රොනීගේ රුහුණු සරසවි සිහිනයට ප්‍රින්ස්ගේ සහාය

රොනී ද මැල් ඡායාරූපය:
.රොනී ද මැල්

රොනීගේ රුහුණු සරසවි සිහිනයට ප්‍රින්ස්ගේ සහාය

 

1977 - 1987 දක්වා මෙරට සිටි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය රොනී ද මැල් මහතාගේ ජීවන මඟ පිළිබඳ “රැස” පුවත්පත ගෙන එන ලිපි මාලාවේ විසි හය වැන්න (26) මතු දැක්වේ.

ශ්‍රීලනිපයෙන් ඉවත්ව සිටීම නිසා ඩික්සන් සිල්වාගේ බාධා කිරීම් රොනීගේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා එතරම් බලපෑමක් කිරීමට සමත් නොවීය. එහෙත් ජිනදාස වීරසිංහ මහතා තවමත් එ.ජා.ප. සංවිධායකවරයා ලෙස පෙනී සිටිමින් සිදු කරන බාධා කිරීම් හේතුවෙන් රොනී මහත් සේ අසරණ විය. එම බලපෑම තුළ වැඩි වශයෙන් අසරණ වූයේ දෙවිනුවර එ.ජා.ප. පාක්ෂිකයන්ය. නියම සංවිධායකවරයා රොනීද නැතිනම් වීරසිංහද යන්න තේරුම් ගත නොහැකිව දෙවිනුවර එක්සත් ජාතික පාක්ෂිකයෝ වල්මත් වූහ. මෙම සමයේදී රොනී හා වීරසිංහ යන දෙදෙනාම තම තමන් සංවිධායකවරයා යැයි කියමින් ආසනය පුරා පක්ෂ සමිති පිහිටුවීමේ තරගයක නිරත වූ අතර ඒ හේතුවෙන් පක්ෂයේ පැහැදිලි බෙදීමක් දක්නට විය.

මෙම තත්ත්වය පක්ෂ නායක ජේ.ආර්.ට ද වාර්තා වී තිබිණි. ඔහු රොනීටත් වීරසිංහටත් උපදෙස් දුන්නේ ගැටලු සමනය කර ගනිමින් ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරන ලෙසයි. එහෙත් ජිනදාස වීරසිංහ මහතා කිසිදු සැලකිල්ලක් ඒ වෙනුවෙන් නොදැක්වීම මත පක්ෂ නායකයා වශයෙන් මීට මැදිහත් වීමට ජේ.ආර්. තීරණය කළේය.

ඒ අනුව ඔහු දෙවිනුවර ආසනයේ සියලුම ශාඛා තරුණ හා කාන්තා සමිති නිලධාරීන් වෙත පෞද්ගලිකව ලිපියක් යොමු කිරීමට කටයුතු කළේය. දෙවිනුවර ආසනයේ වත්මන් මන්ත්‍රී ධුරය හොබවන රොනී ද මැල් මහතා දෙවිනුවර එ.ජා.ප. සංවිධායක ලෙස තමා දැනටමත් පත් කර ඇති බවත් මීළඟ මහ මැතිවරණයේදී දෙවිනුවර එ.ජා.ප. අපේක්ෂකයා වන්නේ ඔහු බවත් එම ලිපියේ දක්වා තිබිණි. එමෙන්ම අලුතින් පක්ෂ ශාඛා පිහිටුවීම හෝ දැනට ක්‍රියාත්මක ශාඛා සමිති ප්‍රතිසංවිධානය කිරීම හෝ නව සාමාජිකයන් බඳවා ගැනීම හා දෙවිනුවර ආසනයේ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම ඇතුළු පක්ෂයේ අනෙකුත් කටයුතු සිදුකිරීමට බලය ඇත්තේ රොනී ද මැල් මහතාට පමණක් බවද දෙවිනුවර අසුනට වෙනත් සංවිධායකවරයකු නොමැති බවද ජේ.ආර්. ගේ ලිපියේ තවදුරටත් දක්වා තිබිණි. තවද ඉදිරි මහ මැතිවරණයේදී එ.ජා.පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා රොනී ද මැල් මහතාට ත්‍රිවිධ සමිතිවල සියලු නිලධාරීන් ලෙස සහායෝගය දක්වන මෙන්ද ජේ.ආර්. සිය ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින ලදි.

