කවුද එන අමුත්තා

 ඡායාරූපය:

කවුද එන අමුත්තා

පැරිස් නුවර ඉදිකොට ඇති ලෝක පුදුමවලින් එකක් වන අයිෆල් කුලුන යකඩවලට දෙපාරක් විකිණීමට සමත් වූ පුද්ගලයකු ලොව සිටී. ඔහු වික්ටර් ලස්ටිග්ය. හෙතෙම ලොව අරුම පුදුම රැවටිලිකාර වංචනිකයෙකි.

ලෝකප්‍රකට අයිෆල් කුලුන විකුණා සිය අරමුණ දිනාගත්තවුන් සිටින ලෝකයක හිතාගන්න බැරි දේවල් විය නොහැකිද?

ඒ අතින් ගත් විට කපටි කෛරාටිකයකුට මිනිස්සු රවටන එක සරලය.

ජාතිවාදය, ආගම්වාදය, අවස්ථාවාදය තුළින් දේශපාලනය කරන ලොව ඇති නොම්බර එකේ රටකි ලංකාව.

ශ්‍රීලනිපය හැදුවේ බණ්ඩාරනායකය. එක්සත් ජාතික පක්ෂයට නොතිබුණු කොටස් ටිකක් එකතු කරගන්නට හිතාගෙන බණ්ඩාරනායක අලුත් පක්ෂයට 'පංච මහ බලවේගය' කියන තේමාව ගෙනාවේය. මෙරට ඉතිහාසයේ වෙඩි තබා ඝාතනය කළ පළමු පක්ෂ නායකයා සේම අගමැතිවරයාත් බණ්ඩාරනායකය. බණ්ඩාරනායක හදපු ශ්‍රීලනිපය බණ්ඩාරනායකලාට අහිමි වන බවට බොහෝ දෙනා අනාවැකි කියද්දී මැතිනිය පැමිණ ඒ අනාවැකි බොරු කළාය. ඊට පසු චන්ද්‍රිකා කුමාරතුංග එහි නායකත්වය ගත්තාය.

එහෙම බැලුවම ශ්‍රීලනිපයට බණ්ඩාරනායකලා එක්ක ගසට පොත්ත වගේ බැඳීමක් තිබේ. ඒ විතරක් නෙවේ, ශ්‍රීලනිප පාක්ෂිකයෝද තමන්ගේ පක්ෂයට මෙන්ම බණ්ඩාරනායකලාටද බෙහෙවින්ම ආදරය කළහ.

එහෙත් මහින්ද එය එහෙම පිටින්ම වෙනස් කළේය. ශ්‍රීලනිපය වෙනුවට පක්ෂය 'මහින්ද රාජපක්ෂ' පක්ෂය බවට පත් කළේය. ඊට උඩගෙඩි දුන්නේ හැත්තෑ ගණන්වල එජාප නියෝජිතයකුව සිටි බැසිල්ය. 2005 ජනාධිපතිවරණය තිබුණේ මහින්දගේ උපන් දිනය දවසේය. ජනාධිපති වෙච්ච මහින්ද එතැන් සිට ශ්‍රීලනිපය දියකොට 'මහින්ද පක්ෂය' ගොඩනැඟුවේය.

ඒ වෙනුවෙන් සෙසු සියලු පක්ෂ සෘජුව සහ වක්‍රව කඩා තමන්ට අවැසි ඉත්තෝ බා ගත්හ. එමෙන්ම තමන්ට 'එහෙයි' කියා වන්දනා කරන අන්ධ භක්තිකයන් පිරිසක් ගොඩනඟා ගත්හ.

ඒ අනුගාමිකයන් ගැන වරක් රෙජිනෝල්ඩ් කුරේ අපූරු කතාවක් කීවේය.

“මහින්ද ජනාධිපතිතුමා වටේ ඉන්න අය හිතනවා ගස්වල ගෙඩි හැදෙන්නේ, මල් පිපෙන්නේ, සිහිල් සුළං හමන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුහසින් කියලා”

සියල්ල සිදු වූයේ ඒකාධිපති රටවල වගේය. උතුරු කොරියාවේ මෙන් සියලුම ගොඩනැඟිලිවලට 'මහින්ද රාජපක්ෂ' නම තබනු ලැබීය.

2005 ඔහු දිනවූ කණ්ඩායම් දෙකක් විය. එකක් ජාතික කණ්ඩායම්ය. අනෙක ජාතිවාදී කණ්ඩායම්ය. ඒ දෙකම එකම අරමුණකට යෑමෙහි මාරු බවට පත් කරන්නට අපූරු බුහුටිකමක් මහින්දට තිබුණේය .

