ඉන්නේ එච්චරද?

 ඡායාරූපය:

ඉන්නේ එච්චරද?

එතුමාගෙ වැඩ ගැන දන්න නිසා මම එතුමට බයයි කියන කතාව ඇත්තම ඇත්ත. මොකද මම විතරක් නෙවෙයි මේ රටේ බොහෝ දෙනා ගෝඨාභය රාජපක්ෂට පුදුම බයක් තියෙන්නෙ; මොකද එතුමගෙ හැකියාව ගැන මට හොඳ දැනුමක් තියෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත සිදු වී ඇති බවට සැකකෙරෙන අපරාධ මෙතන තියෙනවා.

1982දී ජනාධිපතිවරණය සමයේ ජේ.ආර්.ගේ ප්‍රතිවාදියා වූයේ හෙක්ටර් කොබ්බෑකඩුවය. ජනාධිපතිවරණ රැස්වීමක් අමතමින් කොබ්බෑකඩුව වරක් කීවේ ‘තමන්ගේ නහයත් ජේ.ආර්.ගේ නහය වගේ’ කියාය. ජේ.ආර්. මේ කතාවට මෙහෙම උත්තර දුන්නේය.

"කොබ්බෑකඩුව උන්නැහේ කියනවා එයාගෙ නැහැයත් මගේ නැහැය වගේ දිගයි කියලා. මම අහනවා එතුමාගෙන් නැහැයෙන් පුළුවන්ද ආණ්ඩු කොරාන්ඩ කියලා. ඒකට මොළේ වුවමනායි."

විපක්ෂය මේ දිනවල ජනපති සටනට අපේක්ෂකයන් සොයයි. එහෙත් ඒ කවුරුත් රාජපක්ෂලාගෙන් තොර අයකු නොවන බව ඔවුන්ගේ නිගමනයයි. ජේ ආර් කී කතාව අදටත් අදාළ ඒ හින්දාමය. අද ජේ ආර් හිටියා නම් කියනු ඇත්තේ ‘රාජපක්ෂලා වූ පළියට ආණ්ඩු කරන්නේ කොහොමද?’ කියාය.

විපක්ෂය මේ දවස්වල බර තබා තිබෙන දේශපාලන සලකුණු වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදර තුන්කට්ටුවයි.

‘ඔබ සූදානම් නම් මාත් සූදානම්’ යැයි කී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් දෙසැම්බර් 09 වැනිදාට පොහොට්ටුවේ ජනාධිපතිවරයකු දිවුරුම් දෙන බව කියන බැසිල් රාජපක්ෂත් මාත් සූදනම් යැයි කියන චමල් රාජපක්ෂත් ඒ සහෝදර තුන්කට්ටුවයි.

ඔවුහු දෙදෙනාම මේ වන විට මුදල් අවභාවිතය පිළිබඳ නඩුවලට මැදිහත් වී සිටිති. බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මේ වන විට නඩු කිහිපයක්ම විභාග වන අතර පසුගිය සතියේ ගම්පහ මහාධිකරණයේදී විභාග වූයේ ඔහුට අයත් බවට කියැවුණු මල්වානේ සුපිරි නිවස ඉදිකිරීම සම්බන්ධ නඩුවයි. එම නඩුව පසුගිය සිකුරාදා විභාග වුණු අවස්ථාවේදීද වෙනදා නැති කරුණු කිහිපයක් එළියට ආවේය.

මල්වානේ ගඟබඩ පාර මහවත්ත අංක 111/03 දරන ස්ථානයේ පිහිටි අක්කර 16ක එම ඉඩම සම්බන්ධයෙන් ආන්දෝලනයක් එන්නේ 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයෙන් පසුවය. එම ඉඩමෙහි සහ ඉදිකිරීම්වල සමස්ත වටිනාකම තක්සේරු කොට ඇත්තේ රුපියල් විසිකෝටි අසූ ලක්ෂයක් වන බවය. එම ඉඩම මුලදී බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට කියැවුණු අතර පසුව එයට නිශ්චිත හිමිකරුවකු නැති තත්ත්වයක්ද ඇති විය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ විභාග වන එම නඩුව පසුගියදා විභාගයට ගත් අවස්ථාවේදී එම ඉඩමෙහි හිමිකරු ලෙසින් වරක් පෙනී සිටි; එසේම එම විසල් නිවසේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කළ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියකු වන මුදිත ජයකොඩි මහතා හෙළි කළ කරුණුය.

