මිනිස්සුන්ට ඉන්න හිතෙන රටක් හදමු

 ඡායාරූපය:

මිනිස්සුන්ට ඉන්න හිතෙන රටක් හදමු

ඇමති චම්පික රණවක

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ, බදාදා (06) දින පාර්ලිමේන්තුවේ පැවති 2019 අයවැය විවාදයට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබූ කතාව මෙසේය.

‘මේ මෙවර පළවෙනි මාස 4 සඳහා ගිණුමක් හැටියට වියදම් පියවාගෙන මේ වසරේ නිල අය-වැය නිකුත් කරන අවස්ථාවයි. මේ අවස්ථාවේ දී පොදුවේ මේ රටේ ආර්ථිකය, මේ රටේ සමාජ දර්ශක ඒවා පවතින්නේ කොතනද කියන එක ගැන අපි හැම කෙනාම යම් අවබෝධයක් ලබා ගැනීම සුදුසුයි කියා මා සිතනවා. මොකද අපි පුරුදු වෙලා ඉන්නවා නිතරම මේ රටට බණින්න. රටේ නරක කතා කරන්න. වෙන රටකට යන්න පෙළඹෙන විදිහට අපේ දරුවන් අතර අදහස් ඇති කරන්න. ඒ නිසා මේ රට ඉන්න හිතෙන තැනක් නොවේය කියන එක අපේ දරු පරම්පරාව තුළ දැන් ස්ථාපිත වෙලා තිබෙනවා.

අද මේ රටේ ජනගහනයෙන් 15% ක් විදේශගත රැකියාවල නිරතව හෝ ස්ථිරවම මේ රටින් ගිහින් තිබෙනවා. කොළඹ නගරයෙන් පසුව වැඩිම සිංහල ජනගහනය ඉන්නේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නගරයේ. ඒ වගේම යාපනයෙන් පසුව වැඩිම දෙමළ ජනගහනයක් ඉන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ.

අද මේ රට අපේ ජනතාවට, අපේ දරුවන්ට ඉන්න හිතෙන තැනක් නොවේය කියන මතයක් අදහසක් ඇතිවී තිබෙනවා. නමුත් මේ රට පසුගිය නිදහසෙන් පසුව ඇතැම් ක්ෂේත්‍රවල විශාල ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන බවත් අප කිව යුතුයි. එක් ක්ෂේත්‍රයක් තමයි අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය. ලෝකයේ ඇතැම් දියුණුයි කියන රටවල්වලට පවා නිදහස් විශ්වීය සෞඛ්‍යය සේවයක් නැහැ. මේ රටේ සෞඛ්‍යය සේවයට කොපමණ බැන්නත් මේ රටේ ආයු අපේක්ෂාව අපෙත්, ඇමරිකා එක්සත් ජනපදයෙත් සමානයි. අපට වඩා 15 ගුණයක ඒක පුද්ගල ආදායමක් තිබෙන එක්සත් ජනපදයට සමාන ආයු අපේක්‍ෂාවක් අපට තිබෙනවා. ඒ වගේම පළවෙනි ලෝකයේ තත්ත්වයට සමාන මාතෘ මරණ අනුපාතයත්, ළදරු මරණ අනුපාතයත් පවත්වාගෙන යමින්, වසංගත රෝග මර්දනයත් අපි කරලා තිබෙනවා. එහෙමනම් අපිට සතුටු වෙන්න පුළුවන් නිරෝගී ජනතාවක් අපි එක්ක ඉන්නවා කියලා.

ඒ අතරෙම අපට ප්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. අපි ධනවත් රටක් නොවී වියපත් ජනතාවක් ඉන්න රටක් බවට පත්වීම නිසා. මේ නිසා අපට අනාගතයේ බරපතළ ප්‍රශ්න ඇතිවීමට නියමිතයි. දැනටමත් ශ්‍රම බළකාය වැඩිවෙන වේගය, ඒ වගේම වියපත් ජනතාව ඇතිවෙන වේගය කියන මේ කාරණා දිහා බැලුවහම ශ්‍රී ලංකාව ක්‍රමයෙන් ධනවත් නොවී වියපත් ජනතාව සිටින ස්ථානයක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. මේක අපට බරපතළ ප්‍රශ්න ගෙනෙන දෙයක්. උදාහරණයක් විදිහට ජපානය ධනවත් රටක්, වියපත් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ අයට ඒ අයගේ වැඩිහිටියන් රැකබලා ගන්න පුළුවන්.