ජේ.ආර්. ගේ එම ඉල්ලීම සහිත ලිපිය නිකුත් වීමෙන් අනතුරුව පාක්ෂිකයන්ට රොනීගේ සංවිධායක ධුරය පිළිබඳ වූ සැකය සම්පූර්ණයෙන්ම පහව ගියේය. එමෙන්ම ජිනදාස වීරසිංහ මහතාට ඉන් අනතුරුව පාක්ෂිකයන් මුළා කිරීමට තිබූ අවස්ථාවද මඟ හැරිණි. එතැන් සිට තමන්ට රිසි සේ ආසනයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට රොනීට ඉඩහසර විවර විය.

දෙවිනුවර ආසනය රොනී බාරගන්නා තුරු දැඩි අවහිරතා මධ්‍යයේ එ.ජා.ප.යේ සංවිධාන කටයුතු සිදු කිරීමට කෘතගුණ දැක්වීමක් වශයෙන් පසු කලෙක මැතිවරණ සීමා නිර්ණය කිරීමේදී අලුතින් නිර්මාණය කළ තංගල්ල ආසනයේ එ.ජා.ප. සංවිධායක ධුරය ජිනදාස වීරසිංහ මහතාට ලබාදීමටද ජේ.ආර්. කටයුතු කළේය. පසුව එම අසුන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවටද පිවිසි වීරසිංහ මහතා 1989 භීෂණ සමයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් ජ.වි.ප. නොහඳුනන සන්නද්ධ පිරිසකගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විණි.

රොනී දෙවිනුවර බාර ගැනීමත් සමඟ එම ආසනයේ එ.ජා. පාක්ෂිකයෝ පෙර නොවූවිරූ තරම් ප්‍රමෝදයකින් පක්ෂයේ ක්‍රියාකාරකම්වලට සක්‍රිය ලෙස දායක වූහ. එමෙන්ම ශ්‍රීලනිපයේදී රොනී සමඟ කටයුතු කළ බොහෝ පිරිසක්ද එ.ජා.ප.යේ සාමාජිකත්වය ලබා ගත්තේ ඔහු කෙරේ වූ විශ්වාසය නිසාවෙනි. එ.ජා.ප., ශ්‍රීලනිප පාක්ෂිකයන්ට අමතරව එම පක්ෂ දෙකේ ප්‍රතිපත්තිවලට සපුරා වෙනස් වූ පක්ෂයක සාමාජිකයෝද රොනීට සහාය පළ කළහ. ඒ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂික පවුල්වල සාමාජිකයන්ය. ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන සමයේ පක්ෂ, පාට, හෝ වෙනත් භේදයකින් තොරව මහජන අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් මේ සියලු පාර්ශ්වයන්ට ආමන්ත්‍රණය කළ හැකි මට්ටමේ විශ්වාසයක් උපයා ගැනීමට රොනී සමත්ව සිටියේය. ජනතාවගේ සියලු කටයුතු දේශපාලනඥයන් විසින් තීරණය කරන සමාජයක, සිය පාක්ෂිකයන්ට එක් හැන්දකින් මෙන්ම තම මත නොදරන පිරිසට තවත් හැන්දකින් බෙදන දේශපාලන භූමියක රොනී එම තත්ත්වයෙන් වෙනස්වූ සමානතාව මත ප්‍රජාවට සැලකූ දේශපාලන චරිතයක් බව සියලු දෙනා අවිවාදයෙන් පිළිගෙන තිබිණි.

මධ්‍යස්ථ මතධාරීන් රොනී එවැනි දෘෂ්ථිකෝණයකින් දුටුවද ශ්‍රීලනිපය රොනී දුටුවේ පාවා දෙන්නකු, ද්‍රෝහියකු හා පිල්මාරු කරන්නකු ලෙසයි. “රොනී - පනී” යන ශීර්ෂ පාඨය ජනතාකරණය වන්නේද මෙ සමයේදී ය. “රොනී - පනී”, හෝ “රොනී ද මැල් - පනී ද පිල්” වැනි වාක්‍ය ඛණ්ඩ ධ්වනිතාර්ථයෙන් හා එළිසමයක් සහිත ගැළපීමක්ද තිබූ බැවින් රොනී විරෝධී ජනතාව අතර ඒවා මහත් සේ ප්‍රචලිත විය. වර්තමානයේදී පක්ෂ මාරුකිරීම එතරම් දුලබ ක්‍රියාදාමයක් නොවූවද එම සමයේදී එය සමාජයේ ගැරහීමට ලක්වූ කරුණක් විය. එහෙත් රොනී විෂයෙහි එය එසේ නොවුණේ රොනීගේ ධනස්කන්ධය හා සමාජ තත්ත්වය හොඳින් දත් මිනිසුන්, මුදලට හෝ වරදාන වෙනුවෙන් ඔහු පිල් මාරු නොකළ බවට දැඩිසේ විශ්වාස කළ නිසා විය යුතුය. ශ්‍රීලනිපය පිහිටුවීම සඳහා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා එ.ජා.ප.යට යෑම හා පත්තර පනතට එරෙහිව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයට යෑම මෙන්ම පිලිප් ගුණවර්ධනගේ පිල් මාරුව හැරුණු කොට සමාජ අවධානයට ලක්වූ පිල් මාරුවක් වූයේ නම් ඒ රොනී ශ්‍රීලනිපයේ සිට එ.ජා.ප.යට එක්වීම විය යුතුය.

