වර්ධනය වන අංශවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවධානය යොමු කළ යුතුයි

 ඡායාරූපය:

වර්ධනය වන අංශවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවධානය යොමු කළ යුතුයි

කථානායක - කරු ජයසූරිය

“කාන්තා පාර්ලිමේන්තු කණ්ඩායමේ ගරු සාමාජිකාවනි, ගෞරවනීය ආරාධිතයනි, ශ්‍රී ලංකාවේ සුවිශේෂී කාන්තා චරිත අභිනන්දනය කිරීම ප්‍රශංසනීය මුල පිරීමක් වන්නේ එමඟින් අපට අතීතයේදී ජයග්‍රහණ අත්කර ගත් කාන්තාවන්ට ආචාරය පුද කිරීමටත් වර්තමානය ඇගයීමටත් අවස්ථාවක් ලැබෙන හෙයිනි.

“ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හා වගවීම ශක්තිමත් කිරීමේ අභිමතාර්ථයෙන් කාන්තාව හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව (SoCWG) සමඟ එක්ව කාන්තා පාර්ලිමේන්තු කණ්ඩායම මුලපුරා ඇති මෙම ව්‍යාපෘතියට කාන්තාවන්ගේ පූර්ණ විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ශක්‍යතාව හා කැපවීම සජීවීකරණය කිරීමේ හැකියාව තිබෙන බවටද සැකයක් නැත.

“අපගේ සමාජය තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ප්‍රමුඛ කාන්තාවන් කිහිප දෙනෙකුම අපගේ ඉතිහාසය තුළ වාර්තාගතය. ඒ අතර සිටින නූතන යුගයේ ප්‍රථම කාන්තා අගමැතිනිය බවට පත් අභාවප්‍රාප්ත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ආදර්ශමත් කාන්තා චරිතයක් ලෙස කැපී පෙනෙයි.

“මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙන මෙම අවස්ථාවේ බණ්ඩාරනායක මැතිනියගේ ආලේඛ්‍ය චිත්‍රයක් විවෘත කරන ලෙස ආරාධනා කරනු ලැබීම මා හට කරන ලද ගෞරවයකි. ඇත්ත වශයෙන්ම නොබැඳි ව්‍යාපාරයට දුන් නායකත්වය හරහා ජාත්‍යන්තරව පිළිගත් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් ඇය අපගේ රටට ගෞරවයක් රැගෙන ආවාය.

“අද ඔබ විවිධ ක්ෂේත්‍රයන් තුළ කටයුතු කරමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ එවන් ශ්‍රී ලාංකික කාන්තාවන් කිහිපදෙනකුම ගෞරවයට පාත්‍ර කරනු ඇත. තම ක්ෂේත්‍රයේ ප්‍රථමයන් වූ අය හා විවිධ සමාජ, දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍ර තුළ මේ වන විට සිදු වෙමින් පවත්නා මුල පිරීම්වලදී සුවිශේෂී කාර්යභාරයන්ට දැනටත් නායකත්වය දෙමින් සිටින අය ඒ අතර සිටිනු ඇත.

“මෙම සන්ධිස්ථානයේදී ඔවුන් ගෞරවයට පාත්‍ර කිරීමෙන් වඩාත් හොඳින් කටයුතු කිරීමට ඔවුන් දිරිගැන්වෙනවා පමණක් නොව අපගේ සමස්ත සමාජයටම ප්‍රතිලාභ අත්වන වඩාත් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීම සඳහා වඩාත් ක්‍රියාකාරී වීමට හා උනන්දු වීමටත් තමන්ට එසේ කිරීමට හැකියාව ලබා දෙන වාතාවරණයක් නිර්මාණය කිරීම සඳහා තම පිරිමි සගයන් දිරි ගැන්වීමටත් අපගේ ජනගහනයෙන් 52%ක් වන අනෙක් කාන්තාවන්ටද උත්ප්‍රේරණයක් සැපයෙනු ඇත.

