ශ්‍රී ලංකාවට සුවිශේෂ වන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ ද්විවාර්ෂික සමුළුව

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවට සුවිශේෂ වන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ ද්විවාර්ෂික සමුළුව

සංවර්ධිත හා සංවර්ධනය වන රටවල නිවාස හා ජනාවාස ගැටලු සම්බන්ධයෙන් සිය දායකත්වය ලබාදෙන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ( UNITED NATIONS HUMAN SETTLEMENTS PROGRAMME) ද්වි වාර්ෂික සමුළුව අද (මැයි මස 27) දින සිට මැයි මස 31වැනි දින දක්වා අප්‍රිකානු රාජ්‍යයක් වන කෙන්යාවේ අගනුවර වන නයිරෝබී නුවරදී පැවැත්වේ.

පුරා 41 වසරක් සම්පූර්ණ කරන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන 1976 වසරේ කැනඩාවේ වැන්කුවර් නුවර පැවති සිය ප්‍රථම සමුළුවත් සමඟින් සිය ආයතනික සේවාව ආරම්භ කළේය. එදා අද කාලපරිච්ඡේදය තුළදී ජාත්‍යන්තර නිවාසකරණය සම්බන්ධ කලාපීය හා රටවල් ආශ්‍රිත විවිධ ගැටලු සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම එම ආයතනික දායකත්වයෙන් සිදු කෙරුණි.

ආරම්භක යුගයේදී එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම වශයෙන් හැඳින්වූ මෙම සංවිධානය වසර 20ක් අවසන් වූ විගස 1996 වසරේදී තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී පැවති හැබිටැට් ද්විත්ව (HABITAT ii ) සමුළුවත් සමඟින් හැබිටැට් (HABITAT) සංවිධානය ලෙසින් ප්‍රතිසංවිධානය විය. ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාවේ නිවාස හා ජනාවාස වැඩසටහන් සමඟින් බෙහෙවින් සමීප සම්බන්ධතා පැවැත්වූ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන 1980 වසරේ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ ආර්. ප්‍රේමදාස මහතා ජගත් සංවිධානය වෙත ජාත්‍යන්තර නිවාස වසර පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ සඳහා අවශ්‍ය කරන සියලු ජාත්‍යන්තර දායකත්වය ලබා දෙමින් එම කටයුත්ත සාර්ථක කර ගැනීම උදෙසා සිය පූර්ණ ආයතනික සහාය හා සහභාගීත්වය ලබා දුන්නේය. එම අවස්ථාව වනවිට එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම විසින් ජාත්‍යන්තර අවධානයට යොමු කරගැනීම උදෙසා සිදු කරන ලද වැදගත්ම කර්තව්‍ය ලෙසින් වූ ජාත්‍යන්තර වසර යෝජනාව ඉදිරිපත් කරලීමට දායක වීමත් එම යෝජනාවට අනුකූලව 1987 වසර ජාත්‍යන්තර නිවාස වසර (1987 INTER NATIONAL YEAR OF SHELTER ) ලෙසින් ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව එය මුල් කොටගත් විශේෂිත නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය. එය ආදර්ශයට ගනිමින් ලෝකයේ බොහෝ රටවල ජාත්‍යන්තර නිවාස වසර සඳහා වූ විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වීම සිදු කෙරුණේ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ දායකත්වයෙනි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන ලොවට රැගෙන යාම උදෙසා සුවිශේෂ දායකත්වයක් ලබා දුන් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම එවකට ලොවට ආධුනික වූ මෙම සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ විශේෂයෙන් සංවර්ධනය කරා යොමු වී ඇති ආසියානු හා අප්‍රිකානු රටවල නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන් සඳහා හඳුනා ගැනීමට මූලිකත්වය ගත්තේය. එදා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ ඉන්දියානු ජාතික ආචාර්ය ආර්කොට් රාමචන්ද්‍රන් මහතා නොමඳව සිය දායකත්වය ශ්‍රී ලංකාවේ නිවාස සංවර්ධන වැඩසටහන සඳහා ලබා දුන් අතර ගම්උදාව සංවත්සර වැඩසටහනකට පෞද්ගලිකව ඔහුගේ සහභාගීත්වය තුළින් ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සමානව ජනාවාස කොමිසමේ ඇති විශේෂිත දායකත්වය පෙන්නුම් කළේය. එමෙන්ම ගම්උදාව ව්‍යාපාරයත් සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළත් ලොව බොහෝ රටවලට හඳුන්වා දීමත් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන මැදිහත් වීම හරහා ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තරය දායක කර ගනිමින් විශේෂිත ජනාවාස ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කිරීම මෙම කාලපරිච්ඡේදය තුළදී සිදු විය.

