පමණ පසුවය. සුපුරුදු පරිදි මේ සතියේදීත් දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටි ජනාධිපතිවරයා ලබන සතියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සම්බන්ධයෙන් වන තමන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළවුවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග අනාවරණය කරන්නේ මේ වන තෙක් ජනාධිපතිවරයා තමන් සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවය.

දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවුණත් ජනාධිපතිවරයා පසුගිය සතියේදී සංවර්ධන වැඩසටහන් කිහිපයක් විවෘත කිරීමට සම්බන්ධ විය. උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයට අයත් ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කළ ජනාධිපතිවරයා එහිදී සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවකටද සහභාගී විය.

"මේ ව්‍යාපෘතිය 2011දි ආරම්භ කළත් ‌මේක ක්‍රියාත්මක කිරීමේදී අභියෝග රැසකට මුහුණදීමට සිදුවුණා. ඒත් වත්මන් රජය මතුවුණු අභියෝග සියල්ලම ජයගනිමින් ඌව පළාතේ ජනතාව වෙනුවෙන් මේ වැඩ කොටස ඉටු කළා." ජනාධිපතිවරයා සිහිපත් කළේය.

මෛත්‍රීගෙන් චීනයට ඔප්පුවක්

කොළඹ වරාය නගරය ඉදි කිරීමේදී ගොඩබිම සම්පූර්ණයෙන්ම චීනයට ලබාදීම පිළිබඳ දැඩි ආන්දෝලයක් ඇතිවූයේ පසුගිය ජනාධිපතිවරණය පැවති සමයේදීය. 2015 ජනාධිපතිවරණයෙන් පසුව කොළඹ වරාය නගරයේ ඉඩම් ඔප්පුව සංශෝධනය කිරීම සඳහා සාකච්ඡා මාලාවක් ආරම්භ විය. පාඨලී චම්පික රණවක ඇමතිවරයාගේ අමාත්‍යාංශය හරහා මේ ඉඩම් ඔප්පුව ලබාදීමට අදාළ කටයුතු සකස් කර තිබිණි. ඒ අනුව පළමුව භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා දුන් අතර එම අධිකාරිය විසින් අයිතිය තමන් වෙත තබාගෙන අදාළ භූමිය පෝට් සිටි සමාගම වෙත ලබාදුන්නේය.

එහෙත් ඒ සඳහා වන ඔප්පු ලබාදීමේ කටයුතු පසුගිය වසර කිහිපය තුළ අවසන් කරගැනීම හැකියාව ලැබී තිබුණේ නැත. විවිධ නීතිමය කටයුතු අවසන් කිරීමට යම්කිසි කාලයක් ගතවූ නිසා ඔප්පුව ලබාදීම ප්‍රමාද වී තිබූ අතර පසුගිය සතියේදී ජනාධිපතිවරයා එම ඔප්පුව චීන තානාපතිවරයා වෙත භාරදුන්නේය.

"2015දී මම බලයට පත්වුණාට පස්සේ ලංකාවේ ස්වෛරීත්වයට බලපෑම් එල්ල නොවන බව තහවුරු කරගැනීමට ආරම්භ කළ සාකච්ඡා සාර්ථක වුණා. මේ භූමියේ හිමිකාරිත්වය ලංකාවට තිබෙන බවට සහතික වෙන්න පුළුවන් වෙන්නේ දෙපාර්ශ්වයම එකඟවෙන සංශෝධන පිළිගත්තොත් විතරයි. ඒ නිසා දෙපාර්ශ්වයටම පිළිගන්න පුළුවන් සංශෝධන මේකට එකතු කරගැනීමට හැකිවීම ගැන අපට සතුටුයි." ජනාධිපතිවරයා කීවේය.

 

ඇමෙරිකානු ගිවිසුමක අනුමැතිය

“ඇමෙරිකාවත් එක්ක මිලේනියම් ගිවිසුම අත්සන් කරන්න කැබිනට් අනුමැතිය ලැබුණද?”හේෂා විතානගේ ඇසුවේය.

“ඔව්, ගෝඨා ඒ කාලේ කැබිනට් එකටවත් කියන්නෙ නැතුව කාටත් හොරා ඇමෙරිකාවත් එක්ක රහසේ ගිවිසුම් අත්සන් කළා කියලා වාසු ඇතුළු හැමෝම බෝම්බ පත්තු කළා. ඒත් අපි විනිවිදව හා එළිපිටම රටට වාසියක් මිසක් අවාසි නැති විදියට වගේම කැබිනට් අනුමැතියත් අරන් තමයි යමක් කරන්නේ. ඔය ගිවිසුම් හරහා ලංකාවට කෝටි 8600ක විශාල මූල්‍යමය වාසියකුත් තියෙනවා. අනික ගෝඨාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් ඔය මිලේනියම් වැඩපිළිවෙළ ගැන නොකියා කියලා තියෙනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ සියලු දෙනා අනුමත කළහ.