දිවිනැඟුමේ මුදල් වංචාවක් ගැනද චෝදනා සහ නඩුවක් බැසිල්ට එරෙහිව තිබේ. ඒවා මුදල් ගැන නඩුය. අහිංසකයකු තමන්ගේ දරුවාට කෑම වේලක් දෙන්නට කිසිවක් නැතිකමට අල්ලපු වත්තක කෙසෙල් කැනක් කැපුවොත් ඔහු ජීවිත කාලයටම 'හොරා' කියා නාමකරණය වෙයි. හැබැයි බැසිල්ලාට එහෙම නැත. බැසිල් මෙහි ඉන්න පැත්ත ඉදිරියේදී හෙළිවනු ඇත.

ජනාධිපති වෙන්න සිහින දකින අනෙක් කෙනා ගෝඨාභය රාජපක්ෂය.

ගෝඨා කවුද කියා බොහෝ දෙනෙක් දනිති. නම කී සැනින් භීතියෙන් තිගැස්සෙන අතීත ක්‍රියාකාරකම් ගොන්නක් ඔහු සතු වෙයි. සිනාසෙන දඩයක්කාරයකුට සරලම උදාහරණය ඔහුය. බැසිල් කවුද කියා කවුරුත් හොඳින් දනිති; ඒ වගේම ගෝඨා කවුද කියාත් දනිති. වරක් ගෝඨා මංගල සමරවීර අරබයා අමුතු කතාවක් කීවේය. 'මංගල මගේ වැඩවලට බයයි' ඒ අමුතු කතාවය. මංගල ඊට පිළිතුරු දුන්නේ 2018. මැයි. 22 දින දීය. ඒ මෙන්න මෙහෙමය.

'එතුමාගෙ වැඩ ගැන දන්න නිසා මම එතුමට බයයි කියන කතාව ඇත්තම ඇත්ත. මොකද මම විතරක් නෙවෙයි මේ රටේ බොහෝ දෙනා ගෝඨාභය රාජපක්ෂට පුදුම බයක් තියෙන්නෙ; මොකද එතුමගෙ හැකියාව ගැන මට හොඳ දැනුමක් තියෙනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත සිදු වී ඇති බවට සැකකෙරෙන අපරාධ මෙතන තියෙනවා.'

මංගල කී පරිදි ගෝඨාගේ අතීත වැඩ කලාව කෙබඳුද?

“යුද හමුදා බුද්ධි සාමාජිකයන් විසින් 2008. 05. 20 දින දෙහිවලදී 'ද නේෂන්' පුවත්පතේ කර්තෘ පැහැරගෙන ගොස් රඳවා තබාගෙන අමානුෂික ලෙස පහර දීම හේතුවෙන් මේජර් ‍ෙජනරාල් අමල් කරුණාසේකර ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 8 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. මම හිතන්නෙ අමල් කරුණාසේකර ඇරෙන්න සෙසු සැකකරුවන් නිදහස් කළා. හැබැයි මම හිතන්නෙ අමල් කරුණාසේකරටවත් මේ අනිත් සාමාජිකයන්ටවත් කීත් නොයාර් ගැන තරහක් තිබුණෙ නෑ. මේ අය කළේ අපි දන්න විදියට ඉහළින් ආපු නියෝග ක්‍රියාත්මක කිරීම. 2009-01-08 වැනි දින ගල්කිස්ස පොලිස් වසමේදී බුද්ධි අංශ සාමාජිකයන් විසින් සන්ඩේ ලීඩර් පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා උල් ආයුධයකින් ඇන ඝාතනය කිරීම, වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් 21 දෙනකු ඝාතනය කිරීම, ඒ වගේම යුද්ධ හමුදා බුද්ධි සාමාජිකයන් විසින් රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම, එක්නැලිගොඩ පැහැර ගැනීම හා වැලිවේරියේදී උද්ඝෝෂණයේ යෙදුණු අයට පහර දීම. බුදු අම්මෝ මේ වගේ ඒවා අහනකොට බය වෙන්නෙ නැත්ද? මේ ඔක්කොම අපි දන්නවා. මේ හැම එකක්ම පිටුපස හිටියේ අපි බය විය යුතු ගෝඨාභය රාජපක්ෂ. හමුදාවෙ අයට මේවා කරන්න කිසිම වුවමනාවක් නෑ. ඔවුන්ට මේව කරන්න වුණේ රාජකාරියෙම කොටසක් විදියට. උදාහරණයක් විදියට එක්නැලිගොඩ සාක්ෂි විභාගයේ කට උත්තරේම තියෙනවා කට උත්තරේ දීපු බුද්ධි අංශ සාමාජිකයව එක්කගෙන යන්න ගෙදරට ආපු අනිත් පුද්ගලයා කියලා තියෙන්නේ ‘එන්න යන්න. මේක සෙකට්‍රිගෙ වැඩක්’ කියලයි. කවුද මේ සෙකට්‍රි. ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය, වීරකැටියේ ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය; ඇත්ත වශයෙන්ම ඉතාම වටිනා මා පිය යුවළක්; ස්මාරකයක් හදලා සැමරිය යුතු පුද්ගලයන්. නමුත් රටේ සල්ලි හොරකම් කරලා තමන් අනුස්මරණය කළා කියල දැන ගත්තා නම් එයාලත් කනගාටු වෙනවා කියල මම දන්නවා.

