මෝදිගේ ඒම යාම සහ දේශපාලන රහස් කතා

 ඡායාරූපය:

මෝදිගේ ඒම යාම සහ දේශපාලන රහස් කතා

මෝදිගේ ලංකා සංචාරය ඉතාම කෙටි වේලාවකට එහෙත් වේලාවෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි ආකරයට සංවිධානය වී තිබුණේය. මෝදිගේ පරිවාර ඇමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස කටයුතු කළ අතර මෝදි කටුනායක ගුවන් තොටුපොළේදී පිළිගත්තේ අගමැති රනිල් වික්‍රමසිංහය.

ශ්‍රී ලංකාව යළි නැඟී සිටිනු ඇති බව මට විශ්වාසයි. බියගුළු ත්‍රස්ත ක්‍රියාවලට ශ්‍රී ලංකාවේ ජීව ගුණය පරාජය කළ නොහැකියි. ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අප එකට ඉන්නවා.

මෝදිට ජනපති කළ ආරාධනාව

දෙවැනි වරටත් විශාල ජනමතයක් සමඟින් අගමැති ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි තමන්ගේ දෙවැනි ධුර කාලයේ පළමු විදේශ සංචාරය ලෙස තෝරා ගත්තේ ලංකාවයි. මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලංකාවේ නිල සංචාරයකට එන්නැයි කෙලින්ම ආරාධනා කර තිබුණේ මෝදිටය. ඒ වෙලාවේදීම තමන්ගේ දිනපොත ගෙන්වා ගත් මෝදි ලංකාවේ සංචාරයක් සඳහා දින වෙන්කර ගත්තේය. විදේශ කටයුතු අමාත්‍යාංශය, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරුණේ ඉන් පසුවය.

මෝදිගේ ලංකා සංචාරය ඉතාම කෙටි වේලාවකට එහෙත් වේලාවෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි ආකාරයට සංවිධානය වී තිබුණේය. මෝදිගේ පරිවාර ඇමැතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස කටයුතු කළ අතර මෝදි කටුනායක ගුවන් තොටුපොළේදී පිළිගත්තේ අගමැති රනිල් වික්‍රමසිංහය. රනිල් සමඟ ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහද එහි ගොස් සිටියේය.

මෝදිගේ සංචාරය අතරවාරයේදී සාකච්ඡා සඳහා වේලාවන් වෙන් කර ගැනීම කාටත් ප්‍රශ්නයක් වී තිබුණේය. ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ඇතුළු තවත් විශාල පිරිසක් සිටියේ මෝදි හමුවීමේ අපේක්ෂාවෙන්ය.

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට එන විටදීත් කොළඹ සිට නැවත කටුනායක ගුවන්තොටුපොළට යන අතරවාරයේදීත් අගමැති රනිල් මෝදි සමඟ සාකච්ඡා කරන්නට විය.

එකම කුඩේ යට ගිය නායකයෝ

මෝදි පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේය. ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීමට පෙර ටාජ් සමුද්‍රා හෝටලයට ගිය මෝදි ටික වේලාවක් විවේකයෙන් සිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය. ඒ වන විට කොළඹට අධික වැසි ඇදහැළෙමින් තිබුණේය. හමුදා උත්තමාචාර සහිත පිළිගැනීමට ජනාධිපතිවරයා හා මෝදි ගියේ වැසි මැදය. ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියා ඔහුට කුඩයක් දුන් අතර මෝදිගේ ආරක්ෂක නිලධාරියා තවත් කුඩයක් ඔහුට දුන්නේය. එහෙත් ඒ කුඩය නැවත ආරක්ෂක නිලධාරියා අතට මෝදි දුන්නේ "අපි දෙන්නටම එකම කුඩයෙන් යන්න පුළුවන් නේද?" යැයි ජනාධිපතිවරයාගෙන් අසමිනි.

"මොකද බැරි, අපි දෙන්නා මේ කුඩයෙන් යමු." යැයි කී ජනාධිපතිවරයා මෝදිට කුඩය අල්ලාගෙන ගියේය.

