ශ්‍රීලනිප සමඟ මතභේදය උග්‍ර වෙයි

 ඡායාරූපය:

ශ්‍රීලනිප සමඟ මතභේදය උග්‍ර වෙයි

රොනී ද මැල් යනු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දශක හතරක කාලයක් පුරා අඛණ්ඩව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් හා අමාත්‍යවරයෙකි. මෙරට ප්‍රධාන ධාරාවේ පක්ෂ දෙකම නියෝජනය කරමින් කටයුතු කළ ඔහු, වර්ෂ

1977-1987 දක්වා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා ලෙස අයවැය වාර්තා එකොළහක් අඛණ්ඩව ඉදිරිපත් කරමින් මෙරට ආර්ථික දේහය උඩු යටිකුරු කළේය. එමෙන්ම විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් මෙරට සමස්ත සන්දර්භය නවමු මාවතකට විවර කර දුන්නේය. අද පළවන්නේ එම අසහාය දේශපාලනඥයාගේ ජීවන මඟ පිළිබඳ 'රැස' පුවත්පත ගෙන එන ලිපි මාලාවේ විසිඑක් වන කතාංගයයි.

ජ.වි.පෙ. කැරලිකරුවන් වෙත රොනීගේ වූ දයාව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ දැඩි විවේචනයට හේතුවිය. ඒ අතරින් රොනීගේ ප්‍රධාන විවේචකයා වූයේ ආරක්ෂක අමාත්‍ය, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාය. ඔහු රොනීගේ ක්‍රියාකලාපය පිළිබඳ අගමැතිවරියට චෝදනාත්මකව වාර්තා කර තිබිණි. විවාද අවස්ථාවන්හිදීද ෆීලික්ස් ඩයස් මහතා දැඩි ස්වරූපයෙන් රොනී විවේචනය කිරීමට කටයුතු කළේය.

ඒ අතර, රොනී සිය පිළට එක් කර ගැනීම වෙනුවෙන් ජේ.ආර්. දියත් කළ මෙහෙයුම ඔහු අත හැර නොතිබිණි. ආණ්ඩු පක්ෂය තුළින් රොනීට විරෝධතා එල්ල වීම දැඩි වත්ම, විපක්ෂ නායක ජේ.ආර්. ට එය වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර දුන්නේය. ශ්‍රීලනිපයෙන් රොනීගේ දෑත් ලිහිල් වත්ම, එ.ජා.ප.ය ඔහුගේ දෑත් දැඩිව ග්‍රහණය කර ගැනීමේ අපේක්ෂාවෙන් පසු විය. මේ අතර ඉන්දියන් හවුස් හමුවීමෙන් පසු රොනී හමුවීමට විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මහතා රොනීගේ කොල්ලුපිටිය, චාල්ස් රිය මඟ පිහිටි නිවසට පැමිණියේය. එම හමුවීම පළමු හමුව මෙන් කෙටි වූවක් නොවේ. මල්ලිකා ද මැල් මහත්මිය විසින් සකස් කළ අවුළුපත් හා තේ සංග්‍රහයන් මැද පැවති මෙම හමුවීම ජේ.ආර්. කෙරේ රොනීගේ විශ්වසනීයත්වය තහවුරු වූ අවස්ථාවක් විය. එම හමුවීමෙන් පසු රොනීගේ නිවසේත් ජේ.ආර්. ගේ වෝඩ් පෙදෙස, “බ්‍රේමා” නිවසේත් ජේ.ආර්. සහ රොනී සාකච්ඡා යටත් පිරිසෙන් සතියකට වරක් හෝ පැවැත්විණි.

