ඇයි කලබල වෙලාව එනකං ඉන්න : එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

 ඡායාරූපය:

ඇයි කලබල වෙලාව එනකං ඉන්න : එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

ඉදිරියේදී මැතිවරණ ගණනාවක් පැමිණෙන බව හැම තැනකින්ම වාගේ අසන්නට ලැබේ. එක් එක් දේශපාලන පක්ෂ ඒ ඒ මැතිවරණවලට සැරසෙන බවද දකින්නට ලැබෙන අතර එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ අයවැයෙන්ද මැතිවරණයට සූදානම් වන බව ඇතැමකු නඟන චෝදනාවයි. මෙකී දේශපාලන කාරණා ගැන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සමඟ 'රැස' කළ සංවාදයයි, මේ.

මේ දවස්වල නියැලෙන දේශපාලන කටයුතු ගැන කතාකළොත්?

අයවැයේ විවාද කිහිපයකට මේ වෙනකොටත් සහභාගි වෙලා තියෙනවා. දේශපාලන වැඩකටයුතු; එනම් ආසන මට්ටමේ, දිස්ත්‍රික්ක මට්ටමේ විශාල වැඩකටයුතු ප්‍රමාණයකට සහභාගී වෙලා තියෙනවා. ඉතා ක්‍රියාකාරී ලෙස දේශපාලනයේ නිරත වෙනවා.

අයවැය පිළිබඳ ජනතාවගේ ප්‍රතිචාර ගැන සතුටු වෙන්න පුළුවන්ද?

අයවැය දෙවැනිවර කියවීමේදී බහුතරයක් එනම් මන්ත්‍රීවරුන් 119 දෙනකු පක්ෂව ඡන්දය දුන්නා.

29 දෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඔවුන් එසේ කළේ අපට සහයෝගය දීමේ අදහසින්. අයවැය දෙවැනිවර කියවීම ජය ලැබීම දැවැන්ත ජයග්‍රහණයක්. අයවැය ගැන විපක්ෂය කතා කරන්න පටන් ගත්තේම ඒ අයවැය පරාජය කරනවා කියලනේ. ඒත් පරාජය කිරීම තියා විපක්ෂය හිතාගෙන හිටපු ඡන්ද ප්‍රමාණයවත් නොලැබුණු එකයි සිද්ධ වුණේ.

ආණ්ඩුව පාර්ලිමේන්තුවේ බලය පෙන්නුවාට ඡන්දයකට යන්න බයයි කියලා තමයි චෝදනාව තියෙන්නේ?

නීත්‍යනුකූලව විදියටනම් මුලින්ම එන්න ඕන ජනාධිපතිවරණයක්. අනෙත් ඡන්ද පවත්වන්න ඕන ඉන්පස්සේ. මම පැහැදිලිවම විශ්වාස කරනවා ජනාධිපතිවරණය නියමිත කාලයට පෙර පැවැත්විය යුතුයි කියලා. එක පැත්තකින් රටේ ස්ථාවරත්වයක් ගොඩනඟාගන්නත්; ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ ඉහළම ආදායමක් එන දෙසැම්බර් - ජනවාරි කාල සීමාවලට බාධාවක් නොවෙන්නත් ඊට ප්‍රථමව ජනාධිපතිවරණයක් පැවැත්වීම සුදුසුයි කියලා මම හිතනවා.

ඔබ කියන්නේ ජනාධිපතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සූදානම් කියලා?

ජනාධිපතිවරණය ජය ගන්න අපට තමයි උපරිම ශක්තිය තියෙන්නේ. අප ඉදිරිපත් කරන ජනාධිපතිවරණ අපේක්ෂකයාට තමයි ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙන්නේ. ඒක අපි විශ්වාසෙන් කියනවා.

 

නමුත් පහුගිය වතාවලදී ජනාධිපති අපේකෂකයන් පත් කළේ නෑ?

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න අප බලාපොරොත්තු වෙනවා. පුළුල් සන්ධානයකින් පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක්. ඊළඟ වතාවේ රටේ ජනාධිපති වෙන්නේ එසේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තමයි.

ජයග්‍රාහී ජනාධිපති අපේක්ෂයකු මේ වන විට තෝරා ගෙන ඇති?

අපි ඒ නම සුදුසු වෙලාවට ඉදිරිපත් කරන්නම්.

පොදුජන පෙරමුණ කීවෙත් දිනන අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ජනාධිපති අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත්ව තිබෙන බව කියවෙනවා?

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ගැන ජනාධිපති අපේක්ෂකයා ලෙස කියනකොට ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඒ ගැන විවිධ නම් කියවෙනවා. ඇත්තටම ඔවුන්ට ඒ නම ගැන තවම මතභේදයක් තියෙනවා. කුමාර වෙල්ගම වගේ විපක්ෂයේ ප්‍රධානීන් පවා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂයා කිරීමට විරුද්ධව කතා කරනවා. පොදු ජන පෙරමුණ හා එක්වුණා කියපු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න ඕන කියලා. ඒ නිසා එතැන ලොකු අර්බුදයක් තියෙනවා.

පහුගිය ජනාධිපතිවරණ‍ය ජයග්‍රහණය සඳහා ප්‍රබල සාධකයක් බවට තරුණ ජනකාය පත් වුණු බව අප දැක්කා. එක්සත් ජාතික පක්ෂය ඒ තරුණ පෙරමුණ එකතු කර ශක්තිමත් බලවේගයක් හදන බවක් පේන්න නෑ?