“පාස්කු ප්‍රහාරය ගැන ගෝඨාභයට සැකයි කියලා දේශපාලන න්‍යයාචාර්යවරයකු මෙන්ම පසුගිය රජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල උපදේශකයකු වූ ආචාර්ය දයාන් ජයතිලක කරන විග්‍රහය ගැන රටේම අවධානය යොමු වෙලා තියෙනවා. මිය ගිය මිනිස්සුන්ගේ අවසන් කටයුතු සිදු කරන්නත් කලින් මමයි අපේක්ෂකයා කියලා ගෝඨාභය කියපු එක විශාල සැකයක්. ඒවගේම සහරාන්ලට කොළඹ ඉඩම් හා කාර්යාල දීලා පඩි ගෙවලා ඔවුන් පෝෂණය කළෙත් ගෝඨාභයලා බව ඒ අයම ප්‍රසිද්ධියේ පිළිගෙනත් තියෙනවා. කතෝලික වගේම රටේ සියලු ජනතාව මේ ගැන දැඩි විපරමෙනුයි ඉන්නේ.” නවීන් දිසානායක කී දේ සියලු දෙනා අනුමත කළහ.

“නවීන් ඇමතිතුමා අගමැතිකම උඩරටට ඉල්ලනවා. ඒ එතුමාටද ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාටද දන්නේ නෑ. ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ තනතුරට ආවම කන්ද උඩරටට විජේතුංග මැතිතුමාට අගමැතිකම දීපු ඉතිහාසයකුත් තියෙනවා. ඒත් අගමැති මමයි කියලා ඔබතුමා එකපාරටම කියපු එක සමහර ජනමාධ්‍යවලට ලොකු නිවුස් එකක් වෙලා.” වජිර අබේවර්ධන කීවේ අගමැති රනිල් දෙස බලාය.

“අගමැති කවුද කියලා මගෙන් ඇහුවම මම උත්තර දුන්නා. ජනාධිපතිවරණයෙන් වෙනස් වෙන්නේ ජනාධිපතිධුරය විතරයි. ජනාධිපති දරපු ඇමතිකම් ටික ඕනෙනම් ඇමතිකම් නැති කට්ටියට බෙදලා දෙන්න පුළුවන්. කිරිඇල්ල, රංගෙ, ෆීල්ඩ් මාෂල් වගේ අසාධාරණයට ලක් වෙච්ච පිරිසකුත් ඉන්නවානේ. එහෙම නොවී ලොකු ඇමති මාරුවකට ගියොත් කට්ටිය ඇමතිකම්වලට පොරකාවි. මොකද ජනාධිපතිවරණය දිනුවාම අපි වහාම මහා මැතිවරණයකට යන්න ඕන.” අගමැතිවරයා පැහැදිලි කළේය.

“ශ්‍රීලනිපය රැක ගැනීම චන්ද්‍රිකා හා වෙල්ගම භාරගත්ත එක ගැන ගමේ ශ්‍රීලංකා කාරයෝ මාර පිකප් එකේ ඉන්නේ. ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරුන් වන රුවන් රණතුංග, අතාවුද සෙනෙවිරත්න, වික්ටර් ඇන්තනී හා පළාත් සභා ප්‍රාදේශිය සභා ඇතුළු පාක්ෂිකයෝ දහස් ගණනක් සජිත් දිනෙවුවොත් විතරයි ශ්‍රීලනිපය රැකෙන්නේ කියන ස්ථාවරයට ඇවිත්.” නවීන් දිසානායක කීවේය.

“ශ්‍රීලනිපෙ කට්ටිය පොහොට්ටුවේ රැස්වීම්වලට නැග්ගම හූ තියන එක දිගටම යනවා. ශ්‍රීලනිප අය ගැන පොහොට්ටුවේ කට්ටියගේ හිතේ වෛරයක් ඇති කරල තමයි අපි පොහොට්ටුව ගොඩනැගුවේ කියල බැසිල් දයාසිරිට කිව්ව බව දයාසිරි රටටම කිව්වා. ඔය වෛරය තමයි තාම යන්නේ. ශ්‍රීලනිපයේ නායකයෝ තනතුරු ගන්න පොහොට්ටුවට ගියාට ගමේ ශ්‍රීලංකාකාරයා පොහොට්ටුවට කවදාවත් ඡන්දේ දෙන්නේ නෑ. ඇල්පිටියෙදිත් ඒක ඔප්පු වුණා.” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහය සියලු දෙනා අනුමත කළහ.