අධ්‍යාපනය ගත්තත්, සාක්ෂරතාවය බැලුවත්, ඒ වගේම ප්‍රාථමික අධ්‍යාපනයට යොමු වීම දිහා බැලුවත් අධ්‍යාපනයේ අනෙකුත් ධනවත් ක්ෂේත්‍රවල අපි ලබාගෙන තිබෙන ජයග්‍රහණ දිහා බැලුවත් කොච්චර විවේචන ඉදිරිපත් කළත් මේ රට අද පළවෙනි ලෝකයේ මට්ටමට ඇවිත් තිබෙනවා.

විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ රටේ සමාජ අරගල දෙකක්, විප්ලව දෙකක්, සන්නද්ධ කැරළි දෙකක් 1971ත්, 87-89ත් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරනු ලැබුවා. මොකක්ද ආදර්ශ රාජ්‍යය? ආදර්ශ රාජ්‍යය කියුබාව. වීරයා පිදෙල් කැස්ත්‍රෝ. 1960 ලංකාව යම් තැනක තිබුණද, කියුබාව යම් තැනක තිබුණද අද ඒ ආදර්ශ, රටේ තත්ත්වය මත සෑම සංගුණකයකින්ම කියුබාවයි, ලංකාවයි 2018 දී සමාන වෙලා තිබෙනවා. එහෙම නම් අපි අපේ රටට කොපමණ බැන්නත් සමාජ විප්ලවයකින් පවා කරන්න බැරිවූ යම් යම් කාරණා, මේ රටේ නිදහස් අධ්‍යාපනය ගෙන ආපු සී.ඩබ්.ඩබ්. කන්නංගර මැතිතුමා වැනි අය, ඒ වගේම නිදහස් සෞඛ්‍යය සේවය ගෙනආපු අය ඒ කාරණය ඉටු කර තිබෙනවා.

ඒ වගේම අපි විශේෂයෙන්ම ප්‍රකාශ කළ යුතුයි අද අපේ තිබෙන අර්බුදය. අද අපි සංවර්ධනයට රුපියල් බිලියන 734ක් වියදම් කරන බව කියා තිබෙනවා. පොලිය ගෙවන්න යනවා අටසිය ගණනක්. ඒ වගේම ණය ගෙවන්න යනවා 2, 200ක්. මොකද්ද මේකේ ඇත්ත? මේ රටේ රෝහල් හදන්න, පාසල් හදන්න, නගර හදන්න, සමෘද්ධිය දෙන්න, දුගියා නංවන්න, නිවාස හදන්න වගේ මේ හැම දෙයටම ප්‍රාග්ධන වියදමින් එක රුපියලක් වියදම් කරන විට රුපියල් 3ක් ණය ගෙවන්න වෙනවා. එසේ වියදම් කරන රටක් බවට මේ රට අද පරිවර්තනය වෙලා තිබෙනවා. මේක තමයි අපේ ගැටලුව.

ඒ වගේම ප්‍රාග්ධන වියදමට වඩා වැඩි ප්‍රමාණයක් අද ණය පොලී විතරක් ගෙවන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේක තමයි මේ ණය අර්බුදයේ ස්වරූපය. ඊළඟට රාජ්‍ය ආයතන අති විශාල වශයෙන් ණය බරෙන් පෙළිලා තිබෙනවා. ඒ ණය බරෙන් පෙළිලා තිබෙන තත්ත්වය ගැන මම ඉතාම කෙටියෙන් කියන්නම්. ඒ, මේ ආර්ථික කළමනාකරණය ගැන කතා කරන නිසා.