එම හමුවීම්වල මාතෘකා බවට පත්ව තිබුණේ ආණ්ඩුව පෙරළා දමා බලය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ගැන නොවේ. සෑම සාකච්ඡා වාරයකදීම මාතෘකා වූයේ අනාගත රජයක් තුළින් සිදුකිරීමට නියමිත ව්‍යාපෘතීන් හා වැඩපිළිවෙළෙහි හැඩරුව පිළිබඳය. නිසි කලට, නිසි විලස ආණ්ඩු පෙරළියට ඇති හැකියාව හා ඒ සඳහා තම පිරිවරගේ ශක්තිය පිළිබඳ ජේ.ආර්. තුළ පැහැදිලි තක්සේරුවක් විය. බලය ලද පසු සැලසුම් සකසමින් හෝ ශක්‍යතා අධ්‍යයන කරමින් කාලය කා දැමීමට ඔහු අපේක්ෂා නොකළේය. එබැවින් යම් විවේක සුවයෙන් සිටින විපක්ෂ කාලය සිය අනාගත රජයේ සැලසුම් ගත ක්‍රියාවලිය වෙනුවෙන් යොදා ගැනීම ජේ.ආර්.ගේ අරමුණ විය. ජේ.ආර්. ඉදිරිපත් කරන යෝජනාවල ගැඹුරු අර්ථය තේරුම් ගැනීමට තරම් රොනී පරිණත වූ අතරම රොනීගේ අංක ගණිත සිද්ධාන්ත පිළිගැනීමට තරම් ජේ.ආර්. ද මුදල් විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමකින් යුක්ත විය. මේ හේතූන් දෙදෙනා අතර පිළිගැනීම හා එකඟවීම් මෙන්ම සැලසුම් සාර්ථක කර ගැනීමට ඉවහල් වූවාට සැක නැත.

තම අනාගත ආණ්ඩුවේ මුදල් අමාත්‍ය තනතුර දරන්නා රොනී බැව් ජේ.ආර්. ඒ වන විට සපථ කොට තිබිණි. එය ජේ.ආර්. ජයවර්ධනයන් හා රොනී පමණක් දැන සිටි රහසක් විය. ජේ.ආර්.ගේ පොරොන්දුව වනාහී, රොනී විසින් සිය දේශපාලන දිවිය තුළ එළිකර ගැනීමට අපේක්ෂා කළ ස්වර්ණමය සිහිනය විය. එම සිහිනය ඉටු කර ගැනීම හරහා නොමැකෙන සේවාවක් සිදු කිරීම රොනීගේ පරම අභිලාෂය විය. තමා තුළ වූ හැකියාවන් පිළිබඳ ජේ.ආර්. ජයවර්ධන මහතා මේ තරම් දැන සිටීම පිළිබඳ රොනී මවිත විය. මීට පෙර තමා ජේ.ආර්. ජයවර්ධනයන් සමඟ සබඳතා නොපැවැත්වුවද, ජේ.ආර්. ජයවර්ධනයන් තමා පිළිබඳ දුර සිට සූක්ෂ්ම අයුරින් අධ්‍යයනය කොට ඇති බව රොනීගේ වැටහීම විය. එමෙන්ම මුදල් අමාත්‍ය තනතුර වැනි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ධුරයක් මේ වන තෙක් එ.ජා.ප.යට පවා එක් නොවූ තමා වැන්නකුට ලබා දීමට යෝජනා කිරීම පිළිබඳ ඔහුට ඇදහිය නොහැකි විය.

ජේ.ආර්. ජයවර්ධනයන් සමඟ අනාගත ආණ්ඩුවේ ආර්ථික ව්‍යුහය සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරවාරයේදීම වෙනත් මාතෘකාවක් යටතේද රොනීගේ නිවසේ තවත් කථිකාවක් පැවැත්විණි. ඒ ජනතා විමුක්ති පෙරමුණට හිතවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමඟය. මෙම සාකච්ඡා මාලාවන් දෙක එකිනෙකට වෙනස් වූ සිද්ධාන්ත මත පදනම් වූ ඒවා විය. ජ.වි.පෙ. - රොනී සාකච්ඡා සඳහා සහභාගී වී සිටියේ රෝහණ විජේවීරට හිතවත් පූර්ණ කාලීන පක්ෂ ක්‍රියාකාරියෙක් හා විජේවීර නියෝජනය කරමින් ඔහුගේ සහෝදරයකුය. එම සාකච්ඡා හරහා ජ.වි.පෙ. සමඟ වූ මිත්‍රත්වය තර කර ගැනීමට රොනීට අවස්ථාව උදා විණි.

