ජිහාඩ් අන්තවාදය ශ්‍රී ලංකාව ගිලගනීද?

 ඡායාරූපය:

ජිහාඩ් අන්තවාදය ශ්‍රී ලංකාව ගිලගනීද?

(පසුගිය දා නෙදර්ලන්තයේ පැවති Amsterdam Dialogue සමුළු‍වේදී නීතිඥ ශිරාල් ලක්තිලක විසින් කරන ලද කරුණු දැක්වීමේ සංක්ෂිප්ත සිංහල අනුවාදය)

අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින ජිහාඩ් ත්‍රස්තවාදීන් විසින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාරය මගින් වසර 10 කට පෙර 2009යේදී බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කොට උපයාගත් සාමයත් 2015ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ගොඩනැගුණු ලිබරල් නිදහසත් එකවර ශ්‍රී ලාංකික ජනතාව ගෙන් උදුරාගනු ලැබ ඇත. ලංකාවේ සිදුවු ත්‍රස්ත ප්‍රහාරය මා හඳුනාගන්නේ ISIS පරිධියේ කටයුතු කළ ත්‍රස්ත කණ්ඩායමක් සහ ශ්‍රී ලාංකික ජිහාඩ් අන්තවාදී ත්‍රස්ත කල්ලියක් ඒකාබද්ධ වී දියත් කළ මෙහෙයුමක් ලෙසටය.

මෙම ත්‍රස්තවාදය තනි සිදුවීමකින් පමණක් අවසන් විය යුතුය යන්න ශ්‍රී ලාංකිකයන් වන අපගේ පරම ප්‍රාථනයයි. එකී ප්‍රාර්ථනය යථාර්ථයක් කරගැනීමට නම් ශ්‍රී ලංකාව ප්‍රධාන ඉලක්ක තුනක් ඔස්සේ කටයුතු කළ යුතුව ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. එම ඉලක්ක වනු බුද්ධි තොරතුරු මත ක්‍රියාකරමින් ත්‍රස්තවාදින්ට එරෙහිව ක්‍රියාත්මක කළ යුතු මිලිටරි හා ආරක්ෂක ක්‍රියාදාමය, රට තුළ සිංහල-මුස්ලිම් කෝලහාල වැළැක්වීමට පියවර ගැනීම සහ ජිහාඩ් අන්තවාදය ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජයට සිදුකරන බලපෑම අවම කිරීම හා රැඩිකල් වී ඇතැයි අනුමාන කෙරෙන මුස්ලිම් අන්තවාදීන් එකී අන්තවාදයෙන් බැහැර කිරීමයි (de-radicalization).

පාස්කු ඉරිදා ජිහාඩ් ත්‍රස්තවාදීන් සිදු කළ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් රටේ දේශපාලන ප්‍රතිපත්ති මත බලපෑමක් ඇති කරනු ලබන ඇතැම් අභ්‍යන්තර සාධකවල මෙන්ම රටට තෙරපුමක් ඇති කරනු ලබන බාහිර සාධකවලද වෙනසක් සිදු විය හැකි බවට අනුමාන කළ හැකිය. එකී වෙනස් වන සාධකයන්ගේ පැවැත්ම හෝ නොපැවැත්ම මත අප රටේ අනාගත ස්ථාවරත්වය රඳා පවතිනු ඇත.

ගෝලීය සපුබිම

මෙලෙස පුරෝකථනයක් සිදු කිරීම සඳහා අපට අතීතයේදී ගෝලීය තලයේ සිදු වූ සිදුවීම් දෙකක් විශ්ලේෂණාත්මකව (analogically) ගෙන හැර දැක්විය හැකිය. ඉන් එක් සිදුවීමක් වන්නේ සැප්තැම්බර් 11දා අමරිකාවේ සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව අමරිකාව විසින් පකිස්තානයේද සහාය ලබාගෙන ඇෆ්ගනිස්තානයේ ඇරඹූ operation enduring freedom නම් වූ මිලිටරි මෙහෙයුමෙන් අනතුරව පකිස්තානයට අත්වඳින්නට සිදු වූ සමාජ -දේශපාලනික විපර්යාසයයි. දෙවැන්න වර්ෂ 2004දී ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පුපුරා ගිය බෝම්බයෙන් අනතුරුව ස්පාඤ්ඤ දේශපාලනය තුළ සිදු වූ විපර්යාසයයි.