මේ ආර්ථික කළමනාකරණය ගැන තිබෙන හොඳම උදාහරණය තමයි ශ්‍රී ලංකන් සේවය. 2008 දී එය ආණ්ඩුවට ලබා ගන්නකොට එමිරේට්ස්ලගෙන් රුපියල් බිලියන 14ක සමුචිත ලාභයක් සහිතවයි ළඟා කර ගත්තේ. අද මොකක්ද තත්ත්වය? අද මේ වසර වන විට මෙහි සමුචිත පාඩුව අනුක්‍රමයෙන් වැඩිවී රුපියල් බිලියන 200ක සීමාවත් ඉක්මවා ගොස් තිබෙනවා. මොකක්ද මෙයින් කියන්නේ, පාසල් නිල ඇඳුම් දෙන්න අපි වැය කරන්නේ රුපියල් බිලියන 25යි. දරුවන්ට බස්වල යන්න සීසන් එකට රුපියල් බිලියන 20යි. ඒ වගේම පොත්පත් ලබාදෙන්න බිලියන 38යි. මහපොළ ඇතුළු උසස් අධ්‍යාපනයට බිලියන 12යි. ත්‍රිපෝෂ දෙන්න බිලියන 17යි. පෝෂණ මල්ලට 16යි. ඔක්කොම එකතු කළත් 128යි. මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව විතරක් 200 පැනලා තිබෙනවා. කවුද මේක පාලනය කළේ, නන්දසේන, ගෝඨාභය රාජපක්ෂ, ඒ වගේම පී.බී. ජයසුන්දර, සජින් වාස් ගුණවර්ධන, රොෂාන් ගුණතිලක වගේ අය. මෙන්න මේ අයගේ කළමනාකරණ හැකියාව. අද මොකද කර තිබෙන්නේ? සෑම පුද්ගලයෙක්ම රුපියල් 12, 000කට අධික ප්‍රමාණයක ණය ගැතියෙක් බවට පත්කර තිබෙනවා මේ තනි රාජ්‍ය ආයතනයෙන් පමණක්. එහෙම නම් මේ කළමනාකරණයේ තත්ත්වය ගැන, රටේ විනය ඇති කර කළමනාකරණය ඇති කිරීමේ තත්ත්වය ගැන අපට හිතා ගන්න පුළුවන් ඉදිරි කාලයේදී.

ඉතිං මේ ආර්ථිකය සමස්තයක් හැටයට දකින්නේ නැතිව මේ එක කෑල්ලක් විතරක් පෙන්නලා ඒකෙන් සතුටු වෙන එක තමයි මේ අය හිතන්නේ. අපි මොන සංවර්ධන ක්‍රමයක් යෝජනා කළත් වැඩක් නැහැ, මහ පොළොවේ එය ක්‍රියාත්මක කරන්න මිනිස්සු නැත්නම්. ඒ වෘත්තීය නිපුණතාවය සහිත පිරිස් නැත්නම්. ඒක අද අපට තිබෙන විශාල අර්බුදයක්. මොකද සැලකිය යුතු පිරිසක් පෞද්ගලික අංශයට, විදේශ රටවල්වලට ගමන් කර තිබෙන නිසා. මේ රටේ ඉංජිනේරු සේවාව ගැන කියනවා නම් පසුගිය දශක තුනක කාලයක ඉංජිනේරු සේවාවේ පමණක් 40%ක ප්‍රමාණයක් උපාධිධාරීන් විදේශගත වෙලා තිබෙනවා. ඉතින් මේ කාරණය ගැන මම හිතනවා අපේ මුදල් ඇමැතිතුමත්, ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අපේ සියලුම දෙනා උනන්දුවෙන් සලකා බලයි කියා. මේ වෘත්තීයවේදීන්ගේ ගැටලුවත් මේ හා සමගම, මේ වැටුප් වැඩි කිරීමත් සලකා බලලා ඔවුනට මේ රටේ සතුටෙන් වගේම තමන්ගේ නිපුණතාවය මත ක්‍රියා කළ හැකි වටාපිටාවක් ඇති වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.

මාතෘකා