වෙල්ගමගෙන් ‍ෙගා්ඨට බර අවි ප්‍රහාර

 ඡායාරූපය:

වෙල්ගමගෙන් ‍ෙගා්ඨට බර අවි ප්‍රහාර

ජනාධිපති‌ මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේදී ආන්දෝලනාත්මක තීරණ කිහිපයක් ගත්තේය. රටේම අවධානයට යොමුවූ තීරණය වූයේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයයි. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන් හතර දෙනකුට මරණ දඬුවම ලබාදීම සඳහා තමන් අත්සන් කළ බව ජනාධිපතිවරයා පැවසුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදීය. වැඩකටයුතු රැසක් තමන්ගේ දින පොතට ඇතුළත් කරගෙන සිටි ජනාධිපතිවරයා උදෑසනම මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූයේ බොහෝ දිනකින් ඔහුට මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නොහැකිවීම නිසාය.

මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද ජනාධිපතිවරයා හමුවීමට පැමිණියේ මේ වන විට දේශපාලන ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ ගනිමින් සිටින ජනාධිපතිවරයාගේ මීළග තීරණය ගැන විමසිලිමත්ව සිටින නිසාය.

රියැදුරන් දෙදෙනා

හිටපු ජනාධිපති මහින්ද‌ රාජපක්ෂගේ ආශිර්වාදයෙන් ගෙන ආ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් අගමැති රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදයෙන් ගෙන ආ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් දැඩි ලෙස ප්‍රසිද්ධියේම විවේචනය කළ ජනාධිපතිවරයා නැවත වරක් මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේද ඒ කතාවම කියා සිටියේය.

"18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්පූර්ණ ඒකාධිපති රාජාණ්ඩුවක් හදනවා. 19න් දේශපාලන අවුලක් නිර්මාණය කළා. රටේ දේශපාලන අස්ථාවරත්වයක් තියෙනවා. මේ දේශපාලන අස්ථාවරත්වය හැදුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනයෙන්. 19 ජනාධිපතිවරයාගේ බලතල සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට ගැනීමට කෙටුම්පත් කළා. 19 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම බොහෝ කරුණු ප්‍රතික්ෂේප කළා. මේ තත්ත්වය තුළ 19 වැනි සංශෝධනය කෙටුම්පත් කළ අයගේ අපේක්ෂාවන් ඉටු වුණේ නෑ. ජනාධිපතිවරයාට බලතල කොටසක් හිමිවෙනවා. අගමැති හා පාර්ලිමේන්තුවට බලය කොටසක් ගියා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා රියැදුරන් දෙන්නෙක්ට වාහනයක් අරගෙන යන්න බෑ කියලා තිබුණා. ඉදිරි ජනාධිපතිවරණයෙන් කවුරු බලයට පත්වුණත් රටට ආදරය කරනවා නම් 19 අහෝසි කළ යුතුයි. 19 රටට සාපයක්" ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සාකච්ඡාව ආරම්භ කළේ සංවේදී කතාවක් කියමිනි.

"එතකොට ජනාධිපතිතුමා 19 සංශෝධනය කළාම බලාත්මක වෙන්නේ 18නේ. එතකොට ඒක හොඳයිද?" මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

"19 සංශෝධනය ගේනකොටම 18 වැනි සංශෝධනය අහෝසි වුණානේ. ඒ නිසා ඒක වෙන්නේ නෑ. 18ට කලින් තිබුණු විදිහට රට ඉදිරියට යයි. ඒක මේකට වඩා හොඳයි" ජනාධිපතිවරයා පැවසුවේය.

‌රට ගමන් සහ ප්‍රතිඵල

ජනාධිපතිවරයා බවට පත්වී පළමු වසරේදී එක් විදේශ සංචාරයකට පමණක් සහභාගි වී අවසන් වසරේදී විදේශ සංචාර විශාල සංඛ්‍යාවකට සහභාගී වීම සම්බන්ධයෙන් සමාජයේ තැනින් තැන සිදුකරන කතාබස්වලට පිළිතුරු දීමටද ජනාධිපතිවරයා අමතක කළේ නැත.