රොනී ශ්‍රීලනිප බළකඳවුර බිඳ එ.ජා.ප.යට එක්වීම ශ්‍රීලනිපය සසල කිරීමට හේතුවක් වූ බැව් පෙනෙන්නට විය. දෙවිනුවර සංවර්ධන කටයුතු පමා කිරීම හේතුවෙන් තම පාක්ෂිකයන්ද පක්ෂය අතහැර යමින් සිටින බැව් බණ්ඩාරනායක මැතිනියට වැටහෙන්නට විය. ඒ අනුව 1970 මැතිවරණයේදී රොනී යෝජනා කළ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමින් එම ප්‍රදේශවල ජනතා විශ්වාසය තම පක්ෂයට ලබා ගැනීමේ අසාර්ථක උත්සාහයක්ද මෙසමයේ ක්‍රියාත්මක විණි. ඒ අනුව වසර පහක් පුරා අතහැර දමා තිබූ දකුණේ සරසවියක් පිහිටුවීමට අදාළ ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනයක් සඳහා 1976 මැද භාගයේදී මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමටත් දෙවිනුවර පූජාභූමි සංවර්ධන ව්‍යාපෘතියට 1976 දෙසැම්බර් මාසයේදී මුල් ගල් තැබීමටත් කටයුතු කෙරිණි.

දකුණට විශ්වවිද්‍යාලයක් ලබා දීමට පත් කළ කමිටුව එම විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා තෝරා ගත්තේ ගාල්ල, ලබුදූව රජයේ ගොවිපළයි. රොනීගේ යෝජනාව වූයේ එය මාතරට ලබා දිය යුතු බව වුවද ඒ සඳහා ලබුදූව තෝරා ගෙන තිබුණේ රොනීගෙන් පළි ගැනීමක් වශයෙනි. එහෙත් පසුව ලබුදූවේ දකුණු සරසවිය පිහිටුවීමේ කටයුත්තද නොදත් හේතුවක් මත අතහැර දැමීමට බණ්ඩාරනායක මැතිනිය කටයුතු කළාය. 1976 ඔක්තෝබර් 26 දින පැවති ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල (සංශෝධිත) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී දකුණට සරසවියක් ලබා ගැනීම සම්බන්ධයෙන් පුළුල් ලෙස වාද විවාද වූ පාර්ලිමේන්තු සැසිවාරය විය. මීට පෙර ඒ පිළිබඳ රොනී ද මැල් මහතා පාර්ලිමේන්තුවේ හුදෙකලා සටනක් සිදු කළද මෙවර දකුණේ සියලු මන්ත්‍රීවරුන්ගේ උද්යෝගයක් ඒ සඳහා තිබූ බව පෙනෙන්නට විණි.

