අධික ජන ඝනත්වය හමුවේ රට තට්ටු නිවාස ක්‍රමයට යා යුතුයි

 ඡායාරූපය:

අධික ජන ඝනත්වය හමුවේ රට තට්ටු නිවාස ක්‍රමයට යා යුතුයි

අමාත්‍ය පාඨලී චම්පික

අධික ජන ඝනත්වය හමුවේ තට්ටු නිවාස ක්‍රමයට රට ගමන් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (16) අම්පාර කාර්යාල සංකීර්ණයකට සහ තට්ටු නිවාස සංකීර්ණයකට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අම්පාර නගරය වෙනුවෙන් එක පැත්තකින් නගර සභාව අරමුදල් සම්පාදනය කරලා තට්ටු නිවාස සංකීර්ණයකට මුල්ගල තැබුවා. අනෙක් පැත්තෙන් විධිමත් නාගරික පහසුකම් සපයා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් කාර්යාල ගොඩනැඟිල්ලක් ඉදිකරන්න කටයුතු කළා. අම්පාර ඓතිහාසික ප්‍රදේශයක්. මේක පැරණි රජ දරුවන්ගේ කාලයේ මේ රටේ තිබූ සංවර්ධිතම, ඒ වගේම සශ්‍රීකම ප්‍රදේශයක්. දුටුගැමුණු රජතුමා යුද්ධයට යන්න කළින් මේ කලාපය සිය සොහොයුරාට බාර කළා. ඔහු මේ ප්‍රදේශය රටටම ආහාර සපයන ප්‍රධාන ධාන්‍යාගාරය, මධ්‍යස්ථානය බවට පත් කරනවා. ඒ අනුව තමයි අඹආර අම්පාර බවට පත්වුණේ. අඹආර කියන්නේ ජල ප්‍රදේශය කියන එක. ඒක අම්පාර බවට පත්වෙලා මේ මුළු කලාපයම සශ්‍රීක ධාන්‍යාගාරයක් බවට පත්වුණා. වනජීවී ඇමති හැටියට, වන සංරක්‍ෂක ඇමති හැටියට, විදුලිබල හා බලශක්ති ඇමති හැටියට මම මේ මුළු ප්‍රදේශයේ සෑම බිම් අඟලකම ගිහින් තිබෙනවා. මේ හැම ගමටම විදුලිය ලබා දුන්නේ අපි 2010 ඇති කරපු 'දිදුලමු ලංකා' ව්‍යාපෘතිය යටතේ. ඒ වගේම මේ ගම්වල ජනතාව අතිවිශාල දුකක් වින්ඳා ත්‍රස්තවාදී උවදුර නිසා. විශාල ගැටුම්වලට මුහුණ දුන්නු ප්‍රදේශයක්. ඒ වගේම අනාගත ගැටුම්වලටත් මුල්වෙන ප්‍රදේශයක් බවටත් පසුගියදා සිදුවූ කාත්තන්කුඩි ආදී ප්‍රදේශවල සිදු වූ අන්තවාදී ක්‍රියාවන්වලින් අපට පැහැදිලි වුණා.

“කෙසේ නමුත් අද මේ අම්පාර මීට දශකයකට කලින් අපි දැකපු අම්පාර නෙමෙයි. අද හොඳ මාර්ග පද්ධතියක්, විදුලි පද්ධතියක් ඇවිත් තිබෙනවා. හොඳ රජයේ කාර්යාල පද්ධතියක් සහ නාගරික පහසුකම් අද රටට අවශ්‍යයි. අපි විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා නගරාධිපතිතුමා ඇතුළු පිරිසට තට්ටු නිවාස සංකීර්ණවලට ගමන් කිරීම ගැන. මොකද අම්පාර කියන්නේ ඉඩම් බහුල තැනක් වුණත් මේ රට ඉතාම අධික ජන ඝනත්වයක් තිබෙන රටක්. ලෝකයේ පළවැනි ජන ඝනත්වයෙන් වැඩි 1/30ක් ලංකාව. ඒ නිසා මේ ලංකාවේ ඉඩම් පිළිබඳව තිබෙන්නේ ඉතාමත්ම තදබදයක්. ලොකු ආතතියක්. ඒ නිසා ඉදිරි කාලයේදී අඩු ගණනේ මේ නගරවල, විශේෂයෙන්ම මේ දුෂ්කර, ගම්බද කියන මේ දිස්ත්‍රික්කවල නගරවලවත් අපි තට්ටු නිවාස සංකීර්ණවලට ගමන් කළ යුතුයි. පර්චස් 10 - 20, අක්කර භාගේ දෙකහමාරේ ගෙවල් වතුපිටි තවදුරටත් මේ රටට වලංගු නැහැ. ඒක නිසා අනාගතය ගැන බලමින් එවැනි නිවාස සංකීර්ණ ඉදි කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.”

 

 

මාතෘකා