"මම රට යන එක ගැනත් චෝදනා ආවා. මම කවදාවත් පනහක් හැටක් දාගෙන රට ගියේ නෑ. මම අන්තිමට ගියේ තජිකිස්ථානයට. තජිකිස්ථානයට යනකොට මාත් එක්ක ගියේ හතර දෙනයි. ඒත් සමහර මාධ්‍ය මම හතළිහක් පනහක් එක්ක රට ගියා කියලා තමයි කියන්නේ. මම රට ගියපු හැම අවස්ථාවකම ගියේ ඒ රටෙන් ලැබුණු ඉල්ලීමකට අනුවයි. මම රට ගිහින් නිකම් ආවේ නෑ. මම ඉන්දියාවට ගියාම මෝදි ලංකාවට ආවා. ඒ වෙලාවේ ඔහු ලංකාවට පැමිණීම තුළ ලංකාව ආරක්ෂිතයි කියලා ලොකු පණිවුඩයක් ගියා. මම තජිකිස්ථානයට ගිය වෙලාවේ රුසියාවේ ජනාධිපති පුටින් හමුවුණා. අපි දෙන්නා ගොඩක් වෙලා කතා කරමින් හිටියා. ඒ වගේම චීන ජනාධිපතිතුමා එක්කත් මම ගොඩක් වෙලා කතා කරමින් හිටියා. ඒ වෙලාවේ චීන ජනාධිපතිතුමාගෙන් කරපු ඉල්ලීමක් නිසා තමයි පොලිසියට ජීප් ලැබුණේ" ජනාධිපතිවරයා තමන්ට ජාත්‍යන්තරයෙන් ලැබුණු දේ ගැන පැහැදිලි කරන්නට විය.

"ජනාධිපතිතුමා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද?" මාධ්‍යවේදීන්ගෙන් තවත් ප්‍රශ්නයකි.

"පක්ෂය ගන්න තීරණයත් එක්ක මම තීන්දුවක් ගන්නවා" ජනාධිපතිවරයා කෙටියෙන්ම උත්තර දුන්නේය.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කර තිබූ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදීහු විමසූහ.

දයාසිරි කීවේ හිතුණු දේද?

"ඔබතුමාගේ ධුර කාලය අවසන්‌ වෙන්නේ ලබන අවුරුද්දේ කියලා දයාසිරි ජයසේකර කියලා තිබුණා." මාධ්‍යවේදීහු ඇසූහ.

"දයාසිරි ඉතිං එයාට හිතුණු දේ කියන්න ඇති. එක එක තර්ක තියෙනවානේ. මේකත් ඒ වගේ තර්කයක් වෙන්න ඇති" ජනාධිපතිවරයා සෘජු උත්තරයක් දුන්නේ නැත.

මේ අතර එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම ගැනත් සාකච්ඡාවට ලක්විය. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ හතර දෙනෙක් එල්ලා මැරීමට තමන් අත්සන් කළ බව කීවා මිස ඔවුන් ගැන වැඩිදුර තොරතුරු කිසිවක් අනාවරණය නොකිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

ඉසුරගේ යෝජනාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව බදාදා රාත්‍රියේදී රැස්වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්ය. මධ්‍යම කාරක සභාව ආරම්භයේදී පේෂල ජයරත්න ආණ්ඩුකාරවරයා යෝජනාවක් ඉදිරිපත් කළේය.

"එක්සත් ජාතික පක්ෂයෙන් මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විදියට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන්න ඕන කියලා සමහරු යෝජනා කරනවා. ගෝඨාභය රාජපක්ෂ අනික් පැත්තෙන් යෝජනා කරනවා. ඒත් මේ අයට කැමැත්ත ලැබිලා නෑ. විරෝධතාවන් තියෙනවා. මේ නිසා අපි ජනාධිපතිවරණයට අපේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම පක්ෂයක් විදියට අපි පාර්ලිමේන්තු මැතිවරණයටත් තරග කළ යුතුයි." පේෂල යෝජනා කළේය.

පේෂලගේ යෝජනාව ස්ථිර කිරීමට නැඟී සිටියේ ඉසුරය. ඒහෙත් ඉසුර එම යෝජනාව ස්ථිර කළේ නැවත වරක් යෝජනාවක් ලෙසම ඉදිරිපත් කරමිනි.