එමෙන්ම 1986 වසරේ බටහිර ඉන්දියානු දූපත්හි ජැමෙයිකා නුවරදී රැස්වූ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනට සහභාගී වූ ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමේ නායකත්වය ගනු ලැබූ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර නිවාස වසරින් පසු සෑම වසරකම නිවාසකරණය සඳහා වූ ජාත්‍යන්තර දිනයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කළ අතර එම අදහසට අනුකූලව එක්සත් ජාතීන්ගේ සංවිධානය 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රථම සඳු දිනය ලෝක ජනාවාස දිනය (WORLD HABITAT DAY) ලෙසින් ප්‍රකාශයට පත් කළේය.

මෙම ලෝක ජනාවාස දින වැඩපිළිවෙළ එදා අද කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව ඇතුළු ලොව සියලු රටවල වඩාත් සංවිධානගතව මෙහෙයවනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම විසිනි. එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ ආරම්භක අවස්ථාවේ සිට එහි ක්‍රියාශීලී සාමාජික රටක් වශයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරයි. වර්තමානයේ මෙම සංවර්ධනය තුළ ප්‍රධාන සාමාජික රටවල් 58ක් පවත්නා අතර එයින් ආසියා ෆැසිපික් රාජ්‍යයන් අතර සාමාජිකත්වය හිමිවී ඇති රටවල් 13න් එක් ප්‍රමුඛතම රටක් ලෙසින් ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකි වේ.

එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන විසින් සෑම වර්ෂයකම ලොව වඩාත් ආකර්ෂණීය හා අවධානය යොමුකර ගත් නිවාස හා ජනාවාස ව්‍යාපෘතිය වෙනුවෙන් සම්මාන පිරිනැමීමේ විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබයි. ජගත් නිවාස සම්මානය ලෙසින් ප්‍රකාශිත මෙම තරගාවලිය සඳහා ලොව බොහෝ රටවල් විසින් සිය සාර්ථක ජනාවාස ව්‍යාපෘතීන් ඉදිරිපත් කරනු ලැබේ. කෙසේ වෙතත් 1987 වසරේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නිවාස වර්ෂය සඳහා පෙන්නුම් කළ පුරෝගාමී දායකත්වයත් ඉන් අනතුරුව 1990 වසර වන විට සහභාගීත්ව සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාව ලබා දුන් සුවිශේෂ අත්දැකීම් සඳහාත් මෙම ජගත් සම්මානය ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට හැකි විය.

වසර දෙකකට වරක් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ සැසි වාරය සඳහා විශේෂිත තේමාවක් නියම කරන අතර මෙවර එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ තේමාව වනුයේ “නගරය හා ප්‍රජාව නිර්මාණාත්මක, වඩාත් හොඳ දිවිපෙවෙතකට” (INNOVATION FOR BETTER UALITY OF LIFE IN CITIES AND COMMUNITS) යන්නයි. තත්කාලීන ලෝකයේ අවශ්‍යතාවට අනුකූල වන අයුරින් ජාත්‍යන්තර සංවිධාන ව්‍යුහයන් වෙනස්වෙමින් පවත්නා යුගයක එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ කාර්ය පද්ධතිය හා එහි නාමකරණය එකී අවශ්‍යතාවට අනුගත වෙමින් වෙනස් වෙමින් කටයුතු කරයි. ආරම්භක අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම ලෙසින් හඳුන්වා දුන් මෙම සංවිධානය ඉන් අනතුරුව හැබිටැට් සංවිධානය ලෙසින් හඳුන්වා දුන් අතර එයට අනුකූලව මෙම ද්විවාර්ෂික සමුළුව හඳුන්වාදීමද සිදු වේ.