“ලෝකෙට ත්‍රස්ත හිසරදයක් වූ අල්කයිඩා එකේ බින්ලාඩ්න් වගේම ඊට පස්සේ තර්ජනයක් වෙච්ච අයිඑස් අයිඑස් අල්බග්ඩාඩිටත් ඇමෙරිකාව වග කිව්වා. ලෝක ත්‍රස්තවාදය බොහෝ දුරට දැන් නිමයි. අවධානය පමණයි දැන් අවශ්‍ය. ආරක්ෂාව ගැන කියාගෙන ආපු ගෝඨාභය මේවා කතා නොකරන්නේ ඇයි? දැන් ගෝඨාට විකුණන්න දෙයක් නෑ. ත්‍රස්තවාදයට අදාළ ඉතිරි ප්‍රශ්න ටික ජාත්‍යන්තරව විසඳගන්න පුළුවන් ගෝඨාට හෝ රාජපක්ෂලාට නෙවෙයි අපිට විතරයි. අනික ලංකාවේ ආරක්ෂාව ගැන සුළු හරි ප්‍රශ්නයක් ආවොත් ගෝඨාභයට වඩා සිය දහස් ගුණයකින් එවාට මුහුණ දීමේ හැකියාව තියෙන ෆීල්ඩ් මාර්ෂල් ඉන්නෙත් අපිත් එක්ක නිසා ජනතාව හංසයා දිනවන්න ඕනෑ. හංසයා දිනවලා බත් කනවද පොහොට්ටුව දිනවලා වෙඩි කනවද කියලා මම ඇහුවේ ඒකයි.” අගමැතිවරයා කීවේ සිනාමැදය.

කාන්තාවන් කඳුළු පුරවාගෙන අසා සිටි කතාව

සජිත් වේයංගොඩදී කළ කතාව විශේෂ වූයේ ඔහුගේ කතාව විවේචනය කළ පිරිස්වලට එයින් සැර පිළිතුරක් ලද බැවිනි.

“කාන්තාවන්ගේ වටිනාම සම්පත මාතෘත්වයයි. බොහොම සංවේදී හිතට වද දෙන කාරණයක් ගැන මම කල්පනා කොට විසඳුමක් ලබා දුන්නා. කාන්තාවගේ මේ ප්‍රශ්නය ගැන මම කතා කරලා විසඳුමක් ලබා දුන්නම පොහොට්ටු කණ්ඩායම් මට පහර පිට පහර ගහනවා. ලෝකයට ජීවය දෙන උතුම් කාන්තාවන් අද බරපතළ ගැටලුවකට මුහුණ දෙනවා. මාසික ශුද්ධිය කාලයේදී නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසා භයානක සෞඛ්‍ය බලපෑම් ගණනාවක් නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන්ම නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන නිසාවෙන් ගැබ්ගෙල පිළිකාව, මුත්‍රා ආසාධනය, වකුගඩු ඉන්ද්‍රීය නරක් වීම, ප්‍රජනන අවයවවල ආසාධනය වැනි බරපතළ රෝගී තත්ත්වයන් නිර්මාණය වෙනවා.

"කවුරුත් කතා නොකරන සියයට 51.8ක් වන කාන්තා පරපුරට බලපාන මේ ගැටලුව ගැන රජයක් ලෙස අපි අනාගතයේදී විසඳුමක් ලබා දෙනවා. මාස 10ක කාලයක් දරුවෙක් කුසේ තබාගෙන උහුලාගන්නට බැරි වේදනාවක් දරාගෙන මිහිපිට දෙවියෙක් ලෙස සලකන්න පුළුවන් අපේ කාන්තාවන්ට බලපාන මේ ගැටලුවට අපි අපේ රජයක් තුළ අනිවාර්යයෙන්ම විසඳුම් දෙනවා. මේ ප්‍රශ්නය නිසා ගැටලුවට පත් වන කාන්තාවන් සියයට 70ක් සිටිනවා. සමීක්ෂණ පෙන්වා දී තිබෙනවා සුදුසු සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන්නේ සියයට 30ක් පමණයි කියලා. මේ නිසා අපේ මවු පරපුර, අපේ සහෝදරියන් තමන්ගේ ජීවිත කාලය තුළ වකුගඩු රෝගයට ලක් වෙනවා. ගැබ්ගෙල පිළිකා වගේම, ප්‍රජනන ප්‍රදේශ ආසාධනයට ලක් වෙනවා. මෙවැනි ප්‍රශ්න තිබෙන කොට රටක පාලකයන් ලෙස අපට නිහඬව බලා සිටින්න බැහැ. මවු කැක්කුම, සහෝදර කැක්කුම දන්න කාන්තාවගේ දුක තේරෙන අපි මේ ප්‍රශ්නවලට තිරසර විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා'