කාමරේ කරන වැඩ

මේ අතර දයාසිරි ජයසේකර හා ෆයිසර් මුස්තාෆා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. ඒ පසුගියදා මහ නායක ස්වාමීන් වහන්සේලා හමුවීමෙන් පසුව දයාසිරි මාධ්‍ය හමුවට පැමිණ කළ කතාවක් නිසාය. මුස්ලිම් අය වැඩියෙන් ළමයි හදන බව කී කතාවට ෆයිසර්ගේ හිත රිදී තිබිණි.

"ඔයාලා අපි ගැන එහෙම කියන එක වැරදියි. මේවා ප්‍රසිද්ධියේ කියන්නේ ඇයි?" ෆයිසර් ඇසුවේය.

"අපි එතැන ලොකු ටෙන්ෂන් එකක හිටියේ. මාධ්‍යත් හිටියා. හාමුදුරුවොත් දිගටම කියාගෙන යනවා. මාධ්‍ය ඉන්න බව අපි අතින් පෙන්නුවත් හාමුදුරුවෝ දිගටම දේවල් කිව්වා. ඒ නිසා තමයි අපිට එළියට ඇවිත් ඒ ගැන කියන්න වුණේ"දයාසිරි තමන්ගේ නිර්දෝෂ බව පෙන්නුම් කිරීමට උත්සාහ ගත්තේය.

"ඔයාලා මේ කතා කරන්නේ කාමරේ කරන්න ඕන වැඩ ගැනනේ. කාමරේදී කරන වැඩ ගැන මෙතැන කතා කරන්න එපා" ජනාධිපතිවරයා කියන විට කවුරුත් නිහඬ වූයේ එය කියූ හඬින් හැමෝගේම මුවට සිනහවක් නැඟුණු නිසාය.

කීර්ති - මෛත්‍රී එළවන්න හදයි

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්ට හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නට විරුද්ධව පසුගිය දිනවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී විවිධ අදහස් මතු වී තිබුණේය. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඔවුන් දෙදෙනාට විරුද්ධව කල් ඇතිවම යුද ප්‍රකාශ කර තිබුණේය. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ආණ්ඩුකාරවරුන් දෙදෙනාට විරුද්ධව හඬ නැඟීමට බොහෝ දෙනෙක් මෙවර එක්ව සිටියහ. මහින්ද අමරවීර, එස්. බී. දිසානයක හා දයාසිරි ජයසේකර එක හඬින් කීවේ මොවුන් දෙදෙනා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කළ යුතු බවය.

"මේ ආණ්ඩුකාරවරු දෙන්නාම මේකට ඇවිත් දේශපාලනය කරන්නේ. අපිට උදවු කරනවා වෙනුවට කීර්ති පොහොට්ටුවේ අයට උදවු කරන්නේ. ඒ අයත් එක්ක දේශපාලනය කරන්නේ. ඒ අයත් එක්ක තමයි හැමදේම කරන්නේ" මහින්ද අමරවීර කීර්තිට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

මේ අතර එස්.බී. හා දයාසිරි මෛත්‍රී ගුණරත්නට විරුද්ධව දැඩි අදහස් දැක්වූයේ ඔවුන් දෙදෙනාම වහාම ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින්ය.

මනුෂ කරපු වැඩේ අගමැති සිහිකරයි

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී ගාල්ලේ නෙළුව බලා පිටත්ව ගියේ සමෘද්ධි සහනාධාර බෙදා දීමේ උත්සවයකට සහභාගි වීමට හා තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. හෙලිකොප්ටරයෙන් කොළඹ සිට නෙළුව බලා පිටත්ව ගිය අගමැතිවරයා සමඟ ගයන්ත කරුණාතිලක, මනුෂ නානායක්කාර හා විජේපාල හෙට්ටිආරච්චි එක්ව සිටියේය. ඒ වන විට දින තුනක් එක දිගට නෙළුවේ සංවර්ධන වැඩකටයුතු ගැන සොයා බලමින් සිටි මනුෂ කොළඹට පැමිණ තිබුණේ හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ උපදෙස් පරිදි ජපන් රැකියා අවස්ථාවන් ගැන දැනුවත් කිරීමේ හදිසි රූපවාහිනී වැඩසටහනකට සහභාගීවීමටය. එය අවසන් කර ඔහු අගමැතිවරයා සමඟ ගාල්ලට පැමිණියේය.