“මෙම මුලපිරීමෙන් පෙන්නුම් කර තිබෙන උනන්දුව සම්බන්ධයෙන් මගේ කාන්තා පාර්ලිමේන්තු කණ්ඩායමේ සගයන්ට ප්‍රශංසාව පුද කරමි. ඔවුන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාකාරී සුවිශේෂී කාන්තා චරිත බවට පත්වීමට ශ්‍රී ලාංකික කාන්තාවන්ට හා ගැහැනු දරුවන්ට උදව් වීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් තවදුරටත් දිරි ගැන්වීමේ මෙවලමක් ලෙස යොදා ගනු ඇති බව මට විශ්වාසයි. විශේෂයෙන්ම ඌන වරප්‍රසාදිත හා ප්‍රමාණවත් නියෝජනයක් නොමැති කණ්ඩායම්වලට අයත් අය සමාන අයිතිවාසිකම් සහ වැඩි නිදහස මීට වඩා හොඳින් භුක්ති විඳීම සඳහාත් අප අද දින සමරන අය හා සම වෙමින් තමන්ගේ ජීවිතවලදී සාර්ථකත්වය ළඟා කර ගැනීමට පරිශ්‍රම දැරීම සඳහාත් බල ගැන්විය යුතුය.

“මෙම අවස්ථාවේදී හඳුනා ගැනෙන සුවිශේෂී කාන්තා චරිත සියල්ලම ගෞරවයට පාත්‍ර කිරීමට මම කැමැත්තෙමි. ඒ හැම කෙනකුම සිය වැඩකටයුතු හරහා ඉටු කළ වැදගත් කාර්යභාරය අගය කිරීමට මම අදහස් කරමි. අදටත් අඛණ්ඩව ක්‍රියාකාරීව සිටින ප්‍රජාවන් අතර මානව අභිමානය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහාත් අපගේ සමාජය තුළ සමාජ හා ආර්ථික ප්‍රගතිය සහ නීතියේ පාලනයට හා යුක්තියට ගරු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහාත් තමන් කරන වැඩ කටයුතු හරහා මහජනතාව සජීවීකරණය කිරීමට දිරි ගැන්විය යුතුය. අද දින ඇගයීමට ලක් කෙරෙන සමහර සුවිශේෂී කාන්තා චරිත ප්‍රජා මූල මට්ටමේදී ද වැදගත් දායකත්වයන් ලබා දී තිබේ.

“ප්‍රථම කාන්තා අගමැතිවරියගේ සිට විද්‍යා හා වෛද්‍ය ක්ෂේත්‍රවල නවෝත්පාදකයන් දක්වාද අපගේ විශිෂ්ට උරුමයන් සුරකින්නන් දක්වාද වූ ශ්‍රී ලාංකික කාන්තාවන් තමන් විවිධ අභියෝගයන්ට මුහුණ දෙද්දීත් ලබාදී තිබෙන දායකත්වයන් අපගේ දිවයින ගෝලීය කරළිය තුළ ඉස්මත්තට ගෙනැවිත් ඇත.

“මේ ලැයිස්තුවේ නිමක් නැත. ඒ හා සමාන වැදගත් දායකත්වයන් ලබා දී ඇති නමුත් මාධ්‍යය තුළ නම වාර්තා නොවන කාන්තාවන් අපි විසින් අමතක නොකළ යුතුය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව කලාපයට සංසන්දනාත්මකව දිගින් දිගටම උපතේදී ආයු අපේක්ෂාවේ ඉහළ මට්ටමක්ද මාතෘ මරණ අනුපාතිකයේ පහළ මට්ටමක්ද පෙන්නුම් කර ඇත. මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන සමාන ස්ත්‍රී පුරුෂ ප්‍රතිපත්ති හා නීති සහ වැඩසටහන්වල සම්මිශ්‍රිත ප්‍රතිඵලයක් වුවද නිවෙස්වලටම ගොස් කාන්තාවන් හමු වන බොහෝ විට කාන්තාවන් වන පවුල් සෞඛ්‍ය සේවකයන් ඉටු කරන කාර්යභාරය එහි වැදගත් කොටසකි.