වර්තමාන පකිස්තානය අන්තවාදී මුස්ලිම් දේශපාලනයෙන් බැටකන්නේ එරට සමාජය තුළ ඒ සඳහා ඇති ඉල්ලුම හේතු කොට ගෙනය. ඒ සඳහා වටපිටාව සකස් කොට දුන්නේ අමරිකානු මෙහෙයුම සහ පකිස්තානය විසින් ඒ සඳහා ලබා දුන් කොන්දේසි විරහිත සහයෝගයයි. අවසානයේදී එ තුළින් ශක්තිමත් වූයේ පකිස්තාන මුල්ලාවරුන් ගේ ආගමික-දේශපාලනික භාවිතාවයි. වර්තමානයේ අප දකින්නේ පකිස්තානය ආගමික මුල්ලාවරුන්ට යට වූ රටක් ලෙසටය. එහි ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ නගරවල පමණකි. පරිධියේ පවතින්නේ මුස්ලිම් අන්තවාදයයි. එමගින් කලාපයට සිදුකෙරෙන බලපෑම බහුවිධ ය.

මැඩ්රිඩ් බෝම්බය පිපුරුණේ පවත්වන්නට නියමිතව තිබූ මහ මැතිවරණයට සති 3කට මත්තෙනි. මැතිවරණයේදී බලයේ සිටි ජනප්‍රිය ආණ්ඩුවට අන්ත පරාජයක් හිමි විය. ඒ, ත්‍රස්ත ක්‍රියාව මගින් ඇති කළ කම්පනය කළමනාකරණය කිරීමට බලයේ සිටි රජයට නොහැකි වීම නිසාය. සැබවින්ම එදා එම බෝම්බය පුපුරවා හැරියේ අල්කයිඩා ත්‍රස්තයන් විසිනි. නමුත් ආණ්ඩුව ප්‍රකාශ කළේ එය ස්පාඤ්ඤයේ බෙදුම්වාදී කන්ඩායමක් වන ETA වරුන්ගේ ක්‍රියාවක් බවය. ඇෆ්ගනිස්තානය තුළ අමරිකාව සිදුකරමින් සිටි මෙහෙයුම් හේතුවෙන් පලා යමින් සිටි අල්කයිඩා ත්‍රස්තයින්ට මෙයින් මැඩ්රිඩ් නුවර කදිම අවස්ථාවක් සැලසුණා පමණක් නොව, පාලකයින් ඔවුන්ට දේශපාලනික ආවරණයක්ද ලබා දුන්නේය.

විය හැක්කේ කුමක්ද?

ශ්‍රි ලංකාව තුළද එලෙසටම සමාජ-දේශපාලනික තලයේ සිදු විය හැකි යයි පුරෝකථනය කළ හැකි කරුණු ගණනාවක් තිබේ. ඒවා රටට බලපෑමක් කරන අභ්‍යන්තර සාධක මත මෙන්ම බාහිර සාධක මත බැඳී පවතිනේය.

බටහිරට, ඉන්දුනිසියාවට, ඉන්දියාවට වෙනස්ව සෞදි වහබ් වාදයේ බලපෑම, ආශීර්වාදය හා මුල්‍ය සහයෝගය මත ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමට ඉඩ ඇති ජිහාඩ් අන්තවාදයෙන්, කලාපයට හා ලෝකයට ඇති විය හැකි බලපෑම ඉන් ප්‍රධානය. නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අපොහොසත් වුවහොත් මිලියන 600ක් වූ ඉස්ලාම් භක්තිකයන් වෙසෙන දකුණු ආසියානු කලාපයට ද එම බලපෑම පැතිර යා හැකි අතර, එමගින් ලෝක සාමයට හා ස්ථාවරත්වයට විය හැකි බලපෑම සුවිශාලය.