එහෙත් ජයග්‍රහණයෙන් පසු ඔහු තීරණාත්මකව ඒ කණ්ඩායම් විසිකොට දැමුවේය. ජනතා විමුක්ති පෙරමුණ විසි කළේ සාහසික ලෙස එම පක්ෂය කඩා දමමිණි. විමල් වීරවංශ ජාතිවාදී කෝවක දමා අලුතින් ඇඹීමෙහි නිර්මාපකයා මහින්දය. ඉන් අනතුරුව ඔහු ඔහු සමඟ සිටි සහ ඔහුට තීරණාත්මක හයියක් වූ හෙළ උරුමය එළවා දැම්මේය. ඒ වෙනුවට ඔහු ඔහුට ඡන්දයක් නොදුන් පක්ෂවලින් බිලි බා ගැනීම් පටන් ගත්තේය.

අන්තිමට මේ ගිය ගමන කෙළවර වූයේ 'විනාශයේ සුනාමිය' කඩා වැදීමෙනි. අධික බලකාමය සේම අධික තක්සේරුවද උරුම කරන්නේ ඛේදවාචකයකි.

ශ්‍රීලනිපය දියකර දැමූ මහින්ද පරාජය වූයේද මහින්දගෙන් ගැලවී පැමිණ ඔහුට එරෙහිව ඡන්දය ඉල්ලූ මෛත්‍රීටමය.

දෛවයේ සරදම වන්නේ 2005 මහින්දගේ උපන්දිනය දා මහින්ද දිනද්දී 2015 බණ්ඩාරනායකගේ උපන් දිනය දා මහින්ද පැරදීමය.

ඊට පස්සේ මහින්ද යුගය හමාර විය.

එහෙත් පුංචි ඡන්දය දිනාගෙන ඔවුන් ආපසු අධිතක්සේරුවකින් සිටී.

එහෙම සිටින පොහොට්ටුවට මතක්කර දෙන්නට උදාහරණ කොතකුත් තිබේ.

88 කියන්නේ එජාපය බලවත්ම අවධියය. පහෙන් තුනක බලයක් අරගෙන එජාපය ශ්‍රීලනිපය සෝදාපාළුකොට තිබුණේය. ඒ වෙනකොටත් පළාත් සභා ඡන්දය වර්ජනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දුකොට තිබිණි. ඒ මදිවට ජවිපෙ 'පලා බබා අපිට එපා' කියා පෙළපාළි ගියේය.

1988 ජනාධිපති මැතිවරණයට කල් තියෙද්දී ජේ.ආර්. දේශපාලන අත්හදා බැලීමක් කළේය. ඒ අතුරු මැතිවරණ කිහිපයක් තබා බලය පිරික්සීමෙනි.

රත්නපුර අතුරු මැතිවරණ ආවේ ඒ අතරය. එක අතකින් ශ්‍රීලනිප බල කොටුවකි. අනෙක් අතින් ජවිපෙ සංහාර ප්‍රදේශයකි. මැතිවරණය තිබුණේය.

'ජේ.ආර්. එළවන සටන අපි පටන් ගන්නේ රත්නපුරෙන්. මිත්‍රවරුණි ඒ සටනට එකතුවෙන්න.'

මැතිනිය කීවේ එහෙමය.

එහෙම කී මැතිනියගේ 'අත' රත්නපුර දින්නේය.

'වැඩේ හරි, ජේ ආර් ඉවරයි'

සියලුදෙනා සිතූහ. තමන් අතිශයෝක්තියෙන් සිටින්නේ ආසන අටට වැටුණු එජාපය ඉන් වසර 7කට පසු මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය උරුම කළ නායකයා සමඟ බව බොහෝ දෙනාට අමතක විය.

'ජනාධිපතිවරණෙට අපි එන්නේ තනියම'

මැතිනියගේ උපදේශකයෝ කීවේ එහෙමය. රත්නපුර දිනන්නට තිරේ පිටුපස සිට හයිය දුන් ජවිපෙ පවා ඔවුහු අමතක කළහ. තනියම ජනපති සටනට ආහ. ප්‍රතිවාදියා ප්‍රේමදාසය'.

උත්තරය තනි අතට කටඋත්තර නැති වීමය. රත්නපුරෙන් උදම් වී අන්තිමට නතර වුණේ අන්ත පරාජයෙනි.

මේ කතාව අද තියෙන පොහොට්ටුවටත් කදිමට අදාළය.

'අපිට කවුරුත් ලොකු නෑ... අපි පුංචි ඡන්දේ දිනුම්' කියාය.

මෙකට අපූරු උත්තරයක් චම්පික දුන්නේය.

