අයි.එස්. ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමට පවතින ක්‍රමවේද ප්‍රතිව්‍යුහගත කළ යුතුයි

 ඡායාරූපය:

අයි.එස්. ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමට පවතින ක්‍රමවේද ප්‍රතිව්‍යුහගත කළ යුතුයි

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

මේ වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ සහරාන්ගේ ජාතික තවුහීද් ජමාත් කල්ලිය සම්පූර්ණයෙන් නැති කර තිබෙන බවත් රටේ ආරක්‍ෂක අංශ ඉතා කෙටි කලක් තුළ ත්‍රස්තවාදය මර්දනය කර තිබෙන අවස්ථාවක ඇතැම් පාර්ශ්ව කට කතා පතුරුවමින් ජනතාව තුළ අනිසි බියක් ඇති කිරීමේ උත්සාහයක නිරතව සිටින බවත්, මෙම ත්‍රස්තවාදී ක්‍රියා නැවත මෙරට ඇති නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා පවතින ක්‍රමවේදයන් ප්‍රතිව්‍යුහගත කරමින් ජනතාව සමග සංහිඳියාවෙන් ඉදිරියට යා යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගියදා (30) පවුල් ලක්‍ෂ 6ක් සඳහා සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික උත්සවයට එක් වෙමින් අම්පාර නගරසභා පිටියේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමා‍ත්‍යවරයා මෙසේ පැවසීය.

“අද විශේෂ දවසක්. අවුරුදු 23 කට පසුව නව සමෘද්ධිලාභීන් විශාල පිරිසක් සමෘද්ධි ලබාදීමේ ක්‍රමවේදයට ඇතුළත් කිරීමට අපට හැකි වුණා. ජනසවිය ව්‍යාපාරයෙන් පසුව මෙම සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කළා. මෙම ව්‍යාපාර සාමාන්‍ය ජනතාවගේ දියුණුවට අතහිත ලබාදෙන ව්‍යාපාරයි.

නමුත් ඇතැම් ආණ්ඩු රට පාලනය කරන අවස්ථාවලදී සමෘද්ධි හිමිකම් ලැබීමට සුදුසුකම් සපිරූ බොහෝ දෙනෙකුට එම හිමිකම් ලැබුණේ නැහැ. එපමණක් නොව, සුදුසුකම් සපුරා නොතිබූ බොහෝ දෙනෙක්ට සමෘද්ධිය ලබා දුන්නා. එමඟින් සමෘද්ධි ව්‍යාපාරය හරහා දූෂණයක් ඇති වුණා.

එකල සමුපකාර සමිති, බැංකු ආදියෙහි තිබූ මුදල් පිළිබඳව විටින් විට පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කෙරුණා. නමුත් එදා ඒවාට නිසි පිළිතුරු ලැබුණේ නැහැ. එම නිසා නිසි ක්‍රමවේදයක් සකසමින් අපි මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කළා. සමෘද්ධිය ලැබීමට සුදුසු පුද්ගලයින් බදු මුදල් ගෙවනු ලබන්නේ සමෘද්ධි හිමිකම් ලැබිය යුතු අයට සමෘද්ධිය ලබාදීම සඳහායි.

අපේ රජය යටතේ සමෘද්ධි අරමුදල පිළිබඳව සමාලෝචනයක් සිදු කිරීම ආරම්භ කළා. දයා ගමගේ අමාත්‍යතුමා විසින් එම සමාලෝචන වැඩසටහන තවත් ඉදිරියට ගෙන ගියා. එතුමා ලක්‍ෂ 6ක ජනතාවට අලුතින් සමෘද්ධිය ලබාදීමට නිර්භීත පියවරක් ගනු ලැබූ බව මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඒ අනුව මේ රටේ වසර 21කට පසු අහිංසක ජනතාව නැවතත් සමෘද්ධි ව්‍යාපාරයේ දීමනා ලැබීමට සුදුස්සන් වී සිටිනවා.

ඒ හරහා සමෘද්ධියේ පරමාර්ථ ඉටු වෙනවා. ජන සවියේ පරමාර්ථ ඉටු වෙනවා. මේ රටේ දුප්පත්කම නැති කරමින් ආර්ථික සංවර්ධනය ඇති කරන අතරම අඩු ආදායම්ලාභීන්ට ආධාර උපකාර කිරීම ආණ්ඩුවේ යුතුකමක්.

වර්තමානය වන විට අයි.එස්.ත්‍රස්තවාදී කණ්ඩායම අපි ශ්‍රී ලංකාවෙන් තුරන් කර තිබෙනවා. ඒ වගේම ජාතික තවුහීද් ජමාත් ව්‍යාපාරයත් ශ්‍රී ලංකාවෙන් තුරන් කර තිබෙනවා. එම නිසා අනාගතයේ නැවත එවැනි තත්ත්වයක් ඇති නොවන ලෙස රටේ නීතිය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. සංහිඳියාව සමග ජනතාව එකතු කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මම ආරක්‍ෂක අංශ මුණගැසුණා. ඔවුන් එදා සවස් වන විට ත්‍රස්තවාදීන් සම්බන්ධව අත්‍යවශ්‍යම කරුණු සොයා ගැනීමට සමත් වුණා. එහිදී අපේ ආරක්‍ෂක අංශ නිලධාරීන් තිදනෙකුගේ ජීවිත අපට අහිමි වුණා.

සෝදිසි මෙහෙයුම්වලදී සැකපිට පොලිස් බාරයට ගෙන, එම සිද්ධීන්ට සම්බන්ධ නොමැති බව තහවුරු කර ගත් මුස්ලිම් ජනතාව මේ වන විට නිදහස් කරමින් සිටිනවා.