අභ්‍යන්තර බලපෑම

ජිහාඩ් ත්‍රස්තවාදී ප්‍රහාරය හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට සිදුවිය හැකි බලපෑම:

⁃ජාතික ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය දෙන ශක්තිමත් ජාතික රාජ්‍යක් ගොඩනැගීම අවධාරණය කෙරෙන සමාජ මනෝභාවයක් සිංහල සමාජය තුළ ගොඩනැගීම

⁃එකී මනෝභාවය විසින් ඉදිරියට එන ජනාධිපතිවරණයේ දේශපාලනය අධිනිශ්චය වීමට ඇති ඉඩ කඩ වැඩි වීම.

⁃එකී අධිනිශ්චය වීම හේතුකොට පක්ෂ අභ්‍යන්තර වෙනස්කම්වලට භාජනය වීම.

⁃මෙතෙක් පැවති සහජීවන ඉස්ලාම්වාදයේ (inclusive Islam) සිට මේ වන විට ගොඩනැගෙමින් එන ජිහාඩ් පරම ඉස්ලාම් වාදය (Exclusive Islam) සමග බද්ධ වන්නේද යන මුස්ලිම් සමාජ මනෝභාවයේ පැවැත්ම හා එම මනෝභාවය මත අභ්‍යන්තරික මෙන්ම භාහිරව ඇති කළ හැකි තෙරපීම් මත ගොඩනැගෙන නව ලාංකික මුස්ලිම් දේශපාලනයේ සවරූපය,

⁃මෙතෙක් රට තුළ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රකරණය, සංක්‍රමණිය යුක්තිය, මානව හිමිකම් සුරැකීම ආදී වන සමාජ කතිකාව පූර්ණ ලෙසම සමාජ ප්‍රමුඛතා ලයිස්තුවේ පසුපසට ගමන් කිරීම.

⁃ශ්‍රී ලංකාවේ භූදේශපාලනික පිහිටීම හේතු කොට ගෙන මෙතෙක් චීනය විසින් ශ්‍රී ලංකාව මත ඇති කරමින් තිබූ ඒකාධිකාරී බලපෑම (monopolistic influence) අවසන් කරමින් ඉන්දියාව හා ඇමරිකාව තරගකාරීව රටේ අවශ්‍යතාවය මත රටට ඇතුළු වීමට ඇති හැකියාව.

⁃චීනයේ බලපෑම එමගින් පිටුපසට ගමන් කිරීම හා නැවත චීනය තමන්ගේ අවධාරණය වැඩි කර ගැනීමට කටයුතු කිරීම සහ,

⁃එමගින් රට තුළ දේශපාලනික proxy අරගලයක් ඇති වීම.

මෙම බාහිර හා අභ්‍යන්තර බලපෑම්වල පැවැත්ම රඳා පවතින්නේ ශ්‍රී ලංකා රාජ්‍ය විසින් කොතෙක් දුරට ශ්‍රී ලාංකික සමාජය තුළට ඇතුළුවෙමින් පවතින ජිහාඩ් පරම ඉස්ලාම් වාදය නිවැරදි ලෙස හඳුනා ගන්නේද එම පරමවාදය කොතෙක් දුරට මුස්ලිම් සමාජය තුළට කිඳා බැස ඇත්තේද සහ එකී පරමවාදය පරාජය කිරීම සඳහා මුස්ලිම් සමාජය පොළඹවා ගන්නේ කෙසේද යන්න පදනම් කර ගනිමිනි. එය IS ත්‍රස්තවාදයට වැට බැඳීම හෝ ජාතික තව්හීද් ජමාත් කල්ලිය විනාශ කිරීමට එහා යන කටයුත්තකි.