“එවැනි සුවිශේෂී කාන්තාවන් මනා ගුණාත්මක ජීවිතයක් ළඟා කර ගැනීම සඳහා පමණක් නොව වැඩි දියුණු සෞඛ්‍ය දර්ශක අතින් කලාපයෙන් හා ඉන් ඔබ්බෙහි තත්ත්වයට සමාන තත්ත්වයකට රට පත් කිරීම සඳහා ද ශ්‍රී ලාංකිකයන්ට සහාය වෙමින් දායක වී ඇත.

“මෙම අවස්ථාවේදී වෛද්‍යවරුන්, නීතිඥයන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරිවරුන් සහ පරිපාලන හා විදේශ සේවාවන් යනාදී සෑම වෘත්තියකදීම පාහේ වෘත්තීය සාර්ථකත්වයන් අත්කර ගෙන තිබෙන ශ්‍රී ලාංකේය කාන්තාවන් ඇගයීමටද මම කැමැත්තෙමි. අද දින ඉහත කී වෘත්තීන්ට පිවිසෙන බහුතරය කාන්තාවන් වීමෙන් ඔවුන්ගේ හැකියාවන් පමණක් නොව අදෘශ්‍යමාන බාධක බිඳ දැමීමට ලැබෙන අවස්ථා ඔවුන් විසින් ඩැහැ ගනු ලබන බවද පෙන්නුම් කෙරේ. ප්‍රගතියක් අත් කර ගෙන තිබෙන නමුත් කාන්තාවන්ට ශ්‍රම බලකායේ වඩාත් ඉහළ මට්ටම්වලට සහභාගි වීමට පහසුකම් සැපයීම හා හැකියාව ලබා දීම සඳහා තව තවත් ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය කිරීමද ඇතුළුව තවත් කළ යුතු වැඩ කටයුතු බොහොමයක්ම පවතී.

“යම් ප්‍රගතියක් අත් කර ගෙන තිබෙන නමුත් අපගේ සමාජ, දේශපාලන හා ආර්ථික පද්ධති තුළ කාන්තාවන් සහභාගි වන තරම පිළිබඳව කිසිසේත්ම තෘප්තිමත් විය නොහැකි බව ඔබ පිළිගනු ඇත. දේශපාලනයේදී, ව්‍යාපාරික කටයුතුවලදී සහ පැන නැඟෙමින් හා වර්ධනය වෙමින් පවත්නා අංශවලදී කාන්තාවන්ගේ නියෝජනය සමානාත්මතාවෙන් බෙහෙවින් පහළ මට්ටමක පවතින අතර එම තත්ත්වයට ළඟා වීමට බාධා කරන සාධක කිහිපයක්ම පවතී. මේ කෙරෙහි අපගේ ක්ෂණික අවධානය යොමු විය යුතුය.

“එම නිසා අවශ්‍ය හැමවිටම සහ හැම තැනකදීම කාන්තාවන් උදෙසා එම අවස්ථාවන් නිර්මාණය කිරීම සහ පිළියම් සම්පාදනය කිරීම සඳහා ඉලක්කගත පෞද්ගලික හා සාමූහික පියවරයන් ගැනීමේ අභිමතාර්ථය ඇතිව තත්ත්වය පරිස්සමින් තක්සේරු කිරීමට මම, ඔබ සියලු දෙනාම දිරි ගන්වන්නෙමි.

“අප දැන් පරිශ්‍රම දැරිය යුතු අතර වඩාත්ම දුෂ්කර වන්නේ මෙම කටයුත්ත විය හැකි යැයි මම සලකමි. ඇත්ත වශයෙන්ම පසුගිය වසර කිහිපයේදී විශේෂයෙන්ම කාන්තා සිවිල් සමාජ නියෝජිතයන්ගේ අදහස් පළ කිරීමේ නිදහසට පහසුකම් සැපයීම සඳහාත් ඔවුන්ට අයිතිවාසිකම් වඩාත් හිමි කර දීම සඳහාත් මෙම අභිමතාර්ථය උදෙසාම සැලසුම් කරන ලද වැඩසටහන්වලට ජාත්‍යන්තර සහාය සෙවීම සහ ඒ සඳහා හැකියාව ලබා දීම සඳහාත් රජය මුල පිරීම් කිහිපයක්ම කර ඇත. පළාත් පාලන ආයතන මට්ටමේදී තේරී පත් වන කාන්තාවන් සම්බන්ධයෙන් 25%ක කෝටාවක් ඇති කිරීම මඟාන් වඩාත් මෑතකදී ලබා ගත් ජයග්‍රහණය අපගේ දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයකි. අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් මෙම පරිශ්‍රමයන්හිදී අගනා සහායක් ලබාදී ඇති අතර එම ඉමහත් සහාය සම්බන්ධයෙන් ඔවුන්ට ස්තුති කිරීමට මම කැමැත්තෙමි.

