ජනපතිවරණය මහමැතිවරණය ජනමත විමසුම ?

 ඡායාරූපය:

ජනපතිවරණය මහමැතිවරණය ජනමත විමසුම ?

ගෙවී ගියේ පොසොන් සතියයි. ඉකුත් පාස්කු දා ප්‍රහාරයෙන් පසු වෙසක් උත්සවය සාමකාමීව සහ චාම්ව පැවැති අතර පොසොන් උත්සවයද චාම් මුහුණුවරක් ගත්තේය.

පොළොන්නරුව ඓතිහාසික පොසොන් මහා පෙරහැර (17) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික වටදාගෙය අසලින් ආරම්භ කෙරිණි.

ශ්‍රීලනිපය ගරු සරු තීන්දුවක

18 වැනිදා ජනාධිපතිවරයා හඟුරන්කෙත, මාදන්වල රාජමහා විහාරයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිදන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගි විය. ඉකුත් 19 වැනි දින පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ හමුව පැවති අතර එහිදී ජනාධිපතිවරයා කතාබහට ලක්වන ප්‍රකාශයක් කළේය. ඒ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස සියලුදෙනාට සතුටුවිය හැකි ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙළක් ඔස්සේ පක්ෂයේ කටයුතු ඉදිරියට මෙහෙයවන බවයි. මේ අතර 2020 ගරු සරු තීන්දුවක් තම පක්ෂය ගන්නා බවද ඒ මහතා කීය.

තුන්කොන් සටනක් නෑ

ජනාධිපතිවරණයේදී තුන් කොන් සටනක් ඇතිවීමට අවස්ථාව ලබා නොදෙන බව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දුන්නේ පසුගිය බදාදාය. තුන්කොන් සටනකට ඉඩක් ඇති නොකරන බවට පමණක් නොව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් නොකරන බවටද ඔහු සහතිකයක් දුන්නේය.

ඡන්දය කුමක්ද?

දේශපාලන ලෝකයට මේ වන විට මැතිවරණ උණුසුම දැනෙමින් තිබෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මැතිවරණයක් සඳහා සූදානම් වන නිසාය. ජනාධිපතිවරණයක් කැඳවීමට පෙර මහ මැතිවරණයක් කැඳවීම සඳහා අදහසක් වටපිටාවක් ඇතැයි ඇතැම් තැන්වල කතාබස් ඇතිවිය. ඒ අතර ජනමත විචාරණයක් පැවැත්වීම පිළිබඳ අවධානය යොමුව තිබිණි.

දැනට සති කිහිපයකට පෙරදී අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී හමුවූ මහින්ද රාජපක්ෂ සවස ජනාධිපතිවරයා හමුවී තිබිණි.

ඒ අතරම කොළඹ විශ්වවිද්‍යාලයෙන් කළ සමීක්ෂණයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව සිටින අපේක්ෂකයන් අතරින් ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා ගැන අදහස ඉදිරිපත් කර තිබුණේය.

කථානායක බීබීසී සාකච්ඡාවක

ඔක්තෝබර් 26 වැනිදා බල පෙරළියෙන් පසුව යළිත් ප්‍රජාතන්ත්‍රවාදයේ දිශානතියට රට ගෙන යෑමට කථානායකවරයා ලෙස විදේශ රටවල පවා දැඩි අවධානයට හා අගය කිරීමට ලක්වූ කරු ඉහළට එසවෙන විට පසුගිය සතියේදී ඔහු මාධ්‍ය ඉදිරියට පැමිණියේ බී.බී.සී. පුවත් සේවය හරහාය. කථානායකධුරයට පත්වීමෙන් පසුව කිසිදු මාධ්‍ය ආයතනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා නොදුන් කරු මුල් වරට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන්නේ බී.බී.සී.

පුවත් සේවයටය. ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නේදැයි යන්න ගැන කරු එහිදී පැහැදිලි පිළිතුරක් දුන්නේය.

පක්ෂයෙන් එන පුද්ගලයාට කරුගේ සහය

තමන්ට පක්ෂයෙන් ආරාධනාවක් ලැබෙන්‌නේ නම් ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සූදානම් යැයි ඔහු පැහැදිලිව පැවසුවේය.

එහෙත් වෙනත් පුද්ගලයකුට ඇති අවස්ථාවක් නැති කරමින් තමන් එම අවස්ථාව ලබා නොගන්නා බවද ඔහු පැහැදිලිව පැවසුවේය. ඉදිරි ජනාධිපතිවරණයට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෝ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වන්නේ නම් තමන් ඔවුන්ට ඇති අවස්ථාව උදුරා නොගන්නා බව කරුගේ ස්ථාවරයයි. ඒ අනුව කරු ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් ඔහු ඉදිරිපත් වන්නේ සියලුදෙනාගේම ආශිර්වාදය ඇතිවය.