ඔහු තිරව කීවේය. ජනහමුවට ආ බොහෝ කාන්තාවන් දෑස් කඳුළුවලින් පුරවාගෙන ඔහුගේ මේ නිර්භීත ප්‍රකාශයට අත්පොළසන් දුන්හ.

හිටපු හමුදාපතිගෙන් ‘දේශපාලන බෝම්බයක්’

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක විශේෂ හෙළිදරව්වක් කළේය. ඒ ගෝඨාභය මීට පෙර කළ ප්‍රකාශයක් ගැනය. තමන් ජනාධිපති වුවහොත් සිරගතව සිටින, චෝදනා ලද හමුදා සාමාජිකයන් නිදොස්කොට නිදහස් කරන බව ගෝඨාභය රාජපක්ෂ කීවේය.

මහේෂ් ඊට දුන්නේ කිස්කන පිළිතුරකි.

''යුද්ධය කළ පමණින් සිරගත වෙලා ඉන්න සෙබළුන් නැහැ. පැහැදිළිවම කෙනෙක් හිටියා නම් යුද්ධයේදී නිල ඇඳුමට මුවාවෙන් යම් කිසි දෙයක් කරපු කෙනෙක් තමයි එහෙම ඉන්නට ඇත්තේ.

“අද මේ ඉන්න හෝ කතාකරන අය ඉතාම ස්වල්පයයි ඉන්නේ. ඔවුන් 2009 යුද්ධයෙන් පස්සේ 2010 සහ 2015 අතර කාලයේදී මේ රටේ මාධ්‍යවේදීන්ට පහරදීම්, මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම්, ශිෂ්‍යයන් අතුරුදහන් කිරීම් වගේ දේවල් නිසා තමයි ඔවුන් සිරගත වෙලා හෝ ඇප ලබාගෙන හිරෙන් එළියට ඇවිල්ලා ඉන්නේ.

“ඒ පරීක්ෂණ වෙනම කරන පරීක්ෂණ, ඒවා යුද හමුදාවේ රාජකාරියට ඉඳුරාම අදාළ නැහැ. කනගාටුවෙන් හෝ කියන්නට ඕනේ සමහර සෙබළුන් කිහිප දෙනෙක් ඔවුන්ව මෙහෙයවලා තියෙනවා කෙනෙක් සහ කණ්ඩායමක් වැරදි දේ කරන්න. ''

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සෙබළුන් 42 අතර දැනට 7 දෙනකු තවමත් සිරභාරයේ සිටින අතර අන් සියලු දෙනා ඇප මත නිදහස් කොට ඇත. තවද ඒ අතර තම රාජකාරිවල නිරතවීමේදී සිදු වූ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් නිලධාරියකුවත් නොසිටියි.

දැනට සැක පිට අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීම, මාධ්‍යවේදීන් පැහැර ගෙන යෑම සහ කප්පම් සඳහා තරුණයන් පැහැර ගැනීමේ චෝදනාවලට සම්බන්ධ සෙබළුන් අතළොස්සක් පමණි.

වතුකරයේ දේශපාලන උණුසුම

මෙවරත් වතුකරය තීරණාත්මක සාධකයක් වී තිබේ. විශේෂයෙන්ම එය එජාපයට වාසිදායක ප්‍රදේශයකි. වතුකරයේ ලක්ෂ 15ක පමණ ඡන්ද ප්‍රමාණයක් තිබේ.

එහි ප්‍රබලයන් දෙදෙනා දිගම්බරම් සහ තොණ්ඩමාන්ය. දිගම්බරම් සජිත් වෙනුවෙන් වැඩ කරන අතර තොණ්ඩමාන් ගෝඨා දිනවන්න කටයුතු කරමින් සිටී.

ඡන්ද අයිතිය ලබාදුන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට කෘතගුණ සැලකීමට නොහැකි වූ වතුකරයේ ජනතාව මෙවර එතුමාගේ පුත‍්‍රයා වූ සජිත් පේ‍්‍රමදාස මහතාට ඒ යුතුකම ඉටුකරන බව සහතික යැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති වඩිවේල් සුරේෂ් කීවේය.