“මෙම අවස්ථාවේදී ආර්ථික හා සමාජීය යන ක්ෂේත්‍ර දෙක සඳහා සහභාගි වීමට කාන්තාවන් දිරි ගැන්වීම සහ ඔවුන් එසේ සහභාගි වන බව සහතික කිරීම සඳහා ඉලක්ක කළ පියවර කිහිපයකින් සමන්විත මෙම වසරේ අයවැය යෝජනා පැසසුමට ලක් කරන්නේ සතුටිනි. මෙහි දී එම මුලපිරීම්වලින් සමහරක් මතක් කිරීමට මට අවසර දෙන්න,

 සේවකයන් 250 දෙනකුට වැඩි සංඛ්‍යාවකින් සමන්විත වාණිජ ආයතන ළමා රැකවරණ පහසුකම් සම්පාදනය කිරීමට දිරි ගන්වනු ලැබේ;

 පාසල තුළම පශ්චාත් පාසල් හා විවේක මධ්‍යස්ථාන (ACVC) ස්ථාපනය කිරීමට තෝරා ගත් පාසල්වලට සහාය දෙනු ඇත

 “ව්‍යවසායික ශ්‍රී ලංකාව” වැඩසටහනේ “රැකවරණ” සහන ණය යෝජනා ක්‍රමය හරහා ළමා රැකවරණ පහසුකම් ස්ථාපනය කිරීමට පෞද්ගලික අංශයට හැකියාව ලබා දෙනු ඇත

 කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ළමා රැකවරණ මධ්‍යස්ථාන, පශ්චාත් පාසල් හා විවේක මධ්‍යස්ථාන සහ ඒ හා සමාන පහසුකම් ස්ථාපනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ හා රෙගුලාසි ප්‍රසිද්ධ කරනු ඇත

 අනිවාර්ය මාස 3ක සහ දීර්ඝ කරන ලද මාතෘ නිවාඩු ලබා දීම මඟින් වැඩ කරන මව්වරුන්ට සහාය වීමට, අදාළ සමායතනික බදු සහන සම්පාදනය කිරීම මඟින් පෞද්ගලික අංශය දිරි ගන්වනු ලැබේ

 සුළු අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්ව සිටින කාන්තාවන්ට කලා හා අත්කම් සහ වෙනත් ඵලදායක ජීවනෝපාය නිපුණතා සම්බන්ධයෙන් පුහුණු සම්පාදනය කිරීම සඳහා ආයතනයක් ස්ථාපනය කෙරෙනු ඇත

 නියඟයෙන් පීඩාවට පත් වන දිස්ත්‍රික්කවල වාසය කරන ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගෙන තිබෙන කාන්තාවන් 45,000කට පමණ ණය සහන ලබා දෙනු ලැබේ. ඉන් අනතුරුව “ව්‍යවසායික ශ්‍රී ලංකාව” වැඩසටහන සහ සමුපකාර ව්‍යාපාරය හරහා සහන ණය සම්පාදනය කරනු ලැබේ.

 කාන්තා මූලික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට රජයේ සහනාධාර ලබා දෙනු ලැබේ. රාජ්‍ය බැංකු හරහා ණය හෝ ලීසිං පහසුකම් සම්පාදනය කෙරෙන අතර ණය වාරිකයෙන් හෝ ලීසිං පිරිවැයෙන් සියයට 85ක් රජය විසින් ගෙවනු ලැබේ

 සියලු ලැයිස්තුගත සමාගම්වල සමායතනික මණ්ඩල තුළ කාන්තාවන්ට 30%ක අනිවාර්ය නියෝජනයක් පැවතිය යුතු බවට ඉදිරිපත් කර ඇති යෝජනාව ඔවුන් අදෘශ්‍යමාන බාධක බිඳ දමන බව සහතික කරනු ඇත.

