රට යළි ගොඩගන්න 18, 19 සංශෝධනයන් අහෝසි කළ යුතුයි

 ඡායාරූපය:

රට යළි ගොඩගන්න 18, 19 සංශෝධනයන් අහෝසි කළ යුතුයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේදී රට තුළ ඇති කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වැනි සංශෝධනයන් අහෝසි විය යුතු බවත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රමයේ තිබූ රාජාණ්ඩු හා ඒකාධිපති ස්වරූපය හේතුවෙන් නව ආණ්ඩුවක් පිහිටුවා 19 වැනි සංශෝධනය ගෙන ආවද එම සංශෝධනය හරහා එක් දේශපාලන නායකත්වයක් යටතේ ගමන් කිරීමට නොහැකි වීමෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (23) ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

"අපේ රටේ නිවාස සංවර්ධන විප්ලවය, පරිවර්තනය ඇති වුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවීමෙන් පසුව බව පිළිගන්න ඕන. අද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වසර 40ක අතීතය පිළිබඳව උත්සවක් පවත්වනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් විශිෂ්ටතම සේවාවක් කළේ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ කාලය තුළ බව අප පිළිගත යුතුයි. ප්‍රේමදාස මහතා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න හොඳින් අවබෝධ කර ගත්තා. ඒ තුළින් තමයි නිවාස වැඩසටහන බිහි වුණේ. උදාගම් වැඩසටහන මේ රටේ නිවාස වැඩසටහනේ නවෝදයක් විප්ලවයක් සහ පරිවර්තනයක් සිදු කළා. මම මන්ත‍්‍රීවරයෙක් විදියට නැති කාලෙත් මම ඒ උත්සවවලට ගිහින් තිබෙනවා. ෙප්‍ර්මදාස මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලේ මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් වඩා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සම්බන්ධකම් පවත්වපු කෙනෙක්. ඒකෙන් අදහස් කරන්නේ එතුමා ආණ්ඩු පක්ෂයේ අයට සැලකුවේ නෑ කියලා නෙවෙයි. නමුත් නායකයෙක් විදියට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එතුමා වැඩ කළා.

"එය දේශපාලනඥයන් තුළ පිහිටිය යුතු ඉතා වැදගත් ලක්ෂණයක්. බොහෝ දේශපාලනඥයින්ට පිහිටන්නේ නැති ලක්ෂණයක්. අපේ රටේ ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන අය හමුවෙන්න සාමාන්‍ය ජනතාව ගියාම ඒ අය අහනවා ඡන්දේ දුන්නේ කාටද කියලා. නැත්නම් මනාප දුන්නේ කාටද අහනවා. මට ඡන්දෙ දුන්නේ නැති නිසා මේ වැඩේ කරලා දෙන්නේ නැහැයි කියලා මූණටම කියන මැති ඇමතිවරු ඉන්නවා. එය දේශපාලනඥයකුට තිබිය යුතු ලක්ෂණයක් නෙවෙයි. ඒ ගති ලක්ෂණ සැබෑ මානවවාදී දේශපාලනඥයකුට තියෙන්න බැහැ. මට මනාප දුන්නේ නැති නිසා රස්සාව දෙන්නේ නැහැ. ගෙයක් දෙන්නෙ නැහැ කියන එක දේශපාලනඥයකුට සුදුසු කතාවක් නෙවෙයි.

"පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ඒ භේදයෙන් බැහැරව කටයුතු කළ කෙනෙක්. පාර්ලිමේන්තුවේ 225ටම එක වගේ වැඩ කරපු කෙනෙක්. එතුමා නිවාස සංවර්ධනයේ පරිවර්තනයක් කළේ මේ රටේ පොදු ජනතාවට හා විශේෂයෙන් දුප්පතුන් සඳහායි. ඒ නිසා පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ තිබුණු මිනිසුන් ජීවත් කරවීමේ ප‍්‍රතිපත්තිය දුප්පතුන් සඳහායි. අද සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ඒ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යනවා. තම පියා ගෙන ගිය ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙළ හඳුනාගෙන ඊට දෙන නායකත්වය අපි ඉතාමත් අගය කරනවා. මම සජිත් ඇමතිතුමාට ගරු කරන කරුණු දෙකක් තිබෙනවා. ඒ කරුණු දෙක සමහර ඇමතිවරුන්ට නැහැ. එකක් තමයි වැඩ කිරීමට තිබෙන කැපවීම, උනන්දුව හා අවංකකම. දෙවැන්න තමයි දූෂණයෙන් තොර ඇමතිවරයෙක් වීම. ඒ කරුණු දෙක නිසයි මා සජිත් පේ‍්‍රමදාස ඇමතිතුමාට සලකන්නේ. සමහර අයගෙන් පොඩි චෝදනාවකුත් තියෙනවා මම සජිත්ට වැඩියෙන් සලකනවා කියලා. එයාව උස්සනවා කියනවා. හැම කෙනෙක්ම මම උස්සනවා අවංකව කැපවීමෙන් වැඩ කරනවා නම්.

"ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක කාලයක් වෙනවා. එදා මෙදා සේවය කළ විශ‍්‍රාමික අයවත් මෙහිදී මතක් කිරීම ඉතාම වැදගත්. මේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා. රටේ සංවර්ධනයේ ශක්තිමත්ම ප‍්‍රමුඛ බල ඇණිය තමයි ලක්ෂ 16ක රාජ්‍ය සේවකයින්. ඒ ලක්ෂ 16 තමාගේ සේවය නිසි ලෙස දූෂණයෙන්, වංචාවෙන් තොරව ඉටු කරනවා නම් මේ රටේ ප‍්‍රශ්න අඩුයි. නමුත් මේ රටේ රාජ්‍ය සේවයේ සියයට 10ක් විතර අන්ත දූෂිතයි. ඉතාමත් අවංකව සේවය කරන පිරිස් ඉන්නවා සියයට 50කට වැඩියෙන්. ජනතාවගේ ප‍්‍රශ්න හඳුනා ගැනීම, කාර්යක්ෂම ලෙස ඒවා ඉටුකර දීම, මිනිසුන්ට ආදරය, සෙනෙහස, දයාව පෙන්වීම මෙය දේශපාලනඥයා තුළ පමණක් තිබිය යුතු ලක්ෂණයක් නෙවෙයි. එය රාජ්‍ය සේවකයා, රාජ්‍ය නිලධාරියා සතුවද තිබිය යුතු ලක්ෂණයක්. දේශපාලනඥයින් ළඟට එන්නෙත් රාජ්‍ය නිලධාරීන් ළඟට එන්නෙත් අසරණ අහිංසක දුප්පත් ජනතාවයි. අතේ මිටේ තියෙන අය, වත්පොහොසත්කම් තිබෙන අය දේශපාලනඥයින් හෝ රාජ්‍ය නිලධාරීන් හමු වෙන්නේ නැහැ. ඉතා පීඩාවට පත්වූ දුප්පතුන් තමයි දේශපාලනඥයා හමුවෙන්නෙ සහ රාජ්‍ය නිලධාරීන් හමුවෙලා තමන්ගේ දුක්ගැනවිලි කියන්නේ.

"නිවාස අධිකාරියේ හතළිස් වසරක සේවය අපි අගය කරන්නේ දුප්පත් ජනතාව වෙනුවෙන් වෙන් වූ ආයතනයක් විදියටයි. ඒ නිසා එවැනි ආයතනයක දීර්ඝ කාලීන සේවය සැමරීම, ඇගැයීම ඉතාමත් වැදගත්. ඒ නිසා මම විශේෂයෙන්ම මේ වැඩසටහනට සුභ පතනවා ආශිර්වාද කරනවා සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමාගේ වැඩසටහන තව තවත් සාර්ථකව ශක්තිමත්ව ඉදිරියට යන්නට මම ආශිර්වාද කරනවා.