දකුණට විශ්වවිද්‍යාලයක් ලබා ගැනීම එවකට දකුණේ දිස්ත්‍රික්ක තුනේ මැතිවරණ බලප්‍රදේශ දහනවයක මන්ත්‍රීවරුන්ගේ තරගයක් බවට පත්ව තිබිණි. සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය තුළ එදා මෙන්ම අදත් බොහෝ දේශපාලනඥයන් උත්සාහ දැරුවේ ශක්‍යතවක් හෝ ප්‍රායෝගික අවශ්‍යතාවක් නොවූවද ලබා ගත හැකි කුමන හෝ ව්‍යාපෘතියක් තම ආසනය තුළ ස්ථාපිත කර ගැනීමේ අඥාන උත්සාහයයි. ගාල්ල සිමෙන්ති කම්හල එවැනි එක් උදාහරණයකි. මෙරටට ත්‍යාගයක් ලෙස විදෙස් රටකින් හිමිවූ එම කර්මාන්තය මෙරටට ලැබෙන සමයේ අහම්බෙන් හෝ අගමැති ධුරය හෙබවූයේ ඩබ්ලිව්. දහනායක මහතාය. ඔහු කිසිදු පදනමක් නොමැතිව එය සිය මැතිවරණ කොට්ඨාසය තුළ ස්ථාපිත කළේය. කර්මාන්තශාලාව ගාල්ලේ ස්ථාපිත වුවද සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කිසිවක් ගාල්ලේ නොවූයෙන් ඒවා රටේ තවත් කෙලවරක පිහිටි පුත්තලම වැනි දුරබැහැරින් ගෙන ඒමට සිදුවිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ගාල්ලේ සිමෙන්ති කර්මාන්තය කිසි දින ලාභ නොලැබූ ජනතාවට බරක් වූ සුදු අලියකු වීමය.

එම පදනම මතම පිහිටමින් දහනායක මහතා මෙවරද දැඩිව කියා සිටියේ සරසවිය පිහිටවිය යුත්තේ ගාල්ලේ බවයි. ලබුදූවේ සරසවිය ස්ථාපිත නොකිරීම ගාල්ල ජනතාවට කරන පළිගැනීමක් බව ඔහු කියා සිටියේ එය රොඩේෂියාවේ පාලක ඉයන් ස්මිත් එරට කළු ජනතාවට කරන ආකාරයේ සැලකිල්ලක් බවට උදාහරණ දක්වමිනි. රත්ගම මන්ත්‍රී, එම්.ජී. මෙන්ඩිස් එය රත්ගමට ලබා දෙන ලෙසත් දකුණේ බොහෝ ආසන නියෝජනය කළ මන්ත්‍රීවරුන් ඔවුනොවුන්ගේ ආසනවල සරසවිය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දෙමින් අදහස් දැක්වීය. මෙහි හාස්‍යයට හේතුවූ කරුණක් වූයේ එවකට එක්තරා පුවත්පතක කර්තෘවරයකු එය උඩවලව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලෙස කියමින් තම පුවත්පතේ කතු වැකියක් ලියා පළ කිරීමයි. ඇතැම් විට එම කතුවරයා උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවකු විය යුතුය.

රොනීගේ තර්කය වූයේ දකුණේ කේන්ද්‍රස්ථානය ගාල්ල නොව මාතර බවත් ඒ අනුව ගාල්ලේ දරුවකුට සැතපුම් හැත්තෑවක දුරක් ගෙවා කොළඹ සරසවියට වුව යෑමට හැකි වුවද මාතර දරුවකු කොළඹට යෑමට සැතපුම් 100කට වඩා වැඩි දුරක් යා යුතු බවත් අවධාරණය කරමිනි. “දකුණ” යන සිතියම්ගත සාධකය මත පිහිටා කටයුතු නොකොට, මෙම සරසවිය පිහිටුවිය යුත්තේ, “රුහුණ” යන භූගෝලීය සාධකයට අවධානය යොමු කරමින් බව රොනීගේ තර්කය විය. උසස් අධ්‍යාපන පිපාසයෙන් පෙළෙන්නේ ගාල්ලේ හෝ මාතර දරුවන් පමණක් නොව එය හම්බන්තොට, මොනරාගල, වැල්ලවාය, කතරගම ඇතුළු ඌවේ දරුවන්ගේද අවශ්‍යතාවක්ද බවත් ඔවුන් සියලු දෙනාට අපහසුවකින් තොරව ළඟා වීමට හැකි එකම ප්‍රදේශය මාතර බවත් රොනී තවදුරටත් පෙන්වා දුන්නේය.

රොනීගේ සහායට හා රුහුණට සරසවියක් කෙසේ හෝ ලැබිය යුතුය යන ස්ථාවරයේ සිටි එකම පුද්ගලයා වූයේ හබරාදුව මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර පමණි.

දෙවිනුවර සංවර්ධනයට බාධා පැමිණවූයේ රොනී බවට බණ්ඩාරනායක මැතිනියගෙන් චෝදනා... ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මීළඟ සතියේදී බලාපොරොත්තු වන්න.

[උපුල් ගලප්පත්ති්‍]

මාතෘකා