දකුණට සරසවියක් ගේන්න රොනී කළ සටන

 ඡායාරූපය:

දකුණට සරසවියක් ගේන්න රොනී කළ සටන

 

රොනී ද මැල් යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දශක හතරක කාලයක් පුරා අඛණ්ඩව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් හා අමාත්‍යවරයෙකි. මෙරට ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකම නියෝජනය කරමින් කටයුතු කළ ඔහු, වර්ෂ

1977- 1987 දක්වා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස අයවැය වාර්තා එකොළහක් අඛණ්ඩව ඉදිරිපත් කරමින් මෙරට ආර්ථික දේහය උඩු යටිකුරු කළේය. එමෙන්ම විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් මෙරට සමස්ත සමාජ සන්දර්භය නවමු මාවතකට විවර කර දුන්නේය. අද පළවන්නේ එම අසහාය දේශපාලනඥයාගේ ජීවන මඟ පිළිබඳ ‘රැස’ පුවත්පත ගෙන එන ලිපි මාලාවේ දහඅට (18) වැනි කතාංගයයි.

ඒ 1968 වසරයි. දකුණු ප්‍රදේශය ආවරණය වන පරිදි විශ්වවිද්‍යාලයක් ඇති කිරීම සඳහා වූ සවිස්තරාත්මක වාර්තාවක්ද අතැතිව රොනී පාර්ලිමේන්තුවට පිය නැඟුවේ බලාපොරොත්තු ගොන්නක් සහිතවය. උගතුන් වැඩි වැඩියෙන් බිහි කළ හැකි යෝජනාවලියක් වූ බැවින් පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන් තමන්ට සහාය දක්වාවීය යන ආකල්පය රොනී තුළ විය. දකුණේ දූ දරුවන්ගේ අධ්‍යාපන සිහිනයක් මල්ඵල ගැන්වීමේ තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට දකුණේ මන්ත්‍රිවරුන්ගේ සහාය ඒකාන්ත වශයෙන් ලැබේය යන අපේක්ෂාවද ඔහුට විය.

ඒ පිළිබඳ යෝජනාව සභාවට ගෙන එමින් රොනී කියා සිටියේ, රුහුණු ප්‍රදේශය යනු උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ තෝතැන්නක් බවත් දකුණ නිජබිම කරගත් දුවා දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහින මල්ඵල ගැන්වීම සඳහා පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා මෙම යෝජනාවට සහාය ලබාදෙන ලෙසයි. තමා යාපනයේ සරසවියට ගිය අවස්ථාවේ මුහුණ දුන් සිදුවීමද සිය කතාවේදී සිහිපත් කළ රොනී, උපාධියක් ලබා ගැනීම වෙනුවෙන් නොවිඳිය යුතු දුකක් විඳින එම දරුවන්ගේ නාමයෙන් එවැනි දුකක් අනාගත පරපුරට උරුම නොකිරීමට අවශ්‍ය සහාය ජනතා නියෝජිතයන් ලෙස ලබා දෙන මෙන් අයැද සිටියේය.

එවක පාර්ලිමේන්තුවේ විශ්වවිද්‍යාල කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයකුද වූ රොනී ද මැල් මහතා සිය කතාව පුරාම පෙන්වා දුන්නේ දකුණට සරසවියක් ලබාදීම හරහා එම ප්‍රදේශවල දරුවන්ට ලැබෙන ප්‍රතිලාභයන් පිළිබඳවයි.

එහෙත් සිය පාර්ලිමේන්තු සගයන්ගෙන් රොනීට හිමිවූයේ ඔහු කිසිවිට අපේක්ෂා නොකළ ආකාරයේ ප්‍රතිචාරයන්ය. පක්ෂ භේදයකින් තොරව සිය යෝජනාවට සහාය අපේක්ෂා කළද සිදුවූයේ කිසිදු භේදයකින් තොරව බහුතරයකගේ විරෝධය ඒ සඳහා එල්ල වීමය. දකුණේ එක් මන්ත්‍රීවරයෙක් රොනීගෙන් විමසුවේ ඔබ උත්සාහ කරන්නේ දකුණේ පිස්සන් කොටුවක් හැඳීමටද? යන පැනයයි.

දකුණේ සරසවියක් පිහිටුවීම සම්බන්ධව අනුකූලතාව පළ කරමින් රොනීගේ යෝජනාව පිළිබඳ අගය කරමින් අදහස් පළ කළේ කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කළ මාතර මන්ත්‍රී, බී.වයි. තුඩාවේ මහතා සහ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ හබරාදුව මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර මහතා පමණි.

දැඩි ආර්ථික අර්බුදයක ඇලී ගැලී සිටි පාලක එ.ජා.ප.යට, දකුණට සරසවියක් ලබා දීමට තරම් හැකියාවක් හෝ එම යෝජනාව පිළිගැනීමට තරම් ඕනෑකමක් එදා නොවීය. පවතින තත්ත්වය මත දකුණට විශ්වවිද්‍යාලයක් ලබා ගත නොහැකි බැව් රොනී අවබෝධ කර ගත්තේය. විපක්ෂයේ සිට මෙවැනි ඉල්ලීම් දිනා ගැනීමට යෑමට වඩා කළ යුත්තේ පළමුව ආණ්ඩු බලය ගෙන එම ආණ්ඩුව යටතේ තම අභිප්‍රාය පූර්ණ කර ගැනීම බව ඔහුගේ කල්පනාව විය.

රොනීගේ තවත් සිහිනයක් මෙන්ම මැතිවරණ පොරොන්දුවක්ද වූයේ උපුල්වන් ශ්‍රී විශ්ණු දේවාලය හා දෙවිනුවර රාජමහා විහාරය සංවර්ධනය කර ඊට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් වූ දෙවිනුවර පූජා භූමි සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමයි.

1968 වසරේ ඔක්තෝබර් මස 02 දින එවකට පළාත් පාලන අමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා අමතමින් රොනී, දෙවිනුවර පූජා නගරයක් බවට පත් කිරීම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඒ මහතාට යොමු කළේය. දෙවිනුවර දේවාලයේ හා රාජමහා විහාරයේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලෙසත් බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසමින් ඔවුන්ගේ වන්දනාමාන කටයුතු කරදරයකින් තොරව කරගෙන යෑමට ඇවැසි පරිදි යටිතල පහසුකම් ඇති කරන ලෙසත්, දේවාලයේ පෙරහර අවහිරයකින් තොරව පැවැත්වීමට සුදුසු වන පරිදි මාර්ග පද්ධතිය වැඩිදියුණු කරන ලෙසටත් උද්‍යාන අලංකරණය කර ජල හා විදුලි බල පහසුකම් ලබා ගැනීමට මෙන්ම කොළඹ - කතරගම මාර්ගයට මුහුණලා ඇති ඉඩම් පවරාගෙන දේවාලයේ වාර්ෂික සල්පිල පැවැත්වීමට සුදුසු පරිදි ඉඩකඩ ලබා දෙන ලෙසත් ඔහු ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිෙය්ය.

ලබන සතියට...

මාතෘකා