පොහොට්ටුවේ අරගලය උග්‍රවෙයි

මේ අතර තවමත් අර්බුදයක්ව පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. පොදුජන පෙරමුණේ ජනප්‍රියතම අපේක්ෂකයා වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂය. අධිකරණයෙන් අවසර ලබාගෙන සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ගෝඨාගේ සුවදුක් විමසීමට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් නොගිය නමුත් අගමැතිවරයා පසුගිය සතියේදී ගෝඨාභයගේ සුව දුක් විමසා තිබුණේය. ඒ සිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිය අතරවාරයේදීය. අගමැතිවරයා පමණක් නොව රවී කරුණානායක හා මංගල සමරවීර යන ඇමැතිවරු දෙදෙනාම ගෝඨාගේ සුව දුක් විමසා තිබුණේය. ගෝඨාභය හමුවී ඔහුගේ සුව දුක් විමසීමට අගමැතිවරයා සූදානමින් සිටියත් වෛද්‍යවරුන්ගේ උපදෙස වී තිබුණේ බයිපාස් සැත්කමකට ලක්වූ අයකු බැලීමට නොයා සිටීම වඩාත් සුදුසු බවය. ඒ නිසා රනිල් එහි ගියේ නැත.

ගෝඨා තවමත් ඇමරිකන් පුරවැසියෙක්

ගෝඨාභයට ජනාධිපතිවරණයේදී පොහොට්ටු‌වේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ඇති බාධාවන් ඉවත් කරගැනීමට හැකියාව තවමත් ලැබී නැත. සිය ඇ‍ෙමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට‌ නොහැකිව ලතවෙන ගෝඨා වෙනුවට ශිරන්ති රාජපක්ෂ අපේකෂකත්වයට පත් කරන්නේය යන දේශපාලන දඟ පන්දුවක් පසුගිය සතිය වන විට පොහොට්ටුව ඇතුළෙන්ම ජනගත කරමින් තිබුණේ එයට ලැබෙන ප්‍රතිචාර ගැන විමසිලිමත් වීමටය.

සිරිකොත වැඩ අරඹයි

එක්සත් ජාතික පක්ෂය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩකටයුතු ආරම්භ කරමින් තිබෙන්නේ මේ තත්ත්වය තුළදීය. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ සිරිකොත පක්ෂ මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින්ය.

"සිරිකොත වැඩ අරඹයි" එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ තේමාවයි. සිරිකොත පක්ෂ මූලස්ථානයට මෙවර වැඩි ශක්තියක් එක්වන්නේ නවීන් දිසානායක ඇමැතිවරයාගෙන්ය. නවීන් පූර්ණකාලීනව සිරිකොත පක්ෂ මූලස්ථානයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු බාරගන්නේ පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙසය. ඔහු මේ වන විට සතියක විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටින නිසා ලංකාවට පැමිණි වහාම සිය දේශපාලන මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇත.

දයා ගමගේත් ජනපති සටනට?

සිරිකොත වැඩ ආරම්භ කිරීමට පෙර මේ සතියේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වුණේය. මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා ගැන එහිදී විවිධ අදහස් මතුවන්නට විය.

"එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් තමයි ජනාධිපතිවරණයට දාන්න ඕන." කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් සියලු දෙනාගේම අදහස විය.

"එක්සත් ජාතික පක්ෂයේ කවුරුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්නේ නැතිනම් මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා." දයා ගමගේ කෘත්‍යාධිකාරී මණ්ඩලට දැනුම් දුන්නේය.

එජාපයෙන් අලුත් සංවිධායකවරු

ඒ අතරම ඔක්තෝබර් 26 වැනිදායින් පසුව එක්සත් ජාතික පක්ෂයට සහාය ලබාදුන් මැති ඇමැතිවරුන්ට ආසන සංවිධායක ධුර ලබාදීම පිළිබඳ සාකච්ඡා විය. පාඨලී චම්පික රණවක ඇමැතිවරයාට එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසනය ලබාදීමටත් විජිත් විජිතමුණි සොයිසාට කටාන ආසනය ලබාදීම ගැනත් එහිදී අවධානය යොමුවිය. මනුෂ නානායක්කාරට ලබාදීමට නියමිතව ඇත්තේ හිනිදුම ආසනයයි. පාඨලී සහ මනුෂ දැනටමත් තමන්ගේ සංවර්ධන වැඩසටහන් කරගෙන යන්නේ මහරගම හා හිනිදුම ආසන කේන්ද්‍ර කරගෙනය.