“මේ රටේ සිංහල ජනතාව ජාතිවාදයේ නැහැ. මුස්ලිම්, හින්දු, කතෝලික, බෞද්ධ ආගම් අදහන ජනතාවත් ජාතිවාදයේ නැහැ.

“තම තමන්ගේ පටු දේශපාලන වාසියට මේ නායකයෝ ඇති කරන එකක් තමයි ජාතිවාදය. මවුබිම ගැන කතා කරන්න අපිත් කැමතියි. වතුකරයේ ජනතාව හැටියට අවුරුදු 200ක් මේ රට වෙනුවෙන් ජීවත්වෙන පිරිසක් ලෙස අපිත් මවුබිම ගැන කතා කරන්න කැමතියි. මවුබිම සම්බන්ධව කතා කරන කට්ටියට අමතක වුණාට අරන්තලාවේදී අපේ හාමුදුරුවන් අමු අමුවේ මරාදාපු අය ඉන්නේ කොහේද කියලා මේ රටේ ජනතාව දන්නවා. පිල්ලෙයාන් කොහේද ඉන්නේ, කරුණා අම්මාන් කොහේද ඉන්නේ.

“සිංහල බෞද්ධයන්ට මහනුවර දළදා මාලිගාව තරම් වටිනා දෙයක් තියෙනවද? එතැනට බෝම්බ ගහපු, වෙඩි තියපු තුවක්කු කල්ලිය අද ඉන්නේ කොහෙද. ඒ අයට සිංහල බෞද්ධ ජනතාව ඡන්දය දෙනවද? මාලිගාවට ගහපු පිල්ලෙයාන්, කරුණා අම්මාන් ඉන්න තැනට ඡන්දය දෙනවා නම් තව මොනවද? මේ නිසා සිංහල ජනතාව කල්පනා කරන්න ඕන හිටපු එල්.ටී.ටී.ඊ. අය වගේම ඉන්න එල්.ටී.ටී.ඊ. අයත් ඉන්නේ එතැනමයි.

“ජාතිවාදී කතා ඔක්කොම බොරු. ඒ වචනය විතරයි එයාලට කියන්න පුළුවන්. මේක පටු දේශපාලනය. මේ නිසා අපි ඉතා වගකීමෙන් කියනවා කන්ද උඩරට ඇතුළුව වතු ඡන්ද ලක්ෂ 15ක් තිබෙනවා. මේ අය ඉන්නේ බදුල්ල, නුවරඑළිය, මොනරාගල, මාතලේ, මහනුවර, රත්නපුරය, කෑගල්ල, දෙනියාය, මතුගම, ඉංගිරිය සහ වවුනියාවේයි. උතුරේ සිටින වතුකරයේ ජනතාව බැහැර කර උතුරේ තීන්දු ගන්න බැහැ කාටවත්. වතුකර ඡන්ද ලක්ෂ 1 1/2ක් තිබෙනවා.

රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිවරයා වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය දුන්නා. ලූණුගල සහ පස්සර හිටපු අපේ ජනතාව මඩකලපු දිස්ත‍්‍රික්කයේ ඉන්නවා. ඒ නිසා මෙම ලක්ෂ 15ක ඡන්දවලින් එක ඡන්දයක්වත් වෙන කාටවත් වැටෙන්නේ නැහැ. ඒ සියල්ල හිමිවෙන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට හෙවත් හංසයාට බව මම වගකීමෙන් කියනවා.

එක ඡන්දයක්වත් එහාට මෙහාට යන්නේ නැහැ. තුට්ටු දෙකේ නායකයෝ ඒවා මේවා කිව්වට ඒ ඡන්ද වෙන කාටවත් යන්නේ නැහැ.” යැයි ඔහු කියයි.

ඒ අනුව ඇය ඉදිරි දින කිහිපය තුළදී ශ්‍රීලනිප ආසන සංවිධායකයන් වරින්වර කැඳවා ඔවුන්ගේ අදහස් යෝජනා ලබාගනිමින් ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟත්වය ඇතිකර ගැනීමටත් නොවැම්බර් මස 05දා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පක්ෂ නියෝජිතයන්ගේ සමුළුවක් කැඳවීමටත් නියමිතය. එය ඉතාම තීරණාත්මක වනු ඇති අතර දැනටමත් බොහෝ දෙනා විමසිල්ලෙන් සිටින්නේ ඒ තීන්දුව දෙසය.