 

මෙම සමය වන විට 71 කැරැල්ල අසාර්ථක අවසානයට ළඟා වී තිබිණි. වරකාපොල, රාජාංගනය, කතරගම, ඌරගහ සහ දෙනියාය පොලිස් ස්ථානවලට පහරදී ඒවා යටත් කරගත් කැරලිකරුවන් කැරලි සමය තුළ ආරක්ෂක අංශ සාමාජිකයන් 63ක් ඝාතනය කර තිබිණි. රජයේ දත්ත අනුව මරාදමන ලද කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 1200ක් වුවද, නොනිල වාර්තාවලින් කියැවුණේ එය 5,000ක් පමණ වන බවයි. කැරැල්ල අතරතුර රජයේ හමුදා සිදුකළ ම්ලේච්ඡතම ඝාතනය ලෙස වාර්තා වූයේ කතරගම රූපසුන්දරිය වූ ප්‍රේමවතී මනම්පේරි තරුණිය දූෂණය කොට මරා දැමීමයි. අත්අඩංගුවට පත්වූ සහ රජයේ හමුදාවන්ට බාරවූ කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 18,000ක් පමණ වූහ. 1971 අප්‍රේල් 05දා වැල්ලවාය පොලිස් ස්ථානයට පහර දෙමින් ඇරඹි අප්‍රේල් කැරැල්ල 1971 ජුනි මැද භාගයේදී නිමාවට පත් විය. ඔවුන් සඳහා දඬුවම් පැමිණවීමට පවත්නා නීතිය ප්‍රමාණවත් නොවූයෙන් නව නීතියක් යටතේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමටද රජය කටයුතු කළේය. ඒ යටතේ පසිඳලූ 71 මහනඩුව මගින් රෝහණ විජේවීර ඇතුළු චූදිතයන් 41 දෙනෙක් නම් කොට තිබිණි. ඔවුන් සඳහා විවිධාකාර මට්ටමේ දඬුවම් නියම වූ අතර, නඩුවේ 13 වැනි විත්තිකරු වූ ජ.වි.පෙ. නායක, රෝහණ විජේවීර මහතා දිවි ඇති තෙක් සිරභාරයට පත් කොට යාපනය බන්ධනාගාරයේ දැඩි රැකවල් මැද රඳවනු ලැබීය.

1972 වසරද මෙරට ඉතිහාසයේ නොමැකෙන

මං සලකුණක් සටහන් වූ වසරකි. ඒ බ්‍රිතාන්‍යයන් විසින් 1948දී මෙරටට ලබා දුන් ඩොමීනියන් තත්ත්වයෙන් මිදී පූර්ණ නිදහස අප වෙත ලබා ගැනීම හේතුවෙනි. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද රටට හඳුන්වා දෙනු ලැබූ අතර එම ව්‍යවස්ථාවේ නිර්මාපකයා වූයේ නීතිඥ කොල්වින් ආර්. ද සිල්වා මහතාය.

72 වසරේදී සමගි පෙරමුණු ආණ්ඩුවේ ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍ය, හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පාර්ලිමේන්තුවට විශේෂිත වූ පනත් කෙටුම් පතක් ඉදිරිපත් කළේය. මහා පරිමාණ වතු හා ඉඩම් ජනසතු කිරීමේ අරමුණින් ගෙන ආ මෙය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත නම් විය. මෙම පනත මගින් බ්‍රිතාන්‍ය සම්භවයක් සහිත බහුජාතික වතු සමාගම් සතු දේපළ රාජසන්තක කිරීම අපේක්ෂා කළද දේශීය ධනපතීන් අත වූ වැවිලි සමාගම් සතු දේපළද ඒ යටතේ පවරා ගන්නා ලදි. ඉහත කී පනත හරහා ඉඩම් අක්කර ලක්ෂ පහක් එම අවදියේදී ජනතා සන්තක විය.