මිග් යානා ගනුදෙනුව කියන්නෙ ආරක්ෂක ලේකම්වරයා හොඳින්ම දැන දැන එංගලන්තයේ ඇඩ්‍රස් එක නැති බෙලීසිමා කියලා ආයතනයකට චෙක් එකක් ලිව්වා. ඒ ලබා දුන්නු චෙක් එකයි යුක්‍රේනයේ රජයට ලැබුණු චෙක් එකයි අතර ඩොලර් මිලියන 7.8ක වෙනසක් තිබුණා. ඩොලර් මිලියන 7.8ක මහා හොරකමක් වුණා. මේවට උත්තර දෙන්නෙ නැතුව අපට මඩ ගගහා මෙයා මොකද කරන්නෙ; උසාවියෙනුත් හැංගෙනවා. උසාවියට යන්න ඉස්සර වෙලා කෝටි ගණන් වියදම් කරලා දක්ෂ නීතිඥයො එකතු කරගෙන උසාවියෙන් තමන්ව අත්අඩංගුවට ගන්න එපා කියලා නියෝග දෙකක් දැන් අරගෙන තියෙනවා. ඔය කියන තරම් මෙතුමා අහිංසක නම් මම කියන්නෙ උසාවියට මුහුණ දෙන්න."

ගෝඨා ගැන තවත් අටුවා කුමකටද?

පොහොට්ටුවෙන් ජනාධිපති වෙන්න හීන දකින අනෙක් පුද්ගලයා චමල් රාජපක්ෂය. චමල් කවුද කියා හම්බන්තොටින් ඔබ්බට දන්න කෙනෙක් නැත. ඔහු මහින්ද අමරවීරටත් වඩා අඩුවෙන් මනාප ගත්තෙකි. ඒ විතරක් නොව ඔහු කියන තරම් සුදු චරිතයක්ද? හිටපු කථානායක චමල් රාජපක්‍ෂගේ අවධියේ කථානායක නිල නිවසේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස් වී ඇති බව කෝප් කමිටුවේදී හෙළි විය. චමල් කියන 'හොඳ ළමයා'ගේ චිත්‍රයේ සත්‍ය හෙළිවන්නට වූයේ ඊට පසුවය. සාමාන්‍ය පෙළවත් සමත් නොවූ සභාපතිවරයකු වූද ශ්‍රීලන්කන් ගුවන් සේවය සමතළා කිරීමේ නියමුවා වූද ශිරන්ති රාජපක්ෂගේ සොයුරා වූ නිශාන්ත වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එවක ගුවන් සමාගමට එයාර් බස් 08ක් මිලදී ගැනීමේ සාකච්ඡාවක් සඳහා චමල් එක් වූයේද? නැද්ද? පිළිතුර ඔහු දිය යුතුය. අදාළ කැබිනට් පත්‍රිකාව එවකට මුදල් අමාත්‍ය වූ මහින්දගේය. කොහොම බැලුවත් දැන් රාජපක්ෂලාගේ සත්‍ය නිරුවත ලෝකයා දනිති. සමහරු පමණක් දැනගෙන නොදන්නා සේ හිඳිති. එන ජනපතිවරණය සුවිශේෂ වන්නේ මෙවන් පසුබිමකය. යුද උන්මාදයෙන් ඔල්මාදේ වැටුණු රටක් හදා තමන්ට වාසිදායකම පිටියේ සෙල්ලමින් සල්ලම් වූ මහින්ද එක්ක බලද්දී බැසිල්ලා, චමල්ලා, ගෝඨලා කවුද? අවසන් වශයෙන් 2015 පොදු අපේක්ෂකයාට එරෙහිව මහින්දලා කළ 'අපුල' මැතිවරණ ව්‍යාපාරයේදී කළ ඉතාම පහත් දැන්වීම් කිහිපයක් තිබිණි. ඉන් එකක් 'යහපාලන කැඳ හැලිය' දැන්වීමය. මේ වතාවේ පවුලේ කැඳ හැලිය හැදෙන පැත්ත නම් දැනටමත් පෙනෙන්නට තිබේ. අලුත් පන්නයේ සෙල්ලම් ඉස්සරහටය.

මාතෘකා