එම කාර්යට අනුකූලව මෙවර මෙම සමුළුවේ සංවිධාන කටයුතු නම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ හැබිටැට් සමුළුව (UNITED NATIONAL HABITAT ASSEMBLY) ලෙසිනි. පුරා දින 05ක් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් සමූහයක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයන්, නිවාස හා ජනාවාස ක්‍ෂේත්‍රයේ මැති ඇමතිවරුන්, රාජ්‍ය ආයතනික නිලධාරීන්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් 2,000කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වය ලැබේ.

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරමින් මෙවර ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා සහභාගී වන අතර එම නියෝජිත කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වනුයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය සහ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සී.ඒ. විජේවීර යන මහත්වරුන් සහ කෙන්යාවේ ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සහ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ නේවාසික නිත්‍ය නියෝජිත සුනිල් ද සිල්වා මහතායි.

ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායම විසින් විශේෂයෙන් ගෝලීය නිවාසකරණය පිළිබඳ සාකච්ඡා කරනු ලබන මෙම සමුළුවේදී ශ්‍රී ලංකාව නිවාස හා ජනාවාසකරණය සම්බන්ධයෙන් වර්තමානයේ ක්‍රියාත්මක කරන සැමට සෙවණ සංවර්ධන වැඩපිළිවෙළ හා එහි ඉදිරි කාලීන ක්‍රියාපිළිවෙත් පිළිබඳ කරුණු දැක්වීම සිදු කෙරේ.

ලෝකයේ බොහෝ රටවල නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන් හුදෙක් රාජ්‍ය දායකත්වයෙන් පමණක් සිදු කරන අවස්ථාවක ශ්‍රී ලංකාව දශක හතරකට අධික කාලපරිච්ඡේදයක් ජන සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමත් එහි සාර්ථකත්වය රටේ නාගරික ප්‍රදේශ, ග්‍රාමීය ප්‍රදේශ හා වතුකරය තුළ මෙන්ම යුද ගැටුම් පැවති උතුරු නැඟෙනහිර ප්‍රදේශ තුළද එකලෙසින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ කරුණු දැක්වීම සිදු කරයි.

නිවාස හා ජනාවාසකරණය පිළිබඳ ජගත් සංවිධානයට අනුබද්ධිත එකම සංවිධානය වන හැබිටැට් සංවිධානය ඉතා සංකීර්ණ වූ ගෝලීය නිවාස හා ජනාවාස ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ කාලීන අත්දැකීම් සපිරි ආයතනික ව්‍යුහයකි. ලතින් ඇෙමරිකානු රටවල්, ආසියාතික රටවල්, අප්‍රිකානු රාජ්‍යයන් හා සෙසු කලාපයීය රටවල නිවාස හා ජනාවාස අවශ්‍යතාවන් පිළිබඳ වෙන් වෙන් වශයෙන් අධ්‍යයනයක් සිදු කරමින් එයට අදාළ පර්යේෂණ කාර්යයන් සිදු කරමින් එය කලාපයීය හා රාජ්‍ය වශයෙන් ඔවුන් මුහුණ පා ඇති අභියෝගයන් සඳහා රාජ්‍ය ආයතනික සහාය මෙම සංවිධාන නිරන්තරයෙන් ලබා දෙයි.

පුරා දශක හතරකට අධික කාල පරිච්ඡේදයක් තුළ ජගත් නිවාස හා ජනාවාස ගැටලු සඳහාත් විශේෂයෙන් නාගරීකරණ ප්‍රශ්න සඳහාත් ගෝලීය හා කලාපීය විසඳුම් ලබා දීම උදෙසා නිරන්තර උත්සාහයක නිරත වී සිටින එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසම සිය සාමාජික රටවල දේශපාලන නායකත්වය හා ආයතනික කළමනාකාරීත්වය සමඟින් සංවිධානගතව ගන්නා මෙකී තීරණ සැබෑ ලෙසින්ම සාර්ථක වීමට නම් එය වඩාත් ප්‍රායෝගිකව කලාපීය හා අදාළ රටවල ක්‍රියාත්මක වියයුතු වේ. මෙවර මෙම ජගත් නිවාස සමුළුව තුළින්ද ලොව සෑම රටක්ම අපේක්ෂා කරන්නේ එවන් වූ අදහසකි.

[ලක්විජය සාගර පලන්සූරිය]

මාතෘකා