 

 

මහින්ද දෙමළෙන් අමතයි

පසුගිය සතියේ පොදුජන පෙරමුණේ ජනරැලි කිහිපයක් උතුරු නැඟෙනහිර පළාත් කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්විණි. යාපනය, පේසාලේ, වාලච්චේන, මඩකලපුව, අම්පාර, කන්තලේ වැනි නගර කිහිපයකම දැවැන්ත ජනරැලි පැවැත්වුණේ මහින්දගේ සහ ගෝඨාභයගේ ප්‍රධානත්වයෙනි.

දෙමළ ජනතාව සිටින රැස්වීම්වලදී මහින්ද සුපුරුදු පරිදි දෙමළ භාෂාවෙන් අදහස් දැක්වීම බොහෝ දෙනා අගය කළ කරුණක් විය.

වෑන් මෑන් වෙනුවට පෑඩ් මෑන්

මේ අතර පසුගිය දිනවල සජිත් ප්‍රේමදාස කළ අතිශය සංවේදී ප්‍රකාශයක් කාගෙත් කතාබහට ලක් විය. ඒ කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධ ප්‍රකාශයකි.

‘සියලු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා' ලබාදෙන බවට මැතිවරණ වේදිකාවකදී කළ ප්‍රකාශයක් නිසා ඇතැමුන් විමතියට පත් විය. විරුද්ධවාදීන් දැඩිව ඔහු විවේචනය කළේ 'පෑඩ් මෑන්' යන උපහාසයද ඇතිවය. නමුත් සජිත් එයින් සැලුණේ නැත. ඔහු ඔහු කළ ප්‍රකාශය වෙනුවෙන් දිගටම පෙනී සිටියේය. වෑන් මෑන් වෙනවට වඩා පෑඩ් මෑන් වීම අභිමානයක් යැයි ඔහු කීවේ ව්‍යංගාර්ථයක්ද ඇතිවය.

චන්ද්‍රිකා තීරණාත්මක සාධකයක් වෙන හැඩ

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ තීරණාත්මක අවධානයකට ලක්ව සිටී. පසුගිය දිනවල විදෙස්ගතව සිටි ඈ නැවත පැමිණියේ බොහෝ බලමුළු ශක්තිමත් කරමිනි. 2015 ජනාධිපතිවරණයේදී විශේෂයෙන් චන්ද්‍රිකා කුමරතුංග මහත්මියගේ භූමිකාව ප්‍රබල වූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කිරීමේ වැඩපිළිවෙළෙහි තීරණාත්මක මැදිහත්වීමක් සිදුකළේ ඇයයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මෙවර ජනාධිපතිවරණ සටනේදී එක්සත් ජාතික පක්ෂයට සහාය දීම සම්බන්ධයෙන් පසුගිය දිනවල අඛණ්ඩව සාකච්ජා පවත්වා ඇති අතර නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මේ වන විටත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත්වෙමින් සිටියි.

මේ වන විට පොදුජන පෙරමුණට සහාය දෙන්නට ශ්‍රීලනිපය තීන්දුකොට තිබුණද ඊට එරෙහිවද විශාල පිරිසක් සිටිති. තමන් දෙවැනි පන්තියේ පිරිසක් ලෙස පොහොට්ටුව සලකන බවත් ශ්‍රීලනිපය රැක ගැනීම තම අරමුණ බවත් ඔවුහු කියති.

මෙහි උණුසුම තවත් තියුණු වී තිබෙන්නේ කුමාර වෙල්ගම මේ සටනට පිවිස සිටින නිසාය. ශ්‍රීලනිපය පොහොට්ටුවට එකතු වන්නට තීන්දුකර තිබියදීත් ඇල්පිටිය ඡන්දයේදී ශ්‍රීලනිපය සියයට 12 ඉක්මවූ ප්‍රතිශතයක් ලැබීය.

මේ තත්ත්වය තුළ චන්ද්‍රිකා කුමාරතුංග ගන්නා තීන්දුව ඉතා තීරණාත්මක වන බව දේශපාලන විචාරකයෝ පවසති.

අගමැතිවරයා නුවර

එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා මහනුවර ඓතිහාසික රැජිණ හෝටලයේදී එළිදැක්වූ අතර ඊට ප්‍රථම එය මහ නාහිමිවරුන්ට පිළිගැන්වීය. මේ අවස්ථාවට එක්වීම සඳහා අගමැතිවරයා මහනුවර බලා පිටත්ව ගියේ තවත් මැතිඇමතිවරු විශාල පිරිසක්ද තම හෙලිකොප්ටරයට නංවා ගනිමිනි. සජිත් ඊට කලින්දා මහනුවරට පැමිණි අතර අර්ල් ගුණසේකරට අයත් සංචාරක හෝටලයක එදින රාත්‍රියේ ලැගුම් ගෙන තිබිණ.