"මහා සංඝරත්නයට එක්සත් ජාතික පක්ෂය උදවු කළේ නෑ කියලා අදහසක් යනවා. ඒක වැරදි මතයක්. අපි රුපියල් බිලියන දහයක විතර ව්‍යාපෘති බුද්ධාගම වෙනුවෙන් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වගේ ප්‍රකාශ කරන්නේ ඇයි?" අගමැතිවරයා කෘත්‍යාධිකාරී මණඩලයට ඇතිවී තිබෙන තත්ත්වයන් ගැන කරුණු පැහැදිලි කරන්න විය.

ආණ්ඩුවෙන් සහන මල්ලක්

පසුගිය සතිය පුරාම එජාප ආණ්ඩුව ජනතාවට පසුගිය අයවැයෙන් ලබාදුන් පොරොන්දු ඉටු කිරීම සඳහා අගමැති රනිල් හා මුදල් ඇමති මංගල මෙන්ම ඇමති දයා ගමගේද විශාල පරිශ්‍රමයක් දැරීය. අලුතින් සමෘද්ධිය පවුල් ලක්ෂ 6කට ලබාදීම ඒ අතර මුල්තැනක් ගත්තේය. මේ වන විට පළාත් හා දිස්ත්‍රික් මට්ටමෙන් අවස්ථා කිහිපයකදී පවුල් ලක්ෂ 3කට ආසන්නව එම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු සිදුව තිබේ. තවද පසුගිය අයවැයේදී ආණ්ඩුව පොරොන්දු වූ පරිදි රාජ්‍ය සේවකයන්ගේ රුපියල් 2500 දීමනාව ඇතුළු සෙසු ප්‍රතිලාභ ලබාදීමද ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර මේ වන විට සම්පූර්ණ කොට තිබේ. එපමණක්ද නොව විශ්‍රාමිකයන් ලක්ෂ 6කට රු.3500 සිට 20,000 දක්වා ප්‍රතිලාභ ලබාදෙමින් මෙතෙක් පැවැති විශ්‍රාම වැටුප් විෂමතාවද නිම කිරීමට ඇමති මංගල සියලු කටයුතු සම්පූර්ණ කර තිබේ.

බ්‍රහස්පතින්දා අරලියගහ මැදුරේදී උදයේම රාජකාරි ඇරැඹූ අගමැති රනිල් අනතුරුව පාර්ලිමේන්තුව බලා ගියේය.

අගමැති සිංගප්පූරු ගියේ ඇයි?

"අගමැතිතුමාගෙ සිංගප්පූරු සංචාරය කොහොමද? ගෝඨාභය බලන්නත් ඒ ඉස්පිරිතාලෙට ගියාද? ගෝඨා බලන්නම සිංගප්පූරු ගියා කියලයි සමාජ ජාලාවල තිබුණේ" හේෂා විතානගේ කීවේ සිනාසෙමිනි.

"නෑ මම සිංගප්පූරු ගියේ නිල සංචාරෙකට. ඒ රටේ විදේශ හා ස්වදේශ කටයුතු ඇමතිවරු දෙදෙනා හා ඉහළ නිලධාරීන් හමුවෙලා ද්විපාර්ශ්වික කරුණු රැසක් කතා කළා. ගෝඨාභය බලන්න තිබුණා නම් හොඳයි. ඒත් බයිපාස් කරපු කෙනෙක් බලන්න යන එක ඔහුට කරදරයක්. ගෝඨාභයට ටිකක් රෙස්ට් කරන්න කියලා උපදෙස් ලැබුණු බවනම් මට ආරංචි වුණා." අගමැතිවරයා කීය.

"ගෝඨාභයට මීට පෙර ස්ටෙන්ත් එකකුත් දාලා තිබිලා තියෙනවා. මේ පාර කපාට දෙකකට ඕපන් බයිපාස් එකක් කරලා කියලයි ආරංචි. මේ ශල්‍යකර්ම දැන් බත් කනවා වගේ ඉතා පහසුවෙන තරමට වෛද්‍ය විද්‍යාව දියුණුයි." ඇමති නවීන් දිසානායක කීවේ එවැන්නකි.

විමල්ගේ අතීතය ආශූ හෙළිකරයි

"අපේ ආශු මාරසිංහ ගිය සතියේ පත්තර සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ හා විමල්ගෙ අතීතය එළි කිරීම හුඟක් වටිනවා කියලා හැමෝම කියනවා." හේෂා විතානගේ කීවේ අගමැතිටය.

"මොකක්ද ආශු එළිකරල තිබුණේ?" අගමැති විමසීය.