මුස්ලිම් භීතිකාව හා ආණ්ඩුවේ වගකීම

ජිහාඩ් ආගමික දේශපාලනය යනු එකම දෙවියකු අදහන කැලිෆේටයක් (සක්විති දේශාන්තරයක්) නිර්මාණය කිරීමයි. සහජීවන ඉස්ලාම් ආගම අදහන ශ්‍රී ලංකික ජනයා මුස්ලිම් මුළු ජනගහනයෙන් සියයට 95කට වැඩි ප්‍රතිශතයකි. වහබ් වාදයෙන් හා ජිහාඩ් අන්තවාදයෙන් මුස්ලිම් සමාජය ගලවා ගත යුත්තේ සහජීවන ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් සමාජය විසින්මය. එහිදී රජයක් විසින් කළ යුත්තේ අතාර්කික ලෙස සිංහල හා දෙමළ සමාජය පුරා පැතිර යන මුස්ලිම් භීතිකාව (Muslimphobia) කළමනාකරණය කිරීමයි. දෙවනුව සිංහල සමාජ සමග විශ්වාසයෙන්ද හා ලැජ්ජාවකින් තොරවද (Ashame due to extremist attrocities) මුස්ලිම් ජනතාවට කටයුතු කිරීමේ පරිසරයක් නිර්මාණය කර දීමයි. තුන්වනුව මුස්ලිම්වරුන්ට අදාළව සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම් හා සෝදිසි මෙහෙයුම්වලදී මානව හිමිකම් පිළිබඳ නීතිය අකුරට පිළිපදින ලෙස ආරක්ෂක හමුදා සහ පොලිසියට නියෝග කිරීමයි. ත්‍රස්ත ඉලක්ක හඳුනාගෙන පහරදීම මිලිටරි කාර්යයකි. මේ සියල්ල එකවර එක විට සිදු විය යුතුය.

එසේ මුස්ලිම් සමාජය කෙරෙහි මෘදු ස්ථාවරයක් අනුගමනය කිරීමට සමාන්තරව රාජ්‍යයේ ආරක්ෂක ඇස නිසි පරිදි ජිහාඩ් අන්තවාදය රට තුළට කාවද්දන මූලාශ්‍රවලට එරෙහිවද කටයුතු කළ යුතුව තිබේ.

ජිහාඩ් මූලාශ්‍ර හඳුනාගැනීම

ලංකාව තුළ මේ වන විට පහත සඳහන් කණ්ඩායම් තුළින් ජිහාඩ් ආභාසය මුස්ලිම් සමාජයට ගෙන එනු ලබන බවට අනුමාන කළ හැකිව තිබේ.

-මුස්ලිම් සහෝදරත්වයේ (Muslim Brotherhood) ආභාසය ලබන ලංකාවේ මැඩ්රාසා පාසල්වල ආගම උගන්වන ඊජිප්තු හා යේමන පුජකයන්,

-සෞදි අරාබියේ වහබ් දර්ශනය මෙරටට ගෙන එනු ලබන ආගමික, සංස්කෟතික හා මුල්‍ය අනුග්‍රාහකයින්.

දකුණු ආසියාව තුළ ක්‍රියාත්මක, ලංකාවේ නැගෙනහිර ප්‍රදේශ තුළ නැංගුරම් ලා සිටින ලක්ෂාබ් ඉ තයිබා වැනි කාෂ්මිර මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම්.

-ලංකාව තුළ ක්‍රියාත්මක ISIS කණ්ඩායම්

-ලංකාව තුළ ක්‍රියාත්මක සියලු තව්හීද් ජමාත් වාදය (oneness of the god) අදහන කණ්ඩායම් (මොවුහු වහබ් වාදයේ පෙර ගමන් කරුවෝ වෙති.)

-දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව, කේරලය හා අනෙක් ප්‍රදේශ තුළ පැතිර යන පරම ඉස්ලාම්වාදී ප්‍රවණතාවයන්ගේ බලපෑම

අභියෝගය සුළුපටු නැත

ලංකාව තුළ මුස්ලිම් ජනගහනය මිලියන 1.9 වුවද දකුණු ආසියාවේ ඉස්ලාම් ධර්මය අදහන ජනගහනය මිලියන 600කි. මෙය ලෝකයේ මුස්ලිම්වරුන් වැඩිම සංඛ්‍යාවක් සිටින කලාපයයි. නමුත් මෙම කලාපයේ ජනතාව අනාදිමත් කාලයක් අන්‍ය ජාතීන් සමග සහජීවනයෙන් ජිවත් වීමට යෙදුණේ ඔවුන් ප්‍රගුණ කළ සහජීවනවාදී ඉස්ලාම් ධර්මය හේතු කොට ගෙනය. නමුත් දැන් එකී සහජීවන ඉස්ලාම්වාදය මැදපෙරදිග හරහා එන පරමවාදී ඉස්ලාම් වාදය හරහා විස්තාපනය කරමින් සිටී. සියලුම ජිහාඩි ත්‍රස්තවාදීන් ගොඩනැගෙන්නේ මෙම පරමවාදය තුළය. ශ්‍රී ලංකාවේ බෝම්බ පුපුරා ගියේ එම පරමවාදයේ දේශීය හා ජාත්‍යන්තර අංකුර වල ප්‍රතිඵලයක් ලෙසටය. අද දවසේ රට තුළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය විනාශ කරන්නට සමත් වුවද පැතිරෙන පරම ඉස්ලාම් ධර්මය මගින් තවත් එවැනිම අංකුරයක් ලියවලනු ඇත.

අන්තවාදය ජයගැනීම

අප රටට මෙම සටන සාර්ථකව ජයග්‍රහණය කරගැනීමට නම් සහජීවන ඉස්ලාම් ධර්මය විශ්වාස කරනු ලබන පරමවාදය පිලිකෙව් කෙරෙන ශ්‍රී ලාකික මුස්ලිම් ජන සමාජයක මූලෝපායික සහයෝගයත්, ඉන්දියාවේ සහ අමරිකාවේ සහයෝගයත් අත්‍යවශ වන්නේය. නමුත් පටු සිංහල ජාතිකවාදය හා/ හෝ අතාර්කික දේශීයවාදය මගින් මෙකී සාධක තුන කළමනාකරණය කර ගැනීමට ලබාදෙන ඉඩ ප්‍රමාණය මත ජිහාඩ් වාදය මෙරට පැලපදියම් වීම රඳා පවතිනු ඇත. අනෙක් අතට අමරිකානු හා ඉන්දියානු මැදිහත්වීම් ජිහාඩ්වරුන් මුස්ලිම් සමාජය තුළ වැරදි ලෙස සමාජගත නරන්නට ඇති ඉඩ කඩ වැඩිය. අප පකිස්තානයෙන් උගත යුතු පාඩම එයයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ අවධාරණය තුළ

ශ්‍රී ලංකාවට ඉන්දියාව, චීනයට වඩා අවශ්‍යවන්නේ ජිහාඩ් අන්තවාදයට වැට බැඳීමටය. අමරිකාව අවශ්‍ය වන්නේ ජිහාඩ් ජාත්‍යන්තර ජාලය සමග රටේ ජිහාඩ් ක්‍රියාකාරකම් විපරම් කිරීමට හා වැට බැඳීමටය. නමුත් මෙවැනි සබඳතාවක් යථාර්ථයක් වීම හෝ නොවීම රඳා පවත්නේ අපගේ දේශපාලන පක්ෂ විසින් ගොඩනඟනු ලබන ඉන්දියානු හා අමරිකානු මැදිහත්වීමට එරෙහිව ගොඩනගන සමාජ විරෝධතාවයේ ප්‍රමාණය මතය.

අමරිකානු විරෝධය බොහෝ කොට ඓතිහාසික අරගලයේ කොටසක් බව හඟවමින්, මෙරට දේශපාලන පක්ෂ එය චීන භු දේශපාලනික අරමුණු සැතපීමට භාවිතා කිරීමට ඇති ඇති හැකියාව මතද අමරිකානු මැදිහත් වීමේ තරම රඳා පවතිනු ඇත.

මාතෘකා