අගමැතිවරයා ඇතුළු මැතිඇමතිවරු මහනුවරදී පිළිගත්තේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රමුඛ පිරිසකි. “එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය ටිකක් පරක්කු ඇයි කියලත් අහන අය ඉන්නවා.” ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ අගමැතිගෙනි.

“නෑ, අපේ කිසිම පමාවක් නෑ. පොහොට්ටුව තමයි කලින්ම අපේක්ෂකයා නම් කරලා අරහෙන් මෙහෙන් ලියාගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශයකුත් එළියට දාලා සෝඩා බෝතලයක් වගේ උඩ ගිහින් දැන් බිමට වැටිලා තියෙන්නේ ” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.

“පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කරන්නන් වාලේ මිනිස්සු රවට්ටන්න කරපු දෙයක් බව පැහැදිලියි. ඒකේ වැරදි 276ක් තියෙනවා.” මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.

“අර වියත් මගේ ඉන්න විකට නළුවොයි නටන නිළියොයි මේක ලියපු බවයි පේන්නෙ. ඒක ආපහු සිංහල හරියට දන්න කෙනෙක් කියවලවත් නැති බව පැහැදිලියි.” චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.

“පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ රටේ ඒකීය බව හා බුද්ධාගමට නිසි තැන ලබා දීම ගැනවත් ප්‍රමුඛත්වයක් දීලා නෑ. හංගලයි ගහලා තියෙන්නේ. දෙමළ හා මුස්ලිම් ඇතුළු සුළු ජාතීන් ගැන නිශ්චිත සඳහනක් හෝ රැකවරණයක් ගැන කිසිම දෙයක් ඒකෙ නෑ කියලා සුළු ජාතික පක්ෂ චෝදනා කරලත් තිබුණා. ” නවීන් දිසානායක කීවේ එවැන්නකි.

“පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලිව්වේ එයාලගේ තනි මතයට. එයාලත් එක්ක එකතු වුණා කියපු ශ්‍රීලනිපයේ අදහස් මායිම් කරලත් නෑ. ඒත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවේ අපිත් එක්ක ඉන්න සියලු පක්ෂවල අදහස් අරගෙන පොදු ස්ථාවරයකට ඇවිල්ලයි.” අගමැතිවරයා පැහැදිලි කළේය.

“ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අමු පුස්සක්. එකේ තියෙන්නේ වචන ගොඩක් විතරයි. ඒකට වැටෙන්න ගහන්න පුළුවන්. ඒත් ඊට කලින් අපේ ශක්තිමත් දැක්මක් හා වැඩපිළිවෙළක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට දාලා ඉන්න ඕන නිසයි ගොඨගේ බොරු ප්‍රතිපත්තිවලට මෙතෙක් පහර නොවැදුණේ” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.

නඩුවට නොගිය ගෝඨා උතුරට ගිය හැටි

මේ අතර තම ජීවිතය සම්බන්ධව තර්ජන ඇති බැවින් ලලිත් - කූගන් අතුරුදහන් කිරීමට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත නොයා සිටීමට අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා උතුරු ප්‍රදේශයට යෑම බොහෝ දෙනකුගේ කතාබහට හේතුවක් විය.

2011 වසරේ ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යන මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පෙත්සමකට අදාළව සාක්ෂි දීම සඳහා ඉකුත් සැප්තැම්බර් මස 27 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එම අධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි නිකුත් කර තිබිණ.

එහෙත් තම ජීවිතයට තර්ජන තිබෙන හෙයින් ආරක්ෂක හේතූන් මත යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දීමට තමන්ට හැකියාවක් නොමැති බවත් උතුරු නැඟෙනහිරට පිට ඕනෑම අධිකරණයක තමන්ට සාක්ෂි දීමට සූදානම් බවත් සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස දන්වමින් නිකුත් කළ නියෝගය තාවකාලිකව අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කර සිටියේද ඒ අනුවය.

 

වික්ටර් අයිවන් රණසිංහ ප්‍රේමදාස ගැන කී කතාව

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් එක්ව සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය. එහි වඩාත් විශේෂ සිදුවීම වූයේ ඊට එක්වෙමින් කළ කතාවය.

'ඇත්තටම මම දේශපාලන පක්ෂයක කෙනෙක් නෙමෙයි. මම ‘පුනරුදය’ කියන ව්‍යාපාරයක් තුළ මහජන ආකල්ප වෙනස් කිරීම සඳහා වැඩකරන කණ්ඩායමක සාමාජිකයෙක් විතරයි. ඉතින් මම එක්සත් ජාතික පාක්ෂිකයකු නොවී මේ වගේ වැදගත් අවස්ථාවක් මට ලබාදීම ගැන මම මේ උත්සවයේ සංවිධායක මහතුන්ටත්, විශේෂයෙන් මුදල් ඇමති මංගල සමරවීර හා හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන්ටත් මගේ ස්තුතිය පිරිනමනවා.