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස කියන දේ තමයි 2015 වසරේදී මේ රටේ පසුගිය දේශපාලන වෙනස්කම්වලට හේතු වුණේ. ඒක පිටුපස තමයි තරුණ කණ්ඩායමත් එකතු වුණේ. එම නිසා අපට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ආරක්ෂා කරගන්නත් හැකි වුණා. ඔක්තෝබර් 26 වැනිදා සිදුවුණු සදාචාර විරෝධී වැඩපිළිවෙළට විරුද්ධව සියලු දෙනා එකතු වුණා. ඊළඟ මැතිවරණවලදීත් ඒ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න තරුණ පිරිස එකතු වෙන බවට විශ්වාසයි.

විරෝධතාව පෙන්වා ජනතාව එක්රැස් කරනවා වෙනුවට ආණ්ඩුවක් ලෙස තමා ජනතාව වෙනුවෙන් සේවය කළ බව ඔප්පු කරමින් ජනතාව එකතු කරන්න ආණ්ඩුවට හැකියාවක් නැති බව බොහෝ දෙනාගෙ අදහස වන්නේ?

එවැනි මතයක් ගොඩනඟන්න හදනවා. හැබැයි එයාලා කරපු සංවර්ධනය ගැන හිතන්න. එක ප්‍රදේශයකට, හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණක් කෝටි ගාණක් ණය අරගෙන විවිධ ව්‍යාපෘති ගෙනාවා. ඒ ණය ඔක්කොම ගත්තේ වැඩි පොලියට; කළේ අනවශ්‍ය ආයෝජන ව්‍යාපෘති. ගුවන් යානා එන්නේ නැති මත්තල ගුවන්තොටුපොළ, නැව් එන්නේ නැති හම්බන්තොට වරාය, තරග නොපවත්වන දිවා රාත්‍රී ක්‍රිකට් ක්‍රීඩාංගණ, වාහන යන්නේ නැති අතිවිශාල මහාමාර්ග ව්‍යාපෘති තමයි එයාලා සිදුකළේ. තමන්ගේ නම ගහගන්න සම්මන්ත්‍රණ ශාලා හැදුවා; එහි සම්මන්ත්‍රණ සිදු කෙරෙන්නේ නෑ. මේ විදිහට අනවශ්‍ය දේ කළේ.

අපි මේ රටට අවශ්‍ය වන විදියේ දැවැන්ත සංවර්ධනයක් සිදු කළා. සංවර්ධනයන් වෙන්නේ නෑ කියලා කවුරු හරි කියනවා නම් එන්න මගේ ආසනය වන දොම්පෙ ආසනය බලන්න. ප්‍රධාන නගර සංවර්ධනය, මාර්ග සංවර්ධනය කර තිබෙනවා. නව මාර්ග මේ වන විටත් අප විවෘත කරනවා.

එකම දේ අපේ සංවර්ධන කාර්යයන් ගැන ප්‍රචාරය නොවීමේ ගැටලුවක් තියෙනවා. අවාසනාවට මාධ්‍ය ආයතනවලත් පෞද්ගලික ඕනෑ එපාකම් අරමුණු ක්‍රියාත්මක වෙනවා පමණයි.

ගිය සතියේ මා පමණක් ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති 204ක් අනුමත කරගෙන තියෙනවා. ඒත් මතයක් හදන්න උත්සාහ කරනවා සංවර්ධනයක් නොකරන ආණ්ඩුවක් කියලා.

අයවැයෙන් යෝජනා කර ඇති සංවර්ධන යෝජනා ගමට ගෙනයන්න වෙලාවක් තියෙනවාද?

මේ අයවැය අවසන් කර මාස දෙකක් ඇතුළත වැඩසටහන් ආරම්භ කරන්න හැකි වේවි. අභියෝගයක් තියෙනවා. ඒත් ඒ සංවර්ධන ක්‍රියාවලිය සිදු කළ යුතුයි. මහජන නියෝජිතයන් ලෙස අපටත් එහි විශාල වගකීමක් තියෙනවා. මේ වන විටත් අප කළ ඒ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රාජකාරී මට්ටමේ වැඩකටයුතු ආරම්භ කර තියෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පැරදුණා. මෙවර මැතිවරණය ආණ්ඩුව ජය ලැබීමට නම් විශාල පෙරළියක් සිදුවිය යුතුයි නේද?

මහින්ද රාජපක්ෂ මහතා අගමැති බවට පත් කරන බව කියමින් පහුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව රැවැට්ටුවා. ඊළඟ පාරත් ජනතාව රැවටෙන්නේ නැති වෙයි කියලා මං හිතනවා.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල බැලුවොතින් පේනවා එහි ජනාධිපතිවරණයක් ජයගන්න තරම් ප්‍රතිඵලයක් නෑ කියලා. පළාත් පාලන මැතිවරණයේදී අපි වෙන වෙනම ඡන්දය ඉල්ලුවේ. අපේ සියලු බලවේග ජනාධිපතිවරණයකදී එකට එකතු වෙනවා. අපට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා.

අනෙකුත් දේශපාලන පක්ෂවලට සාපේක්ෂව එක්සත් ජාතික පක්ෂයේ තරුණ පිරිස එකට එකතු කිරීම ශක්තිමත් නැති බවක් පේනවා?

'සිරිකොත ගමට' වැඩපිළිවෙළ සාර්ථකව අපි කරගෙන යනවා. ග්‍රාමීය මට්ටමෙන් ගෙයින් ගෙට ගොස් එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම කරගෙන යනවා. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ විදිහට වෙද්දි පක්ෂයේ තරුණ පිරිස එකට එකතු කිරීම ශක්තිමත් නෑ කියන්න බැහැ කියන එක පදනම් විරහිතයි කියලයි මට හිතෙන්නේ.

සංවාදය [රසිකා හේමමාලි]

මාතෘකා