නෙළුවට පැමිණි අගමැතිවරයා වේදිකාවේ තබාගෙන මනුෂ ඔක්තෝබර් 26 වැනිදා ගැන සිහිපත් කළේය.

"ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ දේශපාලන වෙනසෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලබාගැනීමේ හැරවුම් ලක්ෂය වුණේ මම. එදා මුල්ම පියවර තැබුවාට පස්සේ තමයි අනික් අය ආවේ. මම එදා එක දෙයයි ඉල්ලුවේ. ඒ තමයි හිනිදුමට වැඩක් කරන්න අවස්ථාවක් දෙන්න කියන ඒකයි." මනුෂ සිහිපත් කළේය.

මනුෂ කී කතාව සහිතක කළේ අගමැතිවරයාය.

"එදා හොර අගමැතිවරයෙක් පත්වෙන විට මනුෂ හිටියේ මමත් එක්ක. ගාල්ලේ රැස්වීමක අපි හිටියේ. එදා ජනාධිපතිවරයා ඔහුට කොළඹ එන්න කියලා කිව්වම ඔහු කොළඹ ගියේ සර් මම සර් ළඟට ආයිමත් එනවා කියලයි. මනුෂ එදා මට දුන්න පොරොන්දුව ඒ විදියටම ඉටු කරමින් මුලින්ම මනුෂ ආවා. ඊට පස්සේ තමයි අපිට අපේ ආණ්ඩුවක් හදන්න පුළුවන් වුණේ"අගමැතිවරයා කීවේය.

පියසේන ගමගේ හිටපු ඇමැතිවරයා තමන්ගේ කතාවේදී කීවේ තමන් හිනිදුම දුෂ්කර බවින් මුදාගත් බවය.

එදා අගමැතිවරයා නැවත කොළඹ පැමිණියද මනුෂ හිනිදුම නැවතුණේය. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් මනුෂ රැගෙන ගියේ හිනිදුම සිට මොරවක දක්වා යන මාර්ගයේය. වාහනයක් යා නොහැකි ප්‍රධාන මාර්ග තවමත් හිනිදුම තිබෙන බව මන්ත්‍රීවරු කියන විට මනුෂ එතන සිටම අවශ්‍ය විසඳුම් ගත්තේය. ඒ මාර්ගයේ කොටසක් මාතරට අයිති වීම නිසාය. සාගල රත්නායක ඇමැතිවරයාට දුරකතන ඇමතුමක් දුන් ඔහු දෙදෙනාම එක්ව අවශ්‍ය විසඳුමට පියවර ගත්තේය.

අගමැතිවරයාගේ බස් සවාරිය

බ්‍රහස්පතින්දා අගමැතිවරයාට වැඩ අධිකම දිනයක් විය. එදින උදෑසනම නාරාහේන්පිට ශාලිකා පිටියට ඔහු ගියේ චීනයෙන් ආනයනය කළ සුඛෝපභෝගී බස් රථ ඩිපෝවලට බෙදා දීමේ උත්සවයට එක්වීමටය. ඇමති අර්ජුන හා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ ඇතුළු පිරිසක් සමඟ නව බස් රථයක කෙටි චාරිකාවක් යෑමටද අගමැතිවරයා ක්‍රියා කළේය.

දකුණු අප්‍රිකානු ජනපති රම්පෝසා ඕස්ට්‍රේලියා නවසීලන්ත සංචාරයකින් පසු සිය රට යන අතරතුර පැය 02ක කාලයක් කටුනායක ගුවන්තොටුපළේ විශේෂ ආරාධිතයන්ගේ අංගණයේ පැය 02ක් ගත කරන හෙයින් ඔහු වෙනුවෙන් උදෑසන ආහාරය එදින අගමැතිවරයා විසින් සූදානම් කොට තිබෙන නිසා වහාම කටුනායක බලා යෑමට අවශ්‍යව තිබිණ. එහෙත් අත්‍යවශ්‍ය මාධ්‍ය කටයුත්තක් සඳහා වහාම අරලියගහ මැදුරට පැමිණ එය නිමාකොට කටුනායක බලා පිටත්විය.