මෝදි ජනපතිගේ වාහනයට

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති පිළිගැනීමේ උත්සවයෙන් පසුව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා ඔවුන් දෙදෙනා කොටුවේ ජනාධිපති මන්දිරයට පිටත්ව ගියහ. දෙදෙනාට එහි යෑමට වාහන දෙකක් සූදානම් කර තිබූ නමුත් මෝදිට අවශ්‍ය වූයේ එකම වාහනයකින් එහි යෑමටය. ඒ අනුව දෙදෙනාම එකම වාහනයට නැංෙගා්ය. ජනාධිපති මන්දිරයට ගිය මෝදි තමන්ගේ ලංකා සංචාරය සිහි වීම සඳහා අශෝක පැළයක් සිටවූ‌වේය. ඉන් පසුව ඔවුන් දෙදෙනා ජනාධිපති මන්දිරයේ කාමරයකට ගියේ මුහුණට මුහුණලා ඔවුන් දෙදෙනාගේ සාකච්ඡා පැවැත්වීමටය. නිලධාරීන් නොමැතිව දෙරටේ රාජ්‍ය නායකයන් දෙදෙනා කළ සාකච්ඡාවෙන් පසුව දිවා භෝජන සංග්‍රහය සූදානම් කර තිබුණේ ජනාධිපති මන්දිරයේ ඉහළ මහලේය. ජනාධිපතිවරයා මෝදි අගමැතිවරයා සමඟ දිවා භෝජනයට සහභාගි වූයේ තනිව නොවේ. ඒ සඳහා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට මෙන්ම ආණ්ඩුකාරවරුන්ටද ජනාධිපතිවරයා ආරාධනා කර තිබුණේය.

දිවා භෝජන සංග්‍රහයෙන් පසුව මෝදිගේ ලංකා සංචාරය සිහිවීම සඳහා ජනාධිපතිවරයා සමාධි බුදු පිළිමයක් තිළිණ කළේය. සමාධි බුදු පිළිමයක් තමන්ට ලැබීම ගැන මෝදි සිටියේ දැඩි ප්‍රීතියකිනි. පිළිමය ගැන විස්තරයත් එය නිර්මාණය කළේ කවුරුන්ද යන්න ගැනත් මෝදිගෙන් ප්‍රශ්න වැලක්ම ඉදිරිපත් විය.

මෝදි - මහින්ද හමුවේ විමල්ට දොරටු වැසේ

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාව අවසන් කළ මෝදි ගියේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසටය. ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමටය. මෝදි සමඟ සාකච්ඡාවට මහින්ද රැගෙන ගොස් තිබුණේ ජී.එල්. පීරිස් පමණි. විමල් වීරවංශ වැනි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට‌ මෝදි හමුවීමට නොහැකි වුණේ ඔවුන් ඉන්දීය විරෝධීන් නිසාය. දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡාව විනාඩි අටකට සීමා වී තිබුණේ කාල වේලාව කළමනාකරණය කර ගැනීමේ අවශ්‍යතාව නිසාය.

මෝදි මහින්දට දුන් කාලය විනාඩි හයකට සීමා වී තිබුණේය. ඒ නිසා සාමාන්‍ය ආචාර සමාචාරයන්හි යෙදීමෙන් පසු වැදගත් යමක් කතා කිරීමට මහින්දට වැඩි වේලාවක් ලැබී තිබුණේ නැත.

කොච්චිකඩේ දේවස්ථානයට ආ අමුත්තා

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පළමු රාජ්‍ය නායකයා අගමැති නරේන්ද්‍ර මෝදිය.

ප්‍රහාරයට ලක් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සංචාරයක නිරත වූ අගමැති මෝදි මරණයට පත් සහ තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් සිය බලවත් ශෝකය පළ කළේය.

"ශ්‍රී ලංකාව යළි නැඟී සිටිනු ඇති බව මට විශ්වාසයි. බියගුළු ත්‍රස්ත ක්‍රියාවලට ශ්‍රී ලංකාවේ ජීව ගුණය පරාජය කළ නොහැකියි. ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ අප එකට ඉන්නවා." යනුවෙන් ඔහු 'ට්විටර්' නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෝදි සතුටින් තැබූ සටහන

සිය සංචාරය සම්බන්ධයෙන් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් අගමැති මෝදි පවසා තිබුණේ, "ශ්‍රී ලංකාවට යළි පැමිණීම ගැන සතුටුයි. සිව් වසරක් තුළ මේ දර්ශනීය දිවයිනේ මා කළ තෙවන සංචාරය මෙයයි. අවශ්‍යම මොහොතක ඉන්දියාව කිසිඳු මොහොතක ඇයගේ මිතුරන් අමතක කරන්නේ නැහැ." යනුවෙනි.