'ඌව ඡන්දේ තියලා ඉවර වෙලා උදේ හතරහමාරට මහින්ද කතා කළා. බැසිල් ප්‍රසන්ටේෂන් එකක් කළා. පළාත් නවයෙම ප්‍රතිඵල ආවා. සන්ධානය ලක්ෂ 50යි. එජාපය ලක්ෂ 24යි. ජවිපෙ ලක්ෂ තුනහමාරයි. ෆොන්සේකගේ පක්ෂය තුන් ලක්ෂ හැත්තෑපන්දාහයි. දෙමළ සන්ධානය ලක්ෂ පහයි. මේක බැසිල් කීවම රාජපක්ෂ මහත්තයා කීවා ඉක්මනින් ජනාධිපතිවරණය තියෙනෝ කියලා. පස්සේ මගෙන් මහින්ද මහත්තයා ඇහුවා 'ඔයත් ගණන්කාරයනේ මොකද කතා නැත්තේ’ කියලා. මම කීවා ඔබ පරාදයි කියලා. එතුමා පුදුම වෙලා ඇහුවා, පිස්සුද කියලා. මම කීවා ඔබ බලගතු වෙනසක් නොකළොත් පරාදයි. පළාත් සභා ඡන්දේ දෙන්නේ සීයට 60යි. ජනාධිපතිවරණයෙදි සීයට අසූවයි. වැඩිවෙන සීයට විස්ස වෙනසක් පතන අය. දිනන්න ලක්ෂ හැටක් ඕන.'

චම්පික කීවා වගේම මහින්ද පරාජය විය. චම්පික කීව ලක්ෂ විස්ස ගියේ මෛත්‍රීටය.

සමහරු බලාගෙන හිටියේ ගෝඨා එනතුරුය. ඔහු දැන් ඉන්නේ දැඩි අවිනිශ්චිත තැනකය. මේ දවස්වල ඔහු සද්ද නැත. සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කරන්නේ ඔය අතරය. ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසියකු වන අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ අධිකරණයක නඩු පැවරීමට ලසන්ත වික්‍රමතුංගගේ දියණිය යොමුව ඇත්තේ ඒ අනුවය.

ඒ අතර ඔහුට එරෙහිව ලංකාවේත් නඩුවක් තිබේ.

පෙළගැසෙන කාරණා සියල්ල ගොනුවෙමින් තිබෙන්නේ 'ගෝඨාභය රාජපක්ෂගේ' ජනාධිපතිවරණ සිහිනය සසල කරන ලෙසටය. මේ නඩු හරහා ඔහුට බලපෑමක් නොවන බව සමහරු පැවසුවද සත්‍යය නම් 'සෙල්ලම පහසු නොවන' බවය.

මොන කයිවාරු ගැසුවත් මේ රටේ මිනිස්සුන්ට සංවේදීකමක් තිබේ. කාකි ඇඳුමට මිනිස්සු තවමත් බයය. ගමක පොලිසියක් දානවටවත් අකමැතිය. අදටත් මිනිස්සු ජවිපෙ සැක කරන්නේ ඉතිහාසයේ මතක නිසාය. එහෙව් එකේ ගෝඨා වගේ කෙනෙක් ජනපති කරන්න මේ රටේ මිනිස්සු කොහෙත්ම සූදානම් නැත.

“හමුදාකාරයොන්ට මිනිස්සු දේශපාලකයන්ට වඩා ආදරෙයි. හැබැයි රටක් බාරදෙන්න බයයි.”

වරක් එහෙම කීවේ මැතිනිය.

වරක් කීර්තිමත් රණශූර ජානක පෙරේරා එජාපයෙන් ඡන්දෙට ආවේය. උතුරු මැදින් පටන් ගන්නකොට එජාපය හිතුවේ 'රැල්ල' තමන්ට කියාය. හැබැයි ප්‍රතිඵලය 'පරාජය'ය.

ඒක පස්සේ ඔප්පු වුණේ රට වෙනුවෙන් ශරීරය පවා දන්දී 30 වසරක යුද්ධේ මෙහෙයවපු සරත් ෆොන්සේකා පවා ජනාධිපතිවරණයේදී පරාජය වීමෙනි. එහෙව් වීරයා පරාජය වූවානම් යුද්ධේ වෙනුවෙන් සීත කාමරවල සෙල්ලම් කළ ගෝඨා වැන්නෙක් ජනපති කරාවියැයි හිතන එක හීනයක්ය.

දැන් පොහොට්ටුව උභතෝකෝටිකයකය. ඊළඟ තේරීම බැසිල්ය. එහෙත් ඔහු තාමත් අැමෙරිකන්ය. අනික මහින්ද පැරදුණු වෙලාවේ පැදුරටත් හොරා සිය සරු බිමට දිව්ව කෙනාය. මහින්ද වෙනුවෙන් මැරෙන්න හදන අය බැසිල්ට කැමති නැත.

තව විකල්පයක් තිබේ. ඒ චමල්ය. චමල් ගැන දන්නේ හම්බන්තොට පමණය. නාමල්ට වයස නැත. ජනාධිපති විය යුත්තේ රාජපක්ෂ පවුලෙන්ම නම් ඊළඟට ඉතිරි ශිරන්තිය. එහෙම වුණොත් ඇය ජනාධිපතිවරණ සටනට එනු ඇත. සිද්ධවෙන දේවල්වල හැටියට ඒක පුදුමයක් නොවේය.

එහෙනම් ලාල්කාන්තගේ අනාවැකිය හරියයිද? ඒක කියන්නට දැන්ම කලබල වියයුතු නැත.

මාතෘකා