එම නිසා අසත්‍ය ප්‍රචාර පතුරවමින් ජනතාව බිය ගැන්වීමෙන් ඵලක් නැහැ. ආරක්‍ෂක හමුදා සහ පොලිසිය අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. සහරාන්ගේ ජාතික තවුහීද් ජමාත් ත්‍රස්තවාදී කල්ලිය අවසන් කර තිබුණත් රටට ඇති බලපෑම එතැනින් අවසන් යැයි කිව නොහැකියි. මෙම කල්ලිය එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙන් විශාල සංවිධානයකින් මෙහෙය වන කණ්ඩායමක් නොවෙයි. ඔවුන්ට දේශපාලන අරමුණක් නැහැ. ඔවුන්ගේ අරමුණ මරාගෙන මැරීම පමණයි.

නීතිය ප්‍රතිව්‍යුහගත කිරීමත් රටක් ලෙස අපට අවශ්‍ය වී තිබෙනවා. අයි.එස්. ත්‍රස්තවාදය වැලැක්වීමට අලුත් ව්‍යූහයක් ඇති කළ යුතුයි. ඒකාබද්ධ මධ්‍යස්ථාන, තොරතුරු හුවමාරුව, දත්ත පද්ධති ආදිය අපි නිර්මාණය කරගත යුතුයි.

ඕනෑම රටක ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පොලිසිය අතර දත්ත හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. නමුත් මේ සිද්ධිය සිදුවන තෙක් දත්ත හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදය අපේ රටේ ක්‍රියාත්මක වී නැහැ. ඊට හේතු වී තිබෙන්නේ මේ ක්‍රමවේදයට දෙපාර්ශ්වය විරුද්ධ වී තිබීමයි. එම නිසා සතියක් තුළ ඒ කටයුතු සිදු කරන ලෙස නියෝග කිරීමට පවා මට අවසානයේ සිදු වුණා.

ඒ වගේම අපි ජාත්‍යන්තර පොලිසිය සමග සම්බන්ධ වී තිබුණෙත් නැහැ. පොලිසිය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආදී විවිධ ආයතනවලින් ලැබෙන තොරතුරු හරහා මෙම ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් සොයා ගත හැකියි. මෙම තොරතුරු ලබා ගැනීම සඳහා විශාල ජාලයක් තිබිය යුතුයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වූ කාලයේ පැවැති තොරතුරු ජාලය දැන් ප්‍රමාණවත් නැහැ.

ත්‍රස්තවාදය මැඩලීම සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලැබූ පොලිස් සහ ආරක්‍ෂක හමුදා නිලධාරීන් සිටිය යුතුයි. රටේ දේශසීමාවලට ඇතුළු වන පුද්ගලයන් සහ පිටවන පුද්ගලයන් පිළිබඳව සම්පූර්ණ දත්ත අප සතු විය යුතුයි. මේ සියල්ල ක්‍රියාත්මක කරන අලුත් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කර තිබෙනවා.

දත්ත එකතු කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. තොරතුරු හා ඔත්තු ලබාදීමත් අතිශය වැදගත් වෙනවා. සහරාන් පිළිබඳව තොරතුරු ලබා දී තිබුණා. මවුලවි පූජකතුමන්ලා කිහිප දෙනෙක්ම මාධ්‍ය මගින් පැවසුවේ ප්‍රහාරයට පෙර සිටම මොහු ගැන තොරතුරු ලබාදුන් බවයි.

එම තොරතුරු මත පදනම්ව බෝම්බ ප්‍රහාරය සිදු වූ සැණින් දෙමටගොඩදී සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඉන් පසුව කාත්තන්කුඩි - සමන්තුරේ සිදුවීම් පිළිබඳව පරීක්‍ෂණ කටයුතු සිදු කළා. එතරම් ඉක්මනින් අප ක්‍රියාත්මක වුණේ නැතිනම් මෙම කණ්ඩායම තවත් පිපිරීම් කිහිපයක් සිදු කරනවා.

මේ තොරතුරු පිළිබඳව ආරක්‍ෂක අංශ දැනුවත් කළේ ඒ ප්‍රදේශවල මුස්ලිම් ජනතාවයි. අද වන තුරුත් වැඩිම තොරතුරු ප්‍රමාණයක් ලැබෙන්නේ මුස්ලිම් ජනතාව හරහායි. එම තොරතුරු අපි ලබාගන්නේ නැතිනම් එය අපට විශාල පාඩුවක් බවට පත් වෙනවා. මුස්ලිම් ජනතාවට දිගින් දිගටම චෝදනා කිරීමෙන් මෙම ලැබෙන තොරතුරු නොලැබී යෑමට ඉඩ තිබෙනවා. එසේ වුවහොත් ඔවුන් අන්තවාදයට ගොදුරු වීමට ඉඩ තිබෙනවා.

ජාතික තවුහීද් ජමාත් සහ සහරාන්ගේ ත්‍රස්තවාදී කල්ලිය සම්පූර්ණයෙන් අවසන් කර තිබෙන බව මම විශේෂයෙන් ප්‍රකාශ කරනවා. නමුත් අනාගතයේ දී නැවත අයි.එස්.වැනි ත්‍රස්ත කණ්ඩායම් රටට ඇතුළු වීම වැළැක්විය යුතුයි. ඒ සඳහා රටේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කළ යුතු වෙනවා. ඒ වගේම සංහිඳියාවෙන් කටයුතු කරමින් එම වැඩසටහන සාර්ථක කර ගත යුතු බවත් අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.”

මාතෘකා