මෝදිගෙන් සහෝදරත්වයේ පණිවිඩයක්

ශ්‍රී ලංකා සංචාරය කෙටි වූ නමුත් ඵලදායි එකක් වූ බව සිය සංචාරය නිමා කරමින් ඉන්දීය අගමැතිවරයා පැවසීය.

"අපේ හදවත් තුළ ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා." ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වේ.

"ඉන්දියාව හැම විටම ඔබ සමඟ සිටින බවටත් ඔබේ ඉදිරි ගමන වෙනුවෙන් සහයෝගය ලබා දෙන බවටත් ශ්‍රී ලංකාවේ සිටින මාගේ සහෝදර සහෝදරියන්ට මම සහතික වෙනවා." යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.

ජනපති ගී ගයයි

ජනාධිපතිවරයා මේ සතියේ අමරදේව අසපුවේ ඉදිකිරීම් කටයුතු ගැන සොයා බැලීමට ගියේය. එහි ඉදිකිරීම්වල කිසියම් ප්‍රමාදයක් ඇති බවට ජනාධිපතිවරයා‌ට තොරතුරු ලැබී තිබුණු අතර ඒ ගැන සොයා බැලීමට යන විට මහාචාර්ය සුනිල් ආරියරත්නද එහි පැමිණ සිටි‌යේය.

"මේකේ ඉදි කිරිම් කටයුතු තවත් ඉක්මන් කරන්න වේවි. අගෝස්තු 20 වැනිදාට කලින් වැඩ ඉවර කරන්න." ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

"ජනාධිපතිතුමා, අපේ කට්ටියට ඔබතුමා හමු වීමටත් අවශ්‍ය වෙලා තියෙනවා. අද අපේ අය ගෙදරදී හමු වෙනවා. ඔබතුමාට එන්න පුළුවන්ද?" මහාචාර්ය ආරියරත්න ජනාධිපතිවරයාට කීවේ ජ’පුර ආදි විද්‍යාර්ථින් ගැනය. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ සාමාජිකයින් මසකට වරක් හමුවන්නේ විශ්ව විද්‍යාලයේ කටයුතු සඳහා ඔවුන්ට ලබා දිය හැකි දායකත්වය ගැන අවධානය යොමු කිරීමටය.

"කොහේද මහාචාර්යතුමා ගෙරද තියෙන්නේ?" ජනාධිපතිවරයා විමසුවේය.

"පිළියන්දල" මහාචාර්ය ආරියරත්න පිළිතුරු දුන්නේය

"එහෙනම් යමු." කී ජනාධිපතිවරයා එහි ගියේය. ඒ වන විට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, ව්‍යාපාරික වෑගපිටිය, ඇතුළු ආදි විද්‍යාර්තීහු එහි වූහ. ඔවුන් සමඟ දීර්ඝ වේලාවක් සුහදව කතා බස් කරමින් සිටි ජනාධිපතිවරයා නැවත පැමිණියේ සූදානම් කර තිබූ සංගීත සාදයකයට සහභාගී වීමෙන් පසුවය. ‘මා බාල කාලේ - අම්මාගේ උකුලේ’ ගීතය ජනාධිපතිවරයා ගායනා කරන විට ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විද්‍යාර්තීහු එයට අත්වැල් අල්ලන්නට වූහ.

අවෛරයේ හෝරාව

පසුගියදා මාතර විශාල වැඩසටහනක් පැවැත්විනි. එය නම්කොට තිබුණේ 'අවෛරයේ හෝරාව' නමිනි. මේ දිනවල කතාබහට ලක්ව සිටින මංගල සමරවීර අමාත්‍යවරයාට සහාය පිණිස එය පැවැත්විණි. අති විශාල ජනකායක් ඊට එක්ව සිටීම විශේෂත්වයක් විය.

