රාජ්‍ය පාලකයන් සංඝරත්නයේ උපදෙස් පිළිපැද්දොත් රටක් කවදාවත් වැරදි පැත්තට යන්නේ නැහැ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

රාජ්‍ය පාලකයන් සංඝරත්නයේ උපදෙස් පිළිපැද්දොත් රටක් කවදාවත් වැරදි පැත්තට යන්නේ නැහැ : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ලෝකයේ වෙනත් රටවල් හා ගත්විට බෞද්ධ රටක ජීවත් වෙන්නට ලැබීම පිළිබඳ මේ රටේ මුස්ලිම් සහ දමිළ ජනතාව සතුටු වෙන්නට ඕනෑ. ඒ මොකද ලෝකයේ බොහෝ රටවල තිබෙන අභ්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපි තවමත් ඉන්නේ හොඳ තැනක. තවමත් අපි ඉන්නේ හදා ගන්න පුළුවන් රටක. තවමත් අපි සිටින්නේ හැදෙන්න පුළුවන් තැනක. බොහෝ රටවල තිබෙන අභ්‍යන්තර තත්ත්වයන් ගත් විට උඩින් පෙනෙන දේ නෙවෙයි සැබෑවටම තිබෙන්නේ. හොඳ තත්ත්වයෙන් පෙනුණත් බොහෝ රටවල සැබෑ තත්ත්වය ඉතාමත් නරකයි.

රටේ යහපත් බව, විනය, මනුස්සකම, ආදරය, කරුණාව යන සියල්ල අපට උගන්වන්නේ බෞද්ධ දර්ශනය තුළින් බවත් රටක රාජ්‍ය පාලකයින් මහා සංඝරත්නයේ අනුශාසනා, උපදෙස් අනුව වැඩ කරන්නේ නම් රටක් කිසිසේත්ම වැරදි පැත්තට නොයන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (18) හඟුරන්කෙත, මාදන්වල රාජමහා විහාරයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිදන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය තුළ උගතුන්, පඬිවරුන් බිහි කිරීමට අතීතයේ සිටම ප්‍රධානම ස්ථානය වුණේ පිරිවෙනයි. ඒ තුළින් තමයි රටට උගතුන් බිහි වුණේ. පිරිවෙන බෞද්ධ භික්ෂුන් වහන්සේලාට පමණක් සීමා වුණේ නැහැ. ගිහියන් සඳහාද පිරිවෙන ප්‍රබල ශක්තියක් වුණා. අපට තිබෙන ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ කතාව කියවෙන විට මුල්ම පදනම ලබාදී ඇත්තේ පන්සල, පිරිවෙන තමයි. අපිට බෞද්ධ ඉතිහාසය, බෞද්ධකම ගැන කතාකරන විට අපේ රටට සීමා නොවූ ඊට එහා ගිය මහා ලෝකයක් තිබෙනවා.

මම ටජිකිස්ථානය කියන රටේ ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වෙලා ආවේ. ටජිකිස්ථානය මුස්ලිම් ජනතාව වෙසෙන රටක්. ඒ රටේ ලක්ෂ 100ක් පමණ ජනතාව ජීවත් වෙනවා. ඒ රට ආර්ථික වශයෙන් බොහොම ශක්තිමත් රටක්. ඒ රටේ නියෝජ්‍ය අගමැතිතුමා මාව එක්කගෙන ගියා කෞතුකාගාරය නරඹන්න.

එහි තිබුණා එයාලා ආරක්ෂා කරන, වටිනා වස්තුවක්. සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. ටජිකිස්ථානයේ ප්‍රධාන නගරයේ කිලෝමීටර් 200කට එහා විහාරයක් පිහිටුවලා තිබෙනවා. ඒ විහාරයේ සැතපෙන පිළිමයේ ආකෘතියක් තමයි ඒ ප්‍රමාණයෙන්ම නිර්මාණය කරලා කෞතුකාගාරයේ තැන්පත් කරලා තිබෙන්නේ.

“මුළු ආසියාකරයම බෞද්ධ සමාජයකින් පරිපූර්ණ වෙලා තිබිලා තිබෙන්නේ. ඒ තිබුණු බෞද්ධ සමාජයේ නටබුන් තමයි අද අපි බොහෝ විට දකින්නේ. ඒ නිසා අපට රාජ්‍ය පාලනය තුළ ගෞරවනීය මහා සංඝරත්නයේ අනුශාසනා, මඟපෙන්වීම ඉතාමත් වැදගත් වෙනවා.