“නෝනාවරුනි, මහත්වරුනි, මෙම යෝජිත පියවරයන් මෙම රජය අපගේ ආර්ථික හා සමාජීය පද්ධති ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ හා ගැහැණු දරුවන්ගේ ක්‍රමෝපායාත්මක අවශ්‍යතාවන්ට හා ප්‍රාර්ථනාවන්ට අනුකූල කිරීම සඳහා දරන පරිශ්‍රමය පැහැදිලි ලෙස පෙන්වා දෙනු ඇත.

“කාන්තාව හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් සිදු කරනු ලැබ ඇති නවෝත්පාදක මුලපිරීම්වලට සුබ පැතීම සඳහා මෙම අවස්ථාව යොදා ගැනීමට මම කැමැත්තෙමි.

“කාන්තා ප්‍රජනක අවයව කප්පාදුව පිළිබඳ චක්‍රලේඛ නිකුත් කර ඇති අතර ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා ඔවුන් කරන වැඩ කටයුතු ප්‍රශංසනීයය.

“දැනුවත්කම වර්ධනය කිරීම, අවබෝධයන් වෙනස් කිරීම, බාධක බිඳ හෙළීම සහ එවැනි තවත් බොහෝ මුල පිරීම් හරහා ශ්‍රී ලංකාවේ කාන්තාවන් උදෙසා වඩාත් සමාන විසඳුම් සම්පාදනය කිරීම සහ එමඟින් සමස්ත ශ්‍රී ලංකාවම ප්‍රගතිය කරා ගෙන යාම සඳහා තම පිරිමි සගයන් සමග හවුල් වෙමින් ස්වාධීනව හා සාමූහිකව වැඩ කටයුතු කිරීමට මම මගේ කාන්තා කණ්ඩායමේ සාමාජිකාවන් දිරිගන්වන්නෙමු.

“නෝනාවරුනි, මහත්වරුනි, ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, දේශපාලනඥයන් ජාත්‍යන්තර යහභාවිතයන් සමඟ පෙළ ගැසෙමින් අපගේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාත්මකත්වය වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කිරීමට කාලය පැමිණ ඇත. මේ සඳහා කාන්තාවන් තව තවත් දේශපාලනයට සම්බන්ධ වීම අපට අවශ්‍යය. මෙම ගොඩනැඟිල්ලේ ප්‍රධාන සභා ශාලාව තුළ ශ්‍රී ලාංකේය කාන්තාවන් මීට වැඩි සංඛ්‍යාවක් සිටියහොත් අපගේ විවාදවල හා තීරණ ගැනීම්වල ගුණාත්මකභාවයද එමෙන්ම අපගේ රැස්වීම්වල විනය හා මිත්‍රශීලීත්වයද වැඩි දියුණු වනු ඇතැයි මම විශ්වාස කරමි.

“අද දින සුවිශේෂ කාන්තා චරිත ඇගයීමට ලක් කරමින් සිදුවන මෙම කටයුත්ත මහජනතාව අතර මේ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් ඇති කරනු ඇතැයිද එමෙන්ම දේශපාලනය තුළ කාන්තාවන්ගේ වැඩි සහභාගිත්වය දිරි ගැන්වීම සඳහා කාන්තාවන් මෙන්ම පිරිමින්ද සජීවීකරණය කිරීමට හැකියාව ලබාදෙනු ඇතැයිද මම කල්පනා කරමි.

“අවසන් වශයෙන් කිව යුත්තේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැනු දරුවන් උදෙසා සහ සියලු ශ්‍රී ලාංකිකයන් උදෙසා වඩාත් යහපත් හෙට දවසක් උදා කර දීම සඳහා එළැඹෙන වසරවලදී ඔබ සමඟ එක්ව වැඩ කිරීමට මා ස්ථිර වශයෙන්ම අපේක්ෂා කරන බවයි.”

මාතෘකා