අගමැති එතෙර

මේ දිනවල අගමැතිවරයාද ලංකාවේ නැත. ඒ පෞද්ගලික සංචාරයක් සඳහා ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති නිසාය. ඔහු නැවත ලංකාවට එන්නේ සිකුරාදාය. බදාදා දහවල් අගමැතිවරයා සිංගප්පූරුව බලා පිටත් වීමට තීන්දු කොට තිබුණේ සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණය සඳහාය. එම ගමනේදී දැනට සිංගප්පූරු රෝහලකදී සිදු කළ සැත්කමක් හේතුවෙන් රෝහල්ගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සුවදුක් විමසීමද අගමැතිවරයාගේ සංචාරයේ කාලසටහනට අයත් විය. වෙනදා බ්‍රහස්පතින්දා අගමැති හමුවන එජාප මැති ඇමැති පිරිස බදාදා අරලියගහ මැදුරට පැමිණ සිටියේ අගමැතිගේ විදේශ සංචාරයට පෙර සුබ පැතුම් එක් කිරීමටය.

"මෝදිගේ ලංකා සංචාරය රටේ ආරක්ෂාව සහතික බවට ලෝකයට දුන් හොඳ පණිවිඩයක්. " ඇමති ගයන්ත කරුණාතිලක සාකච්ඡාවට මුලපිරුවේය.

"මෝදි විතරක් නෙවෙයි, ඇමරිකානු රාජ්‍ය ලේකම්, මාලදිවයින් ජනාධිපති ඇතුළු මුළු කැබිනට් එකයි ඒ වගේම ජපාන අගමැතිගේ ප්‍රධාන උපදේශකයාත් ළඟදීම ලංකාවට ඒමෙන් ආරක්ෂාව තවත් සහතික වෙනවා. ඒක සංචාරක ව්‍යාපාරය ඇතුළු සියලු ක්ෂේත්‍රවලට ලොකු ශක්තියක් වේවි." සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය. පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාව ගැන බොහෝ කරුණු එහිදී කතාබහට ලක් විය.

"පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීම හෝ අහෝසි කිරීමේ බලය කතානායක ඇතුළු පාර්ලිමේන්තුවටයි තිබෙන්නේ." අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කළේය.

"කතානායකතුමා නිවැරදි ලෙස තත්ත්වය රටට කියා තිබෙනවා." වජිර අබේවර්ධන කීවේය.

"රාජපක්ෂලගෙ පාලන කාලෙ බුද්ධි අංශ නිලධාරීන් ප්‍රවෘත්ති සාකච්ඡා පවා පවත්වලා තියනවා. සමහරු මැරිලා ඉපදිලා වගෙයි අද කතා කරන්නෙ. ශ්‍රීලනිපයේ අයයි පොහොට්ටුවේ අයයි ඒගොල්ලන්ට කඩේ යන ජනමාධ්‍ය හා සමහර හාමුදුරුවරුයි මේ තේරීම්කාරක සභාවට විරුද්ධ වීමෙන් එයාලගෙ පටු දේශපාලන අරමුණු හා බොරු දේශප්‍රේමය එළි වෙනවා." මුජිබර් රහුමාන් කීවේ එවැන්නකි.

කැබිනට් මණ්ඩලය රැස් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට මැදිහත් වූයේ කතානායක කරු ජයසූරියයි. රටේ වැදගත් දේශපාලන කරුණු කෙරහි කරුගේ මැදිහත්වීම තීරණාත්මක ලෙස බලපාමින් තිබෙන අවස්ථා‌වේදී කරුගේ මැදිහත්වීම මත ලබන සතියේ සිට කැබිනට් මණ්ඩල රැස්වීම් කැඳවීමට නියමිතව තිබෙයි.

පොහොට්ටුවෙන් එන්නේ කවුද?

මේ දිනවල පොහොට්ටුව මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නය වන්නේ තමන්ගේ පිළේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියාය. රාජපක්ෂවරුන්ගෙන් තොර අයෙක් පිළිබඳව ඔවුන්ගේ අවධානයක් යොමු නොවේ. එහෙත් එම කඳවුරේ බොහෝ දෙනා සිටින්නේ තවමත් අපේක්ෂකයා තෝරා ගන්නට නොහැකිවය.

“සමහර විට ශිරන්ති එන්න තියෙන ඉඩ වැඩියි."

වතාවක් එවැනි ඉඟියක් ජවිපේ ලාල් කාන්ත ලබා දුන්නේය.

මාතෘකා