"කිරිබත්, ආප්ප, ඉඳිආප්ප, පිට්ටු, කැවුම්, කොකිස් ඇතුළු දේශීය ආහාරද ජනපති රම්පෝසාට පිරිනමන ආහාරවේලට ඇතුළු කරන්න කියලා මම උපදෙස් දුන්නා. එයාට හුරුපුරුදු දකුණු අප්‍රිකානු සහ බටහිර ආහාරත් එතන තියේවි. කැමති දෙයක් කන්නෙ නැතැයි." යැයි අගමැති කීවේ මාධ්‍යකරුවන් දෙදෙනකු අමතාය.

අනතුරුව යළිත් අරලියගහ මැදුරට පැමිණි අගමැතිවරයා සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා හමුවන මැති ඇමතිවරු පිරිස සමඟ ගෙවුණු සතියේ වැදගත් සිදුවීම් පිළිබඳ සමාලෝචනයකටද එක්විය.

"ඊයේ ජනාධිපතිතුමා කීව කතා මාධ්‍යකරුවන් ඉස්සරහට දාගෙන ගියා." ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ නෝක්කාඩුවෙනි.

"ජනාධිපතිතුමා එක්ක අපි ගැටෙන්න යා යුතු නැහැ. අපි අපේ සංවර්ධන වැඩපිළිවෙළ, ජනතා සහන, රටේ යටිතල පහසුකම් ආදී අපේ වගකීම්වලට කැපවෙමු." අගමැතිවරයා කීවේය.

"19 වැනි සංශෝධනය ගේන්න අච්චර කැපවුණේ ජනාධිපතිතුමානේ..." නවීන් දිසානායක කීවේ එවැන්නකි.

"දයාසිරි ජයසේකර ජනාධිපතිතුමා පොහොට්ටු අපේක්ෂකයාය කියල දිගටම නානවා. දයාසිරි පරද්දන්න ජනාධිපතිතුමා උත්සාහ කරනවද කියලා දන්නෙ නෑ කියන ජනමාධ්‍යකරුවන් ඉන්නවා" චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.

මරණ දඬුවම ගැන කතා

මේ අතර මරණ දඬුවම පිළිබඳවද කතාබහට ලක්විය.

“මේ වැඩේට ජාත්‍යන්තරය වගේම ලංකාව ඇතුළෙනුත් එච්චර හොඳ ප්‍රතිචාර නෑ. මරණ දඬුවම ගේනවා කියලා මේ ආණ්ඩුව රටට කියලා තිබුණෙත් නෑ. ජේ.ආර්. මැතිතුමා නවත්තපු එක චන්ද්‍රිකා හා මහින්ද යුගවලත් ඒ විදියට ගෙනිච්චා. පාප්තුමා හා සියලුම කතෝලික පල්ලිත් මරණ දඬුවමට විරුද්ධයි.” එජාප නීති අංශ නිලධාරියෙක් කීවේය.

කසිප්පු හාදයෙක්

"මේ දවස්වල වැඩිපුරම TV එකේ කතාකරන අර කළුතර පොහොට්ටුවේ මනුස්සයා ඉස්සර කෝච්චියේ කරපු වැඩ ගැනයි රුපියල් දසලක්ෂ හාරදහස් පන්සීයක් උපයපු හැටි ගැනයි උසාවියට පැහැදිලි කරන්න කිව්වම නයා ගහපු හැටිත් මිනිස්සු දන්නවා. ඒ මදිවට ලංකාවේ ලොකුම හොර මත්පැන් නිෂ්පාදනාගාරයේ හිමිකරුවා ලෙසත් STF එකට මාට්ටු වෙලා. ඕවා බීලද දන්නේ නෑ එයා පාර්ලිමේන්තුවෙයි ප්‍රවෘත්ති සාකච්ඡාවලයි පිස්සු කියවන්නෙ. මේවා අපි රටට දෙනවා මදි. කළු මාධ්‍ය මේ පහත් වැඩ හංගනවා." එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරාත්මක අදහස එය විය.

සජිත් උස්සන්නේ ඇයි?