"නෑ අගමැතිතුමා, ජාතික නිදහස් පෙරමුණ පටන්ගත්තේ වීරවංශ නෙවෙයි කමල් දේශප්‍රිය මාන්නපෙරුම, නන්දන ගුණතිලකලයි. විමලුත් එතෙන්ට එකතුවුණා කියලයි මම එළිකළේ. අනික මම ඉංජිනේරු සංස්ථාවේ සභාපති වෙලා ඉන්න කාලෙ දක්ෂිණ අධිවේගයේ පිවිසුම් ඉදිකිරීමට මිලියන 1000කට වැඩි ටෙන්ඩරයක් සංස්ථාව තරග කරලා ලබාගත්තා. ඒක සංස්ථාවේ ඓතිහාසිකම අවස්ථාවක්. ඒත් මහින්ද රාජපක්ෂ හා වීරවංශ මට බලපෑම් කරලා වෙන කෙනකුට ඒ කොන්ත්‍රාත් එක දෙන්න කිව්වා. දූෂණවලට ඉඩදෙන්න බැරි නිසා මම සංස්ථාව දාල මම මගේ ජපාන මහාචාර්ය ඇදුරුකමට ගියා. ඊට පස්සෙ මහින්ද ජනාධිපතිතුමා ජපානයට ආවම භාෂා පරිවර්තක වුණේ මමයි. ඒ සංචාරයෙදී එතුමගෙ ක්‍රියාකාරකම් දැකලයි ඔහු පරාජය කළ යුතුම නායකයෙක් කියලා මම එවකට විපක්ෂ නායක වූ ඔබතුමා හමුවෙලා කිව්වෙ. ඔබතුමාට ඒක මතක ඇති" මහාචාර්ය ආංශු මාරසිංහ කී විට අගමැතිතුමා හිස සැලුවා මිසක කිසිවක් කීවේ නැත.

"මේ ජනාධිපතිවරණයට කලින් මහ ඡන්දයක් ගේන්න කෝටි 1000ක් විතර වියදම් කරලා ජනමත විචාරණයක් තියන්න හදනවා කියන මේ කතාව මොකක්ද?" ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම නවීන් දිසානායකද ඇසුවේ එකම පැනයකි.

"ඔය ප්ලාන්ට් කරන බොරු ප්‍රවෘත්ති ගැන කතා කරලා කාලය නාස්ති කරන්නෙපා" අගමැති කීය.

"දැන් රිෂාඩ් ඇමතිතුමාත් පරීක්ෂණයකට කලින් ඇමතිකමේ දිවුරුම් දෙයිද දන්නෙ නෑ." ආශු මාරසිංහ ඇසුවේ අගමැතිගෙනි.

"රිෂාඩ්ගෙ පරීක්ෂණ ඉක්මන් කරලා ඒ වාර්තාව අනුවයි තීන්දු ගන්න වෙන්නේ. ඒවා ඉක්මන් කරන්න දැන් වෙනමම කණ්ඩායමකුත් දාලයි තියෙන්නේ. රිෂාඩ් කාරක සභාවට කැඳවනවද නැද්ද කියල ආශුලටම තමයි තීන්දු කරන්න වෙන්නෙ." අගමැතිවරයා කීවේය.

නාමල්ගේ මඟුල මෝදිට කියයි

නාමල් රාජපක්ෂ පසුගිය සතියේදී මහින්ද රාජපක්ෂ සමඟ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට ගියේය. රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් ලෙස පැවති විනාඩි හයක සාකච්ඡාවේදී මහින්ද වැඩි වෙලාවක් වෙන් කර තිබුණේ නාමල් ගැන කියන්නය.

"නාමල්ගේ වෙඩින් එක මේ අවුරුද්දේ සැප්තැම්බර් 17 වැනිදා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාගේ උපන්දිනය දවසේ" මහින්ද නාමල්ගේ විවාහය ගැන මුල්වරට හෙළි කළේ ඉන්දීය අගමැතිවරයාටය.

නාමල් විවාහවීමට සූදානමින් සිටින්නේ වසර හයක ප්‍රේම සම්බන්ධයකින් පසුවය. නාමල්ගේ අත ගැනීමට සිටින තරුණිය වසර හයක් තිස්සේ සිටියේ ඇ‍ෙමරිකාවේය. ඇගේ මව ක්‍රීඩිකාවකි. පියා ව්‍යපාරිකයෙක්ය. ඔවුන්ගේ විවාහය ගන්නා තැනක් ගැන නම් තවම වැඩිදුර තොරතුරක් නැත. කෙසේ වෙතත් එය රටේ තවත් කතාබහක් ඇතිකරන විවාහ මංගල්‍යයක් විය හැකිය.

මාතෘකා