ඔහු කීවේය.

ඔහු සිය දේශනයේදී මෙසේද කීවේය.

“ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයගේ පියා, ජවිපෙ තරුණ කැරැල්ල අවසන් වීමෙන් පස්සේ ඇයි මේ තරුණ කැරැල්ලට හේතුව ඇයි මේ කැරලි ගැහුවේ කියලා හොයා බලන්න විශේෂ ජනාධිපති කොමිසමක් පත්කළා. ඇත්තටම ඒ විශේෂ ජනාධිපති කොමිසම ගැඹුරු ලෙස කරුණු සොයා බැලීමක යෙදුණා. මොකක්ද මේකට බලපාපු හේතුව කියලා. ඒගොල්ලෝ අවධාරණය කරපු එක හේතුවක් තමයි සිංහල කැරලි කෙරෙහි පමණක් නෙවෙයි උතුරේ ඇතිවූ දෙමළ තරුණ කැරලි කෙරෙහි වර්ගය, කුලය කියන සාධක බරපතළ ලෙස බලපාලා තියෙනවා.

“ඒ වගේම ඒ ජනාධිපති කොමිසම අවුල් සහගත තත්ත්වය හොඳින් විග්‍රහ කළා පමණක් නෙවෙයි; සමාජයට කවර විදියේ පරිහානියක්ද ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා රාජ්‍යයේ කවර විදියේ පරිහානියක්ද ඇතිවෙලා තියෙන්නේ කියන එක ඉතාම තියුණු ලෙස කරපු විග්‍රහයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම ඒ විසඳුම් සමහරක් දේවල්, ඒ නිර්දේශ කරලා තියෙන අදටත් වලංගුයි කියලයි මං හිතන්නේ. ඒවගේම ඉතාමත්ව වැදගත් විදියට සමහර දේවල් විශ්ලේෂණය කරලා තිබුණා.

''රණසිංහ ප්‍රේමදාස නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා. අපේ පාසල් ක්‍රමය ගැන, අපේ අධ්‍යාපන ක්‍රමය ගැන. ඒවා කොයි විදියට විකෘති වෙලා තියෙනවද, ඒවා හදාගත යුත්තේ කොයිවිදියටද කියලා. ඇත්ත වශයෙන්ම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මේ නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා; අකුරටම.

“නමුත් එතුමාගේ ඝාතනයෙන් පස්සේ ඒ සියලු නිර්දේශත් ඒ සියලු දේවලුත් මරණයට පත්වුණා. මේක එතුමාගේ කමිෂන් සභාවන් සම්බන්ධයෙන් පමණක් නෙවෙයි. ලංකාවේ දේවල් හොයන්න පත්කරලා තියෙන කමිෂන් සභා සංඛ්‍යාව අතිවිශාලයි.'

ගෝඨාට ගමේ කෑම

ගෝඨාභයගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන ජනරැලි මාලාවක් පසුගිය ඉරිදා මාතලේ දිස්ත්‍රික්කයේදී පැවැත්විණි. ප්‍රථමයෙන් පැවැත්වුණේ මාතලේ නගරයේ ජනරැලියයි. රැලිය සංවිධානය කර තිබුණේ රෝහණ දිසානායක විසිනි.

මාතලේ නගරයේ පැවැති රැලියෙන් පසුව ගෝඨාභය රත්තොට බලා ගියේය. අනතුරුව නැවතත් මාතලේ බලා ආවේ දිවා ආහාරය ගැනීමටය. රෝහණගේ බිරිය විසින් දේශීයත්වයට මුල්තැන දෙමින් රසවත් දිවා ආහාර වේලක් සූදානම් කර තිබිණි. කෑම ටික රසයි කියමින් ගෝඨාභය දිවා ආහාරය ගත්තේය.

අනතුරුව එතැන සිටි මාතලේ වැසියන් සමඟ සුහදව කතාබහ කළ ගෝඨාභය ඔවුන්ට වුවමනා තරම් සෙල්ෆි ගන්නට ඉඩදී සිටියේය. පසුව ලග්ගල බලා ගිය ගෝඨාභය එදිනම සවස මැදිරිගිරිය නගරයේ පැවැති ජනහමුවකටද සහභාගි විය.

 

මාතෘකා