නිවාස සංවර්ධන අධිකාරියට වසර හතළිහක් සම්පූර්ණ වීම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයේ ආරාධිතයන් ලෙස ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සහභාගි විය. අගමැතිවරයා ගාල්ලේ සිට පැමිණෙන විට ජනාධිපතිවරයා පැමිණියේ පොළොන්නරුවේ සිටය. දැනට ක්‍රියාකාරීව සිටින ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියා වන එඩ්වින් ආරියදාස සජිත්ගේ අමාත්‍යාංශයේ උපදේශකයකු ලෙස පත් කිරීමේ ලිපිය ලබාදුන්නේද මෙහිදීය.

"සජිත් මෙච්චර උස්සන්නේ ඇයි කියලා සමහරු මගෙන් අහනවා" ජනාධිපතිවරයා කියන විට සජිත් කුතුහලයෙන් බලා සිටියේය.

"මගේ ඒ ප්‍රශ්නය අහන අයට දෙන උත්තරය තමයි සජිත් කියන්නේ දූෂණය වංචාව නොමැති ඇමතිවරයෙක්, ජනතාව වෙනුවෙන් වැඩ කරන කාර්යශූර ඇමතිවරයෙක් කියලයි" ජනාධිතිවරයා කීවේය.

"සජිත් දැන් නිවාස වැඩපිළිවෙළ හොඳයි නේද, දැන් ඉඩම් සීමිත නිසා තට්ටු ගෙවල්වලට යන්න වෙයි නේද?" අගමැතිවරයා ඇසුවේය.

"දෙවැනි වටයේ අපි හදන ගම්මාන පන්දාහත්, තුන්වැනි වටයේ ගම්මාන දහදහසත්, හතර වැනි වටයේ ගෙවල් දෙදහස් පන්සීයත් ඉදිකිරීමේදී මේ ගැන අවධානය යොමු කරන්න වෙනවා." සජිත් කීවේය.

මේ අතර සජිත් පසුගිය සතියේදී ජනාධිපතිවරයා හමුවීමට ගියේ දුක් ගැනවිල්ලක් කීමටය. ඒ තමන්ගේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිටුවීමට පැළ ලබාගැනීමට නොහැකිවීම ගැන දුක් ගැනවිල්ලකි. ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදීම ඔහුට විසඳුම් දුන්නේ පරිසර අමාත්‍යාංශය හරහා පැළ ලබාදෙමින්ය.

වෙල්ගමත් ‌ගෝඨාට බයලු

මේ දිනවල පුවත් මවන චරිත අතර කුමාර වෙල්ගමද ඉදිරියෙන් සිටී. ඔහු කලක සිට ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරයි.

දැඩි මහින්දවාදියකුව සිටි ඔහුගේ වත්මන් ප්‍රකාශ නිසා කැලඹී සිටින්නේ පොහොට්ටුවය.

'වෙල්ගම මොනවා කරන්න හදනවද දන්නේ නෑ.'

බොහෝ දෙනකු එහෙම සිතන අතර පසුගියදා ඔහු තවත් දේශපාලන බෝම්බයක් එල්ල කළේය.

'ගෝඨාභය රාජපක්ෂ මහතා යනු යුද්ධයට බයේ ශ්‍රී ලංකාව අතහැර ඇමරිකාවට පැනගිය පුද්ගලයකු බව වෙල්ගම කීවේය. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණිය යුතුයැයි උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

"රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, ඒක ඇත්ත. හැබැයි මම ඔය කතාව නිවැරදි කරනවා. ඒ තමයි මට පේන හැටියට දැනට ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ඉන්න දක්ෂතම කෙනා තමයි සරත් ෆොන්සේකා මහත්තයා. එතුමා සටන් බිමේ ඉඳන් සටන් කරපු සොල්දාදුවකු හැටියට නැත්නම් නිලධාරියකු හැටියට බලනකොට ඔය ගම්මන්පිල මහත්තයා කියපු පුද්ගලයා යුද්ධෙට බයේ මේ රට දාලා පැනලා ඇමරිකාවට ගිය කෙනෙක්."

මේ අතර වෙල්ගම පසුගියදා හිටි අඩියේම ශ්‍රීලනිප මූලස්ථානයට ගියේය. එය එහි සිටි සියලුදෙනාගේ විමතියට හේතු විය. ඔහු එහි ගියේ වසර කිහිපයකට පසුවය.

තවමත් වෙල්ගමගේ හැසිරීම බොහෝ දෙනකුට හිතාගන්නට අපහසුව තිබේ.

මාතෘකා