වතු ජනසතුව හරහා රොනී ද මැල් මහතාගේ පවුලේ සමාගම් වලට අයත් අක්කර හාරදහස් පන්සීයක්ද ඔවුන්ට අහිමි විය. රොනීගේ මාමණ්ඩිය වූ ශ්‍රීමත් ලියෝ ප්‍රනාන්දු මහතාට අයත්ව තිබී විවාහයෙන් පසු තමන්ටද හිමිකම් ලද අක්කර පන්දහසකින් යුතු බුලත්සිංහල, ගීකියනකන්ද වතුයාය මෙම පනත හරහා රජයට පවරා ගන්නා ලදි. එසේ ඉඩම් ජනසතු කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් රොනී පැවසුවේ, මෙම පනතින් තම පරපුරේ සුවිසල් දේපළක් සිය පවුලට අහිමි වුවද මෙම ප්‍රගතිශීලී පියවර සඳහා තමා අත් දෙකම ඔසවා ඡන්දය ප්‍රකාශ කරන බවයි. ආණ්ඩුවේ ඇතැම් බලධාරීන් මෙම පනත සම්මත වීමට පෙර ඔවුනොවුන් සතු විශාල වතුයායවල් කොටස් කර විවිධ පාර්ශ්ව වෙත ඔප්පු මගින් පවරා දී ඒවා රැක ගැනීමේ පිළිකුල් සහගත ක්‍රියාවලියක නිරත වුවද, රොනී නිර්ලෝභීව සිය දේපළ ජනතාවට ප්‍රදානය කරමින් ආදර්ශවත් පියවරක් අනුගමනය කළේය. කෙසේ වුවද එම ප්‍රගතිශීලී පියවරෙන් අනතුරුව ලියෝ ප්‍රනාන්දු දරුවන්ට හා මැල්වරුන්ට ඉතිරි වූයේ අක්කර පන්සීයක් වැනි භූමි ප්‍රමාණයක් පමණි.

විපක්ෂයේ සිටියදී රොනී පාර්ලිමේන්තුවට යෝජනා කළ දෙවිනුවර පූජා භූමි සංවර්ධන සැලැස්ම හා රුහුණ සරසවිය ස්ථාපිත කිරීමට අදාළ යෝජනාව විවිධ හේතූන් මත එදා ක්‍රියාත්මක නොවුණි. එහෙත් ආණ්ඩු පක්ෂයේ ගත කරන මෙසමයේ එය ඉටු කර දේය යන විශ්වාසය ඔහු කෙරෙන් ඈත්ව නොතිබිණි. ඒ අනුව ඔහු නැවතත් එම යෝජනා ඉදිරිපත් කළද එවර ඒවා ප්‍රතික්ෂේප වූයේ මුදල් ප්‍රතිපාදන නොමැති බැව් පවසමිනි. ශ්‍රීලනිපයේ ඇතැම් අමාත්‍යවරුන් අවඥාවෙන් යුතුව රොනීගේ රුහුණ සරසවි යෝජනාව බැහැර කළේ, දකුණට සරසවියක් දීමෙන් රොනී උත්සාහ කරනුයේ චේගුවේරා කාරයන් රටට බෝ කිරීමට බව පවසමිනි. රුහුණට විශ්වවිද්‍යාලයක් ලබා නොදීමට 71 කැරුල්ලේ භීතිය බොහෝ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් යොදා ගන්නා බව මොනවට පැහැදිලි විණි.

මේ සියලු කරුණු කාරණා හරහා සිදුවූයේ රොනී හා ශ්‍රීලනිප ආණ්ඩුව අතර වූ මතභේදය තව තවත් ඔඩු දිවීම පමණි. තමාගෙන් පළි ගැනීම උදෙසා දකුණේ සංවර්ධන යෝජනා නොසලකා හැරීම ඔහුගේ කෝපයට හේතුවූ කරුණක් විය. ආණ්ඩුව තුළ රොනී හුදෙකලා වන්නට වූ අතර එම තත්ත්වය විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ රොනීට ළං වීමට අවශ්‍ය පමණටත් වඩා සාධක සැපයීය.

හාල් පොලු, මිරිස් පොලු සමඟින් රට පෝලිම් යුගයකට..? ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මීළඟ සතියේ දී...

[උපුල් ඉන්දික ගලප්පත්ති]

මාතෘකා