රටේ යහපත් බව, විනය, මනුස්සකම, ආදරය, කරුණාව, මේ සියල්ල අපට ඉගැන්නුවේ බෞද්ධ දර්ශනයයි. ඒ නිසා තමයි ලෝකයේ බොහෝ රටවල්වලට වඩා රට තුළ කුමන විදියේ විවේචන තිබුණත් මේ රට තුළ යහපත් සමාජයක් තිබෙන්නේ. සමාජයේ යහපත් බව ආරක්ෂා කරන්නේ මහා සංඝරත්නයයි. පන්සල, වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කළේ මහා සංඝරත්නයයි. අපේ බෞද්ධ ශාසනය විදියට කතා කරන්න ඒ දැනුම, පසුබිම ලබා දී ඇත්තේ මහා සංඝරත්නයයි. ඒ නිසා රටක රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ අනුශාසනා, උපදෙස් අනුව වැඩ කරනවා නම් මම හිතනවා රටක් කිසිසේත්ම වැරදි පැත්තට යන්නේ නැහැ කියලා.

“ලෝකයේ වෙනත් රටවල් හා ගත්විට බෞද්ධ රටක ජීවත් වෙන්නට ලැබීම පිළිබඳ මේ රටේ මුස්ලිම් සහ දමිළ ජනතාව සතුටු වෙන්නට ඕනෑ.

ඒ මොකද ලෝකයේ බොහෝ රටවල තිබෙන අභ්‍යන්තර තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපි තවමත් ඉන්නේ හොඳ තැනක. තවමත් අපි ඉන්නේ හදා ගන්න පුළුවන් රටක. තවමත් අපි සිටින්නේ හැදෙන්න පුළුවන් තැනක. බොහෝ රටවල තිබෙන අභ්‍යන්තර තත්ත්වයන් ගත් විට උඩින් පෙනෙන දේ නෙවෙයි සැබෑවටම තිබෙන්නේ.

හොඳ තත්ත්වයෙන් පෙනුණත් බොහෝ රටවල සැබෑ තත්ත්වය ඉතාමත් නරකයි. නොසන්සුන්. මේ අසල්වැසි රටක විශ්වවිද්‍යාලයට තේරුණු දරුවන්ගෙන් එක් ගැහැනු දරුවෙක්ව පසුගිය කාලයේ පාගලා මරලා තිබුණා. මේක සත්‍ය කතාවක්.

ඇයි ඒ පාගලා මැරුවේ. ඒ, විශ්වවිද්‍යාලයේ සිටින අනෙක් දරුවන්ට වඩා කුලයෙන් අඩු කෙනෙක් මේ විශ්වවිද්‍යාලයට පැමිණියා කියලා. එහෙම සමාජයක් මේ ලෝකයේ තිබෙනවා.

ඒ නිසා තාක්ෂණයෙන් කොච්චර දියුණු වුණත් ධනවත් කමින් කොච්චර දියුණු වුණත් ගුණයහපත්කමින්, මනුස්සකමින්, හැදිච්චකමින්, විනීතකමින් ලෝකයේ බොහෝ රටවලට වඩා අපි ඉන්නේ ඉහළින්. ඒ නිසා අපි තවමත් ඒ ගැන සතුටු වෙන්න ඕනෑ.

“මේ වගේ ග්‍රාමීය, පිටිසර, සුන්දර පරිසරයක වසරක් වැනි කාලයකින් මේ චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිකර අවසන් කර තිබීම ඉතාම හොඳ ප්‍රගතියක්. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනෑ.

විහාරස්ථානයක වෙසෙන විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන ඒ නායකත්වය, කැපවීම ඒ ඕනෑකම උනන්දුව තමයි විහාරස්ථානයේ දියුණුවට ප්‍රධාන වශයෙන්ම මූලික වන්නේ.

ඒ නිසා උන්වහන්සේගේ තිබෙන ධෛර්යසම්පන්නභාවය කැපවීම විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිවෙනේ වැඩවෙසෙන ස්වාමීන් වහන්සේලාත් ඒවගේම දායක සභාවත් මේ කටයුතුවලදී දක්වන උනන්දුව, ඕනෑකම, කැපවීම, පරිත්‍යාගශීලීභාවය ඉතා අගය කරමින් බෞද්ධ දර්ශනයේ පදනම තුළ මේ රට යහපත් රටක් කරන්න සියලු දෙනාම කැපවෙමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමින් මගේ කෙටි වචන ස්වල්පය අවසන් කරනවා.”

මාතෘකා