"අගමැතිතුමනි, වසර 40ක් නිවාස අධිකාරිය සමරනවා වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතරහමාරකට වැඩි කාලයක් ගතවෙලා තිබෙනවා. මේ අවුරුදු හතරහමාරක කාලයෙන් මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස හතරක් පහක් වගේ කෙටි කාලයයි. අවුරුදු හතරහමාරක කාලසීමාවේ අපි හොයලා බලන්න ඕන අපි හරියට කෙරුවද වැරදුණාද වැරදිච්ච තැන් මොනාද කියලා. පශ්චාත් මරණ පරීක්ෂණය දැන් තියන්න වේලාව ඇවිල්ලා තියෙනවා. අපි මේවා කතා කරන්න ඕන. අවුරුදු හතරහමාරක කාලය තුළ ආණ්ඩුව රටේ නරක් වුණා නම් නරක් වුණ ප‍්‍රධානම හේතුව තමයි 19 වැනි සංශෝධනය. 19 වැනි සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව ඉතාම හොඳ ආණ්ඩුවක්. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තිබෙනවා අගමැතිතුමායි මායි දෙපැත්තට අදිනවයි කියලා. ඒ දෙපැත්තට අදින තත්ත්වය ඇතිවුණේ 19 වැනි සංශෝධනයෙන්. 18 වැනි සංශෝධනය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රාජ්‍ය ආණ්ඩුක්‍රමයක්. ඒක තනිකර ආඥාදායක ක්‍රමයක්. 18 වැනි සංශෝධනය අහෝසි කරන්න තමයි අපි ආණ්ඩුවක් හැදුවේ. 18 වැනි සංශෝධන ක‍්‍රමයේ රාජ්‍ය ආණ්ඩුක්‍රමයත් ඒකාධිපති ක්‍රමයත් ඉතාමත්ම නුසුදුසුයි. 19 වැනි සංශෝධනයෙන් මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතුව ගියා. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක්‍රමයක් හැදුනා. ඒකෙන් රටටත් විශාල අලාභයක් සිදු වුණා. ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. 18 වැනි සංශෝධනයත් 19 වැනි සංශෝධනයත් යන මේ සංශෝධන දෙකම අවලංගු කෙරුවොත් තමා මේ රටට යහපතක් වෙන්නේ. 18 ඒකාධිපතියි. 19 අස්ථාවරත්වය. රට ආරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ 19 වැනි සංශෝධනයෙන් ඇතිවෙච්ච තත්ත්වය නිසායි. 19 වැනි සංශෝධනයක් ඇති නොවුණා නම් මේ අවුරුදු හතරහමාර මීට වඩා විශිෂ්ට ජයග්‍රාහී සිව් වසරක් වෙන්න තිබුණා.

"ඒක නිසා අපි පිළිගන්න ඕන අපි අතින් සිදුවෙලා තියෙන වැරදි මොනවාද කියලා. පාර්ලිමේන්තුවේ 225න් 215ක් 19 වැනි සංශෝධනයට ඡන්දේ දුන්නා. 19 වැනි සංශෝධනය හදපු ආණ්ඩුක්‍රම විශාරදයෝ හිතුවේ නැහැ මේ රටට මේ විනාශය සිද්ධ වෙයි කියලා මේ 19 වැනි සංශෝධනයෙන්. ඒ නිසා අනාගතයේ රට ගොඩගන්න නම් පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ 18 සහ 19 අහෝසි කරපු දවසට මේ රටේ ජනතාව සතුටු වෙන හොඳ පාලනයක් ගෙනියන්න පුළුවන්. එතනින් හොඳ ප්‍රතිඵල පෙන්නන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදයත් තියෙනවා. නිදහසත් තියෙනවා. සාමයත් තියෙනවා. මාධ්‍ය නිදහසත් තිබෙනවා. කාර්යක්ෂමව වැඩකරන්නත් පුළුවන්. ඒ සියල්ලින් සම්පූර්ණ වෙනවා.